Thursday, September 26, 2019

වතුර

                               මැනික අදත් වහිනව.එදා වගේම. මොර සූරන තරම්ම නම් නැතුව ඇති.ඒත් පීල්ලෙන් වතුර වැටිලා ඔයාගෙ ඇන්තූරියම් ගහේ කොල ටිකනම් ඉරිලා.සමාවෙන්න අනේ මේ රස්සාවට යෑමයි ගෙදර වැඩයි නිසා මට ඒක අරං තියන්න බැරි වුනානෙ. ඉස්සර වගේ නෙවෙයිනෙ.ඒ රස්සාව කරපු කාලෙ වගේ මේකෙ නිදහසක් නෑ. ලයින් එකේ එන පෙට්ටි ටික මහ පෙට්ටියට අහුරගන්න බැරි උනොත් කිරිපිටි පෙට්ටි බිමට වැටෙනව.සුපවයිසර් බනිනව.පඩියෙන් කපනව.
හිටගෙන ඉදලම කකුල් කැක්කුම එනව.රෑට නින්ද යන්නෙම නැති තරම්.තනියම තෙල් ටිකක් ගාගන්නව.සමහර දාට ඒකත් නෑ.

                            වැහි කාලෙට මං ඉස්සර හරිම ආසයි.මං විතරක්‍ යැ.ඔයත් එහෙමනෙ. මමනම් ආස කලේ ඔයාව මුණගැස්සුවෙ මේ වැස්ස නිසා. එදා මම තෙමි තෙමී චිත්‍රකාමරයට යනව දැකල ඔයා කුඩයක් එවල තිබ්බනෙ යාලුවෙක් අතේ.ඒ කාලෙ කොහෙද පාට පාට කුඩ.හැමෝටම තිබ්බෙ කළු කුඩනෙ.
ඔය සිදුවීම මතක නිසාමයි මම හැම උපන්දිනේටම ඔයාට කුඩයක් දුන්නෙ.පාට පාට ඒවා. ඉස්කෝලෙ හැමෝටම රහසක් නොවී අපි ආදරේ කලා.හවසට එක කුඩේ යට වැස්සට අපි ගියෙ අපේ උන් විහිළු කරනකොටමයි.ඔයාත් උන්ට විහිළුවක් කරන නිකන් උන්න නිසා උන් සේරම කිව්වෙ බදිනවනම් බදින්න ඕනි ඔයා වගේ කෙනෙක් කියල.

                 උන් හිතන්න ඇති මම ඔයාව අත්හරීවි කියල.උන් කොහෙද දන්නෙ අනේ මගෙ හිතේ තියෙන ආදරේ ගැන.

                  මා ඔය ඉවුර ලගම තිබ්බ අපේ ගෙදරට ඔයාව කැන්දන් එන්න මට තිබ්බ හදිස්සියට වඩා ඔයාට හදිස්සිය තිබ්බෙ හැමදාම ඔයට බැහල නාන්න තිබ්බ ආසාව නිසා කියල මම දැනගත්තෙත් පහුකාලෙනෙ.ඔයා වතුරට තිබ්බෙ පුදුම ආසාවක්.බැදීමක්.ගමේ උන් අම්මට කියල තිබ්බ පුතා ගෙනල්ල තියෙන්නෙ දියකාවෙක් නේද කියල.මහ එකීවගේ වතුරට පැන්නට පීනන්න දැනන් උන්නෙත් නෑනෙ.ඒක පුරුදු උනෙත් අපේ ගෙදර ආවට පස්සෙනෙ.

                          ඔයා අපිට ගෙනාව තෑග්ග ඔයා වගේම ලස්සනයි දඟයි.වෙන පොඩි කෙල්ලො වතුරට අකමැතිම වෙනකොට ඔයාට අපේ කෙල්ල නාවල ඉවර කරන්න දුන්නෙ නෑනෙ.වතුරෙන් උඩට ගත්තාම අඬනව.කෙල්ලට සෙම හැදෙයි කියන බය නිසා වතුරෙන් ගොඩ ගන්නව මිසක ඔයා ඒකිගෙ කදුළු දකින්න බැරුව ඇස්වල කදුළු පුරවන් උන්න හැටි තාම පේනව මට.මැවිලා.මම ආස කරපු වීදුරු බෝල වගේ ඇස් දෙක.

                             2006 ආපු මහම මහ වැස්සට බඩල්ගම පාලමෙන් එගොඩ කොටසක්ම ගලවගෙන ගියෙ ඉවුරුවල උන්න අපි වගේ උන් ගැන මුකුත්ම නොහිතමයි.
ඒ කොටස සතියෙන් පස් පුරවල හදවල දුන්නෙ ජෙයරාජ් මහත්තයා.එතුමට පිං අයිතිවෙන්න ඕනි.ඔයා දන්නෙ නෑනෙ.ඊට ටික කාලෙකට පස්සෙ බෝමබයකට අහුවෙලා එතුමා අන්ත්‍රා වුනානෙ.ගමේ උන් සේරම වගේ ඇඩුවා.මටනම් ඒ වෙනකොට අඩන්න කදුළු ඉතුරු වෙලා තිබ්බෙ නෑ..

                        අවුරුදු 10ක්ම ගෙවිලා ගිහින් දැන්.මේ සැරේ වැස්සට ආයෙම පාලම ලග කොටස ගැලවිලා ගියා.නිකන්ම නෙවෙයි අපේ මතක සැමරුම් වල කොටහකුත් අරගෙනම.ඉවුරෙ තිබුන පන්සල මතකයි නේද.ඒකෙ බෝධියත් ගහගෙන ගියා මේ වතාවෙ.ඒ බෝධියට මම කී වතාවක් පූජා තියල ඇතිද..
ඔයාව සනීප කරල දෙන්න ඉල්ලල..... ඔයා මීගමුවෙ මහ ඉස්පිරිතාලෙ හිටියෙ.මතක නැතුව ඇති දැන් ඔයාට.පන්සලේ හාමුදුරුවෝ දුන්න පිරිත් නූල කීයක්නම් ඔයාගෙ අතේ බැන්ඳද මම ඒ ටික දවසට..ඒත් ඔයා යන්න ගියානෙ.. දූ ලගට..

                            දුක්වෙන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ.ඇත්තටම මට තේරෙන්නෙ නෑ.මම දරාගන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.. ඔයා ගියෙම මං එක්ක තරහින් වෙන්න ඕනි.මාස 2කට වඩා ඔයා කතා නොකරම හිටියා මම එක්ක.ඉස්සර ඔය කට වැහිලා තිබ්බ වෙලාවක් ඇත්තෙම නෑ.හරියට දෙමළියක් වගේ.කියෝනව කියෝනව.මම හරි ආස උනා ඒකට.අනික්දේ ඔයාගෙ හිනාව.ඒ සේරම මම ඒ මාස 2ම දැක්කෙ නෑ..

                                ඒ ගංවතුර වෙලාවෙ මම නොකල දෙයක් නෑ වස්තුවෙ අපේ කෙලි පොඩ්ඩව බේරගන්න.ඒ හැඩපාරට මාවත් ගහගෙන ගියා.පාලම කිට්ටුව පෙරලිලා තිබ්බ උණ පඳුරෙ එල්ලිලා මම බේරුනේ.ඒ මහ රෑ මම මොනාව කරන්නද.කාගෙන් උදව් ඉල්ලන්නද.මහ වැස්ස එක්ක ගෙවල් පිරෙන්න ආව වතුරෙන් හැමෝම අසරණවෙලා.ඒත් මම වැරදී.අපේ කෙල්ලව බේරගන්න මට මොනවම හරි කරන්න තිබුනා.මම උත්සහ කලා මදි.ඔයා මාත් එක්ක කතා නොකර උන්න එක වැරදි නෑ.ඒත් යන්න කලින් එක වතාවක් ඔයාට මම එක්ක හිනාවෙලා යන්න තිබුණා..
අපි ආයෙම දුවෙක් ගේමු කියන්න තිබ්බා..

                           ඔයාව හැමදාම අක්කලෑ ගෙදර තියන්න බැරි නිසයි මම දූගෙ තුන්මාසෙ දානෙටවත් ආයෙම පරණ ගෙදරටම එන්න හිතුවෙ.ගේ සුද්ද බුද්ද කරන ලිඳ ඉහල පිරිසුදු කරගත්තෙ ආයෙනම් ඔයාවවත් ඔයට යවන්නෙ නෑ කියල හිතාගෙන.අපේ දූ ගිලගත්ත යක්ෂණීගෙන් වතුර බින්දුවක්වත් අපිට මොකටද .. ඒකිගෙ උදව් අපිට ඕනි නෑ..ඒකිට අපේ සැහල්ලු ජීවිතේ ඉවසන් ඉන්න බැරිවෙන්න ඇති.පරට්ටි...

                           මම ආයෙමත් වැරදී.දූ නැති සාංකාවෙන් උන්න ඔයාව ගෙදර තනියම දාල ගිය එක.ඒත් අපේ දේවල් හැමදාම අනුන්ට කරන්න බෑනෙ.ඒකයි මම කඩේට ගියෙ.ඒ ගිය ටිකට ඔයා යන්න ගිහින්..ඔයාට තිබ්බ යන්නම ඕනිනම් ආයෙ අක්කලෑ ගෙදරට යන්න.නැත්නම් නැන්දලෑ ගෙදරට යන්න..ඒත් ඔයා ගියෙ අර යක්ෂණීගෙන් ඔයාව බෙරගන්න මම හොයාගත්ත අනික් එකී ලගට.ඒකි එක්ක මොනවට ගියාද.ඔයා ආස වතුරවත් ඒකි ලග නොතිබෙනකොට.

                  දැන් අවුරුදුම 10ක් ගිහින්.කැඩුන පාලමට අටවපු යකඩ පාලමෙන් ලස්සන චූටි කෙලි පොඩිත්තියො ඉස්කෝලෙ යනව.සමහරවිට අපේ දූ එක්ක ලෝකෙට ආව අයම වෙන්න ඇති.එයාගෙ යාලුවො වෙන්න ඇති.එයාලගෙ යාලුවා මේ යක්ෂණී යටකරන් ඉන්නව නොදැන එයාල ආසාවෙන් වතුර දිහෑ බලනව.පොඩි උන් බය කරන්න හොද නෑනෙ.නැත්නම් මම උන්ට ඇත්ත කියල දෙනව.
                     
අවසානෙ මට ඔයාල වෙනුවෙන් පූජාතියපු බෝධියත් නැතිවුනා..මතකයන් එක්කම උදුරන ගියා යක්ෂණී. වතුරෙන් ඉපදිලා අපි වතුරෙන්ම විනාශවෙලා ගියා කියල හිතුනට මම තාම වැස්සට ආදරේ කරනව.වැස්ස ඔයාගෙ විදියට තාම හිනාවෙනව.නටනව.
මතකද ඔයාගෙ ඔටෝග්‍රාෆ් එකේ මම ලිව්ව වචන.

"කැරකි කැරකි ගලනකොටයි ගඟක් ලස්සන.
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන"


©මුදියන්සෙ මලයා

Thursday, September 19, 2019

මත්වෙන ආදර කතා -02



                මම හැම වෙලේම කියන කතාවක් මතක තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නෙ කියන එක.සමහර අතීත මතක වලට පුළුවන් වර්ථමාන කඩයිම් වලින් අපිව පන්න ගන්න.
ඒ කියන්නෙ අන්තෝ ජඨා බහි ජඨා වෙලා ඉන්න වෙලවට මතක් වෙන සමහර ඒවට පුලුවන් අපිට ඒ ප්‍රශ්ණෙන් ගලවල පැත්තකට කරන්න සුළු මොහොතකට හරි.
අතීතය මත ජීවත් වීම මානසික ලෙඩක් විදියට හැදින්වීමක් කරල තිබ්බට ඒකෙ තියෙන ආතල් එක වෙන කිසි දේක නෑ..

                     මම ජීවිතේ සමහර වැදගත් තීන්දු තීරණ අරන් තියෙන විදිය මතක් වෙනකොට ඒක වෙනම ආතල් එකක්.සමහරුනට ඒක මගෙ ළදරු මානසිකත්වය වගේ දැනෙනෙව.මටනම් ඒක සමහර ප්‍රශ්ණ මගෙ නෙවෙයි වගේ ආතල් එකට ගැනීම කියන රෝගයේ කොටසක්.ජීවිතේ කරන කියන ඕනි දෙයක් මතක හිටින මතකයක් කරගනීම අනාගතේට වැදගත්.

-------------------------------------


                         දැනට වසර කීපයකට කලින් විදේශගත මගේ මිත්‍රයෙක්ට ඕනි වෙනව ටිකක් ලොකු සමාජසේවා වැඩක යෙදෙන්න.යෙදෙන්න කියන්නෙ ඌ කලේ මූල්‍යමය යෙදීම සහ මං කියන ඒවා එහෙ ඉදන් අහන් උන්න එක.සුපුරුදු ලෙසම වැඩේ කරන් ගියෙ මම.
ඔය කියන වැඩේ අහවර කරල ඒක භාරදුන්න දවසෙ එතනට ආව ලංකාවෙ සියල්ලෝම දන්න කියන මහත්මියක් ආපහු ගෙදරට ඇරලවීම සිදුකරන්නෙ මම, විදේශගත මිත්‍රයා සහ තවත් මිත්‍රයන් දෙදෙනෙක්.
මහන්සිපිට උනත් අපි ඒක භාරගන්නෙ තලගොයිත් මරාගෙන එන යටි අරමුණු 2ක්ම ඇතිව.

           විදේශගත මිත්‍රයාට ව්‍යාපාරික සාකච්ඡාවක් තිබීම සහ මාගෙ නොදුටු මාගේ පෙම්වතිය වගේ එක මුල් වරට දැකීම තමා අරමුණ.අපි මේ යන්නෙ ගම්පලාතෙ ඉදල කොලඹ පලාතට.

(මේ ලියන රටාව මට හරියන්නෙ නෑ)

              මේ පෙම්වතිය කිව්වට ඒමම වෙලා නෑ.නිකන් කතාබහ කරනව විතරයි.ටිකක් දුර දිගට.පෙම්වතී කිව්වට ඒක නිකන් හදුන්වාදීමක් නිසා ගොඩනැගුනු සබඳකමක්.

             කොහොමින් කොහොම හරි අපි හවස 6ට විතර සැපැත්වුනා නුගේගොඩට.මිත්‍රයා අපි තිදෙනව මහ පාරෙ බස්සල යන ඕනි දිල්ලියක පලයං මං වැඩේ ඉවර කරගෙන උඹලව ගන්න එන්නම් කියපි.
නොදන්නා නගරක නොදන්නා මූණු ගොඩක් මැද අපි තුන්දෙනා තනිවෙලා.
                   අහෝ... මිත්‍රවරුනි ( ධම්මික බණ්ඩාරගෙ කවි පොතක නමක්).කිමෙක්ද මේ අපට වුයේ.එහෙන් ලාවට වගේ වැහිපොද.මෙහෙන් පිඹගෙන යන වාහන යටකරන් එන ඇඳිරිය.
කොහේ කියා අප යන්නද.ගෑනු වගේ රෙදිකඩ වලට යන්න කියලයැ කාලෙ කන්න. ඕනෙම නගරයක අපි දන්නෙ එකම නමයි.එකම තැනයි.එතන කොහොමත් ගෙදර වගෙයි.
දැන් කුමක් කරන්නද ආදරය කරනු මිස කියල හිතාගෙන අපි ගොඩවැදුනෙ රෙස්ටුරන්ට් එකකට..

එක් මිත්‍රයෙක් තිබහ නිවාගැනීම තරයේ ප්‍රතික්ෂේප කලා රථාචාර්‍ය වෙන්න නියමිත නිසා.
කාලයි.... මිත්‍රයා නෑ...
බාගයයි.... මිත්‍රයා නෑ..
තුන් කාලයි.... මිත්‍රයා නෑ...

රථාචාර්‍යතුමාගෙ බලවත් පෙරෙත්ත මත අපි තිබහ නිවාගැනීම නතර කරල රාත්‍රී අසිරිය විදගන්න බැස්ස මහමගට...

           අහෝ මිත්‍රවරුනි...නියම පුසුඹක් වහනය වන්නේ අප ශරීර කූඩුවලින්.ඒ පානය එතරම් සුවදවත් කියල වැටහුනේම නෑනොවැ. කෙල්ල බලන්න යන්න ඕනි නේද කියල මතක් වුනේ එතකොට.
           ප්‍රශ්න කොතනද උත්තර අපි ලග.. සෙමින් සෙමින් ඇග කෙලින් කරන් ඇතුල් වුනේ නුගේගොඩ පාලම ලග නොලිමිට් එකට.පොඩි වෙලාවක් ඇවිදල බැස්ස පහල සුවද විලවුන් අංශයට...
            කුඹුකෙ ලිදෙන් දිය ඇදලා නාලා වගේ ටෙස්ට් ලේබල් එකෙන් තිබ්බ සේරම විලවුන් ඇග ගල්වාගෙන තමා ඔන්න එලියට ආවෙ.. ආයෙ ටෙස්ට් ඒවා ගහගෙන ආව කියල උන් අපිට ගහන්නයැ.මල විකාර.

           එලිබහිනකොට මිත්‍රයා ඇවිත්.ඊලග නැවතුම මහරගම නගරයේ අතුරු පාරකට.වෙන මොකටද නොදැක උන්න ආලෙයි නොකී අලෙයි කීමට උන්න කෙල්ල බලන්න.මල්ලක් ලිහල බලලම එපැයි භාරගන්න.

            හීනියට වගේ තමා සමහර ඒවා මතක් වෙන්නෙ.ඒත් ඒ අතාරින්න හොද නැති වැදගත් ඒවා.කෙල්ලට උණ ගැනිලය ඉන්නෙ කිව්ව මතකයි.

"අඩෝ හරෝපන් කීල්ස් එකට."

පාන් රාත්තලක් , කෙසෙල් ඇවරියක්, පෙනඩෝල් කාඩ් එකක් අරගෙන මං ආයෙම වාහනේ ඇතුලෙ.

       ඔන්න ඔහොම ගිහින් කෙල්ලගෙ බෝඩිම ලගට යනකොට වෙලාව 9යි.එතන පැයක් විතර කාලෙ අනුභව කරල ගෙදර ගොහින් හොදටම නිදාගත්තා..

------------------------

         කොහොමින් කොහොම හෝ වැඩේ පත්තු උනා.ඒ කියන්නෙ ආලය දෝරෙ ගිහින් කරවටක් ගිලුනා.
ඔෆීස් එකෙන් හවසට නුගේගොඩට එතනින් මගරගමට ආයෙම බෝඩිමට.
          ඔෆීස් එකෙන් නුගේගොඩට බස් එකේ. නුගේගොඩින් මහරගමට ත්‍රීවිල් එකේ.මහරගමින් බෝඩිමට ආයෙම බස් එකේ.
කෙල්ල කොච්චර ආදරණීයද කියනවනම් පෙනඩෝල් පෙත්තක් පොවාගන්න පීසා එකක් අරන් දෙන්න ඕනි.
මහරගම ගවමස් කඩ වහල නොතිබෙන්න උන් මාව කොක්කෙ එල්ලනව විශ්වාසයි.
         ඔය මහරගම බඩගෑමට කලින් ඔෆීස් එකේ හෝ බෝඩිම අහල පහලක ,දියත උයනෙ වල ලග , මැතිවරණ කාර්‍යාලය ලග රසායන විද්‍යා ඇකඩමිය ලග හවසට, රෑට මහපාරෙ ඉදගෙන හිටගෙන රෙස්ටුරන්ට් පුටුවල සැපට ඉදගෙන ගත කරපු කාලයක් තිබ්බා.

           මීහරක් කොච්චර නාවල ගොඩ තිබ්බත් උන් කරවටක් මඩට බහින එක වලක්වන්න බෑ වගේ තමා.මහරගම ගිය ගමන් අස්සෙන් පස්සෙන් පරන පුරුදු වලට ආයෙම අදෙන එක වලක්වගන්න බෑ.

අතරින් පතර මහරගම නොගිය දවස් වල

"කොහෙද ඉන්නෙ?"
"ඔෆීස් එකේ"
"එතකොට වීදුරු සද්දෙ?"
" ආ.. ඒ.. අඩියක් ගහනව "

"කොහෙද ඉන්නෙ"
" රෙස්ටුරන්ට් එකේ"

"කොහෙද ඉන්නෙ?"
"කෑම ගන්න ආව"
"මොනාද ගන්නෙ?"
"බියර් 2ක් ගත්තා .බිත්තර රොටී 2යි පරාටෙකුයි ගන්නව"


                  ඔන්න ඔහොම දැහැමින් සෙමින් ආලයෙන් වෙලීගෙන විදෝගෙන ඉන්නකොට මගේ සදාදරණීය නැන්දම්මා පනා, නාරං ,සියඹලා ,කටු ඉපල් මේ දෙහදට පෑමට කාලය යොදවන්න ගත්තා.මිනිහගෙ කෑම වේලට කලින් මේ ආලය මා අනුභව කරමී කියන චේතනාව මූලික කරගනෙ.
එයැයිට ඕනි උනේ උලා කන්න දත්ටික නැති උනත් මැස්සො එලවන්න නැට්ට තියෙන බෑනෙක්.
නැන්දම්මා දුශ්ඨයට අදින්න පටන් ගත්තාම එයැයිගෙ දොණි "මමාස් ඩොටර්" වෙන්න ගත්තා.
එහෙන් මල්ටි බැරල් ගහනකොට දෝනි ගල්කටස් වලින් වෙඩි තියනව.මම සේරටම එකම පලිහ වෙන පනාව දාගෙන ඉන්නව.
ගෙයක් ගන්න කියනව.මං හිනා වෙනව.
වාහනයක් ගන්න කියනව.මං හිනා වෙනව.

               එකෝමත් එක දවසක ඔය හිනාව පුපුරලා ගියා.පැය ගානක මූත්‍රා බරක් හීනෙන් නිදහස් කරගත්තා වගේ හරිම සැහල්ලුවක් දැනෙන මට්ටමටම.
ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපලා නැන්දම්මව සීන් එකෙන් අයින් කලා.
ඊලගට එනව දෝනිගෙන් ඇමතුම.

"බ්ලා බ්ලා බ්ලා (බනිනව, බනිනව බනිනව)"

මම හිනා වෙනව.

"තමුසෙ වගේ එකෙක් එක්ක යාලු වුනේ මොන මගුලටද මංදා.
කිසිම ගණනක් නෑ තමුසෙට.කොයි වෙලෙත් පිස්සු නටනව.අම්ම කියන ඒවා හරි.වැද්දෙක් වගේ කොන්ඩෙත් වවාන.හැටි බලනව තමුසෙගෙ.තමුසෙ කවද්ද හැදෙන්නෙ"

"අන්න ඒකනෙ ඕයි කියන්නෙ.එදා තමුසෙ බලන්න ආව දවසෙත් බීලා නොහිටියනම් මං තමුසෙ එක යාලුවෙන්නෙ නෑනෙ.ඒත් එදා ඔයත් බීලද උන්නෙ සුදූ.."

"මොකක්......තමුසෙ.... එදත්....."

"කෑ ගහන්න දෙයක් නෑනෙ අනේ.ආයෙනම් බීපු වෙලාවට කෙල්ලො බලන්න යන්නෙ නෑ"

"තමුසෙ තමුසෙ... මැරියං...තෝ..තෝ....මං තමුසෙව අතාරිනව."

"ඔයා ඒක කෝල්එක ගත්ත ගමන් කිව්වනෙ.එහෙනම් බායි ..අම්මට සතුටින් ඉන්න කියන්නකො"

ආදර කතාව කෙලවර උනේ අන්න එහෙම.ඒක කෙලවර නොවෙන්න මෙලහකට මම මගෙ වත්කමට දරාගන්න බැරුව පීසාහට් එකේ පීසා වලට පිටි හලනව.ඒක ශුවර්.

-------------------------
(මේක මුලට එන්න ඕනි කොටසක් )

මුලින්ම කෙල්ල බලන්න ගිහින් ආව දවසට පහුවදා උදේම අපේ රථාචාර්‍යතුමා.

"ඇත්ත කියපන්.තෝ කිව්වෙ බොරු නේද අපිට.කලින් ඒ කෙල්ලව හම්බෙලා තියෙනව නේද "

"උඹ පල්ලා නෑ බං.සත්තයි "

"යකෝ එහෙනම් ඊයෙ තෝ ඒකිගෙ අතින් අල්ලගෙන කරට අතත් දාගෙන ඉදල එනකොට කිස් එකකුත් දීලා ආවෙ.කලින් හම්බෙලා නැත්නම් එහෙම වෙනවද බොල."

"අඩේ.සත්තයි කියපන්.එහෙම උනාද "

"කුනුහරුප වැලයි"

---------------------------

             උඹල වැරදි ආදර්ශ ගන්නව හෙම නෙවෙයි මෙව්වගෙන්.මම දැන් ඔයිට ගොඩක් වෙනස් යහපත් සිරිමත් ළමයෙක්.
බනින උන්ට බනින්න හැකි.මීහරක් එල හරක් එක බානේ බදින්නෙ නැත්තෙ අතපය කහනවට නෙවෙයි.නොගැලපෙන නිසා.

Sunday, September 8, 2019

මත්වෙන ආදර කතා -01

මේ දවස්වල වෙලාවක් කලාවක් නැතුව වහින වැස්ස සමහරු දකින්නෙ කරදරයක් විදියට.ඒත් කකුල් දෙකත් දිග ඇරගෙන හාන්සිපුටුවකට වෙලා වැස්ස දිහෑ බලාගෙන මනෝපාරක් ගහනව කියන්නෙ හරිම සුන්දර හැගීමක්.අන්න එහෙම වෙලාවට කාටවත් කටක් ඇරල කියන්න බැරි උනත් තමන්ටම තනියම හිනාවෙන්න පුලුවන් මතක ඇතුලෙ කිමිදෙන එක මගෙනම් පුරුද්දක්.

මගේ මුල්ම ආදර කතාව පටන් ගන්නෙ නවය වසරෙදි.ඔය ආදර කතාවේ එක් වතාවක මං පියාඹනව.ඊලග වතාවේ ඇය පියඹනව.ආයෙම වතාවක මම පියාඹනව.වසර 4ක් පුරවටම ඔය කතාව ඇදිලා ගියෙ ඔහොම.ඉන් පස්සෙ බොහොම කාලයක් කොහෙ කූඩුවක කූඩුවෙලා ඉන්නවද නොදැන නොදැක ගතවෙනව.මුල්ම ආදර කතාව අමතක කරන්න බෑය කියල කතාවක් තියෙනවනෙ.
ජීවිතේ පලමුවතාවට හිතට දැනුන සිසිලස කොහොම අමතක වෙන්නද.අපි පසුකාලීවන දැනෙන සිසිලස් මනින්න යොදාගන්න මිනුම්දන්ඩක් කරගන්නෙත් අර ප්‍රථම ප්‍රේමයම තමයි.

අටුවාටීකා ටිප්පනි වල් පැල ඉලුක් මාන පඳුරු තලාගෙන මේ යන්නෙ මතක් කරකර විදින්න වෙන සිදුවීම් කීපයක් ගැන කියලදාන්න.ආයෙ කොහොමත් රෙදි නැතුව ඉන්න එකේ මේවා කිව්වය කියල මොනව වෙන්නද.

ඔය මොන සතුටත් වඩා අපිට දැනෙන සතුටක් වෙන්නෙ හිත් කුහරෙ පුරවගෙන බැදිලා ඉන්න කෙනෙක් කාලයකට පස්සෙ මුනගැසුනම.කාලයක් තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු සැරෙන් සැරේ ඔලුවට අකුණුපාරකින් ඒ කෙල්ලව හොයපන් කියල මතක් කරපු කෙනෙක් හොයාගන්න ලැබුනම දැනෙන හැගීම මෙතෙකැයි කියල නිමකරගන්න බෑ.හරියටම අවුරුදු 12කට පස්සෙ මට මගෙ ප්‍රථම ආදරවන්තියව හොයාගන්න පුලුවන් උනා.අහම්බයකින්.මුහුණු පොතෙන්.

මහත් වෙලාද, ලස්සන වෙලාද, බැඳලද, ළමයි ඉන්නවද , හස්බන්ඩ් මොකද කරන්නෙ, අහ් ඔයා මොකද කරන්නෙ ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔලුව උඩ කැරකෙනව.කොහෙන් පටන් අරන් කොතනින් ඉවර කරන්නද.මුලින්ම කරන්න ඕනි ඉස්සර අපි හිටපු විදිය ගැන කතා කරන එක.එයාට මතක් කරන එක.කෙල්ලෙක් උනත් නවාගන්නනම් උන්ගෙ හදවතේ රිදෙන තැනට පොඩි සියුම් කටුවකින් අනින්න ඕනි.
ඒකයි තියරිය.මතක අවුස්සනව කියන්නෙ රිදෝලා හිනාගස්සගන්න පුලුවන් හොදම විදිය.

ඔයා ආවෙ ලුණු මිරිස් බැදගනමනෙ දැන් ඉතින් එහෙනම් මේ මගේ වාරය.හිතේ සිතුවිලි පයිප්පෙ පීඩනේ වැඩී.දරාගන්න අමාරුයි.සමතුලිත කරගන්න කලින් පුපුරයි..

"හායි"
"හායි"

"කොහොමද කෙල්ලෙ."
"වරදක් නෑ ඔයාට කොහොමද?"

"මාත් හොදින් .අවුරුදු 12කට පස්සෙ නේද. ඔයා දන්නවද මං ඔයාව මෙච්චරකල් හෙව්වා."
"ආ උදානි කතාකල වෙලාවක කිව්ව තමයි ඔයා මං ගැන ඇහුවා කියල.ඔයා කොන්ඩෙ වවාගෙන වැද්දෙක් වගේ ඉන්නව කිව්වෙ"

"වැද්දෙක්.වැදිකමට නෙවෙයි වවන්නෙ.කැන්සර් හොස්පිට්ල් එකට දෙන්න..බ්ලා බ්ලා බ්ලා ( මගෙ කොන්ඩෙ ලොකුකම් ටික )"
"හරි හරි අනේ ඔයාට තාම කේන්ති යනවනෙ ඉස්සර වගේම.විහිලුවක්නෙ කලේ "

"හරි ඒකෙන් වැඩක් නෑ.දකින්නත් ආසයි ඔයාව"
"මගෙ මොනව දකින්නද.ඉස්සර හිටියා වගේම තමා"

"ඒ කියන්නෙ ඔයාට අපි මීට් වෙන්න කැමැත්තක් නෑනෙ නේද ?"
"කවුද මෝඩයො එහෙම කිව්වෙ"

"එහෙනම් දවසක හම්බෙමු"
"බලමු"

"මොනාද බලමු කියන්නෙ"
"හම්බෙන්න බලමු කියල කියන්නෙ"

"හරි කවද්ද කොහෙද ?"
"කොෆී එකක් බොන්න යමු හවසක"

(යකෝ තුන්වේලම තේ බීපු අපි කෝපි බිව්වෙ බඩේ අමාරුවට විතරයි.කොෆී බොන්න යන්න.අනේ කාලේ වනේ වාසේ )

"එහෙනම් මං එන්නම් ඔයලෑ ගෙදර"
"පිස්සුද?"

""නෑ මෙහෙමයි.ඔන්න ඔයා ඔෆීස් ගිහින් ගෙදර ඇවිත් ඉන්නව.හොදටම වැස්ස වෙලාවක්.මං ඇවිත් ඔයාගෙ ගෙදර දොරට තට්ටු කරනව "ටොක් ටොක්" ඔයා ඇවිත් "හානේ මුදී ඔයාව දකින්න තිබ්බ ආසාවක්.ඔයානම් වෙනස්වෙලා හොදටම.එන්න එනන ඇතුලට" කියල මාව ගෙට ගන්නව.ඔයා ඉන්නෙ ඔෆීස් ගිය ඇදුම් පිටින්මයි."මං මේ ආව විතරයි වොශ් එකක් දාගන්න යන්න කියල හැදුවෙ" කියල කියනව.එතකොට
මම "වොශ් දාන්න යන්නෙ ටයිඩ්ස්කර්ට් එකක් ඇදගෙනද?"
ඔයා "අනේ හරි නරකයි " කියල ලාවට මගෙ උරහිසට තට්ටුවක් දානව.ඊට පස්සෙ ඔයා "හරි මහන්සි මං වොශ් එකක් දාන් එනකන් ඔයා ඉන්නවද" කියල අහනව.
මම "හා හරි ඔයා වොශ් දාන් එන්නකො"
ඔයා වොශ් දාන්න ගිය අතරෙ මම දෙන්නටම කෝපි දෙකක් හදනව.ඔයා වොශ් දාගෙන ටවල් එකත් ඔලුවෙ බැදගෙන ඇවිත් ප්‍රැන්ට්‍රියෙන් ඉදගන්නව.මං කෝපි එක දෙනව ඔයාට.ඔයා ඒක අරගෙන හරිම ආදරෙන් ඔයාගෙ ලොකු ඇස් තවත් ලොකු කරන් බලන් ඉන්නව.ඊට පස්සෙ සෝෆා එකට වෙලා ඔයා මට හේත්තු වෙලා කෝපි බොනව""

"හම්මෝ ඇති ඇති.අපේ ගෙදර එන්න එපා කොහොමත්.අපේ ගෙදර කෝපිත් නෑ.මං එන්නම් ඔයලෑ ගෙදර"

"ආ එහෙනම් මෙහෙමයි.ඔන්න හොදටම වහිනව.ඔයා මගෙ ගෙදරට ඇවිත් "ක්‍රීන් ක්‍රීන්" .මම දොර අරිනව "අනේ චරී.කොච්චර කාලෙකින්ද.හම්මේ ඔයාගෙ හැඩ.කොච්චරනම් හෙව්වද ඔයාව මම" කියනව."එන්න එන්න ඇතුලට.අනේ කෙල්ලෙ ඔයා හොදටම තෙමිලානෙ".
ඔයා " ඔව් මුදී.හරිම සීතලයි.මාර වැස්සක්නෙ එකපාරට පාත්වුනේ"
මම "මං ටවල් එකක් අරං එන්නම්.ඔයා වොශ් එකක් දාගන්නකො" මං ඔයාට ටවල් එකක් දීලා වොශ් එකක් දාගෙන එන්න කියල කෝපි එකක් හදන්න යනව.ඔයාට සීතල නැතිවෙන්න හරියන්නෙ ඒක අනික ඔයා ආසම බීමනෙ.මට තාම ඒවා මතකයිනෙ.
මම කෝපි හදමින් ඉන්නකොට ඔන්න ඔයා එනව.මගෙ ශර්ට් එකක් හොයාගෙන ඒක ඇදගෙන.ඔයාට ඒක ලොකුයි.ඔයා තාම ඉස්සර වගේම චූටීනෙ.ශර්ට් එක කොටයි ඔයාට.යන්තම් කලවෙන් බාගයක් වැහෙනව විතරයි.ඔයා ටවල් එකෙන් උරහිස ලගට කොට ක්‍රේල් කොන්ඩෙ පිහමින් එන්නෙ කොන්ඩෙන් විසිවෙන සීතල වතුර බින්දු මගෙ ඇගෙ දැවටෙනව.ඔයා ආවම ඔයාගෙ අතට මම කෝපි එක දීලා ටවල් එක ඉල්ලන් ඔයාගෙ ඔලුව පිහිනව.ඔයා සීතලට මට හේත්තුවෙලා කෝපි එක බොනව "

මම"එහෙම වෙයි නේද ශෝක් නේද ?"

"තමුසෙට පිස්සුද ඕයි.බීලාද ඉන්නෙ දැනුත්.කවදද මනුස්සයෙක් වෙන්නෙ.කෝපිත් එපා මට ඔහෙව හම්වෙන්න ඕනිත් නෑ.ආයෙ මැසේජ් කරන්නත් එපා.
මේ අවුරුදු ගානම මං හොයල බැලුවා ඔහේ කරපු කියපුවා.බස්ටෑන්ඩ් එක මැද්දෙ නටපුවා, කඩවල් වල එලියෙ බෆල්ගාව නටපුවා ඔය හැම එකම මං දන්නව."

"ආ.....ඇයි නරකද?"

"ආයෙ කෝල් මැසේජ් එපා.හැදෙන්න බලනව නොබී ඉන්න පුරුදු වෙනව.බායි."

"ආ... හරි බායි."

----------------------
දැන් තේරෙනවද දන්නෑ මේවාට මං මත්වෙන ආදර කතා කියන්නෙ ඇයි කියල.

©මුදියන්සෙ මලයා