Thursday, September 26, 2019

වතුර

                               මැනික අදත් වහිනව.එදා වගේම. මොර සූරන තරම්ම නම් නැතුව ඇති.ඒත් පීල්ලෙන් වතුර වැටිලා ඔයාගෙ ඇන්තූරියම් ගහේ කොල ටිකනම් ඉරිලා.සමාවෙන්න අනේ මේ රස්සාවට යෑමයි ගෙදර වැඩයි නිසා මට ඒක අරං තියන්න බැරි වුනානෙ. ඉස්සර වගේ නෙවෙයිනෙ.ඒ රස්සාව කරපු කාලෙ වගේ මේකෙ නිදහසක් නෑ. ලයින් එකේ එන පෙට්ටි ටික මහ පෙට්ටියට අහුරගන්න බැරි උනොත් කිරිපිටි පෙට්ටි බිමට වැටෙනව.සුපවයිසර් බනිනව.පඩියෙන් කපනව.
හිටගෙන ඉදලම කකුල් කැක්කුම එනව.රෑට නින්ද යන්නෙම නැති තරම්.තනියම තෙල් ටිකක් ගාගන්නව.සමහර දාට ඒකත් නෑ.

                            වැහි කාලෙට මං ඉස්සර හරිම ආසයි.මං විතරක්‍ යැ.ඔයත් එහෙමනෙ. මමනම් ආස කලේ ඔයාව මුණගැස්සුවෙ මේ වැස්ස නිසා. එදා මම තෙමි තෙමී චිත්‍රකාමරයට යනව දැකල ඔයා කුඩයක් එවල තිබ්බනෙ යාලුවෙක් අතේ.ඒ කාලෙ කොහෙද පාට පාට කුඩ.හැමෝටම තිබ්බෙ කළු කුඩනෙ.
ඔය සිදුවීම මතක නිසාමයි මම හැම උපන්දිනේටම ඔයාට කුඩයක් දුන්නෙ.පාට පාට ඒවා. ඉස්කෝලෙ හැමෝටම රහසක් නොවී අපි ආදරේ කලා.හවසට එක කුඩේ යට වැස්සට අපි ගියෙ අපේ උන් විහිළු කරනකොටමයි.ඔයාත් උන්ට විහිළුවක් කරන නිකන් උන්න නිසා උන් සේරම කිව්වෙ බදිනවනම් බදින්න ඕනි ඔයා වගේ කෙනෙක් කියල.

                 උන් හිතන්න ඇති මම ඔයාව අත්හරීවි කියල.උන් කොහෙද දන්නෙ අනේ මගෙ හිතේ තියෙන ආදරේ ගැන.

                  මා ඔය ඉවුර ලගම තිබ්බ අපේ ගෙදරට ඔයාව කැන්දන් එන්න මට තිබ්බ හදිස්සියට වඩා ඔයාට හදිස්සිය තිබ්බෙ හැමදාම ඔයට බැහල නාන්න තිබ්බ ආසාව නිසා කියල මම දැනගත්තෙත් පහුකාලෙනෙ.ඔයා වතුරට තිබ්බෙ පුදුම ආසාවක්.බැදීමක්.ගමේ උන් අම්මට කියල තිබ්බ පුතා ගෙනල්ල තියෙන්නෙ දියකාවෙක් නේද කියල.මහ එකීවගේ වතුරට පැන්නට පීනන්න දැනන් උන්නෙත් නෑනෙ.ඒක පුරුදු උනෙත් අපේ ගෙදර ආවට පස්සෙනෙ.

                          ඔයා අපිට ගෙනාව තෑග්ග ඔයා වගේම ලස්සනයි දඟයි.වෙන පොඩි කෙල්ලො වතුරට අකමැතිම වෙනකොට ඔයාට අපේ කෙල්ල නාවල ඉවර කරන්න දුන්නෙ නෑනෙ.වතුරෙන් උඩට ගත්තාම අඬනව.කෙල්ලට සෙම හැදෙයි කියන බය නිසා වතුරෙන් ගොඩ ගන්නව මිසක ඔයා ඒකිගෙ කදුළු දකින්න බැරුව ඇස්වල කදුළු පුරවන් උන්න හැටි තාම පේනව මට.මැවිලා.මම ආස කරපු වීදුරු බෝල වගේ ඇස් දෙක.

                             2006 ආපු මහම මහ වැස්සට බඩල්ගම පාලමෙන් එගොඩ කොටසක්ම ගලවගෙන ගියෙ ඉවුරුවල උන්න අපි වගේ උන් ගැන මුකුත්ම නොහිතමයි.
ඒ කොටස සතියෙන් පස් පුරවල හදවල දුන්නෙ ජෙයරාජ් මහත්තයා.එතුමට පිං අයිතිවෙන්න ඕනි.ඔයා දන්නෙ නෑනෙ.ඊට ටික කාලෙකට පස්සෙ බෝමබයකට අහුවෙලා එතුමා අන්ත්‍රා වුනානෙ.ගමේ උන් සේරම වගේ ඇඩුවා.මටනම් ඒ වෙනකොට අඩන්න කදුළු ඉතුරු වෙලා තිබ්බෙ නෑ..

                        අවුරුදු 10ක්ම ගෙවිලා ගිහින් දැන්.මේ සැරේ වැස්සට ආයෙම පාලම ලග කොටස ගැලවිලා ගියා.නිකන්ම නෙවෙයි අපේ මතක සැමරුම් වල කොටහකුත් අරගෙනම.ඉවුරෙ තිබුන පන්සල මතකයි නේද.ඒකෙ බෝධියත් ගහගෙන ගියා මේ වතාවෙ.ඒ බෝධියට මම කී වතාවක් පූජා තියල ඇතිද..
ඔයාව සනීප කරල දෙන්න ඉල්ලල..... ඔයා මීගමුවෙ මහ ඉස්පිරිතාලෙ හිටියෙ.මතක නැතුව ඇති දැන් ඔයාට.පන්සලේ හාමුදුරුවෝ දුන්න පිරිත් නූල කීයක්නම් ඔයාගෙ අතේ බැන්ඳද මම ඒ ටික දවසට..ඒත් ඔයා යන්න ගියානෙ.. දූ ලගට..

                            දුක්වෙන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ.ඇත්තටම මට තේරෙන්නෙ නෑ.මම දරාගන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.. ඔයා ගියෙම මං එක්ක තරහින් වෙන්න ඕනි.මාස 2කට වඩා ඔයා කතා නොකරම හිටියා මම එක්ක.ඉස්සර ඔය කට වැහිලා තිබ්බ වෙලාවක් ඇත්තෙම නෑ.හරියට දෙමළියක් වගේ.කියෝනව කියෝනව.මම හරි ආස උනා ඒකට.අනික්දේ ඔයාගෙ හිනාව.ඒ සේරම මම ඒ මාස 2ම දැක්කෙ නෑ..

                                ඒ ගංවතුර වෙලාවෙ මම නොකල දෙයක් නෑ වස්තුවෙ අපේ කෙලි පොඩ්ඩව බේරගන්න.ඒ හැඩපාරට මාවත් ගහගෙන ගියා.පාලම කිට්ටුව පෙරලිලා තිබ්බ උණ පඳුරෙ එල්ලිලා මම බේරුනේ.ඒ මහ රෑ මම මොනාව කරන්නද.කාගෙන් උදව් ඉල්ලන්නද.මහ වැස්ස එක්ක ගෙවල් පිරෙන්න ආව වතුරෙන් හැමෝම අසරණවෙලා.ඒත් මම වැරදී.අපේ කෙල්ලව බේරගන්න මට මොනවම හරි කරන්න තිබුනා.මම උත්සහ කලා මදි.ඔයා මාත් එක්ක කතා නොකර උන්න එක වැරදි නෑ.ඒත් යන්න කලින් එක වතාවක් ඔයාට මම එක්ක හිනාවෙලා යන්න තිබුණා..
අපි ආයෙම දුවෙක් ගේමු කියන්න තිබ්බා..

                           ඔයාව හැමදාම අක්කලෑ ගෙදර තියන්න බැරි නිසයි මම දූගෙ තුන්මාසෙ දානෙටවත් ආයෙම පරණ ගෙදරටම එන්න හිතුවෙ.ගේ සුද්ද බුද්ද කරන ලිඳ ඉහල පිරිසුදු කරගත්තෙ ආයෙනම් ඔයාවවත් ඔයට යවන්නෙ නෑ කියල හිතාගෙන.අපේ දූ ගිලගත්ත යක්ෂණීගෙන් වතුර බින්දුවක්වත් අපිට මොකටද .. ඒකිගෙ උදව් අපිට ඕනි නෑ..ඒකිට අපේ සැහල්ලු ජීවිතේ ඉවසන් ඉන්න බැරිවෙන්න ඇති.පරට්ටි...

                           මම ආයෙමත් වැරදී.දූ නැති සාංකාවෙන් උන්න ඔයාව ගෙදර තනියම දාල ගිය එක.ඒත් අපේ දේවල් හැමදාම අනුන්ට කරන්න බෑනෙ.ඒකයි මම කඩේට ගියෙ.ඒ ගිය ටිකට ඔයා යන්න ගිහින්..ඔයාට තිබ්බ යන්නම ඕනිනම් ආයෙ අක්කලෑ ගෙදරට යන්න.නැත්නම් නැන්දලෑ ගෙදරට යන්න..ඒත් ඔයා ගියෙ අර යක්ෂණීගෙන් ඔයාව බෙරගන්න මම හොයාගත්ත අනික් එකී ලගට.ඒකි එක්ක මොනවට ගියාද.ඔයා ආස වතුරවත් ඒකි ලග නොතිබෙනකොට.

                  දැන් අවුරුදුම 10ක් ගිහින්.කැඩුන පාලමට අටවපු යකඩ පාලමෙන් ලස්සන චූටි කෙලි පොඩිත්තියො ඉස්කෝලෙ යනව.සමහරවිට අපේ දූ එක්ක ලෝකෙට ආව අයම වෙන්න ඇති.එයාගෙ යාලුවො වෙන්න ඇති.එයාලගෙ යාලුවා මේ යක්ෂණී යටකරන් ඉන්නව නොදැන එයාල ආසාවෙන් වතුර දිහෑ බලනව.පොඩි උන් බය කරන්න හොද නෑනෙ.නැත්නම් මම උන්ට ඇත්ත කියල දෙනව.
                     
අවසානෙ මට ඔයාල වෙනුවෙන් පූජාතියපු බෝධියත් නැතිවුනා..මතකයන් එක්කම උදුරන ගියා යක්ෂණී. වතුරෙන් ඉපදිලා අපි වතුරෙන්ම විනාශවෙලා ගියා කියල හිතුනට මම තාම වැස්සට ආදරේ කරනව.වැස්ස ඔයාගෙ විදියට තාම හිනාවෙනව.නටනව.
මතකද ඔයාගෙ ඔටෝග්‍රාෆ් එකේ මම ලිව්ව වචන.

"කැරකි කැරකි ගලනකොටයි ගඟක් ලස්සන.
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන"


©මුදියන්සෙ මලයා

4 comments: