Sunday, June 28, 2026

පුස්තකාල සහ තං කේක්

 පුස්තකාල සහ තං කේක් -




කියවීම පුදුම පුරුද්දක් වෙලා තිබ්බ ළමාකාලයක් පහුකරගෙන ඇවිත් කියවන්න වෙලාවක් නෑනෙ කියා හිත හදාගන්න උත්සහකරන කාලයක් මේක. අද වගේ නෙවෙයි හැම එකටම ශොපින් කවර දුන්නෙ නෑ කඩවලින්.පාන් රාත්තලම වුනත් දෙන්නෙ අතින් අල්ලන් යන හරිය වහගෙන යන්න පුලුවන් වෙන තරමෙ පත්තර කොලේක. කරවල, පරිප්පු , සීනි එකී මෙකී නොකී හැම උලව්වක්ම ඔතල දුන්නෙ පත්තරේ. ඒ වයසෙදි මං ඔය හැම එකම ඔතල ගේන පත්තර කෑලි කියවනව. ඔය අතර එක කඩයක් තිබ්බා ඒකෙ තියෙන්නෙ අරාබි පත්තර. ඒවාගෙ කියවන්න දේවල් නැත්වුනාට බලන්න තිබ්බ විවිධාකාර වාහන. කරවල ඔතන පත්තරේ කියල අදාල නෑ වාහනේ කපල අලවනව බිත්තියෙ.


අපේ මාමා එහෙම නැත්නම් අම්මගෙ අයියගෙ තිබ්බ හොද පොත් එකතුවක්. හැබැයි කවදාවත් ගෙනියන්න දෙන්නෙ නෑ ගෙදර ඉදන් කියවල තියල යන්න ඕනි. නොකා නොබී අතට ගත්ත පොත කියවල ඉවර කරන පුරුද්ද එන්නත් ඒක හේතුවක් වෙන්න ඕනි. ඒක ඇත්තටම පුද්ගලික පුස්තකාලයක්. පුංචි කතන්දර පොතේ ඉදන් වෛද්ය විද්යාව දක්වා පොත් තිබුනා.ඔය පොත් රාක්කෙ පොත් පෙරලෙනවට හේත්තු කරල තිබ්බෙ මිනී ඔළුවක්.ආයෙ ඉතිං හොරෙන් පොත් ගන්න කිසි කෙනෙක් රිංගන්නෙ නෑ කාමරේට. ඕනි පොත කියල එලියට ගෙන්න ගන්නව. නැත්නම් එයා එක්කම ගිහින් තෝරගන්නව. දවසක මගෙ ගෙදරකත් මේ වගේ පුස්තකාලයක් හදාගන්න ඕනෑය කියන හැඟීම ආවෙ එතනින්.

ප්රාථමික අංශයේ ඉගනීම ලබපු පාසැලේනම් පුස්තකාලයක් තිබුණාදෝයි හරියට නිච්චියක් නෑ. එක කාමරයක පොත් පුරවපු කබඩ් කීපයක් තිබ්බ බවනම් මතකයක් තියෙනව.
කොල්ලා ශිෂ්යත්වය එහෙම යාන්තම් වැට උඩින් පාස් වෙලා ගියානෙ නගරෙ පාසැලකට. ඒකෙ පුස්තකාල දෙකක් තිබුණා. එකක් බැහැර දෙන පුස්තකාලය. අනික් එකට මොකක්ද කිව්ව නම කියල මතකයක් නෑ. ගොඩනැගිල්ලෙ මැදට වෙන්න විශාල මේස දාල තිබ්බ ඉදගෙන කියවන්න. ඒවා වටේට විවිධාකාර පොත් පිරිලා හිටියා දොර දෙපැත්තෙ අහිංසක මිස් කෙනෙක් සහ සැර ජාතියෙ මිස් කෙනෙක් උන්නා අන්න ඒක තමා බැහැර දෙන පුස්තකාලය. මුලින්ම ඕකට ගියාම ඉතිං දිව්යලෝකය මිහිපිටට ගෙනාවේ කවුදැයි වගේ සිතිවිල්ලක් ආවට අපෙ කටවල් ටිකක් සද්ද වැඩි වුනා කියල බනිනව ඇහුණාම තේරුණා මිහිපිට අපායකුත් එතන නොතිබ්බාම නෙවෙයි කියල.

සතියකට වතාවක් සිංහල පරිච්ඡේදයෙන් කොටසක් වෙන් කරල තිබ්බෙ පුස්තකාලයට ගිහින් අපිට රිසිසේ කැමති පොතක් තෝරගෙන එන්න. රිසිසේ කිව්වට සමහර කබඩ් වලින් පොත් ගන්න අර මිස්ලට වඳින්න ඕනි. කාලයක් යනකොට දොරෙන් ඇතුලට යද්දි කියන්නෙ ඔය නවකතා පරිවර්තන පොත් ගන්න එපා. ඉගෙන ගන්න දෙයක් තියෙන පොතක් ගන්න. එවෙලෙට තමා හිතෙන්නෙ කෝ යකෝ මානව නිදහස කියල. විෂයපථයට අදාල පොත් කෙසේ වෙතත් නවකතා පරිවර්තන ටිකනම් සේරම කියවන්න ඇති. ඕකට මට සෙට් උනා පන්තිය උන්න සිරාම පොරක්. ඌට කිව්වෙත් " සිරා " කියලමයි. මටත් වැඩා කියවීම ප්රගුණ කරපු මනුස්සයා. ගුරුවරයෙක් පන්තියෙ උගන්වනකොට පවා මේ මනුස්සය පොත් කියවනව. ඔහොම කියවල සතියට ගන්න පොත දවස් 3න් කියවල අපි දෙන්න පොත් දෙක මාරු කරගන්නව.

පුස්තකාලයට යන්න වෙලාවක් කලාවක් ඕනි උනේ නෑ මුලිනම්. පහුවෙනකොට ඇයි දැන් ආවෙ මොනවද තියෙන්නෙ ගුරුවරු නැද්ද නානප්රකාර ප්රශ්ණ. අපි අපිම කරපු හොර මාට්ටුවෙලා වෙන්නත් ඇති. මොකද දෙමල උගන්වපු ගුරුවරී මගෙ මූණ දැකලම නෑ. හැමදාම එයාගෙ කාලය මම ඉන්නෙ පුස්තකාලෙ. පීරියඩ් කට් කරගන්න විතරක් නෙවෙයි ගෑනු ළමයිට බැල්ම දාන්නත් ඔය පුස්තකාලය හොද තැනක්. ඔය කාලෙ මම බැල්ම දාපු ගෑනු දැරිවි උන්නෙ මට පහල පන්තියෙ. ඒ දැරිවිගෙ පන්තිය පුස්තකාලයට යනකං ඉදල මං යාලුවෙක් ඇදගෙන යනව ඔතෙනට. ගිහින් පොඩියට ඉඟිබිඟිපාල අහම්බෙන් වගේ ඇඟේ එහෙම හැප්පිලා එනව. එලියෙදි දැක්කාම වගේ මාව මඟහැරලා දුවන්න කියලයැ පුස්තකාලය ඇතුලෙදි.

බැහැර දෙන පුස්තකාලයට අමතරව තිබුණ පුස්තකාලයේ තිබුනෙ ඉතා වටිනා පොත් වෙන්න ඕනි.ඒකෙ හැම කබඩ් එකක්ම අඟුලුලා තිබ්බ නිසා පොතක් ගන්න විශේෂ අවසරයක් ඕනි වෙන්න ඇති. ඒ ගැන හරියට නොදන්නෙ කවදාවත් ඒකෙන් පොත් අරගෙන නැති නිසා. ඒ පුස්තකාලයේම පසෙක දොරකින් ඇතුල් වුනාම තියෙනව ලොකු කාමරයක්. මේස පුටු දාල පාඩම් කරන්න පුලුවන් වෙන්න හදපු. උසස්පෙල විභාගයට ඔන්න මෙන්නය මාස කීපයක්ය පාසැල් එන්න ඕනෑ නැතය කියල තියෙනකොට හද පත්ලෙන් නැඟී ආ ප්රේමණීය හැඟුමන් නිසා පාසැල් ගියාම දවස ගතකලේ ඔතන. ගුරුවරුන්ගෙ ඇස ගැටෙන්නෙ නැතුව හොරාට හොරාට කෝල වදන් මුමුණ ගන්න පුලුවන් වෙන නිසා ඔතෙනට ගියා මිසක පාඩම් කරන්න ගිය ගමනක්නම් නෙවෙයි. ඒකත් අර පෙර කිව්ව ගෑනු දරුවා එක්කම තමයි ඕං.

පාසැල් කාලයෙන් පස්සෙ පාඩම් කරන්න ඕනෑය කියල ගියෙ නගරයේ මහජන පුස්තකාලයට. ඒක ඇත්තටම පාඩම් කරන්න හොදම තැනක්. ඕකෙ සීට් එකක් අල්ලගන්නව කියන්නෙ ගෑනියෙක්ගෙන් බැනුම් නාහන පිරිමියෙක් හොයාගන්නව වගේ අමාරු වැඩක්. එහෙම දවසට පාඩම් කිරීම බස් නැවතුම්පලේ බාට ගෙවෙනකම් ඉහල පහල ඇවිදිමින්.

පාසැල් පුස්තකාලෙ තිබුණ පොත් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නම ඕනි. ජීවිතේ පලමු වතාවට කොමික් පොත් කියෙව්වෙ ( කියෙව්වම නෙවෙයි රූප බැලුවා) ඔතනදි. ටිං ටිං ගේ කතාමාලාවම ඔතන තිබුනා. ඒ වයසෙ අපිට ඒක නිකන් හතරමහ නිධානය වගේ තමයි. හද්ද ඩොටේ ගමකින් ඇවිත් කොමික් පොතක් බලනව කියන්නෙම ඉතිං. කේජී කරුණාතිලක මහත්තයගෙ බොහෝ පරිවර්තන කෘති කියවන්නත් අවස්තාව උදාවුනෙත් ඔතනදි.

ඔය අතර පොත් කීපයක් තිබුනා කවදාවත් අපි පුස්තකාලයෙන් එලියට අරං නොගිය සහ ගෙනිටන්න බයවුණ. අරං නොගියේ පුස්තකාලාධිපතිනිය ඒ පොත් කියවලා තිබුණානම් අපිට ආයෙ එයාගෙ මූණ බලන්න එන්නවත් තහනම් වෙනබව දන්න නිසා. අන්න ඒ පොත් අපි ඉඩ ලැබෙන හැම වෙලාවෙම ගිහින් කියවනව. කියවල ඉවර කරන්න බැරිවෙන නිසා වෙනම පොත් රාක්කයක හංගනවා වෙන කෙනෙක් ගනීය සහ පහුවදාට කියවන්න ලැබෙන්නෙ නැති වේවිය කියන බිය නිසා. අට නවය වසරේ හිරිමල් කාලෙ ගෙවන අපිට අමුම අමු ශෘංගාරාත්මක පොතක් කියවන්න ලැබෙනව කියන්නෙ ඉතිරිය ගැන මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

" ඇය ඇදුම් ගලවා පියයුරු වල පියරු ගල්වන අයුරු බලා සිටියෙමි " වගේ අදහසක් තියෙන කොටසක් තිබුණා කියල මතකයි. "විහඟ ගීතය " ඕක තමයි පොත.ඔය මතක් කලේ ඒකෙ තිබ්බ ඉතා සරල කොටසක් පමණයි. පහුවෙනකොට පොත පුස්තකාලයෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. සමහරවිට අරන් ගිය කෙනෙක් ගෙනත් දෙන්න නැතිව ඇති. නැත්නම් ගුරුවරියක් ඒක ඉවත් කරන්න ඇති.

හය වසරේ සිට උසස්පෙල දක්වා ලමුන් දෙදහසකට වඩා ඉගෙනුම ලබන මිශ්ර පාසලක පුස්තකාලයකට පවා නිර්දේශ කරන්න පුලුවන් මට්ටමේ ශෘංගාරායක් තිබුන ඔය පොත ඇසුරු කරපු මට පෙර ලිපියක් ගැන කෙනෙක් කියනව මෙහෙම කතාවක්.

" තං උරපුවා ලියන්න උඹට ලැජ්ජා නැද්ද "

ලංකාවේ ඉතා ශ්රේෂ්ඨ ගත්කතුවරුන් ශෘංගාරාත්මක දේවල් ලියනකොට අවුලක් නැති "මම ඇගේ පියයුරු සිපගතිමි " කිව්වාම පරල වෙනව. ඔය වෙලාවට තමා ඉත්තුල් බහින්න දෙන්න හිතෙන්නෙ.

ඔය කතාව කීවා කෙනා පහුවදා එයාගෙ ස්ටෝරි අප්ඩේට් කරල තිබ්බ හරිම ලස්සන කේක් දෙකක්. මෆින්ද කප් කේක්ද මොනාද කියන්නෙ අන්න ඒවා. සුදුපාටන් අයිසින් තවරල ඒ මැදින් ඉලිප්පිලා සිටින විදියට දුඹුරු පාට ස්මාර්ටීස් එකක් තියල. ඔය දෙක දැක්ක වෙලේ ඉදං මගෙ අත නලියනව. හිත මිරිකපං කියනව.
සමහරවිට එයා කිව්ව වගේ මගෙ නරක ගතිගුණ නිසා වෙන්න ඇති.
ගොහිං එංඤං.
එයැයි හදපු කේක්

©මුදියන්සෙ මලයා

Saturday, June 20, 2026

ආදරපතන



කන්න ඕනි .. බොන්න ඕනි.. ඇවිදින්න ඕනි..
ඔන්න ඕක තමා ජීවිතේ කියල කවුරු හරි කිව්වොත් ඌ ගැන අනුකම්පා කරහල්ලා..ඔය ටික සේරම ගෑනියෙක් ගන්නකන් විතරයි.
එහෙම කිව්වට මං ගෑනු අරං නෑ තමා.මේ කියන්නෙ ජීවිතේ සුන්දරව සැහැල්ලුවෙන් ගෙවන කාලය හැමදාම එන්නෙ නෑ.ඒවා නිකන් කුනාටු වගේ එනවා යනවා..දැනට දෑවුරුද්දකට විතර කලියෙන් මටත් තිබ්බ අන්න ඒ වගේ පාවෙන ජීවිතයක්.පාවෙනව කිව්වෙ මල් මදහාසෙන් නෙවෙයි.සැහැල්ලුවෙන්..

ඔය කියන කාලය ලංකාවෙ සුප්‍රසිද්ධ වැඩබිමකට මගෙ සේවය සපයමින් සිටි කාලයක්.මගෙ සමහර කතා වල ඒ ගැන සදහන් වෙලා ඇති.ඔහොම දැහැමින් සෙමින් වීඩියෝ ගේම් එකක් ගහගෙන දවසට ෆිල්ම් 2ක් විතර බලාගෙන බ්ලොග් එකක් කියවන් ඉන්නකොට මගෙ මිතුරෙක් ජීවනමාර්ගයක් සොයාගෙන එනවා කොලඹට.මේ යාලුවාගෙ ලංකාවෙ ප්‍රසිද්ධ වැවිලි සමාගමක් විකුනුම් නිලධාරියෙක් විදියට කොලඹ ජීවිතේ ඇරඹීමම හරියට ගොරකා යකාගෙ තනියට අනික් යකා ආව වගේම තමයි.

වැඩබිම් සේවය නිසා මම ගෙදර දැක්කෙ මාසෙකට වතාවක් විතර වගේ.ඔෆීස් එකට එතනින් රාත්‍රී සංචාරයට නවාතැනට ආයෙම උදේට ඔෆීස් එකට ඕක තමා ජීවන චක්‍රය.ඕක පට්ට බෝරින් වෙනකොට මිතුරාගෙ කොලඹාගමනය සක්‍රයා පොලවට බැස්ස වගේ.හේතුව උනේ රස්සාව නිසා මිත්‍රයට ලංකාව වටේ සංචාරය කරන්න වෙන එක.ඒ ගමන් සියල්ලටම මට සහභාගීත්වයෙන් සහයෝගය දැක්වීමට හැකිවීම.

එක දවසක්

"මචං දවස් 3කට රෙදි ලෑස්ති කරගනින්"
"කොහෙ යන්නද හු.##"
"යන මගුල් වැඩක් නෑනෙ.ලෑස්තිවෙයන් මං එනව උඹව ගන්න තව පැයකින්"

ඔන්න ඔහොමයි උගෙයි මගෙයි ගමන් යෙදුනෙ.ඔය කියන දවස තද වැහි කලුවරක් එක්ක තිබ්බ අදුරු දවසක්.අකුනු ගසයි හෙන හඬ පතුරයි මේ එන්නේ නත්තල් සීයයි කියල මිත්‍රයා ඇවිත් මාව එක්කගෙන ගියා හෙට්ටියාවත්ත පැත්තෙ තිබ්බ මහල් නිවාසෙකට.වැහි බිරමත් එක්ක ඔය පැත්තෙ තිබුනෙ මහම මහ මූසල මුස්පේන්තු ගතියක්.
ඒ නිවාසවාසියා උනේ තරමක් මිටි කෙට්ටු ලොකු ඇස් තියෙන දෙමල මැදි වියේ මනුස්සයෙක්.මිත්‍රයා මාව හදුන්වල දුන්නෙ මම ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් විදියට.( මාකටින් කරන උන් කියන්නෙම පට්ට පල්බොරුනෙ).ටික වෙලාවක අල්ලාප සල්ලාපයේ යෙදිලා එහෙනම් අපි පිටත්වෙමු කියල ඇවිත් අර මනුස්සයගෙ දඩ සයිස් ජීප් එකේ නැගල ගමන පිටත් උනා..

ගමන අතරමගදි තමයි දැනගත්තෙ අපි මේ යන්නෙ ආගරපතනට.තේ වතුයායකට.ජීවිතේ මගෙ එක තිබ්බ ආසාවක්.තේවතුයායක කන්දක් උඩ තියෙන බංගලාවක දවසක් දෙකක් ඉන්න එක. හීන හැබෑ වෙනවනම් මුං මාව කොලපතේ තියන් ගියත් එකයි කියල මං දැම්ම හොද නින්දක්.ඇහැරුනේ හැටන් වලදි.එතකොට තමයි දන්නෙ ආගර පතන තියෙනෙ හැටන් වලින් තව 23km දුරින් කියල.

කවුද මේ සීතලක් විදින්නය කියල ආවෙ. ශෝටයි බාටෙයි ටී ශර්ට් එකෙනුයි හැටන් ටවුන් එක මැද වැස්සක ඉන්නකොට තියෙන ආතල් එක විදලම බලන්න ඕනි..
වෙව්ලල වෙව්ලලා බැරිම තැන ජර්සියක් ගත්තෙ ටවුන් එකේ කඩේකින්.ජර්සි හරි ලාභයි.මිනිස්සුත් හරිම සුහදයි.අපිට දෙමල බෑ ඒ මිනිස්සුන්ට හරියට සිංහල බෑ.
ඔය අතරෙ අපේ වතුහිමියා foodcity එකට එන්න කියල ඇමතුමක් දුන්නා.අන්න ෆුඩ් සිටි.මෙහෙ මොනාද තියෙන්නෙ.මෙව්ව සිල්ලර කඩ වගේ ඒක එක්ක බලනකොට.
Foodcity එකෙන් හතරෙන් එකක්ම තියෙන්නෙ බාර් එක.

"මල්ලි බාර් එකෙන් ගල් බෝතල් දෙකකුයි ඔයාල බොන ජාතියෙන් ඇති ප්‍රමානයක් ගන්න"

මේ වගේ සීතලක මේ වගේ අදහස් දෙන්නෙ මිනිස්සු වෙන්න බෑ දෙවියො වෙන්නම ඕනි කියල smiroff බෝතල් දෙකක්ම අරගෙන ආව බංගලාවට. බංගලාව බලාගන්න කෙනයි උයන්න එයාගෙ බිරිද උදව්වට එයාලගෙ දුව .තව අර ගල් ශෝටක් ගහන් ට්‍රේල් බයික් ඒකේ යන්න අන්න එහෙම පොරකුත් හිටියා.

ඇවිත් මහන්සියට සීතලට තේ එකක් එහෙම ගහල පොඩ්ඩක් අහල පහල ඇවිදින්න කියල එලියට බැස්සා.පහලින් පේනව අදුරු දුර්වර්ණ උන ලැයිම් කාමර පේලියක්.සමහර ඒවාගෙ වහල ආවරණය කරල තියෙන්නෙ ඉටිකොල වලින්.ඒ ආසන්නයෙන්ම තියෙන පුංචි කෝවිලක්.ඒක මැතක ඉදිකරපු එකක් කියල කිව්වෙ අර ගල් ශෝට් මෑන්.
බංගලාව පටිපස්සෙන් කන්ද උඩ හරියට යනකොට එක තැනක බංගලාවෙ පාවිච්චියට හදපු එලවලු කොරටුවක් තියෙනව.ඒ ලගම පහුරු ගගා ඉන්නව ලස්සන කුකුළු රංචුවක්.10ක් වගේ හිටියා. කන්දෙ මුදුනෙ තියෙන උලපතකින් ගලාගෙන එන පොඩි ජලපාරකට බට දාල තිබ්බෙ බංගලාවෙ ජල සැපයුම විදියට.


වටාපිටාවම යාන්තම් මීදුමකින් වැහිලා ගිහින්.ඈතින් වටේටම පේනව කදු යායවල් මීදුම් සේලයෙන් වැසීගෙන යනව.කදුවල නම් දැන් අමතක උනාට ගල් ශෝටා ඔය සේරම ගැන කියල දුන්න කියල මතකයි.ඔය අතරින් උසටම පෙනුනෙ සමනල කන්ද.
අපි කදු බලනකොට කූඩැල්ලො නිකන් උන්නද නෑ.උනුත් බැරි බැරිගාතෙ මගෙ කලිසම අස්සටම රිංගන්න ට්‍රයි කලා.සීතල මැද්දෙන් උනු ලේ පාර ගලනකොට තමයි අන්න ඒවා වටහෙන්නෙ.හරියට නින්දෙන් මුත්‍රා යනව වගේ තමයි.


ඒ දර්ශන වල ලස්සන මෙතෙකැයි කියල නිම කරන්න බැරි තරම්.ඒ වගේම තමයි වතුසේවකයන් අහිංසක අසරණ මිනිස්සු.කන්ද උඩ ඉද්දි ටිකක් තද වැස්සක් පටන් ගත්තා පහල ලැයිමෙ ඉදන් එක සේවකයෙක් කන්ද මුදුනට කුඩ 3ක් අරගෙන දුවගෙන ආවෙ ඔලුවට ඉටිකොලයක් දාගෙන.ඒ කාගෙවත් ඉල්ලීමක් නියෝගයක් නැතුවම.ඒ මිනිස්සු තමන්ගෙ වතු හිමියට දක්වන්නෙ පුදුමාකාර බයක් යටහත් පහත් බවක්.ඒ මිනිස්සුන්ගෙ ජීවිත ඒතරමටම අසරණයි.ගේ අතුලෙ උන්නත් තෙමෙන එලියට බැස්සත් තෙමන තෙතබරිත ජීවිත. එතකොට අලුතෙන් හැදුව කෝවිල..එහෙම හිතුන නේද..ඒක හදල තියෙන්නෙ සේවකයන් ටිකක් ඈතින් තියෙන කෝවිලට ගියාම වතුවැඩ සදහා යෙදවෙන කාලය අවම වීමට පිලියමක් විදියට.

පරිසර සුන්දරත්වය වගේම මනූශීයත්වයේ අසරණ බව නරඹගෙන අපි පල්ලම් බැස්සෙ බාගෙට තෙමිලා උන්න අපිට හොදම බෙහෙත අරං ආව නේද කියල මතක් වුන නිසා.සීතල වතුරෙන්ම නා කියාගෙන කන්දෙ බැවුම දෙසට වෙන්න හදල තිබ්බ බංගලාවෙ කොටසෙ තිබුන සීතල සොෆාවෙ වාඩිවුනේ සීතල ඇග රත් කරගන්න අදහසින්.කළුගල් බංගලාව T අකුරක හැඩයකට නිමවා තිබුනෙ T අකුරේ පාදය කොටස කදු බෑවුම දිශාවට යොමුවෙන විදිහට.ඒ කොටස පුරාවටම ඈත කදුයාය දැකගන්න ලැබෙන විදියෙ විශාල ජනේල වලින් සමන්විත වූවක්.පොලවට නොරිදෙන්න වගේ වැටුන වැහි බින්දු වලින් හරි හරියට නාගන්න කානේශන්, ලිලීමල් පොරකෑවෙ ඒ ජනේල අසල ඉදන්මයි.

සුන්දර දේවල් වඩා සුන්දරව දකින්න ටිකක් මත්වෙන්න ඕනි.ඒක මගෙ තියරියක්.ඔය මත්වීම පටන් ගන්න වුනේම කූඩැල්ලෙක් මෙට්ටෙ උඩ තියාගන්න ට්‍රයි කරන ගමන්.
වතුහිමියාගෙ එකම පානය උනේ ගල්.මනුස්සයෙගෙ වියදමෙන් බොන නිසා වොඩ්කා එකෙන් ටිකක් පොවාගන්න මට ඕනිකම තිබ්බ.ඒ නිසා බලවත් පෙරෙත්ත පිට එක වීදුරුවක් රසබලන්න එකගකරගත්තා.

" අපරාදෙ මල්ලි මේවා රසයි තමා.මට රට යාලුවො ගෙනත් දෙන සේරම මං ගෙදර වැඩ කරන අයට දුන්නනෙ මෙච්චරකල් .අපරාදෙ යප්පා"

අම්මපල්ලා උගේ තේ වත්තෙ උගේ බංගලාවෙ උගේ සෝෆා එකේ ඉදන් උගෙන් ගත්ත බෝතලෙන් මට උගෙම ඔලුවට ගහන්න හිතුනා.සත්තයි.

තබ්බපු එලවලු , බිත්තර ,ඔම්ලට් ,කුකුල් මස් ,අමු මිරිස් එක්ක බෝතල් දෙකම හිස්වීගන යනකොට ගල් ශෝටා කටහඬ අවදිකරන්න ගත්තෙ කෑම ගැන කතාවකින්මයි.

"අපේ මහත්තයා කලින් කිව්වෙ නෑනෙ අද එනව කියල.නැත්නම් මල්ලිලට නියම කෑමක් සෙට් කරන්න තිබ්බා"

" ඒ මොනාද අයියෙ.මේ පැත්තෙ විශේෂ කෑමක්ද "

" මෙහෙ නෙවෙයි මල්ලි කොහෙත් විශේෂයි. එහා වත්තෙ උගුලකට කොටියක් අහුවෙලා මස් කරල.වටේම වතුවලට බෙදුවා.අලුත් පිට රස නිසා අපේ කොටහ ඊයෙම අපි කැවනෙ.මල්ලිලත් එනව කියල දන්නවනම් අරං තියන්න තිබ්බ.අපෙ මහත්තය ඕවා නොකෑවට මල්ලිල කනවනෙ නේද ඕනි මසක්.හරි ගුණයි මල්ලි.හරිම සොෆ්ට් මස් ටික "

එලියෙ වැස්ස, ගේ ඇතුලෙත් පට්ට සීතල ,ඒ මදිවට මත් වේගන එන වෙලාව.දුවන්නද වමනෙ කරන්නද මුකුත් හිතාගන්න බැරි අවස්ථාව.කමක් නෑ කතාවක් විතරනෙ කියල අමාරුවෙන් විදගත්තා. අපේ වතුහිමියා කතාවට ලුණු මිරිස් එකතු කරන්න සැරසෙන බව වීදුරුවෙ ඉතිරිය උගුරට හලාගත්ත විදියෙන් වටහාගන්න පුලුවන් වුනා.

"මල්ලි ඔය කොටි මස් වගේද මේ කුකුල් මස්.කෝමද රසයි නේද "

" ඔව් අයියෙ අපි කොලඹ කන ඒවා වගේ නෙවෙයි මාරම රසයි මේක.උයනකෙනා හොදට හදල තියෙනව "

" හැටන් foodcity එකෙන් මස් ගන්න අමතක උනානෙ මල්ලි.මෙහෙ ආයෙ අහලක නෑ මස් ගන්න තැනක්.හැටන්ම යන්න ඕනි "

" එතකොට මේවා ???"

"ආ මේ මෙහෙ හදන එකෙක්.මට හැටන් වලින් මස් ගන්න අමතක වුනාම කන්න කියල හදන්න පටන් ගත්තෙ.දැන් ඉන්නව 10ක් විතර. වත්තෙ පිටියෙ ඇවිදල තියෙන දේ කාල බීලා ඉන්න නිසා තමා මල්ලි මේවා රස."

"ඔය මල්ලිල උඩට යනකොට ලීක්ස් ගාල ගාව උන්න කලු කිකිලි මල්ලි "

කතාබහ අහවරයි.බෝතලේ ඉතුරුයි.

"මට නිදිමතයි.." එච්ව්රයි මං කිව්වෙ.

එතනින් එහාට පහුවදා ආපහු එනකන්ම බෝතල් දෙකම ඉවර වෙනකන්ම කිසිම මසක් නොකෑ බව මං සහතික කරල කියන්නම ඕනි.

ප.ලි.
ගතයුත්තක් නොමැති නමුත් මේ ගමන තුල මා ඉගෙනගත් දෑ බොහෝය.
මම ගත් පින්තූර අස්ථානගත නිසා සොයාගත හැකි කිහිපය පමණක් මෙසේ අලවා තබමි.

©මුදියන්සෙ මලයා

Saturday, October 14, 2023

ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා


"ගහක මල් පිපිලා "
රේඩියෝ එකේ ඒ සින්දුව ගිහින් ඉවර උනත් මගෙ ඔලුව ඇතුලෙ ඇහෙන්නම ඒක.......
ඇයි ද මංදා හැමදාම ඕක ඇහුනාම මට මතක් වෙන්නෙ කහපාටට මල් පොකුරු පිරුණු ඇහැල ගහක්.පොද වැස්සක්.අර මල් පොකුරු තෙමාගෙන පහලට බේරෙන වතුර බිංදු.....

"පුතේ ඔයාව තෙමෙනව" ඔය වීදුරුව වහගන්න.ඒ එහා පැත්තෙ ඉදන් ඉන්න ආච්චිගෙ කටහඩ.ඒ කටහඩ එක්ක අතට දැනුන සීතල තට්ටු කිරීම නිසයි මං කල්පනා ලෝකෙන් මිදුණෙ..
ජීවිතේ මං අකමැතිම දේ කල්පනාව බිදින එක.

වැහි පොද ... සීතල සුළග... ගහක මල් පිපිලා සින්දුව...
ආච්චි....ආච්චි..
ආච්චි ආයෙම මාව තල්ලු කලේ තවත් මනෝලෝකයකට....
සරාගෙ ආච්චිත් මේ වගේ..හරිම ප්‍රියමනාපයි..

සරාගෙ ඇගිල්ලට මං මුදුව දානකොට ආච්චි කිව්ව වචන..

"පුතේ මේකිට උන්නෙ මං විතරයි.අදින් පස්සෙ උඹ විතරයි."

හැමදාම මොනදේ කලත් ඔය වචන ඔලුවට අකුණක් වගේ ඇවිත් යනව.දැන් මේක හරිම වදයක්.....
දැන් නෙවෙයි මට එදා ඉදන්ම වදයක්.... මට ඒ ටික දැනුනෙම ඔලුව උඩින් ටොන් එකක බරක් අතෑරියා වගේ...
දාපු මුද්ද ගලවල ගන්න ඒ වෙලේම නොහිතුනා නොවුනත් ඒක කරගන්න බැරි උනේ ඒ අහිංසක ඇස් ගැන තිබ්බ අනුකම්පාව නිසා... එක්කො සේරම නෑදෑයො ඉස්සරහ මට අම්මලට ලැජ්ජා කරන්න තරම් හයියක් නොතිබ්බ නිසා..

එදා ඉදන් දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඇවිත්.. සරා මගෙ කසාද ගෑනී.. නෑ ... ඇත්තටම ඒ ගෙදර ගෑනි...
සියුමැලි කටහඩ, සියුමැලි වචන , වෙලාවකට නම් අදහසුත් සියුමැලී තමයි...වැඩත් සියුමැලී...
වයස් පරතරේ වැඩි උනාම ඔහොම දැනෙනව කියල හිත එතන තියාගන්න උපදෙස් දුන්න උන් ඕනි තරම්...
මගෙ හිත කියන්නෙ මගෙ දෙයක් ඒක කොහොමද කවුරුවත් කියන පාරවල යන්නෙ...

"උඹේ හිත හැමදාම යන්නෙ ආයාලෙමයි සහෝදරයා..."
බෝතලයක අඩිය දකින හැම වෙලාවෙම මගෙ හිත මටම කියාගන්න පුරුදු වෙලා උන්න වචන...

ආච්චි...සරා.. වැස්ස... වැහි තුවානමට තෙත් වෙලා සීතල වුණ පරණ මතක...
වෙලාව 5.30යි උදේ ගෙදරින් එලියට ඇවිත් ඕෆ් කරගත්ත ෆෝන් එක... තාමත ඕෆ්.... මං ඉස්සර මෙහෙම ඉදල නෑ....
ෆෝන් එක ඕෆ් කරන් තනියම තනිවෙන්න හදල නෑ..
එතකොට මේ ඉන්නෙ මම නෙවෙයිද..??..
ඔෆීස් එකේ හරියට වැඩක් කලාද...ඒ ගැන හරි මතකයක් නෑ...
එතකොට මං මේ ඉන්න බස් එක...කොට්ටාව .....
කොට්ටාවට මං යන්නෙ මොකටද... එහෙ ගියෙ මීට අවුරුදු 2,3කට කලින්... මං මේ යන්නෙ අතීතයට යන ගමනක්ද??...
හවස ඕෆ් උනාට පස්සෙ මං රශ්මිව බෝඩිමට දාන්න ගිය බස් එක...
මගෙ කසාදෙන් පස්සෙ රශ්මි ඔෆීස් එකෙන් අස්වෙලා ගියා...රටත් දාල ගියා..
මං යන්නෙ ඒ මතක පස්සෙද....

සරා මාව රවට්ටන්න බොරු කිව්වද ?.ඇත්තටම මං තාත්ත කෙනෙක් වෙන්න යනවද... සරා කවදාවත් බොරු කියන ගෑනියෙක් නෙවෙයි.... ඒ මූනෙ තිබ්බ හිනාවෙ හැටියට බොරුවක් වෙන්නම බෑ...
ඒ වචන වලට මං මෙච්චර පිස්සෙක් වගේ හැසිරෙන්න ඕනිද??
තාත්ත කෙනෙක් වෙන්න යනවනම් ඇයි මට මෙහම පාලුවක් තනිකමක් දැන්නෙ...??

ෆෝන් එක ඔන් කලේ මං නොවන මමමයි...හිතලා කලා නෙවෙයි ඔන් උනා..
බීප්..බීප්... මැසේජ් 2ක්.මිස්කෝල් ඇලට් 1ක්... දවසම ඕෆ් කරන් ඉදලත් මැසේජ් 2ද..
මිස්කෝල් එක සරාගෙන්..දවල්ට කෑවද අහන්න ගත්ත සුපුරුදු කෝල් එක...ඒක එයාගෙ දින චරියාවෙ කොටසක්..එයා කොහෙ උන්නත් ඒ කෝල් එක වෙලාවට එනවමයි.. ඒ ගෑනිට පිස්සු..

මැසේජ් එක...ඕපන් කරනවද...
මං මේ මැසේජ් වලට බයේ ෆෝන් එක ඕෆ් කරගෙන උන්නා නෙවෙයිද...
මට අනවශ්‍යය බැදීම ඕනි නෑ කියල හිත තද කරගන්න උත්සහ කලාද ... ඔව් ... එහෙම තමයි...

ඒත් මං ... මාව ගිලගන්න හදන ඒ ඇස්... ඒ පහස...
ඒ ඇස් වල තියෙන ජවය සරාගෙ අහිංසක ඇස් වල නෑ..සරාගෙ ඇස්වල හැමදාම තිබ්බෙ බලාපොරොත්තු .. මාව එයා ලග විතරක් නතර කරගන්න අධිෂ්ඨානයක්...

ඒ ඇස් කොයිතරම් මගෙ ඇස් වලට බැදිලද... ඒ ජවය... මාව කුල්මත් කරන්න පුලුවන් වුන ඒ උණුසුම ....

"මිනිහො කොහෙද ඉන්නෙ,ඊයෙ රෑ ඉදන් තාම පැලෙනවද?"

ඒ ඇස් ලොකු වෙලා... මැසේජ් එකේ අකුරු අස්සෙන් එබීගෙන ඉන්නව... රිප්ලයි නොකරම ෆෝන් එක සාක්කුවෙ ඔබාගත්ත මම ආයෙම කල්පනා ලෝකෙ....

ඉස්සර මම මෙහෙම නෑ...
රශ්මි කියන්නෙම... ඔයාව ලබන්න මං පිං කරල තියෙන්න ඕනි කියල...බැන්ද දවසට ඔයා මාව බබෙක් වගේ බලාගනී...
ඇත්තටම මං ඒකාලෙ රශ්මිට මගෙ ඇතුලෙ ඉන්න සතාව නොපෙන්නා උන්නද ?? එහෙම නැත්නම මං සතෙක් උනේ මේ අකමැති වෙන්න බැරිකමට උන කසාදෙන්ද ??...

          ඩන්හිල් එකක.. සීතලට දැනෙන දුම් ගුලියකට උගුර හිර කලා වගේ දැන්නෙ...
රශ්මිගෙ මතකයන්... හැමවෙලේම පපුව හිර කරවනව...
සිගරට් දුම පිරුණු කාමරේ... දුමට ඇස්වල කදුලු පුරවගෙන තුරුල් වෙලා ඉන්න රශ්මි...
පත්තු කරපු සිගරට් එක පිච්චිලා ඉවර වෙනකන් තොල් සිපගත්ත රශ්මි....

ආයෙමත් මනෝලෝකයකට බාදාව.... සරා....රශ්මිව මගෙන් ඈත් කරවපු බාධකය..

"මහත්තයා...ඔයා එනගමන් නේද ?..රෑට කැමට මොනවද හදන්නෙ.."
"මම එන්න රෑ වෙනව කන දෙයක් කාල නිදාගන්නව වදයක් නොවී"

මං කිව්ව නෙවෙයි කියවුණා...සරාට කියන්න වචනයක්වත් ඉතුරු නොකර මං කෝල් කට් කලා..

"මම එනව බබා...රෑට කෑම අරං එන්නම් " 

අර ඇස් වලට රිප්ලයි කලා..
සීතල වැහිපොද කොච්චර වැටුනත් අර ඇහල මල් ඉන්නෙ පාලුවෙන්...
ජීවිතේට පාලුව දැනුනාම අපේ හිත් මල පෙරේත වෙනව.... අපිට දැනෙනම දේවල් වෙනුවෙන්....
©මුදියන්සෙ මලයා


Monday, September 18, 2023

 --ජර්මානු යුධ ටැංකියට එරෙහිව ජර්මානු ශෙපර්ඩ්--

 

 




ලෝකය පුරාම මිනිසුන් වෙනුවෙන් සතුන් තමන්ගේ ජීවිතයෙන් වන්දිගෙවන අවස්තා ගැන අපි හොදටම අහල දැකල තියනව. කාන්තාවෝ අනේ අපි සත්ව හිංසාවට විරුද්ධයි  කියල සුනඛයො වඩාගෙන කිස් කරන වෙලාවට මූනෙ උලාගෙන ඉන්න මේකප් තට්ටුවත් ඉතිං සතුන් හරහා පරීක්ෂණ  වලට ලක්කරපු ඒවා තමා. ඔය කතා කොහොම උනත් මේ කතාව යුධ කටයුතු සදහා සතුන් යොදා ගැනීම ගැන.

ඉතිහාසයේ සිට අද දක්වාම අලි ඇතුන්, පරවියන්, ඌරන්, දියබල්ලන්, සුනඛයන්, වවුලන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුලු සත්ව වර්ග යුධ කටයුතු  සදහා යොදාගන්නව. මේ අතරින් සෑම රටක්ම යුධ කටයුතු සදහා සුනඛ වර්ග යොදා ගැනීම වත්මන වන විට සාමාන්‍ය  කරුණක් . මේ එයින් රතු හමුදාවේ යුධ ටැංකි නාශක සුනඛයින්ගේ කතාව.

රුසියානු සිවිල් යුද්ධය රතු හමුදාව ජය ගැනීමෙන් පසුව 1924දි තමයි සෝවියට් සමාජවදී ජනරජයේ  විප්ලවීය හමුදා කවුන්සිලය රතු හමුදාවට සුනඛයන්  ඇතුලත් කරගන්න අවසර දෙන්නෙ. මෙහිදී ඔවුන් බලාපොරොත්තු  වූනේ
ප්‍රථමාධාර සැපයුම් , සන්නිවේදනය වේගවත් කරගැනීම, පුද්ගලයන් ලුහුබැඳයාම , කුඩා භාණ්ඩ  ප්‍රවාහනය වැනි කටයුතු සුනඛයන් හරහා ඉටුකරගැනීම. සුනඛයින් ඇතුලත් කරගැනීමට අවසර ලැබුනත් සුනඛ පුහුණුකරුවන් රතු හමුදාව තුල නොවීමේ ගැටලුවට මුහුණදෙන්න ඔවුනට සිදුවෙනව. සර්කස්කරුවන් හා දඩයම්කරුවන් වැනි සුනඛයන් හැසිරවීමට හැකි ඕනෑම අයෙකුට රතු හමුදාව තුල ඉඩහසර විවරවන්නේ මේ ගැටලුවට පිලියමක් විදියට.

මෙතෙක් හමුදාව තුල සුනඛයින් යොදාගෙන ඉටුකරගන්න බලාපොරොත්තු  වූ කරුණු වෙනස් මඟකට යොමුකරන්නේ දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර සටන් බිම. සෝවියට් පාබල හමුදාවන්ගේ ගමනට දැඩි තර්ජනයක් දෙන්න ජර්මානු යාන්ත්‍රික බලඇණි සමත් වීම නිසාම සෝවියට් බලධාරීන්ට අඩු වියදම් නව ආයුධවල අවශ්‍යතාව  දැනෙන්න පටන් ගත්‍තා.
මූලිකම අවශ්‍යතාව වුනේ ජර්මාණු යුධ ටැංකි විනාශ කරන්න ආයුධයක් නිශ්පාදනය කිරීම. මේ අවස්තාවෙදි තමයි " යුද ටැංකිනාශක සුනඛයින්" කරලියට ගේන්න බලධාරීන් සැලසුම් කරන්නෙ.

ජර්මානු යුධ ටැංකි වලට එරෙහිව ජර්මානු ශෙපර්ඩ් වර්ගයේ සුන්ඛයින් යොදාගන්න තීර්ණය වෙන්නෙ පුහුණු කිරීමේ පහසුව නිසා. සුනඛයින් ටැංකි වෙත දිවගොස්  පිටෙහි රදවා ඇති බෝම්බ ඇටවුම එහි ඇති නූලක් කටින් ඇදීම මඟින් බිම හෙලා නැවත පුහුණුකරු වෙත පැමිණීමත්  හෙලන බොම්බය  ටයිමරයක් හෝ දුරස්ථ  ඩෙටනේටරයක්  මඟින් පුපුරුවා හැරීමටත් මූලික සැලසුම්  සකස්වුණා.  නමුත් මාස හයක පුහුණුවකින් පසුවත් නිසියාකාරව  මෙම ක්‍රියාවලිය ඉටුකිරීමට සුනඛයින් සමත්වන්නේ නැහැ.

පුහුණුව සරල කලහොත් මෙහෙයුම සාර්ථක කරගතහැකි යැයි සිතු රුසියානුවන් නව බෝම්බ ඇටවුමක් නිර්මාණය කරන්නෙ කලු පැල්ලමක් දෝතින් ගෙන මුහුණේ තවරගනිමින්. මේ ඇටවුම නිසා සුනඛයන්ට බෝම්බය බිම හෙලා ආපසු පැමිනීම පුහුණු කිරීම අනවශ්‍යය වුණා.  සුනඛයාගේ ප්‍රමාණය අනුව නිර්මාණය කරන ලද බෑගයක කිලෝග්‍රෑම් 11ක් පමණවූ බෝම්බයක් සහ එයින් ඉහලට එසවුනු ලීවරයකින් නව ඇටවුම සමන්විතයි. සුනඛයින් සතුරු ටැංකි යටට රිංගා යාමේදී ටැංකි බදෙහි වදින ලීවරය ක්‍රියාත්මක වී බෝම්බය පුපුරායාම අපේක්ශිත මිලේච්ඡ විසදුම වුනා. මෙලෙස පුහුණුකල සුනඛයින් 30 දෙනෙක් සහ පුහුණුකරුවන් 40 දෙනෙක්ගෙන් යුත් පලමු යුධ ටැංකිනාශක සුනඛ  කන්ඩායම යුධ පෙරමුණට එක්වූයේ 1941 වසර මැදභාගයේදීයි.

යොදාගත් බොම්බ බෑගයේ සැලසුම


පලමු යුධ ටැංකිනාශන සුනඛ කණ්ඩායම යුධ පෙරමුණ වෙත ගමන් කරමින්


වසර ගණනාවක් තිස්සේ ඇවිලයන යුද්ධයක් කියන්නෙම ආර්ථික ඝාතකයෙක්. මේ නිසාම තම සම්පත් ඉතිරි කර ගැනීමට සිතූ රුසියානුවන් සුනඛයින් පුහුණු කිරීමට තුවක්කු බාවිතා කලෙ නැහැ. තුවක්කු හඬට හුරුවක් නොමැති නිසා සුනඛයන්  කලබල වී ආපසු දිවවිත් රුසියානු වාහන යටට රිංගා යාමත් , සොල්දාදුවන් පිරි යුධ අඟල් වෙත දිවයාමත් මඟින් රුසියානුවන්ටම අලාබ සිදුවන්නට පටන් ගත්තා. සජීවී පුපුරණ ද්‍රව්‍ය පැස සහිත සුනඛයන්ට මරණයේ රේඛාව පසු කිරීමට කිසිදු ඉඩක් නොලැබෙන්නේ ආපසු දිවඑන විට රුසියානු මැශින් තුවක්කු  උන්ඩ මඟින්  ඔවුන්ගේ සිරුරු පසාරු කිරීමට අණ ලැබීමත් සමඟයි.  තම හමුදාවට සිදුවන හානි වලක්වා ගැනීමට මෙලෙස මිලේච්ඡත්වය  මුදාහැරීම සුනඛ පුහුණුකරුවන් විවේචනය කිරීම නිසාම   ඔවුන්ගේ ඉදිරිකාලය බලහත්කාර කම්කරු කඳවුරුතුලට ගාල් කිරීමට රුසියානු බාලධාරීන් පසුබටවුනේ නැහැ.

මෙම පුහුණුවේ හිඩැස් වඩා හොදින් රුසියානුවන් විදවාගන්නෙ  ජර්මානු හා රුසියානු යුධටැංකි අතර වූ සටන් වලට සුනඛයින් යොදාගැනීම සමඟයි.  වෙඩි හඬට බියවීමත් සමඟ නුහුරු නුපුරුදු ජර්මානු ටැංකි වෙනුවට තමන්ට හුරුපුරුදු පෙනුමෙන් හා සුවඳින් යුත් රුසියානු ටැංකි යටටම සුනඛයන්  රිංගා යන්නේ  මිතුරු රුසියානුවන් තම ජීවිතය බේරාගනු  ඇතැයි සිතා වන්නට ඇති. නමුත් මිලේච්ඡ රුසියානුවන්ට සුනඛයින් තවත් එක් යුධ මෙවලමක් පමණයි. මෙම සුනඛ මෙහෙයුමෙන් හොදින් හෙම්බත්වූ රුසියානුවන් 1942 වසර වනවිට නව විකල්ප ආයුධ නිපදවාගත් නිසා සුනඛයින් බාවිතය අවම කලත්  අසාර්ථක ටැංකිනාශක සුනඛ පුහුණුව නිල වශයෙන් අවසන් කරන්නෙ 1966 වසරේදීයි.




කිනම් වංශෙයේ  අය වුවත් තමන්ගෙ වංශය කබල් ගාමින් අපිතමයි හොදටම කලේ කියාගන්නේ තමන්ගෙන් සිදුවූ වැරදි අඩුපාඩු ලෝකයට වසන් කරගනිමින් පිරුවට පෙරවාගැනීමටමයි. රුසියානු යුධවාර්ථා සුනඛ මෙහෙයුම් අති සාර්ථක බවත් දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු ටැංකි 300කට පමණ පහරදීමට සමත්වූ බව ලේවැකි පෑනකින් රන් අකුරින් ලියාගන්නේ පෙර කියමන නැවත නැවතත් සනාථකරමින්.
එය එසේ ලියවාගත්තත්  සුනඛයින් තරමක් හෝ සාර්ථක වුණ බවට සදහන් වෙන්නෙ සුනඛයින් 16ක් විසින් ජර්මානු ටැංකි 12ක් kursk යුධපිටියේදී විනශ කිරීමයි.

 කෙසේ වෙතත් සීමිත සුනඛයින් සංඛයාවක් යොදාගනිමින් එයිනුත් කොටසක් මරාදමමින් සිදුකල මෙම මෙහෙයුම අසාර්ථකව අවසන් වීමම මානූශීයත්වය අගයන සමාජය ලැබූ ජයග්‍රහණයක්. යුද්ධය කෙතරම් මානූශීයදැයි, තම පාර්ශවය කෙතරම අහිංසකදැයි උලුප්පා පෙන්විමට උත්සාහ කලත් දිය යට සඟවන රබර් බෝලයක් සේම අමානුෂිකත්වයත්  සැගවීමට හැකියාවක් නැහැ. එය මිහිමත ඇතිවූ පලමු යුද්ධයේ  සිටම මේ සියවස දක්වාම පවතින පැවති යුද්ධ සදහා අදාල වෙන කරුණක්. යුධ ඉතිහාසයේ  මිලේච්ඡ  කලුපැල්ලම් සදහටම මතකයේ රඳවාගනින් පාඩම් උගෙනගනිමින්  මානුශීයත්වය සැමට බෙදාහල හැකි යුගයක් උදාකරලීමට අපි සැවොම උත්සහ කලයුතුමය.

Saturday, August 12, 2023

තරුවක්

සරුවටම එතුනුවරුවක්.  හොයන්නේ හිතඑකම උරුවක්  ජීවිතේ කෙලින් කලකරුවක් 

 නුබත් මට
 
කඩාවැටෙනා එකම
තරුවක්...💫💫💫      



Thursday, June 15, 2023

ෆර්දාව

ෆර්දාව


ආදරේ පුරෝගෙන

රෝස මල සිම්බා...

මහ එවුන් ඇවිලෙද්දි

බෝට්ටුත් පැද්දා...

ආදරේ වින්දා....

රෝමයත් ගිනිගද්දි

වීනාව වැයුනා...

ෆර්දාව තෙමාගෙන

උණු කදුලු වැස්සා...

බුදුන් පල්ලා

මං දෙවියො යැද්දා...

කාගෙන්ද පලිගන්නෙ

කාලි මෑනිත් ඇහුවා ..

ආල්ලාහු අක්බර්

මං වචනෙ දුන්නා....



Friday, June 2, 2023

ජීවිතේ එහෙමයි.

ජීවිතේ එහෙමයි.

මේක මගේ කතාව.නෑ මේක අපේ කතාව.උපන්දිනයක් නමක් ගමක් මතක නෑ.නෑ දන්නෙ නෑ.ඒවා මොකටද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ.දන්න එකම දේ අපිව හදාන්න ජාති,කුලමල,ආගම් මුකුත් බලල නෑ. 
ජීවිතේ කවද හරි තමන් ගැන අප්පිරියාවක් දැනිල තියෙනවද,හිතිල තියෙනවද.මොකට මේ ලෝකෙට බිහිවුනාද කියල හිතිල තියෙනවද, කාගෙන්වත් අහල තියෙනවද. හරි ආස හිතෙන උත්තරයක් ලැබිල තියෙනවද.
මම ලොකු විසාලෙට මං ගැන හිතන් උන්න කෙනෙක් මහ එවුන් ලග ඉන්න කාලෙ. අපි හිටියෙ සේරටම වඩා ඉහල තැනක.ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නෑ කියන එක තේරුම් යන්නෙ මං අද ඉන්න තැන නිසා.වට වන්දනා ඕනි නෑ.කතාවට බහිමු.
අපේ මහ එවුන්ගෙ වැඩේ කොයි වෙලෙත් හැප්පෙන එක ගහ මරාගන්න එක.ඒකෙන් දුක් වින්දෙ අපි.අන්න ඒ වගේ සිදුවීමක් වුන අදුරු දවසක් නිසා අපිට උන් හිටි තැන් අහිමි උනා.වැටුනා පොලවටම.ඉහලම උන්නත් මං ආස කලා දවසක කොලපාට ගහ කොල අස්සෙ ඇවිදින්න. කරදරයක් වෙලා හරි මෙහෙම් ටුවර් එකක් ලැබුන එක ගැන මට සියුම් සතුටක් නොතිබ්බම නෙවෙයි.ඒත් ඒ සතුට මට හිතේ හැටියට විදගන්න ලැබුණනම්. අපිට සිද්ධ උනා සුළු මොහොතකින් හැන්ගෙන්න.ආයෙ කාටවත් හොයාගන්න බැරිවෙන්න.

ජීවිතේ අමාරුම කාලෙ කියල මං හිතන් උන්නෙ ඒ කාලෙ හැංගිලා උන්න කාලෙ.ඒ කාලෙ කොච්චර කටුකද කියනවන්ම් ආලෝකයෙ උන්නු මට අදුරක උන්න උනා.හැංගිලා ,තෙරපිලා. 
ඒත් දවසක් අපිට අවස්ථාවක් ලැබුන එලියට එන්න.අපි සේරම එක තැනකට එකතු උනා.පුලුවන් විදියට සැමරුව.නැටුවා.ඇත්තටම අපි නොහිතුව විදියට අපිට අවස්ථාවක් ලැබුන එතන ඉදන් ඉහලට එන්න.ලැබුන කිව්වට ලැබුනාම නෙවෙයි ලබල දුන්නා.හරියටම කිව්වොත් අපිව එක්ක ගියා.සුරංගනා ලෝකයක්ම මවල දීලා.
ආසාවෙන් පෝලිම් හැදිලා ගියාට එතනත් එක්‍තරා විදියක හිරකූඩුවක්.අපේම උන් ගොඩක් උන්න නිසා හිතේ බයක් සැකක් තිබ්බෙ නෑ.අනික කාලෙක ඉදන් උන්න කීප දෙනෙක් අපි එක්ක හිතවත් උනා.එයාල කිව්ව විදියට අපි තව කෙනෙක්ගෙ ආහාරයක් වෙන්නත් ඉඩ තියෙනවලු.ජීවිතේට මර බය කියනදේ දැනුනෙ අන්න ඒ දවසෙ.
ඊට පස්සෙ අපිට අපේ ජීවිතේ ගෙනියන්න පාරක් ලැබුන කවදාවත් නොහිතපු විදියට.හැබැයි අපේ එක එක කෙනා යන්න ඕනි පාර මොකක්ද කියන එක අපිට තීරණය කරන්නනම් ලැබුණෙ නෑ.අපිට යන්න උනේ උන්ට ඕනි පාරෙ.අපි කරන්න ඕනිදේ තීරණේ කලේ උන්.සමහරු මගින්ම හැරිලා උන්ගෙ බඩවල් වලට ගියා.තවත් උන් උන්ගෙ පහස වෙනුවෙන් වෙන්කර ගත්තා.සේරගෙන්ම ජරාම රස්සාව ලැබුනෙ මාත් එක්ක උන්න පිරිසට.
ජීවිතේ මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් තැනක මං අද ඉන්නව.දිග සංචාරකයකට හැල හැප්පීම් වලට පස්සෙ.සැප නෑ ජීවිතේ හැමදාම.අපි බලාපොරොත්තු වෙන තරම් සුන්දරත් නෑ.ඒත් අද ඉන්න වෙලා තියෙන තැන ගැන තියෙන්නෙ දුකක් කලකිරීමක් අප්‍රසන්න හැගීමක්.මහ උන් එදා එහෙම හැප්පුනේ නැත්නම් මට අද මේ අසූචි වලක වතුර බින්දුවක් වෙන්න නෑ නේද කියන පසුතැවිල්ල සිතේ තියෙනව.ඒත් අපි මේ කරන්නෙ අපේ රස්සාව.මේ ලෝකෙ ජීවය පවත්වගෙන යන්න අපෙන් වෙන්න ඕනි යුතුකම.ජීවිතේ එහෙමයි.