Sunday, September 8, 2019

මත්වෙන ආදර කතා -01

මේ දවස්වල වෙලාවක් කලාවක් නැතුව වහින වැස්ස සමහරු දකින්නෙ කරදරයක් විදියට.ඒත් කකුල් දෙකත් දිග ඇරගෙන හාන්සිපුටුවකට වෙලා වැස්ස දිහෑ බලාගෙන මනෝපාරක් ගහනව කියන්නෙ හරිම සුන්දර හැගීමක්.අන්න එහෙම වෙලාවට කාටවත් කටක් ඇරල කියන්න බැරි උනත් තමන්ටම තනියම හිනාවෙන්න පුලුවන් මතක ඇතුලෙ කිමිදෙන එක මගෙනම් පුරුද්දක්.

මගේ මුල්ම ආදර කතාව පටන් ගන්නෙ නවය වසරෙදි.ඔය ආදර කතාවේ එක් වතාවක මං පියාඹනව.ඊලග වතාවේ ඇය පියඹනව.ආයෙම වතාවක මම පියාඹනව.වසර 4ක් පුරවටම ඔය කතාව ඇදිලා ගියෙ ඔහොම.ඉන් පස්සෙ බොහොම කාලයක් කොහෙ කූඩුවක කූඩුවෙලා ඉන්නවද නොදැන නොදැක ගතවෙනව.මුල්ම ආදර කතාව අමතක කරන්න බෑය කියල කතාවක් තියෙනවනෙ.
ජීවිතේ පලමුවතාවට හිතට දැනුන සිසිලස කොහොම අමතක වෙන්නද.අපි පසුකාලීවන දැනෙන සිසිලස් මනින්න යොදාගන්න මිනුම්දන්ඩක් කරගන්නෙත් අර ප්‍රථම ප්‍රේමයම තමයි.

අටුවාටීකා ටිප්පනි වල් පැල ඉලුක් මාන පඳුරු තලාගෙන මේ යන්නෙ මතක් කරකර විදින්න වෙන සිදුවීම් කීපයක් ගැන කියලදාන්න.ආයෙ කොහොමත් රෙදි නැතුව ඉන්න එකේ මේවා කිව්වය කියල මොනව වෙන්නද.

ඔය මොන සතුටත් වඩා අපිට දැනෙන සතුටක් වෙන්නෙ හිත් කුහරෙ පුරවගෙන බැදිලා ඉන්න කෙනෙක් කාලයකට පස්සෙ මුනගැසුනම.කාලයක් තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු සැරෙන් සැරේ ඔලුවට අකුණුපාරකින් ඒ කෙල්ලව හොයපන් කියල මතක් කරපු කෙනෙක් හොයාගන්න ලැබුනම දැනෙන හැගීම මෙතෙකැයි කියල නිමකරගන්න බෑ.හරියටම අවුරුදු 12කට පස්සෙ මට මගෙ ප්‍රථම ආදරවන්තියව හොයාගන්න පුලුවන් උනා.අහම්බයකින්.මුහුණු පොතෙන්.

මහත් වෙලාද, ලස්සන වෙලාද, බැඳලද, ළමයි ඉන්නවද , හස්බන්ඩ් මොකද කරන්නෙ, අහ් ඔයා මොකද කරන්නෙ ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔලුව උඩ කැරකෙනව.කොහෙන් පටන් අරන් කොතනින් ඉවර කරන්නද.මුලින්ම කරන්න ඕනි ඉස්සර අපි හිටපු විදිය ගැන කතා කරන එක.එයාට මතක් කරන එක.කෙල්ලෙක් උනත් නවාගන්නනම් උන්ගෙ හදවතේ රිදෙන තැනට පොඩි සියුම් කටුවකින් අනින්න ඕනි.
ඒකයි තියරිය.මතක අවුස්සනව කියන්නෙ රිදෝලා හිනාගස්සගන්න පුලුවන් හොදම විදිය.

ඔයා ආවෙ ලුණු මිරිස් බැදගනමනෙ දැන් ඉතින් එහෙනම් මේ මගේ වාරය.හිතේ සිතුවිලි පයිප්පෙ පීඩනේ වැඩී.දරාගන්න අමාරුයි.සමතුලිත කරගන්න කලින් පුපුරයි..

"හායි"
"හායි"

"කොහොමද කෙල්ලෙ."
"වරදක් නෑ ඔයාට කොහොමද?"

"මාත් හොදින් .අවුරුදු 12කට පස්සෙ නේද. ඔයා දන්නවද මං ඔයාව මෙච්චරකල් හෙව්වා."
"ආ උදානි කතාකල වෙලාවක කිව්ව තමයි ඔයා මං ගැන ඇහුවා කියල.ඔයා කොන්ඩෙ වවාගෙන වැද්දෙක් වගේ ඉන්නව කිව්වෙ"

"වැද්දෙක්.වැදිකමට නෙවෙයි වවන්නෙ.කැන්සර් හොස්පිට්ල් එකට දෙන්න..බ්ලා බ්ලා බ්ලා ( මගෙ කොන්ඩෙ ලොකුකම් ටික )"
"හරි හරි අනේ ඔයාට තාම කේන්ති යනවනෙ ඉස්සර වගේම.විහිලුවක්නෙ කලේ "

"හරි ඒකෙන් වැඩක් නෑ.දකින්නත් ආසයි ඔයාව"
"මගෙ මොනව දකින්නද.ඉස්සර හිටියා වගේම තමා"

"ඒ කියන්නෙ ඔයාට අපි මීට් වෙන්න කැමැත්තක් නෑනෙ නේද ?"
"කවුද මෝඩයො එහෙම කිව්වෙ"

"එහෙනම් දවසක හම්බෙමු"
"බලමු"

"මොනාද බලමු කියන්නෙ"
"හම්බෙන්න බලමු කියල කියන්නෙ"

"හරි කවද්ද කොහෙද ?"
"කොෆී එකක් බොන්න යමු හවසක"

(යකෝ තුන්වේලම තේ බීපු අපි කෝපි බිව්වෙ බඩේ අමාරුවට විතරයි.කොෆී බොන්න යන්න.අනේ කාලේ වනේ වාසේ )

"එහෙනම් මං එන්නම් ඔයලෑ ගෙදර"
"පිස්සුද?"

""නෑ මෙහෙමයි.ඔන්න ඔයා ඔෆීස් ගිහින් ගෙදර ඇවිත් ඉන්නව.හොදටම වැස්ස වෙලාවක්.මං ඇවිත් ඔයාගෙ ගෙදර දොරට තට්ටු කරනව "ටොක් ටොක්" ඔයා ඇවිත් "හානේ මුදී ඔයාව දකින්න තිබ්බ ආසාවක්.ඔයානම් වෙනස්වෙලා හොදටම.එන්න එනන ඇතුලට" කියල මාව ගෙට ගන්නව.ඔයා ඉන්නෙ ඔෆීස් ගිය ඇදුම් පිටින්මයි."මං මේ ආව විතරයි වොශ් එකක් දාගන්න යන්න කියල හැදුවෙ" කියල කියනව.එතකොට
මම "වොශ් දාන්න යන්නෙ ටයිඩ්ස්කර්ට් එකක් ඇදගෙනද?"
ඔයා "අනේ හරි නරකයි " කියල ලාවට මගෙ උරහිසට තට්ටුවක් දානව.ඊට පස්සෙ ඔයා "හරි මහන්සි මං වොශ් එකක් දාන් එනකන් ඔයා ඉන්නවද" කියල අහනව.
මම "හා හරි ඔයා වොශ් දාන් එන්නකො"
ඔයා වොශ් දාන්න ගිය අතරෙ මම දෙන්නටම කෝපි දෙකක් හදනව.ඔයා වොශ් දාගෙන ටවල් එකත් ඔලුවෙ බැදගෙන ඇවිත් ප්‍රැන්ට්‍රියෙන් ඉදගන්නව.මං කෝපි එක දෙනව ඔයාට.ඔයා ඒක අරගෙන හරිම ආදරෙන් ඔයාගෙ ලොකු ඇස් තවත් ලොකු කරන් බලන් ඉන්නව.ඊට පස්සෙ සෝෆා එකට වෙලා ඔයා මට හේත්තු වෙලා කෝපි බොනව""

"හම්මෝ ඇති ඇති.අපේ ගෙදර එන්න එපා කොහොමත්.අපේ ගෙදර කෝපිත් නෑ.මං එන්නම් ඔයලෑ ගෙදර"

"ආ එහෙනම් මෙහෙමයි.ඔන්න හොදටම වහිනව.ඔයා මගෙ ගෙදරට ඇවිත් "ක්‍රීන් ක්‍රීන්" .මම දොර අරිනව "අනේ චරී.කොච්චර කාලෙකින්ද.හම්මේ ඔයාගෙ හැඩ.කොච්චරනම් හෙව්වද ඔයාව මම" කියනව."එන්න එන්න ඇතුලට.අනේ කෙල්ලෙ ඔයා හොදටම තෙමිලානෙ".
ඔයා " ඔව් මුදී.හරිම සීතලයි.මාර වැස්සක්නෙ එකපාරට පාත්වුනේ"
මම "මං ටවල් එකක් අරං එන්නම්.ඔයා වොශ් එකක් දාගන්නකො" මං ඔයාට ටවල් එකක් දීලා වොශ් එකක් දාගෙන එන්න කියල කෝපි එකක් හදන්න යනව.ඔයාට සීතල නැතිවෙන්න හරියන්නෙ ඒක අනික ඔයා ආසම බීමනෙ.මට තාම ඒවා මතකයිනෙ.
මම කෝපි හදමින් ඉන්නකොට ඔන්න ඔයා එනව.මගෙ ශර්ට් එකක් හොයාගෙන ඒක ඇදගෙන.ඔයාට ඒක ලොකුයි.ඔයා තාම ඉස්සර වගේම චූටීනෙ.ශර්ට් එක කොටයි ඔයාට.යන්තම් කලවෙන් බාගයක් වැහෙනව විතරයි.ඔයා ටවල් එකෙන් උරහිස ලගට කොට ක්‍රේල් කොන්ඩෙ පිහමින් එන්නෙ කොන්ඩෙන් විසිවෙන සීතල වතුර බින්දු මගෙ ඇගෙ දැවටෙනව.ඔයා ආවම ඔයාගෙ අතට මම කෝපි එක දීලා ටවල් එක ඉල්ලන් ඔයාගෙ ඔලුව පිහිනව.ඔයා සීතලට මට හේත්තුවෙලා කෝපි එක බොනව "

මම"එහෙම වෙයි නේද ශෝක් නේද ?"

"තමුසෙට පිස්සුද ඕයි.බීලාද ඉන්නෙ දැනුත්.කවදද මනුස්සයෙක් වෙන්නෙ.කෝපිත් එපා මට ඔහෙව හම්වෙන්න ඕනිත් නෑ.ආයෙ මැසේජ් කරන්නත් එපා.
මේ අවුරුදු ගානම මං හොයල බැලුවා ඔහේ කරපු කියපුවා.බස්ටෑන්ඩ් එක මැද්දෙ නටපුවා, කඩවල් වල එලියෙ බෆල්ගාව නටපුවා ඔය හැම එකම මං දන්නව."

"ආ.....ඇයි නරකද?"

"ආයෙ කෝල් මැසේජ් එපා.හැදෙන්න බලනව නොබී ඉන්න පුරුදු වෙනව.බායි."

"ආ... හරි බායි."

----------------------
දැන් තේරෙනවද දන්නෑ මේවාට මං මත්වෙන ආදර කතා කියන්නෙ ඇයි කියල.

©මුදියන්සෙ මලයා

No comments:

Post a Comment