Thursday, March 2, 2023

 නොහදුනන්නී - 03
 

 

කටු ඔටුන්නේ සටපට ගා පොරි පීදෙන්නා සේ මල් පිපෙන්නට විය.
මල් පූදින විට බිඟුන් ඇදේ. බිඟුන් ඇදෙනවිට ගුමු ගුමුව ඇසේ. ඔය අතරින් පතර නිලමැස්සෙක් මංමුලාවූ සමනලියකගෙන් පාර ආසාගැනීමටද පැමිනිය හැක.
මොහොතක් නවතින්න. මා කොමාට නිල මැස්සා කීවායැයි වරදවා වටහා නොගන්න. නමුත් මල් ගොමුවක සුන්දරත්වය නිල මැස්සෙකුගෙන්ද බිඳි යා හැකිය. 
 
" ඕක අරං ගිහින් අහවල් පිටුවෙ අහවල් පැවරුම පන්තියට දෙනවා. මම ආයෙම එනකොට ඕක ඉවරකරල තියනවා "
 
ඒ පෙරකී නාදයයි.
 
මා ඉතා ශාන්ත පුද්ගලයෙකි. එය මැනවින් ඇයට හැගෙන්නට ඇත. ඒ හිස ඔසවාගන්නට නොහැකිවම පන්තියෙන් එලියට පල්ලම් බැසි නිසාය. ලැජ්ජාවූ නමුත් මා දැන් ඇයගේ පන්තිකාමරය දනී. ඇය මා පන්තිනායකයා බවද දනී. කටු වුවත් එය ඔටුන්නක් යැයි සිතා සිත සනහාගන්නට එයම කදිම හේතුවකි.
 
කණිෂ්ඨ අංශ කාර්‍යාලය යන අතරමග ඇයගේ පන්තිකාමරය පිහිටීම පන්තිනායිකාවගේ බරෙන් කොටසක් හෑල්ලු කල බව හැබෑය. හුණු කෑල්ලටත්, නාමලේඛන ආදිය ගෙන ඒමටත් මා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වීම නිසාය. මා දැන් දිනකට කිහිපවරක් ඇය ඉදිරියේ පෙනී සිටී. ඇය ඉදිරියෙන් ගමන් කරමි. 
එකල විලාසිතාවක් වූ බූල් ලේන්සුව සාක්කුවෙන් මදක් පෙනෙන්නට දමා ගමන් කරමි. අසල්වාසියෙකුගේ වීදුරු ඇස් යුවල පලදාගෙන ගමන් කරමි. බරට බරේ පොත් පත් ඔසවාගෙන ගමන් කරමි. ඔහේ කිසිදු අවශ්‍යතාවක් නැතිව වුවද ගමන් කරමි. එහෙත් ඇයගේ සෙලවීමක්වත් නැත. ඇය සෙලවෙන්නෙ නැතිමුත් දැන් දැන් ඇගේ මිතුරියන් සෙලවෙයි. මා පන්තිය අසලින් යනවිට ස්ස්ස් ශබ්දයක් ඇසෙයි. මිතුරියන් චියර් ලීඩර්ස්ලා ලෙස හැඟෙයි. 
 
සමහර තැටි රත් කිරීමට ගෑස් විතරක් මදිය. කටු සහිත දර අතුද යහමින් ඕනෑය. මේ තැටිය රත් කිරීමට මම ඇගේ මිතුරන් දෙදෙනෙකුට සමීප වීමි . මා දන්නා තොරතුරුද නොදන්නා ලෙස ඔවුන්ගෙන් දිනපතා අසයි. ඔවුන් මාගේ උනන්දුවේ තරම ඇයට කියනු ඇත. මේ මොලය ඉගෙනීමට යෙදවූවානම් යැයි ඔබට මෙන්ම මටද දැන් දැන් නොසිතෙන්නෙ නොවේය. මෙහෙයුම සාර්ථකය ඇය දැන් මා දුටුවිට ගමන් මඟ වෙනස් කිරිමට වෑයම් කරයි.
 
වාර්ශික අධ්‍යාපන චාරිකාවෙන් පසුදින පාසැල් පැමිනීම අවශ්‍ය නොවූවත් එතරම් නිදහස් දිනයක් නැතිකර නොගැනීමට පසුපෙල අප තීරණය කලෙමු. ආකිමිඩීස් දිය නෑමට ගත් තීරණය කෙතරම් ජීවත ගණනකට බලපෑමක් කලේද නමුත් එය ඉතිහසගත තීරණයකි. මෙයද එසේමය.
 
 

සිදුවීම වුනේ ඔන්න ඔය ඝණ්ඨාර කුලුනට එහා පැත්තෙ ටැප් එක ලග


 
නලජල පසුකම් මද වීම නිසා ඇය සහ පිරිවර දහවල් ආහාරයෙන් පසු අත සේදීමට කොටි අඩවියට පැමිණිය යුතුමය. දිය කඩිති භයානකය. දත් විලිස්සාගත් රකුසන් ඒ අසල රැක සිටී. පෙනුමෙනන් අපෙගෙත් රකුසන්ගේද වෙනසක් නැත්තේ නිදහස් දවස නිසාය. ඇය පැම්ණි විගස සගවාගෙන හුන් කැමරාව ගෙන " ක්‍රීක් , ක්‍රීක් " 
හඩින් මහ දවල් ෆ්ලෑශරයද දමා ඇය සිතුවම් කරගති. දැන් මා සතුටෙනි. අලෝකය වැදි ගෝනුන් සේ සියල්ලෝම මා දෙස බලාගත්වනම බලා සිටී. චූන් පාන් රථයක් ගිය පසු ඇතිවෙන්නාවූ නිශ්ශබ්දතාව පරිසරය ගිලගෙන සිටී. නමුත් මා සතුටෙනි.
 
නිශ්ශබ්දතාව පෑල දොරින් දිවයනු මට පෙනේ. වචන දෙකක් මා වෙත දිව එනු පෙනේ. 
කෝපය දෑසින් සට සට ගා කඩා හැලේ, මුව දෙපසින් දල දෙකක් මතුවූවාය. කෙස් පොල්කූරු වූවාය. ඈ පැරණි පන්සල් ඝණ්ඨාරයක් හැඬෙව්වාය.
 
" තමුසෙට පිස්සුද " 
 
ඒ ඈය. මා ප්‍රේම දැල එලමින් සිටි ඈය. කෝපවූ විට ගැහැණුන් එසේ වනවා ඇත. කෙසේ වෙතත් ඒ ඈය. ප්‍රේම කරනා ඈය. මා ඇය සමඟ ජිවත්විය යුතුමය. ඉතිං ඔන්න ඔහෙ පොඩ්ඩක් කේන්ති ගත්තාය පැත්තක් පාත් වෙන්නේ නැත්තේය. 
 
බලන්න ගැහැණිය දත් විලිස්සා ගත්තද , කෑ ගැසුවද , කෙස් අවුල් කරගත්තද කෙතරම් ලස්සනද ප්‍රේමනීයද. සිතට දැනෙන හැටිය. සිතට පිස්සුය. 
 
මා දැන් පෙරටත් වඩා සතුටෙනි. ඒ ඈ නිසාය. ඈ මා ඉදිරියේ මා සමඟ පලමු වචන කිහිපය කතාකර ඇත. මෙය ඉතිහාසගත තීරණයක් බව මා කීදේ සැබැවක් නොවේද ? මා සතුටෙනි. සිත සතුටෙනි.
එය බැනීමක් නොවේය. ආමන්ත්‍රණයකි.
 
තත්පර කිහිපයක සිදුවීම අවසන් වෙනවත් සමඟම මිතුරෙක් කැමරාව ඩැහැගෙන පන්තිකාමර අතරේ අතුරුදන් විය. කැමරාවේ අගය දන්නේ හිමිකරු නිසා ඈ එය කැබලි කරාවියැයි බියවීම සාදාරණය. 
ඒ සමඟ පැවති නොසන්සුන්බව අහවර වී සියල්ලෝම නොසතුටින් විසිර ගියහ. 
දැන් ඇත්තෙ බැරෑරුම්ම කටයුත්තකි.
 
කැමරාවෙ සේයාපටලය පරිස්සමෙන් ගලවාගත යුතුය. පාසැල් හැරුණු විගස චිත්‍රකලාවට දිව යායුතුය. එක් ඡයාරූපයක් පසුම්බියටත් තවකක් කාමරයෙ මේසය මතටත් ලෙස සකසාගත යුතුය. මනසින් රාමුකල පින්තූරවල හැඩ බලමින්ම කැමරාවෙ පසුකොටස ගලවා සේයාපටලය ගැලවීමයට අත යොමුකල විට " සිතිවිලි සිරවී හදවත පත්ලෙ ඉකිබිඳ වැලලී ගියේය " 
 
දුප්පත් කැමරාවට අප සේයාපටලයක් දමා නැත. අවුලක්ම නෑ ඈ කතා කලානෙ. ඊටත් වඩා සතුටක් කුමටද ?
 

 
-- ඉතිං අප නැවත හමුවෙමු ---

Friday, February 3, 2023

 2017 හෝ 2018දි රස්සාව කලේ බොරැල්ලෙ D.S සේනානයක එක ලග. උදේ 8ට වැඩට ගියාම ඕෆ් වෙන්නෙ රෑ 9ට. ඔතන ඉදන් 153 බස් එක ගන්න බොරැල්ලට යන්නෙ පයින්..


ඔය වෙලාවට බෑග් එකත් උස්සන් අන්තිම බස් එක අල්ලගන්න දුවන මිනිස්සුයි මහ හයියෙන් යන  වාහනයි හැර ඉදහිට බල්ලෙක් දෙන්නෙක් පමණමයි ඉන්නෙ පාරෙ.අනික් මිනිස්සු වේගෙන් ගමන්කලාට මම ආසම රෑට බිල්ඩින්වල ලයිට් බල බලා හිමින් යන්න.ඒක වෙනම ආතල් එකක්.. ලෝකෙ ලස්සනම රෑට.. බිල්ඩින් ගොඩකින් වටවුණු නගරෙක කියලත් ඒකෙ වෙනසක් නෑ.

 එක දවසක රෑ 9 පසුවෙලා මම කනත්තත් පහුකරගෙන කනත්ත පාර දිගේ එනව හිමින් වාහන බිල්ඩින් බල බලා..බොරැල්ලෙ ඔටෝමෝල් එක ඉස්සරහ පාරෙ අනික් පැත්තෙ තියෙනව පොඩි පුද්ගලික පාරක් SLP එකයි මානවහිමිකම් ගොඩනැගිල්ල ලග තියෙන වහලදාපු අඳුරු ගොඩනැගිල්ලයි අතර.පාර තරමක් අඳුරුයි.වීදි ලාම්පුවෙ එලිය  කණාමැදිරි එලියකට ටිකක් වැඩි ඇති. අතුරුපාර පහුවෙනවත් එක්කම මට ඇහුනා අත්පුඩි ශබ්දයක්.ඔෆීස් එකේ කොල්ලො බහුතරය ඔය වෙලාවට ගෙදර යන නිසා නතරවෙලා වටපිට බැලුවා.කවුරුත් නෑ... ශබ්දය එන්නෙ අඳුරු පාරෙන්.. 

කණාමැදිරි වීදිලාම්පුව යට අඩි 6ක්  විතර උස කලු කෙට්ටු ගෑනු කෙනෙක්දෝ කියල හිතෙන කෙනෙක් ඔලුවෙට සලුවකුත් දාගෙන හිටගෙන අතවනනව.ස්...ස්... කියනව..

මිත්‍රවරුනි මොන රාත්‍රී සුන්දරත්වය බැලීමක්ද අඩි 2,3ට මං බොරැල්ලෙ බස්ටෑන්ඩ් එකේ.වෙනද 153 යන එකා 176කටත් නැගල..

Friday, January 20, 2023

මොනවද බෑනො උඹ මේ දොඩවන්නේ
මගුලක් නොකා කොහෙමද දුව දෙන්නේ
හතර වරිගයක් නින්දාවට පත්වන්නේ
මගුලක් ඕනිමයි අපි දෑවැදි දෙන්නේ

අයවැය ගෙනාවේ මංගල මද්දහනේ
දෑවැද්දටත් බද්දක් ඇතිවය හැක්කේ
හෝටල් බද්ද පමණයි අඩුවී ඇත්තේ
මගුලක් එපා අපි හනිමුන් යන්නේ

Saturday, November 12, 2022

නමක් නැතිකතාවක් -

 නමක් නැතිකතාවක් - 



බස් එකෙන් බැස්ස ගමන් හන්දියෙ ගාමිනී අයියගෙ තේ කඩේට යන එක දැන් පුරුද්දක් වෙලා.කැශියර් එක ලගට යනකොටත් ගාමිනී අයියා ඩන්හිල් එකක් මට දික් කරගෙන.


" මල්ලි බස් එකෙන් බහිනව දැක්ක මම. ඒක නිසා මේක එලියට ගත්තා. ප්ලේන්ටිය දාන්න කියන්නද මල්ලි ".


මිනිස්සු හරි පුදුමාකාරයි වෙලාවකට. ඉස්සර සිගරට් එකක් අරගන්න ගියාම බැනල එලවපු ගාමිනී අයියම දැන් සිගරට් එක මට දික් කරගෙන ඉන්නව. සිගරට් එක පත්තු කරගන්න ගමන් මට හිතුනෙ මේ වෙනස්වීම් ගැන. 


" උඹ තැන් තැන්වල සිගරට් බීලා එක එකා දැකල ගෙදරට කිව්වොත් උබට විසුමක් වෙන එකක් නෑ මල්ලි. සිගරට් බොන්නම ඕනිනම් මෙහෙ කඩේ කුස්සියට පලයං " 

මම ටවුන් එකේ සිගරට් එකක් බොනව දැකපු ගාමිනී අයියා වෙනස් උනේ අන්න එහෙම. මගෙ හොදට. එක්කො අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොදට.

සිගරට් එක පත්තුකරං පාර දිගේ ඇවිදින ගමන් කල්පනා කරන්න ආසාවක් තිබ්බට මාව මෙතනට හිරවුනේ එහෙම. දැන් මේ සේරම හැමදාම දුවන රවුමක් වෙලා. 


ෆේස්බුක් එකේ උඩ පහල යනකොට දැක්ක පෝස්‍ට් එක. පත්තු කරන් හිටිය සිගරට් එකෙන්ම මගෙ පපුව පුච්චල දානව වගේ හැඟීමක් එකතුකලේ ඇයි. මං මොකටද මේවාට රිදවගන්නෙ. ඒත් ඇයි මම රිදවගන්නෙ නැතුව ඉන්නෙ. බොන්න ඕනි ප්‍රශ්න ඇත්තටම මේවා. බොන්න ඕනි නෙවෙයි පහුගිය ටිකේ බිව්ව ප්‍රශ්නත් මේවාම තමා. 


" ආදරේ තනි වැරැද්දක් " නිරාලි කොහොමද මෙහෙම ඒවා ශෙයාර් කරන්නෙ ? එච්චර ආදරේ තිබ්බ කෙනෙක්. නිකන්ම පිඳුරු ගොඩක් වගේ වෙන්නෙ කොහොමද ? 

අපි හමුවෙලා අවුරුදුම දෙකක්. වෙන්වෙලා දැන් මාසයක් හමාරක් ඇති. ඇයි මෙහෙම වුනේ කියලවත් අපි තාම කතාකරල නෑ. කතාකරගන්න හිතුනත් ඒකට මුහුණ දෙන්න ශක්තියක් අපි දෙන්නටම නැතිව ඇති.


නිරාලි මට මුණගැහෙන්නෙ ඔෆීස් පාටි එකකදි. තරමක් වැදිලා හිටපු වෙලාවක. ධනීශ් අයියා කිව්ව කතාව හරි.වැදිලා ඉන්න වෙලාවට ඇහේ ඇලවෙන කෙල්ලො ජීවිත කාලෙටම හිතෙන් ගලවගන්න බෑ. ඒක හරියටම ආර්ථිකේ කෙලවෙලා ඉන්න රටක මහ බැංකුව සල්ලි අච්චු ගහනව වගේ කවදාවත් නතර කරගන්න වෙන්නෙ නෑ. 


"උඹල හරි අයියෙ උඹල දෙන්න හරියටම හරි" පොද වැස්සෙ හයියෙන් හයියෙන් ගෙවල් වලට දුවන මිනිස්සු දිහෑ බලාගෙන හිටපු මට ඒක කියවුනේ ලොකු දුම් ගුලියක් පිටකරනවත් එක්කම.


ධනීශ් කියන්නෙ සහෝදරයෙක්ට වඩා එහ ගියපු එකෙක්. කාලෙකට කලින් මට ඌ එක්ක තරම් වෛරයක් තියෙන්න නැතිව ඇති ඉස්කෝලෙ පඬු සිවුරා එක්කවත්. ජීවිතේට පාඩම් ගොඩක් කියල දුන්න ඌ මං එක්ක කතාකරල තියෙන්නෙ එකම එක දවසයි. ඒකත් බලෙන් මාව එක්කගෙන ගිහින් . ඒක හැම රසක්ම සමව තියෙන ජෑම් පේරගෙඩියක් වගේ කතාවක්.


ධනීශ්ව මම දන්න අවුරුදු 4කට කලින්.ඒ මගෙ එකම අක්කගෙ කොල්ල විදියට. දුරට දැකල තිබ්බ මිසක් කිසි දවසක මම ලගට දැකල හෝ කතාකරල නෑ. අඩුම ෆෝන් එකෙන්වත්. අක්ක මට ඌව සමීප කරන්න උත්සහ කරලවත් නෑ. දෙන්නගෙ සම්බන්ධය අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් තියෙන්න ඇති. ඊට පස්සෙ අක්ක එයා ගැන කතාකරනව මම දැකල නෑ. දෙන්න දෙන්නව අමතක කරන්න ඇති. අක්ක එයාගෙ අලුත් ජොබ් එකත් එක්ක බිසී වුන නිසා වෙන්නත් ඇති.


ඊටත් අවුරුදු දෙකකට විතර පසු අක්ක දවසක්ම අම්මගෙ ඔක්කෙන් ඔලුව අහකට ගත්තෙ නෑ. මෙතුවක් කාලෙකට අක්කට ආදරේ පෙන්නව මම දැකල නැති තාත්තා අක්ක කන්න ආස කෑම ජාති සේරම සැරෙන් සැරේ ගෙනත් සාලෙ මේසෙ පුරවල තිබ්බ. මට වෙන්නෙ මොකක්ද වුනේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නැතිවම දවසෙ ගෙවිලා ගියා. රෑ පුරාම ඕක කල්පනාකරපු මට පොට්ට කැස්බෑවට වගේ හඳ පෙනුනෙ ධනීශ්ගෙ ෆේස්බුක් ගිණුම බලනකොට . වෝල් එක පුරාම ඌගෙ වෙඩින් ෆොටෝස්. එක එකා විශ් කරල දාපු පෝස්ට්. ඉතිං මං ඌට වෛර නොකර වෙන මොකක් කරන්නද.


කාලය ගෙවිලා යන්නෙ පුදුම ඉක්මනට. එදා ඉස්කෝලෙ ගිය මම අද රස්සාවක් කරනව. අක්කත් සම්බන්ධකම් කීපෙක ආයෙ පැටලිලා ගැලවිලා ගියා. මට ධනීශ්ව අමතක වෙලා ගියා. සුනාමියට කලින් නිසල මුහුදක් වගේ අපේ ජීවිත ගෙවිලා ගියා. නිරාලි මගෙ ලෝකෙට ආව. මගෙ ලෝකෙ මල් පිපෙන්න ගත්තා. 


ඒත් එක දවසක අපේ එකෙක්ගෙන් මට ආපු කෝල් එක නිසල මුහුද දෙබෑකරගෙන සුනාමිය ගැලුවා. මම ගෙදර මල් පෝච්චි කුඩු කලා. අක්කට ගහන්න අත ඉස්සුවා. ඒත් ඒකිගෙ මූණෙ මම දැක්කෙ නෑ බයක්. අඩුම තරමෙ මම ඒ කරපු දේවල් ගැන කිසිම හැඟීමක්. පහුවදා උදේ මං උඹ එක්ක තරහ නෑ බං කියල අක්ක කිව්වත් මම ඒක පයිසෙකට මායිම් කලේ නෑ. මට ඕනි උනේ ඒකිව රැකගන්න. 

.

" සමහර දේවල් තේරුම්ගන්න උබ පොඩි වැඩී තාම. කෙල්ලෙක් උන්නට උඹ මහ මිනිහෙක් නෙවෙයි " අම්ම කිව්වෙ එච්චරයි. 


ඔය සිදුවීමට දැන් ඇති අවුරුද්දක් විතර. එදා ඉදං මං අක්කගෙ හැමදේටම හරහට හිටියා. ඒකි එක්ක රණ්ඩු කලා. 

"කසාද බැදපු මිනිහෙක් එක්ක තමුසෙට මොකටද සම්බන්ධකම් කිව්ව " 

ඒකි හිනාවුනා. එච්චරයි එච්චරමයි.හිනාවුනා විතරමයි.

ඔය සිදුවීමෙදි නිරාලිවත් මගෙ පැත්ත ගත්තෙ නෑ. කතාව තව දුර අරං යන්න මට දෙන්නවම අතට අහුවෙලා තිබ්බෙත් නෑ. 


ඔෆීස් එකෙන් කලින් පැන්න දවසක බියර් ටින් එකක් අතේ තියං මුහුද දිහෑ බලාගෙන ඉන්නකොට මම දෙයක් දැක්ක. කොච්චර කිව්වත් හැදෙන්නෙ නැති අක්කව දැක්ක. ධනීශ් ප..රයා. අක්කගෙ නලලට හාදුවක් දෙනව. බියර් කෑන් එක විසිකලද විසි වුනාද දන්නෙ නෑ. මාව ඒ පැත්තට දිවවුනා.


මිනිස්සු කොහොමද මෙහෙම සන්සුන්ව ඉන්නෙ.මම මෙච්චර දෙයක් කරලත්. අක්කව ත්‍රීවිල් එකකට ගොඩකරපු ධනීශ් වාහනේ නතර කලේ මාරවිල මචං එකේ මිදුලෙ. " මල්ලි බැහැපං " මගෙ පිස්සුවෙන් පස්සෙ ඌ කතාකරපු මුල්ම වචනෙ. 


" බියර් දෙකයි ඩන්හිල් හතරයි ඔම්ලට් එකයි ගේන්න " වේටර්ට ඒක කියනකොටත් ඌගෙ ඇස් තිබ්බෙ මගෙ මූනෙ. බියර් දෙක එනකොටවත් ඒක මගෙ මූණෙන් එහෙ මෙහෙ වෙනව මම දැක්කෙ නෑ. 


" උඹ බොනව කියල දන්නව.බීපන් " සීත බීර උගුරෙන් පහලට යනවට වඩා උගෙ වචනවල සීතලක් මට දැනුනා. 


" කවදාවත් වැදිලා ඉන්න වෙලාවක කෙල්ලෙක් දිහෑ බලන්න එපා මල්ලි.ඒක ජීවිතේට ඇස් වලින් ගලවගන්න බැරි වෙනව. මට අක්ක හම්බුනේ එහෙම "


"ලස්සන දවස් ජීවිතේ තිබ්බ. අක්කව මුලින්ම හම්බෙන්න යන දවසෙත් කලින් දවසෙ බීපුවගෙ ගඳ ගිහින් තිබ්බෙ නෑ. එරිස්ට්‍රෝෆ් දන්නවනෙ.පට්ට රසයි.ඒ උනාට ගඳයි බං "


" මල්ලි සමහර බැඳීම් තියෙනව ඒවා නිර්වචනය කරන්න කිසිම.හෝඩියක අකුරු නෑ බං. මිනිස්සු ලං වෙන්නෙ දාල යන්න නෙවෙයි තමයි. ඒත් සමහර වෙලාවට අපිට එහෙම කරන්න වෙනව.කාලය එහෙම කරවනව බං. ඒවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඒක හැමෝම බලන දකින විදියත් එක්ක සාපේශයි බං. සමහර විට මං මේ කියන බන උබට දැන් බයිලාවක් වෙන්න පුලුවන්.ඒත් දවසක උබ තේරුම් ගනී. ඒ දවස හැමෝටම එනව බං.කවදකම හරි."


" මං දන්නව උඹ මං එක්ක තරහයි.සමහර වෙලාට උඹේ අක්කටත් එහෙමයි.මටත් එහෙමයි බං. ජීවිතේ එහෙම තමා බං. "


" උබ දන්නවද අපි වෙන්වුනාට පස්සෙ හමුවෙලා තියෙන්නෙ අවස්තා දෙකයි බං. කලින් දවසෙ තමයි උඹ ගෙදර හෑවෙ. ඒකට අපි මුකුත් කියන්නෙ නෑ. ඒ තමා උඹ අක්කට තිබ්බ ආදරේ ." 


" මේ අපි අපිට තියෙන්නෙ ආලය බං. මං ඒකට ආදරේ කියල හෑල්ලු කරන්නෙ නෑ බං. මං ඒකට කියන්නෙ ආලය කියල. කවදහරි වෙන් වෙච්ච උන් දෙන්නෙක්ට මහ පාරකදි අහම්බෙන් හමුවුනත්, එන කෝල් එකකදි හඬ ඇහුනත් මුල්ම හමුවීමෙ වගේ ප්‍රබෝධයක්, ප්‍රීතියක් හිතට දැනෙනවනම් , බඩේ සමනල්ලු පියාඹනවනම් අන්න ඒක තමා බං ආලය. ඇලීම. ඕකට පණ්ඩිතයො ලඟ වෙන වෙන නිර්වචන ඇති. ඒත් මේක මගෙ නිර්වචන බං. අපි දෙන්න ලග තියෙන්නෙ එහෙම එකක්. "


" උබ හිතං ඉන්නව වගේ සම්බන්ධයක් අපි අතර නෑ. තියෙන්නෙ මේ ආලය විතරමයි බං. ඒක දෙන්නම කටින් පිට නොකරන, සීමා ඉක්මවා නොයන දෙයක්. උබේ අක්ක ඒකි තමා බං මට ජීවය වුනේ. මේක ගෞරවාන්විත හැඟීමක් බං. ඒකට කිලිටි එකතු කරන්න එපා බං "


" මුල්ම වතාවෙවත් උඹ ඇහුවද ඇයි අක්ක මාව හම්බුනේ කියල. අක්කට මොකක් හරි ප්‍රශ්ණයක් තිබ්බද කියල. ඇහුවත් උබට කියන්නෙත් නැතිවෙයි. උඹ තාම පොඩි එකානෙ එයාට. ඒක අමතක කරපං.

උබ ටෙලිපති දන්නවද ?.බැඳීම් අස්සෙත් ඒවා තියෙනව බං.අපි අපිට කතාකරගන්න සමහර දවස් තියෙනව බං. කෝල් එක ගත්ත ගමන් අහන්නෙ මොකක්ද අවුල කියල.

මං අද ජීවිතේ අතරමං වෙලා හිටපු දවසක්. මගෙ ජොබ් එක නැති වුනා බං අද. අක්කට ඕනි උනා මාව වැටෙන්න නොදී ඉන්න. හැමදේම හරියයි බය නැතුව ඉදිං කියන්න. ඒකයි අක්ක ආවෙ."


"උඹ අක්කට ගැහුව කම්මුල්පාරට රිදුනෙ මට බං. ජොබ් එක නැත්වුනාට වඩා මට ඒක රිදුනා බං. ඔය කෙල්ලට මං සීරීමක්වත් වෙන්න දීලා නෑ බං හිතට වද දුන්නට. උබවත් ඒකිට වද නොදී ඉන්න බලපං බං. " 


" හරි අමතක කරපං. මේක විතරක් මතක තියාගනින්. අහිමිවීම් හිමිවීම්වලට වඩා ප්‍රේමාන්විතයි. 

ලං වෙලා අතින් අල්ලං යන උන්ට වඩා වෙන්වෙලා දුරින් යන උන් හිතිං අල්ලං ඉන්නෙ. සදාකාලිකවම සුළැගිලි කොකු ගහගෙන " 


"මං දන්නව උඹ දවසක තේරුම් ගනී .දැන් යමං.මං ගේ ලගින් දාගෙන යන්නම් "


ඌ එකදිගට කියවගෙන ගියා.ඩන්හිල් 4ක් බියර් බෝතල් දෙකක් ඉවර වෙනකං එකදිගටම. ඒ සමහර දේවල් මට මතක නැහැ. මතක තියාගන්න ඕනි වුනේ නැහැ.

බයිලාව අහන් ඉන්න මට දැනුනෙ මෙහෙම හැඟිමක් කියල කියන්න තේරෙන්නෙ නෑ. ඒත් බියර් බෝතලේකට වෙරි නොවෙන මට ඇවිදගන්න කකුල් උස්සගන්න බැරි උනා.ඒවා ඒ තරමට සීතල වෙලා. එක්කො මගෙ ස්නායු පද්ධතියම සීතල වෙලා. අක්කට උස්සපු අත ගිනි ගන්නව දැනුනාවුනත් මම පොඩි කාලෙ සෙල්ලම් කරන්න ගත්ත ප්ලාස්ටික් සොල්දාදුවෙක් වගේ ගල්වෙලා. ඒත් තාම තුවක්කුව දික් කරගෙන . ධනීශ්ට. ඌ වැරදි. මොනව කිව්වත් ඌ වැරදී. 


------------ 

" මචං ගින්දර ටිකක් දියං "


ෆෝන් එකේ ඔලුව ඔබාගෙන මතක ලෝකෙ හිරවෙලා හිටය මම මෙලොවට ගෙනාවෙ ගින්දරක් ඉල්ලපු එකෙක්. ඌට පේන්නෙ නැද්ද මෙතන මගෙ පපුවම ගිනි ගන්නව කියල. තව ගින්දරත් ඉල්ලන්නෙ.


ලයිටරේ දික්කරපු මං නිරාලිට "ආදරේ තනි වැරැද්දක් ඒත් මට ඒක පුරුද්දක් ". කියල කමෙන්ට් එකක් දැම්ම ගමන් කලේ අක්කට මැසේජ් එකක් යවන එක 


" අක්කෙ මට සමාවෙයන් " 


" ඉන්න තැනකන් පරිස්සමින් ගෙදර වරෙන් .අපි කතාකරමු "


ඒ මගෙ අක්ක.මට තාම තේරුම් ගන්න බැරි හැඟීමක් විඳින මගෙ අක්ක.


Saturday, September 17, 2022

වනාගෙන මේසේ බදාගෙන

හමාඑන වැඩ සුලගෙ ගසාගෙන

පියාගෙන සිතින් ඇස් පියාගෙන

දිරායන ජීවිතේ වැටුප පතාගෙන..




Tuesday, March 8, 2022

ෆැන්ටසිය හා යථාර්ථය

කෙල්ලගෙ අම්ම....


මගෙ දුව මගෙ දුවට ඔහෙ ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද?කොච්චර දුශ්කරද.අනික රස්නෙ.

(කොල්ලට හිනා.මේක යාපනේයැ.ඒ ගෙදරට වාහයක් යන්නත් බෑ.කන්ද උඩ)

කොලඹට කොච්චරන්ම් දුරද.අපි ටවුන් වල ජීවත් උන මිනිස්සු.

(කොල්ලට හිනා.මට කොලබට පැය 1 1/2යි.කෙල්ලට පැය 3)

තමුසෙ නිසා ආව හොදම ප්‍රොපෝසල් කීයක් නැති උනාද.(කොල්ලට හිනා.කොල්ල දන්නව කොල්ල ඉන්නකොටත් වෙන ප්‍රොපෝසල් හෙව්ව බව)

මං හෙව්වෙම අතට පයට වැඩකරන අය ඉන්න ගෙයක්.තමුන්ට එහෙම තත්වයක් තියෙනවද? 

(කොල්ලට හිනා.අම්මට ගෙදර දොරේ වැඩ බැරුව දුවට පුලුවන් වෙනවයැ.)

අනික සල්ලි ඉතුරු කරලවත් තියෙනවද .හරි හමන් පඩියක් තියෙනවද.පඩිය කීයද.

( කොල්ලට හිනා.කෙල්ලගෙ පඩිය වගේ දෙගුනයක් පඩි.පිට වැඩ කරලත් තව සැලකියයුතු ගානක් හොයනව කොල්ල.කොල්ලට වගකීම්,යුතුකම් වැඩී .ඉතුරුව අඩුයි.කෙල්ලට සැලුන් ඇදුම් වලටම පඩිය මදි)

මගෙ දුවව හරියට බලාගන්න බෑනෙ තමුන්ට

(කොල්ලට හිනා.මුලින්ම හම්බුන දවසෙත් කෙල්ලට උන.බේත් කෑම උස්සන් ගියෙ.අසනීප උනාම කෙල්ලට බේත් බොන්වනම් කන්නම පුලුවන් පීසා විතරමයි.කෙල්ල මෙච්චර කල් දැන් බේත් නොබී හිටයයැ).

මගෙ දුව වගේ ලස්සන කෙනෙක්ට තමුසෙ වගේ එකෙක් හරුයන්නෙනෑ.

(කොල්ලට හිනා.උනහපුලු අම්ම මතක් වෙලා.මොනා උනත්.කොල්ලට කෙල්ල ලස්සනයි තමා)

මැණික්කාරයෙක්ගෙ පුතෙක්ගෙනුත් ප්‍රොපෝසල් එකක් ආව ලගදි .

( කොල්ලට හිනා.ඔය පැන්නෙ බළලා මල්ලෙන්.)

මගෙ දුවට ලස්සන ඇදුමක්වත් අරන් දීලා තියෙනවද?( කොල්ලට හිනා.අදින ආමන්තෙ බ්‍රා ටිකත් අරන් දුන්නෙ කොල්ල)

තමුසෙ එක්ක යාලුවෙලා දුවට මොනාද ලැබුනෙ.

( කොල්ලට හිනා.කොල්ල හම්බෙනකොට කෙල්ල උන්නෙ Depression වගේ තත්වෙක.කලින් කොල්ලගෙන් තිබ්බ පීඩා නිසා.දැන් ඉන්නෙ උදේ පිපුණු මලක් වගේ)

මගෙ කෙල්ල සතුටින් තියන්න තමුන්ට බෑ.

( කොල්ලට හිනා.කලින් කොල්ල සතුට ගෙනාවෙ ෆාමසියෙන්.කොල්ල සතුට දුන්නෙ හිතට)

මගෙ දුවට හරියන්නෙ කොලඹ ලගින්ම ගෙයක්.

(කොල්ලට හිනා.ඔව් දැන් කරන ෆැශන් වලට ආයෙ ගමකට යන්න වෙන්නෙ නෑ තමා.)

අපිට තියෙන දේවල් එක්ක බැලුවාම තමුසෙට මොනාද තියෙන්නෙ.කොලඹින් ගෙයක් හැදුවෑකිද.

( කොල්ලට හිනා.කොල්ලට තියෙනව හිතේ සතුට.ඕන දේකට ඉන්න යාලුවෙ සෙට් එකක්)

අනික මං ලග එහෙන් එකයි මෙහෙන් එකයි නෑ.කෙලින් කතා කරනව.

( කොල්ලට හිනා.කොල්ල දන්නව.කොල්ලට පෙන්නනෙ එක මූණක්.කෙල්ලට පෙන්නන්නෙ එක මූණක්.කොල්ලට මූණටම කියන්නෙ අකමැතී.කෙල්ලට කියන්නෙ මං කැමතී)

මගෙ දුවට බස් වල යන්න බෑ.තමුන්ට වාහනයක් නැනෙ.( කොල්ලට හිනා.බයික් එක වාහනයක් නෙවෙයිනෙ.ඒ නිසා ත්‍රීවිල් වලමයි කොල්ල කෙල්ලව එක්ක යන්නෙ)

මේ මගුලට මං මලත් කැමති නෑ.ඔයාල කතා කරල තීරණයක් ගන්න.

( කොල්ලට හිනා.මලත් කැමති නැත්නම් ආයෙ කෙල්ලයි කොල්ලයි කතා කරල මොන තීරණ ගන්නද)

කොල්ල....

"ඇන්ටි මෙහෙමයි.ඔයාලට ගොඩක් දේවල් තියෙන නිසා ඔයා ඉඩමක් අරන් දෙන්න.මං ගේ හදල වාහනේ ගන්නම්.හාද??"

බීප්...බීප්...බීප්....

කොල්ලට සතුටුයි හිත සුද්ධයි.කෙල්ලට දුකයි ලෝභයි.කොල්ල පට්ටම ආදරෙයි.අම්ම තීරනේ දීලා ඉවරයි.

- සුභ කාන්තා දිනයක් වේවා-

Tuesday, March 1, 2022

ලියමන

 ලියමන-



මොබයිල් ෆෝන් තියා රැහැන් සහිත ඕපාදූප පෙට්ටිවත් එතරම් ජනප්‍රිය නොවුන එහෙව් කාලෙක සමනලයෙක් අතේ එවන ලියුම් වලට පුලුවන් වුනා මිනිස්සු ජීවත් කරවන්න.ඊලග ලියමන ලැබෙනකම් පිච්චි පිච්චි ජීවත් කරවන්න. සිමෙන්ති මිලට කෑදර කඩකාරයො වගේ තාමත් අතීතයට කෑදර මිනිස්සු ලග ඔය සමහර ලියමන් තවමත් පරිස්සමින් ඉතිරි කරගෙන ඇති. මං ලගත් තියෙනව අන්න එහෙම ලියමනක් දැනට දශක 3කට වඩා වයස. ඉන්දියානු මුහුදේ නැවක ඉදන් මම ඉපදුන සතුට වෙනුවෙන් මගේ චූටි මාමා මට ලියල එවපු එකක්. නොදුටු පුතුට ලියමි එහෙමයි පටන් අරන් තියෙන්නෙ ලියමන. දැන් ඉතිං චීන පෝර ගහපු ගොයම් ගහක් වගේ වුනාට මං ඉපදීම ගැන සතුටු වුන මිනිස්සුත් ඉදල තියෙනව. හුම්

ලියමන ලග නැතත් කොන්දොස්තර ලග ඉතිරි වෙච්ච රුපියල වගේ අමතක කරන්නත් බැරි අමතක නොකරත් බැරි සමහර පද පේලි දැන් උනත් වැහි නැති අකුණු වගේ මතකෙට එනවා ඇති කාට කාටත්.ප්‍රේම වදන් වගේම රස්සවෙන් දොට්ට දාන්න එවපු ලියමන දක්වා ඕවා අදාලයි. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් පීසීආර් නොකර මට කොවිඩ් නෑ කියල කියන එකෙක් වෙන්න ඕනි.

ඔය අපේ සමහරු උන්නා කොල්ලගෙ ලියුම කෙල්ලට දෙන්න කිව්වම ලියුම කඩල ඒකත් කියවල ඒ එක්ක තිබ්බ චොක්ලට් එක එහෙම කාපු අය. පන්තිවල හොදම ලියන්නො ලියුම් ලිව්වෙ ස්වයංරැකියාවක් විදියට. කෙල්ලො දෙන ලියුම් වගේ කොල්ලන්ට ලියුම් දීලා උන්ගෙන් කාපු බීපු ඇමීබාවොත් ඔය අතර නොහිටියාම නෙවෙයි.

ප්‍රේමය උසයි කිව්වට නවය වසරෙ කොල්ලගෙ ඒ හැටි උසක් තිබ්බෙ නෑ. ඒත් ඌට තිබ්බ හීනනම් මහසෝනා තරම් උසයි. ඒ වයසෙ කොල්ලෙක්ට මොනතරම් හීන තියෙනවද. මතකද ඒ කාලෙ උඹලට අපිට තිබ්බ හීන. මම මේ කතාකරන්නෙ අලුත් සහශ්‍රයෙ උන්ට නෙවෙයි.ඊට කලින් උපන්න උන්ට. ගියර් දාල වැඩ දාල පදින්න පුලුවන් බයිසිකලයක් , ඉලක්කම් පේන අර හතරැහැ හැඩේ ඔරලෝසුවක් , පර්ස් එකක් ඔව්ව ඒ කාලෙ හරිම උහ හීන. හරියට බලු රේස්වල බල්ලට ඉස්සරහින් පීල්ලක් දිගේ දිවෙන යකඩ හා රූපෙ වගේ කවදාවත් අල්ලගන්නම් වෙන්නෙ නෑ. නවය වසර කොල්ලයි ,ප්‍රේමයයි , හීනයි, ලියමනුයි පොල් සම්බෝලයි චොක්ලට් බිස්කටුයි වගේ නේද..

එච්චරම උසකුත් නැති හීන්දෑරි මේ හාදයට කිසිමවිදියකට ඉල්ලන්දැරි පෙනුමක් තිබ්බ කියල මම අදටත් විශ්වාස කරන්නෙ නෑ. කොන්ඩෙ උනත් කොටටම කපලා එහෙමත් නැත්නම් පැත්තට පීරපු කොන්ඩෙ හොදටම අවුල් වෙලා. කොල්ලට ඒ කාලෙ උනත් කල්පනා කරන්න මහ ඉහලින් දේවල් තිබුණා. ලගාවෙන්න බැරි හීන තිබුනා. කොන්ඩෙ පීරන්නවත් සැලකිල්ලක් නොතිබෙන්න ඇත්තෙ ඒවා නිසා වෙන්නත් පුලුවන්. ඉගෙනීමට උනත් මහ ඉහල හපන්කම් දක්වපු නැති අහිංසකයෙක්. හැබැයි ඉක්මන් කේන්තිකාරයෙක්. දශක තුනක වයසත් පහුවෙලත් ඔය ලක්ශන සමහර දේවල් ඒ විදියටම මම ඒ කොල්ලගෙන් තවම දකිනව. 

කොල්ල එහෙම වුනත් කොල්ලගෙ ගමන් සඟයා ඊට හාත්පසින්ම වෙනස්.හරියට ලෙන්චිනා කෝලමට ඩික්තලා අහ් නෑ දික්තලා ගෙන්නුවා වගේ. පෙනුමයි පිලිවෙලයි හැම අතින්ම වෙනස්. ඔය කොයි වෙනස්කම තිබ්බත් වල බහින වැඩවලට දෙන්නම ස්ටෙලා කිව්වෙ එකටමයි. පුත්තලම සහ බූරුවා වගේ. ඔය සම්බන්ධකම් වල අතුරු ප්‍රතිඵලයක් විදියට නවය වසරෙ අහිංසක කොල්ලා ආලයක බැදෙනව. 

හෝව් හෝව්... යාලුවා එක්ක නෙවෙයි යකුනේ.. කෙල්ලෙක් එක්ක. 

එකම බස් එකේ ගිය හැඩකාර කෙල්ලක් නිසාත් පාසැල් බස් එක නිසා උඩහට පහලට හරහට හැම අතටම සෙනඟ පිරිලා නිසා ඇතිවෙන සියුම් ස්පර්ශ නිසා අකුණු කොටලා බඩේ සමනල්ලු පියාඹලා මාමයිට් එක්ක පාන් පෙත්තක් ගිලිනව වගේ දැනුන නිසාත් ආලෙන් වෙලෙන්න ඇති සමහරක් විට. ඔය සබදතාව ඇතිවුන හැටි මම කලින් දවසක කියල ඇති ඒ තම්බපු අල ගෙඩ් ආයෙ තම්බන්න ඕනි නෑනෙ.

ඔය වයසට මොන ආලවන්තකම්දේ කියල මුං දෙන්නට ලව් කිරිල්ලක්නම් තේරුනේම නෑමයි ඒ කාලෙ පුරාවටම. විහිළු තහලු මඩ ගැහිලි විතරමයි තිබ්බෙ. හැබැයි ඉදල හිටල තරහවුන අවස්ථාවල ලියුම් කඩදාසි එහෙමත් හුවමාරු නොවුනා නෙවෙයි. කොල්ලා අතීතකාලය වර්ථමාන කාලය කියල වෙනසක් නැති ලියුම් ලියන්න නොදන්න ගස් හිපාටුවෙක්. සින්දු කෑලි කෝලම් බලි වශී වලින් කෙල්ලො රවට්ටන්න නොතේරෙන ටෝච් එලියෙන් හඳට යන්න හදන එකෙක්. 

ඔහොම ලැබෙන ලියමන් ගෙදර ගිහින් කොහෙත්ම කියවගන්න බැරි නිසා පාසැලේ බුදුමැදුර එහෙම නැතිනම් පිට්ටනිය කෙලවරේ තිබුන විලෝ ගස් තමා ඒකට උදව් වුනේ. ඒ තැන්වලට පැනගන්නව කියන්නෙත් දැලි පිහියෙන් කිරි පනුවෙ පිරිච්ච කිරි හට්ටියක් කනව වගේ තමා.පනුවො බේර බේර ඔය තැන් වලට රිංගගන්නව කියන්නෙ රජකමට ගොයියෙක් සුදුසුකම් ලබනව වගේ.

එච්වර එහෙම ගේමක් ගහල කියවාගන්න යන ලියුම්වල සමහර වෙලාවට සින්දු විතරයි .එහෙම නැත්නම් ඔයා දැන් වෙනස් වෙලා මාව බලන්න එන්නෙ නෑ අරකද මේකද බූවලු පොල්ලලි පොල් කටු හැම එකම ඕක අස්සෙ. එහෙම නැත්නම් තමුසෙ එක්ක මම තරහයි ආයෙ මගෙ පස්සෙන් ආවොත් තමුසෙව කොන්ක්‍රීට් කරල පින්තාරු කරල බකිනි ගහේ එල්ලනව වගේ භයානක කතා. දෙයියනේ මෙච්චර ලියුමක් කියවගන්න අච්චර කට්ටක්. එහෙව් ලව් වලට ඇස්වහක්නම් වදින්න එපා. පොඩ්ඩ ඇත්නන් සොකරි කාලිට අඳිනව බව දැන දැන එයාගෙම යාලුවො ලියුම් එවනව එයාගෙ අතේම. මේක බලල චොක්ලට් එකක් එවපං නැත්නම් ගෙදරට කියනව වගේ තර්ජන නැත්නන් කාලි මෑනියො වඩම්මවන්න හිතලම එවන හිස් කොල.

නාන්ප්‍රකාර විදියෙ ලියුම් අතර මේ කියන කොල්ලට හිතේ වැදුන අවසාන ලියමනක් තියෙනව. ඔය කිව්ව ආදර කතාව දෙවතාවක් නතර වෙලා ආයෙම පටන් ගත්තට පස්සෙ ලැබුන එකක්. එතකොට දහයෙ හෝ එකලොස් වසරෙ විතර වෙන්න ඕනි. බස් එකේ උදේම හොරෙන් අතමිට මෙලෙව්ව ලියුම අර පරිස්සමින් බෑග එකේ අඩිය කපල හදාගත්ත හොර සාක්කුවෙ දාගෙන උන්නෙ ඕක කියවගන්න විලෝ ගහයට නිදහස් ලෝකයට යන්න වෙලාවක් හම්බෙනකං. ඕක කියවගන්නකං තියෙන හැගීම ඔන්ලයින් ඕඩර් කරපු දෙයක් එනව දැන් ගේනව කියල කෝල් එකක් ආවම තියෙන කඩි කනව වගේ දැනෙන හැඟීමම තමයි. කල් යල් බලල බාන බැදගෙන ගහ යටට ගියෙ අදනම් මම සී සා වපුරා මිස මෙතැනින් නොගැටිමි කියල හිත හදාගෙන. 

අල්ෆෝන්සු අඹයක් වගේ ලස්සනට තිබ්බ ලියුම අතරින් ඒ ලොකු ඇස් එබෙනව දැනෙනව පේනව. සමහර තැන්වලදි ඒ ඇස්වලින් කඳුලු එහෙමත් වැටෙනව.කොලේ තෙමිලත් තියෙනව. නොනැගිටිමි කියපු කොල්ල ඊ ගහ වගේ නැගිටෙන්නව ඇස් ලොකු වෙනව ලියුම පොඩි වෙනව පහල තියෙන පොකුනේ මාලු ලියුම රස බලනව. අවසාන පද පේලිය ඒ තරම් බලවත්ද ? කොල්ලගෙ තිබ්බ සතුට හීන පුපුරවල දැම්මද ? අවසාන පද පේලිය දැනගන්න ඕනිද ?

ඒකෙ තිබ්බෙ මෙන්න මෙහම.

" තාරක අයියගෙ සම්බන්ඳෙ නතර වෙනකොට තිබ්බ දුකට මම කනේරු ඇට එක්ක සීනි කෑව අකලංක. ඒවා මගෙ බඩේ බැඳිලා තියෙන්නෙ. මට ඒක නිසා ලමයි හදන්න බැරිවෙනවලු. ඒ නිසා ඔයාට මාව ගැලපෙන්නෙ නෑ "

දහය වසරෙ ලමයෙක්, සෞඛ්‍ය පාඩම , ඔය සේරම එක්ක ශාන්තගෙ මූණ.

-ගොහිං එන්නං-

ප.ලි.-

කනේරු ශාකවල තියෙන්නෙ කාඩියැක් ග්ලයිකොසයිඩ් කියන විෂ වර්ගෙ. මේවා ශරීරගත වෙලා හෘදය වස්තුව අඩපණ වෙලා හුස්ම හිරවෙලා වලකජ්ජ ගහනව මිසක් කාපුවා අමාශෙන් ගර්භාෂයට ගිහින් බැදෙන්න නෑ.

ගෙවල් වල පොඩි ලමයි ඉන්නවනම් ඔය කනේරු කියන ගස් ගෙවල්වල තියානොගන්න එක තමා හොද.මල් කොල හැම එකම විසයි කියල තමයි කියන්නෙ.බොන වතුරට මලක් වැටුනත් ඇති.

එයැයිගෙ කතා -