Thursday, June 15, 2023

ෆර්දාව

ෆර්දාව


ආදරේ පුරෝගෙන

රෝස මල සිම්බා...

මහ එවුන් ඇවිලෙද්දි

බෝට්ටුත් පැද්දා...

ආදරේ වින්දා....

රෝමයත් ගිනිගද්දි

වීනාව වැයුනා...

ෆර්දාව තෙමාගෙන

උණු කදුලු වැස්සා...

බුදුන් පල්ලා

මං දෙවියො යැද්දා...

කාගෙන්ද පලිගන්නෙ

කාලි මෑනිත් ඇහුවා ..

ආල්ලාහු අක්බර්

මං වචනෙ දුන්නා....



Friday, June 2, 2023

ජීවිතේ එහෙමයි.

ජීවිතේ එහෙමයි.

මේක මගේ කතාව.නෑ මේක අපේ කතාව.උපන්දිනයක් නමක් ගමක් මතක නෑ.නෑ දන්නෙ නෑ.ඒවා මොකටද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ.දන්න එකම දේ අපිව හදාන්න ජාති,කුලමල,ආගම් මුකුත් බලල නෑ. 
ජීවිතේ කවද හරි තමන් ගැන අප්පිරියාවක් දැනිල තියෙනවද,හිතිල තියෙනවද.මොකට මේ ලෝකෙට බිහිවුනාද කියල හිතිල තියෙනවද, කාගෙන්වත් අහල තියෙනවද. හරි ආස හිතෙන උත්තරයක් ලැබිල තියෙනවද.
මම ලොකු විසාලෙට මං ගැන හිතන් උන්න කෙනෙක් මහ එවුන් ලග ඉන්න කාලෙ. අපි හිටියෙ සේරටම වඩා ඉහල තැනක.ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නෑ කියන එක තේරුම් යන්නෙ මං අද ඉන්න තැන නිසා.වට වන්දනා ඕනි නෑ.කතාවට බහිමු.
අපේ මහ එවුන්ගෙ වැඩේ කොයි වෙලෙත් හැප්පෙන එක ගහ මරාගන්න එක.ඒකෙන් දුක් වින්දෙ අපි.අන්න ඒ වගේ සිදුවීමක් වුන අදුරු දවසක් නිසා අපිට උන් හිටි තැන් අහිමි උනා.වැටුනා පොලවටම.ඉහලම උන්නත් මං ආස කලා දවසක කොලපාට ගහ කොල අස්සෙ ඇවිදින්න. කරදරයක් වෙලා හරි මෙහෙම් ටුවර් එකක් ලැබුන එක ගැන මට සියුම් සතුටක් නොතිබ්බම නෙවෙයි.ඒත් ඒ සතුට මට හිතේ හැටියට විදගන්න ලැබුණනම්. අපිට සිද්ධ උනා සුළු මොහොතකින් හැන්ගෙන්න.ආයෙ කාටවත් හොයාගන්න බැරිවෙන්න.

ජීවිතේ අමාරුම කාලෙ කියල මං හිතන් උන්නෙ ඒ කාලෙ හැංගිලා උන්න කාලෙ.ඒ කාලෙ කොච්චර කටුකද කියනවන්ම් ආලෝකයෙ උන්නු මට අදුරක උන්න උනා.හැංගිලා ,තෙරපිලා. 
ඒත් දවසක් අපිට අවස්ථාවක් ලැබුන එලියට එන්න.අපි සේරම එක තැනකට එකතු උනා.පුලුවන් විදියට සැමරුව.නැටුවා.ඇත්තටම අපි නොහිතුව විදියට අපිට අවස්ථාවක් ලැබුන එතන ඉදන් ඉහලට එන්න.ලැබුන කිව්වට ලැබුනාම නෙවෙයි ලබල දුන්නා.හරියටම කිව්වොත් අපිව එක්ක ගියා.සුරංගනා ලෝකයක්ම මවල දීලා.
ආසාවෙන් පෝලිම් හැදිලා ගියාට එතනත් එක්‍තරා විදියක හිරකූඩුවක්.අපේම උන් ගොඩක් උන්න නිසා හිතේ බයක් සැකක් තිබ්බෙ නෑ.අනික කාලෙක ඉදන් උන්න කීප දෙනෙක් අපි එක්ක හිතවත් උනා.එයාල කිව්ව විදියට අපි තව කෙනෙක්ගෙ ආහාරයක් වෙන්නත් ඉඩ තියෙනවලු.ජීවිතේට මර බය කියනදේ දැනුනෙ අන්න ඒ දවසෙ.
ඊට පස්සෙ අපිට අපේ ජීවිතේ ගෙනියන්න පාරක් ලැබුන කවදාවත් නොහිතපු විදියට.හැබැයි අපේ එක එක කෙනා යන්න ඕනි පාර මොකක්ද කියන එක අපිට තීරණය කරන්නනම් ලැබුණෙ නෑ.අපිට යන්න උනේ උන්ට ඕනි පාරෙ.අපි කරන්න ඕනිදේ තීරණේ කලේ උන්.සමහරු මගින්ම හැරිලා උන්ගෙ බඩවල් වලට ගියා.තවත් උන් උන්ගෙ පහස වෙනුවෙන් වෙන්කර ගත්තා.සේරගෙන්ම ජරාම රස්සාව ලැබුනෙ මාත් එක්ක උන්න පිරිසට.
ජීවිතේ මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් තැනක මං අද ඉන්නව.දිග සංචාරකයකට හැල හැප්පීම් වලට පස්සෙ.සැප නෑ ජීවිතේ හැමදාම.අපි බලාපොරොත්තු වෙන තරම් සුන්දරත් නෑ.ඒත් අද ඉන්න වෙලා තියෙන තැන ගැන තියෙන්නෙ දුකක් කලකිරීමක් අප්‍රසන්න හැගීමක්.මහ උන් එදා එහෙම හැප්පුනේ නැත්නම් මට අද මේ අසූචි වලක වතුර බින්දුවක් වෙන්න නෑ නේද කියන පසුතැවිල්ල සිතේ තියෙනව.ඒත් අපි මේ කරන්නෙ අපේ රස්සාව.මේ ලෝකෙ ජීවය පවත්වගෙන යන්න අපෙන් වෙන්න ඕනි යුතුකම.ජීවිතේ එහෙමයි.