Wednesday, December 29, 2021





 මං අද ඉන්නෙ මට හිතාගන්නවත් බැරි උන තත්වෙක.මං කියන්නෙ මගෙ හිතේ ශක්තිමත් බව ගැන.මේක ඇත්තෙන්ම මගෙ හිතමද.මං එහෙම මගෙන් අහගත්ත වාර ඕනි තරම්.මෙහෙම දෙයක් මං කලේ කොහොමද.ඒක තමයි මම මාව හරියටම අදුනගත්ත අවස්ථාව.

මගෙ නම නිශ්ශංක.කිසිම ශක්තියක් නැති නිශ්ශංක යාලුවො මට කතා කලේ එහෙම. ඇත්තටම මං හැමදේටම වගේ මුහුන දෙන්න හරි බයක් දක්වන මනුස්සයෙක්.

ඒලෙවල් කාලෙ යාලුවො සේරම ඉස්කෝලෙන් වේලාසන පැනල යනකොට පංතියෙ ඉතුරුවුනේ මං විතරයි.ඒ ඉගෙන ගන්න ආසාවට නෙවෙයි.ප්‍රින්සිපල්ට අහුවෙන්න තිබ්බ බයට, තාප්පෙන් පනින්න තිබ්බ බයට, ගෙදරට ආරංචි වෙයි කියල තිබ්බ බයට.ගියෙ බෝයිස් එකකට උනාට මාව හරියන්නෙ ගර්ල්ස් එකට කියල ගුරුවරුත් කියල නැතුවම නෙවෙයි.ඒත් මං ලග මං ගැන අමුතු හැගීමක් තිබ්බ. මං හැමවෙලේම කලේ හරිදේ මං එහෙමයි හිතුවෙ.

මොනදේට බය උනත් මං ආදරේ කියන හැගීමට බය උනේ නෑ.ඒත් ඒක ලග උන්ට කියන්න බය උනා.කාටවත් නොකියම මං රේනු එක්ක ආදරෙන් බැදුනෙත් ඉස්කෝලෙ අවසාන කාලෙ.ඒක ඇත්තටම ලස්සන සම්බන්දයක් වුනා ඒලෙවල් ඉවර වෙනකම්.ඉගෙන ගන්න එයාව රට යැව්වට පස්සෙ අපිට අපිවම අමතක උනා.ඇත්තටම මං එයාව අමතක කලා.එයාට මාව නොගැලපෙයි කියන බය නිසා.

පස්සෙ තව සම්බන්දකම් 2,3ක්ම ඇතිවෙල නැතිවෙලා ගියා.සමහර ඒවට ගෙවල් වලින් අකමැති උනා.සමහර ඒවා මට එපා උනා.ඔය කාලෙ තමයි අපේ ගෙදර අයට එයාලට ඕනි කෙනෙක්ට මාව බන්දන්න ඕනි උනේ.මං අද මේ ඉන්න තැනට පාර කැපෙන්නෙ එහෙම.

අපේ ඔෆීස් එකේ සෙට් එකම රෙස්ටුවරන්ට් එකේ මේසෙ ඉදන් කෑම එනකන් බලන් ඉන්න වෙලාවෙ තමයි දැක්කෙ සදමාලි පිරිමි කෙනෙක්ට තුරුල් වෙලා රෙස්ටුරන්ට් එක ඇතුලෙට එනව.සදමාලි කියන්නෙ මගෙ වයිෆ්.ඒ වෙලේ ඇති වුනේ අපුලක් එක්කම උසකින් බිමකට වැටුනා වගේ හැගීමක්.එයා මාව දැක්ක හෝ නොදැක්ක මං නොදැක්ක වගේ උන්න.

අද හිතේ උතුරන සතුටක් එක්කම උසාවියෙන් එලියට එන්න මට සලස්වල දුන්නෙ ඒ සිදුවීම.හිතට හයියක් ගෙනත් දුන්නෙ ඒ සිදුවීම.කොල්ල ගෙට ගියා ගෑනි පිට ගියා කියල මිනිස්සු කිව්වට ඒ ගෑනි පිට ගියෙ ඒ ගෑනි ආත්මෙන්ම ආදරේ කරපු මනුස්සය එක්ක බව කවුද දන්නෙ.කවුද ඇහුවෙ.සේරම බැන්නෙ සදමාලිට.ඒත් මං නොබැන්නෙම සදමාලිට.

වෙස්සන්තර රජතුමා තමන් ආදරේ කරපු බිරිදව නොදැනුවත්ව ශක්‍රදේවේන්ද්‍රයාට දන් දුන්නට මං බාර දුන්නෙ මං ආදරේ නොකල ,ගරුනොකල මගෙ බිරිදව එයාගෙ ගැලවුම්කාර දෙවින්ට.ඒ මගෙ නොහැකියාව කියල මිනිස්සු කියයි.ඒත් ඒක තමා මගේ උපරිම හැකියාව.ඒ එයාගෙ ආදරේ එයාගෙ ලෝකෙ.ඒක හදල දෙන එක තමා මගෙ හැකියාව වගේම යුතුකම.අයිති නැති දේවල් ලග තියාගැනීම නෙවෙයි ආදරේ.

ආදරේ කියන්නෙම පූජා කිරීමට.


Thursday, December 23, 2021

මේ තමයි ආදරය

මේ තමයි ආදරය 





ආදරේ ආදරේ 

මිමිනුවේ නැතුවාට

දැනෙනවා ඇගිලි තුඩු දුවන හැටි

නුඹට පපුවෙ අයිතිය හොයාන..

උණුසුම්ම සුසුමක දැවටීම

ගොලුකරනවා වචන

හිර කරල මුලු හිතම

ඇස් කතා කරවන්න...

දැනෙනවද ඇගිලි තුඩෙන් තුඩට

පනින විදුලිය

ඇටකටු පවා සීතල කරන අපූරුව

අත් නොඅල්ලාම...

මේ දැනුත් දැනෙනවා මට

නුබෙ කම්මුලේ වෙව්ලීම

තෙමන කදුලක උණුහම පපුවටම..

දන්නවද වස්තුවේ....

මේ තමයි ආදරය

අයිතියක් නොලැබීම.

Wednesday, December 15, 2021

වර්ගීකරණය

 වර්ගීකරණය 




ඔයැයිලට මතකනම් මම මේ මෑතකදි පාසැලක් කොහොමද ජීවිතේ වෙන්නෙ කියල මොකක්දෝ හෑල්ලක් ලියල තිබ්බ.මේක ඒකට අදාල නොවුනට මේකත් පාසැල් වලට අදාල කතාවක්.


මම හිටියා අහවල් පාසැලේ මතක එකතුකරන්නන්ගේ සංගමය කියල ගෘප් එක්ක.දැන්නම් මම නෑ .මම නෑ නෙවෙයි උන් මාව එලවල. අම්මට අප්පට හදන්න බැරිවුන කුණු කට අහවල් පාසැලෙන් හැදුනෙත් නෑ දරුවනේ. ඒකයි මේ සේරටම මුල කියලයි මට හිතෙන්නෙ.අනික් එක මට ඔය සමහර සුළු සුළු සිදුවීම් අමතක නොවීම.


ගුරුවරයා කියන සංකල්පය ගැන මම කතා නොකරමි.හමුවූ ගුරු වර්ග ගැන පමණක් කියමි .මෙන්න මේකයි ගුරු කතා වස්තුව.වස්තුව කීවට වස්තුටික.


අහිංසක ගුරුවරු -


මම ඔය අහවල් පාසැලේ හය වසරට ඇතුලත් වෙන්නෙ කඩයිම් ලකුණ කිරිහාමි අමුඩෙ ගැහුව වගේ තිබ්බ නිසා. දෙදහස වසරෙ. ඔය වෙනකොටත් පොඩි අක්ක දීප්තිමත් ශිෂ්‍යාවක් ඔය පාසැලේ. පසුකාලීනව මමත් ඉතා දීප්තිමත් වුනා. ඉගෙනීමෙන් නෙවෙයි. ලව් කිරිල්ලෙන්.


දීප්ති දීප්ති කියනකොට මතක් වුනේ හඳයාව.හරි අහිංසකයා වගේ උන්නට මෙහා ගොඩනැගිල්ලෙ ඉදන් එහා ගොඩනැගිල්ලට හඳයා කියන වචනයක් ඇහිලා අපේ අහිංසකම එකෙක් බෙල්ලෙන් උස්සල කනට ඩෝං ගාල එකක් දුන්න මතකයි.ඕක දැනගෙන අපේ පන්තිභාර මිස් අහනව ඔයාල අපිටත් නම් දාල තියෙනවද කියල. අනේ මංදා සිංදුවක් කිව්වාමත් මෙයාල හිතන්නෙ එයාලට කියනව කියලනෙ.


ඔය දෙදහෙදි අපි උන්නෙ තට්ටු දෙකක බිල්ඩින් එකක උඩ තට්ටුවක.මම තට්ටු ගොඩනැගිල්ලකට ගිය පලවෙනි අවස්ථාව ඒකද කොහෙද . ලස්සන ඇහැල ගස් පේලියක් තිබුණා ඕක ඉස්සරහ.ඇහැල කියන්නෙ ජීවිතේට බැඳුන දෙයක්වුනේ ඔතනින්ද කොහෙද. ඕකෙ මල් පිපුණම හරිම ලස්සයි.පන්තිකාමර ලඟම මල් කිනිති. හරියට මල් වත්තක් වගේද මංදා. පොඩි වයස නිසා ඕවා එච්චර ඔළුවට නොගත්තට සමහර සිදුවීම් නැවතිල්ලේ මතක් කරල බැලුවාම දැන් එහෙම හිතෙනව.


ඔන්න ඔය සුන්දර පන්තිකාමරේ ඉන්නකාලෙ අපිට අහවල් විෂය ඉගැන්නුවෙ ගුරුවරියක්. හරි හුරුබුහුටි සුදු ලස්සන කෙනෙක්. පාසැලේම උන්න පොඩිම ලමයි විදියට අපිව හොදට බලාගත්ත වගේ මතකයි. එයා කොච්චර හොදවුනත් එයාට අපිට උගන්වන්න දුන්නෙම නෑනෙ. අමුතු පෙනුමක් තිබ්බ් ගුරුවරයෙක් එනව පන්තිය ලගට.ඊට පස්සෙ මිස්ව පන්තියෙන් එලියට එක්ක ගිහින් දෙන්න කතාව කතාව කතාව. කාලපරිච්ඡේදය ඉවර වෙනකන්ම කතාව. සීනුව ගැහුවාම දෙන්නත් එක්කම යන්න යනව. ඔන්න ඊලග දවසත් ඔහොමමයි.


ඔහොම කතා කරගෙන කරගෙන ගිහින් එකපාරටම මිස් පන්තියට එන්නෙ නැතුව ගියා. ඔහොම සතිගානක් අපි ඉන්නැති ගුරුවරයෙක් නැතුව. අර ගුරුවරයත් ආයෙම පාසැල ඇතුලෙ දකින්න ලැබුනෙ වසර දෙකකට විතර පස්සෙ. දෙන්නව දඬුවම් මාරු යවලය කියල පස්සෙන් පහු කාලෙක තමා දැනගත්තෙ. සමහරවිට අපි ලව් කරන්න ඉගෙන ගන්න ඇත්තෙ ඕව බලාගෙන වෙන්ට ඕනි.


ඒ විෂයට අභාගයසම්පන්න කාලක් උදාවෙන්නෙ ඊට පස්සෙ. අනේ අපිට ආව තව ගුරුවරයෙක්. පන්තියට ආව ගමන් කාට හෝ නැඟිටල පාඩම කියවගෙන යන්න කියනව. කියවනව කියවනව . එපමණයි. සමහර දාට අපි පාඩම් 4,5ක් එක දිගට කියවල. එක පාසැල් වාරයක්ම ඒ ගුරුවරයා පන්තියට ඇවිත් නෑ. අපි ඉතිං ගුරුවරයා එක්ක එන්න කියල යනව පාසැල වටේම රෝන්දෙ.

සමහර විට අපි දැහැමි නොවෙන්න ඇත්තෙත් ඕවා නිසාද කොහෙද.


දෙන්නෙක්ගෙ ලව් කිරිල්ලෙන් අපිට කෙලවුණු තරම තමයි ඒ.


ඔය ලව් දායාදයක් විදියට හමුවුණු ගුරුවරයා වගේම තව ගුරුවරියක් හිටියා. පංතියට එනව.පිටු 400ක පොත බලා ගන්නව කියවගෙන කියවගෙන යනව. ළමයි ලියාගෙන ලියාගෙන යනව.ඊට ලේසි ඒ පොත ෆොටෝකොපි ගහල බෙදුවනම්. එක දවසක් ළමයි ඒ පොතේ පිටු 2ක් ගලවල සඟවලා නිසා ගුරුතුමීට දවසම ඉගැන්වීමක් කරන්න බැරිවුනා. බලා කියවීම කරගන්න විදයක් නෑනෙ.


පාසැල් ප්ල්ස් පුද්ගලික පන්ති ගුරුවරු-


ඔය පාසැලේම උසස් පෙල හදරනකොට මම විද්‍යා විෂයධාරාව තමයි තෝරගත්තෙ. ජීවිතේ කරපු වැරදි තෝරාගැනීමක් විදියට ඒක නොදැනෙනව නෙවෙයි. උසස්පෙල කියන්නෙම පුද්ගලික පන්ති මත යැපීමක්. පාසැලේ ගුරුවරයෙක් වේවා පිටත ගුරුවරයෙක් වේවා අපට ඔවුන් මත යැපීමටම සිදුවෙනවා.සිදුකරනු ලබනවා. ඇයි මම එහෙම කියන්නෙ.


ඔය කාලෙ මම පුද්ගලික පන්තියකට සහභාගීවුනා පාසැලේ ගණිත අංශයට යම් විෂයක් උගන්වපු ගුරුවරයෙක්ගෙ. මාස කිහිපයක් ගියාට එයා කියන කිසි දෙයක් මට තේරුම් ගියෙ නෑ.හරියට කම්පියුටර් හයෙන් තුනක් කැඩුනාම ඉතිරි හතර කෝ වගේ අහන මට්ටමේ තමයි මම හිටියෙ. ඉතිං සල්ලි සහ කාලය දෙකම අපරාදෙ නිසා එයාට ටටා බායි කියල මම වෙන ගුරුවරයෙක් හොයන් ගියා.

ප්ලාස්ටික් කවරයක් ගිලල කක්කි දාපු බල්ලෙක් වගේ සිදුවීමක්ට මුහුණ දෙන්න සිදුවුනේ ඒ හැරයාමත් සමඟමයි.

සෑම දිනකම සපත්තු දෙකේ ලේස් ලා කළු පැහැයක් යැයි කියමින් හෝ මාව උදෑසන රැස්වීමෙන් පස්සෙ නවත්වගන්න පටං ගත්තා. විනය විරෝධීවීම හා පුද්ගලික පන්ති අතර තියෙන්නෙ අනුලෝම සමානුපාතිකයක් බව වටහාගන්න පුළුවන් වුනේ ටික කාලයක පසුව.


ඒ එක් අයෙක්.තව ගුරුවරියක් භාවිතා කලා අපූරු ක්‍රමවේදයක්. කාටවත් පුද්ගලික පන්තියට සහභාගී වෙන්න යැයි කියන්නෙ නැහැ. නමුත් ඇය පාසලේදී විෂය නිර්දේශය මුල සිටත් පුද්ගලික පන්තියේදී විෂය නිර්දේශය අවසානයේ සිට මුලටත් ඉගැන්වීම සිදුකරනව. උසස්පෙල විෂය නිර්දේශය කිසි ලෙසකවත් පාසැල් කාලයේදී අවසන් කරන්න බැරි නිසා පුද්ගලික පන්ති නොයන්නන්ට දෙවියන්ගේ පිහිටම තමයි.


නමුත් අක්කා ඇයගේ දීප්තිමත් ශිෂ්‍යාවක් වීම නිසා මට සමහර අවස්ථාවල විශේෂත්වයක් නොලැබුනාම නොවෙයි.

අකලංක තමුසෙ මේ මොනවද කරන්නෙ .අක්කනම් ඔහොම නෙවෙයි.අක්කට ලැජ්ජා කරන්න එපා වගේ වචන වලින් වගේම , සියල්ලෝම කල වරදකට අනික් සියල්ලන්ම පන්තිකාමරයෙන් එලියේ තැබීමටත් මා පන්තිකාමරයේ තබා ගැනීමෙනුත් ඇය විශේෂත්වයෙන් සැලකූබවට මතකයක් ඇත.


අපි තමයි හොදටම ගැහුවේ -


පරණ යුධ චිත්‍රපටවල කඩුව අමෝරාගෙන දත් විලිස්සාගෙන සතුරාමත කඩා පනින සොල්දාදුවන් ඔබට මතකයැයි සිතමි. එම රූපය මතකයෙ තබාහෙන මෙම වර්ගය කියවන්න.

බැටලුවෙකු දුටු රැප්ටරයෙකු සේ ළමුන් වෙත කඩ පනින ගුරුවරු කල්ලියක් මට මතකයි.

ඒ අය අතර තිබ්බෙ තරඟයක්. ඉගැන්වීමට නෙවෙයි.

මම තමයි හොදටම ගැහුවෙ කියන්න.


ඔය අතරෙ කාන්තාවක් උන්නා.එච්චර උසත් නෑ.කටනම් නිකන් එන්සිනා වගේ. කතා කරන්නෙම ඇඟිල්ල උරුක් කරගෙන. පංතියේ ගැහැණු ළමයෙක්ගෙ ප්‍රේම සම්බන්ධයක් ගැන ලැබුනු ඔත්තුවකට මුළු දවසම අපෙන් ප්‍රශ්ණ කලා මතකයි .හවස කෙල්ලව පන්තියට අරගෙන ආවෙ වත්තං කරගෙන. ඒ තරමට රසට එයාට බුෆේ එකක් දාල දීලා ගුරුවරියගෙ දෑතෙ මහන්සියෙන්.


සුදු උස මහත කෙනා. කට කතාවට කියන්නෙ කලින් මහණදම් පුරපු කෙනෙක් කියල. අන්න ඉතිං ශාන්ත බවේ ප්‍රතිමූර්තියක් තමා. ගැහැණු පිරිමි කියල කිසි වෙනසක් නෑ. හැමෝටම බෙදන්නෙ එකම බුෆේ එකෙන්. එයාගෙ තරම එයා මනින්නෙ ඔරලෝසුවේ පටිය කැඩෙන වාර ගණනෙන්. මටනම් වැඩිය ගහල නෑ.එක දවසක් පයින් ගහල බඩ මිරිකුවා.බඩ කිව්වට මිරිකන්නෙ බුරිය.දවස් කීපයක් යනකං තෙල් ගාන්න වෙන්න.


එකලොස්වෙනි ශ්‍රේණියෙ පන්තිකාමරවල තිබ්බෙ තරමක් උස බිත්ති.අඩි 8ක් නවයක් විතර ඇති. එකලහේ මුල්ම දවසක එහා පන්තිකාමරයට විද්‍යාත්මක විෂයක් උගන්වනව සුදු උස ගුරුවරයෙක්. අපේ පන්තියෙ බජව්ව. අද මම තොපි සියල්ල අනුභව කරමි ලුක් එකෙන් සුදු උස කෙනා ආව. කරුමයේ දිග පළල හයිවේ වලින් කියන්න වෙනව වගේ අනික් උන් සේරම ඉදගෙන මම විතරක් හිටගෙන.


"මෙහෙ වරෙන්" කන් පාත් කරන් මම එලියට ගියාම

රන්ජන් රාමනායක ටෙනිසන් කුරේව උස්සල ගත්තා වගේ මගෙ බෙල්ලෙන් උස්සල බිත්තියට හේත්තුකලා.


"තොපි මොකද කෑගහන්නෙ " " ටෝං ටෝං."


"කවුද පන්ති නායකයා"


"මම සර්" " ටෝං ටෝං ටෝං"


" කෝ බැජ් එක "


" තාම ගත්තෙ නෑ සර් " " ටෝං ටෝං ටෝං ටෝං"


කකුල් බිම වැදුන ගමන් මම කලේ කණිෂ්ඨ කාර්‍යාලයේ මේස ලාච්චුවෙන් බැජ් එකක් අරං ආව එක.

ඒ කාලෙ ඔය බැජ් එකක් රුපියල් 50ක්. ගුටිකන්නයි සල්ලි වියදම් කරන්නයි දෙකක් කරන්න පුලුවන්ද.බෑනෙ.


ඔය රැප්ටර් කල්ලියට පසුකාලීනව එකතුවෙනව තව කෙනෙක්.එයා ගැන මගේ අත්දැකීම මෙහෙමයි.


"කවුද භල්ලො කෑ ගැහුවෙ"


"අපි දන්නෙ නෑ"


"තෝ කොහොමද දන්නෙ නෑ කියන්නෙ" ටෝං ටෝං


"සාදු වැරැද්ද කරපු එකෙක් හොයාගන්න"


" තෝ එනවද මට උඩින් කතාකරන්න " ටෝං ටෝං


මෙයා චීවරදාරියෙක්.වැඩි උසක් නෑ.උඩ පැන ගහන්නෙ රෙස්ලින්කාරයෙක් වගේ. කිසි දවසක හරි වැරැද්දක් සොයා බලන්නෙ නෑ.මුලින්ම කරන්නෙ කනට ගහල ඉන්න එක.

පශ්චාත්භාගය අහිමිවූ කඩියෙක් වගේ හැසිරීම. ඔය එයාගෙයි මගෙයි අත්දැකීමෙ අවසන් ප්‍රතිඵලය වුනෙ ඒ ටෝං ටෝං එකම මම වෙන එකෙක්ට පාස් කරල වැරදිකාරයා හොයාගත්ත එක විතරයි.


ගැහුවෙ නැත්නම් හදන්න බෑය.අපි මෙහෙම ඉන්නෙ ගැහුව නිසාය කියල ටිපර් වලින් වචන බාන අය ඉන්නව. අනේ ඒ ගහලත් මමනම් තාම මෙහෙමම තමා. එක්කො මට ගහල මදි වෙන්න ඇති.


ගිරා පැටව්-


අහවල් පාසල ලොකු පාසැලක් නිසා නිතරම නව පත්වීම් ගුරුවරු එකතුවුනා. සීමා වාසික, පුහුණු කාලසීමා , නොයෙක් ආකාරයේ අය වගේම එහෙම ඇවිත් කොහොල්ලෑවල ඇලිච්ච අයත් ඉන්නව.මේ වර්ගයට අයත් වෙන්නෙ ඒ අය.

මෙයාල නිකන් පතෝල වගේ ඇවිත් උඩ තියෙන වර්ග වලින් එකකට පසුකාලීනව උසස්වීම ලබනව.

ඒ බෞතීස්ම ලබන්නෙ මෙන්න මෙහෙමයි.


පරණ අයගෙ තියෙනව එක එක විදියෙ කල්ලි. අහිංසක ,රැප්ටර් , කෝකටත් නැති, පන්දම් අල්ලන වගේ.

අලුතින් එන කෙනාට උගැන්වීමට සිදුවෙන විශය අනුව ඒ අයට සමීපව ඇසුරු කරන්න වෙන අයගේ අනුගාමීන් බවට මේ අය පත්වෙන්නෙ නිරයාසයෙන්. ඒකෙන් එයාල තමන් අතුපතර විහිදුවාගත් නුග ගහක් වෙන්න හිතුවට වෙන්නෙ පාසැල් මාතාවගෙ සිරුරේ පිළලයක් වෙන එක.

ඇත්තෙන්ම අලුත් අය සුලඟට ගසාගෙන යන ගිරව් පැටව් වගේ.වැටෙන තැන අනුව වැඩෙනව.ඉරණම නෙළුමක් වීමද හෝ බාඳුරාවක් වීමද යන්න කල්ලි විසින් තීරණය කරනව ඇත.


පිස්සො -


මේ වර්ගයේ ඉන්නෙ කිසිම වගකීමක් හෝ පාලනකින් තොර අය.අතට අහුවෙන ඉබ්බෙක්ගෙන් පිස්ටන් එකකින් වගේ දමල ගහන්න දෙවරක් නොසිත අය.ඒ ගැන ඊට වඩා පැහැදිලි කිරීම් හෝ උදාහරණ දීම අවශ්‍ය නැහැ.


මේ සියල්ල මම දැක්ක විඳපු වසර 15කට පෙර පාසැල් ජීවිතේ ඇසුරෙන් කරපු වර්ග කිරීමක්.මේකට ඇතුලත් නොකල තව සිදුවීම් සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නව. ඒක නිසා මේ චරිත තමන්ගේ ගුරු තරුවලට ආදේශකරගෙන සිත් රිදවාගැනීමෙන් වලකින්න. එය මට වගකීමක් ගත නොහැකි කරුණකි.



Thursday, December 9, 2021

ටෝක් කතා - 1

ටෝක් කතා - 1



මේවා ටෝක් කතා 

ඒ කියන්නෙ කෙල්ලො ටෝක් කරපු කතා.

මේකෙ ඉන්න උන් කෙල්ලෙක් එක්ක යාලූවුන අඩුම වයස කීයක් වෙන්න ඇද්ද.මංනම්  9 වසරෙදි.ඒක නිකන් කුජීතම උන සිද්දියක්.

කතාව මෙහෙමයි.මට ඉන්නව අතිජාත මිත්‍රයෙක්.මට වඩා අවුරුද්දක් වැඩිමල්.ඌයි මායි තමා බස් එකේ එකටම යන්නෙ එන්නෙ.පවුලේ හිතවත්තු වගේ සීන් එකකුත් තිබ්බ.

මං හෙනම අහිංසක එකා.ඌ හෙනම නසරානියා. වලි ,ඉස්කෝලෙ කට් කෙරෙලි හරියට.වෙලාවට අපි දෙන්න ගියෙ එකම ටවුමෙ ඉස්කෝල දෙකකට.වාසනාව කියල හිතුනා නෙහ්.මටනම් තාමත් හිතෙන්නෙ එහෙම.

ඌ එතකොට 10.ඌත් බස් එකේ යන කෙල්ලකට ලයින්.ඒක වෙනම කියන්න ඕනි ස්ටෝරියක්.දැන් ඌ කෙල්ලෙක් එක්ක සෙට් උනොත් මං කියල නිකා ඉන්නද.එහෙම බෑ පිංවතුනි.මං සෙක්න්ඩ් වෙනව එහෙම උනොත්.බැල්ම දාගෙන උන්න බස් එක පුරාම.අනේ මේ පිංවතාගෙ වාසනාවට ටවුමෙ ගෑනු ඉස්කෝලෙට යන්න අලුත් ලමයෙක් ආවා කියාංකො බස් එකට.දැන් ඉතින් කොල්ලට ලව ගැහුවා ඔලුවට.දැන් ඉතින් අර කෙල්ල නගිනකන් බලන් ඉන්නව.කෙල්ල නැග්ගාම ලගට වෙලා ඉන්නව.පොඩි පැනි ලයින් දානව.හැබැයි නෝ කතා.

කෙල්ලගෙ යාලුවොසෙට් එකට සීන් එක මීටරේ.දැන් තමා ආතල්ම.කෙල්ලට මාව පෙන්න පෙන්න එක එක ඒවා කියනව.කෙල්ලව උන් උනන්දු කලා කිරිල්ලක්.කෙල්ලගෙ අම්ම කෙල්ලව ශිෂ්‍යත්වෙටවත් එහෙම උනන්දු කරල නැතුව ඇති.කෙල්ල කොච්චර උනන්දු උනත් කොල්ලට හිතෙන්නෙ නෑ කෙල්ලගෙන් අහන්න. ඕකා හෙනම ආඩම්බරයි ඒ කාලෙ ඉදන්.කෙල්ලෙක් එක්ක කතා කරන්නෙ හරි අඩුවෙන්.ආයෙ ටෝක් කරන කෙල්ල කියල ඒකෙ වෙනසක් කලේ නෑ.


අර අතිජාත සුජාත මිත්‍රයා හැමදාම කියනව.අහපන්.අහපන්.කොල්ල ම්ම්හුම්.

එකෝමත් එක අදුරු දවසක් උදා උනා.අපේ පාරෙ CTB බස් එකට හැමදාම වගේ අදුරුයි තමා දූවිලි මාලිගාවක්.ඊට වඩා ඒ බස් එක ගියාම පාර අදුරුයි.ඒතරම් කලු දුම.ඔය බස් එක ගැනත් තියෙනව වෙනම කතා.හැමදාව වගේ පාරට වෙලා බලන් උන්නට උදේ බස් එක ආවෙ නෑ.එයා බාගෙට මැරිලා පාරක් අයිනෙ.ඊට පස්සෙ ආයෙමත් එන්නෙ 7.15ට ප්‍රයිවට් එකක්.ඕකෙ ගිහින් ඉස්කෝලෙට යනකොට 9 පහු වෙනව.

ඒ කියන්නෙ පිනා සෑර් ගෙන් අම්බානක පෝරියල්.

එදා මේ අදුරු දවසෙ පිනා සෑර්ගෙ මූන පිට්ටනියෙ තනකොල , කානුවල පිරුනු කොල රොඩු මතක් කරගෙන මං ඉන්නව බස් එකේ.ඔය වෙලාවට එන බස් එක පිරිලා සෙනග.ඕකට පරක්කු උනත් ඉස්කෝලෙ යන්නම ඕනි කියල හිතන් ඉන්න උන් ටිකත් නැග්ගාම කට කපල සෙනග.

ඔන්න මං ඉන්නව බස් එකේ සීට් දෙකක් අල්ලන් එක පැත්තක.ඔන්න ඊලග හෝල්ට් එකෙන් නගිනව අතිජාත මිත්‍රයා.ඔන්න ඔහොම ටික දුරක් ගියාම නගිනව මගේ පෙම්බරිය හා පිරිස.උන්ට බස් එකේ ඉන්න ඉඩක් නෑ.අල්ල ගන්න තැනක් නෑ.උන් ඉන්නව හරියටම අපිට පිටුපාල බස් එකේ හිටන් ඉන්න මැදපෙල විදියට.

ඩ්‍රයිවර් බ්‍රේක් ගහනව.කෙල්ලො ඇගට එනව.ඩ්‍රයිවර් බස් එක අද්දනව කෙල්ලෙ ඇගට එනව.ලැව් ගිනි ඇතිවෙන්න වගේ ඇතිල්ලෙනව.හිත රත් වෙනව.ගත උනු වෙනව.

අනේ අර මිත්‍රයා එක පාරටම අනිනව වැලමිටෙන් මගෙ පෙම්බරියට .

" නංගි මූ ඔයාට කැමතී ඔයා මොකද කියන්නෙ "

 මගෙ හිත නතර වෙනව.කොන්දා කෑ ගහනව ඇහෙනව.බස් එක හයියෙන් යනව.හුලං එනව.මට දාඩිය දානව.


තව හෝල්ට් 2ක් විතර යන්න ඇති.මට තේරෙනව මට පිටිපස්සෙ තියෙන දේ කැරකෙනව වගේ.බඹරෙ වගේ.

කෙල්ල හැරෙනව එක පාරටම මං ඉන්න පැත්තට.මෙච්චර වෙලාවක් අල්ලගන තැනක් නැතුව වැනි වැනී උන්න කෙල්ල.අල්ල ගන්නව මගෙ අතින්.

"මං ඔයාට කැමතී."

නිමි.

Wednesday, December 1, 2021

 


ඒක උනේ මෙහෙමයි.

අපි සිංහල මිනිස්සු.එතකොට අපි ලග තියෙන හොදම ගුණය මොකක්ද.ආ. සේරම සතියෙන් අමතක කරන එක නෙවෙයි.ඊට වඩා හොද එක.

අන්‍ අය ගැන සිතීම සහ උදව් කිරීම.ඕක සුද්දො හරියට කියනව.අපි එහෙමලු.සුද්දො කියන්නෙ පිස්සො ජාතියක් කියල මට හිතෙන්නෙ නැතුවමත් නෙවෙයි.

මොකක් උනත් ඒ ගුණේ මං ලග තියෙනව.මේ ලගදි කෙනෙක් ඇවිත් මං ලග දැවටෙනව.මට දිරෙව්වෙ නෑ ඒ දැවටිල්ල.දුන්න පාරක්.විසි වෙලා ගියා.ඔන්න ආයෙම ඇවිත් දැවටිල්ල.මේ දවස් වල රෑට සීතලයිලු.පැයකට දෙකකට ඉන්න තැනක් ඉල්ලනව.අන්න මගෙ අර ගුණේ ඉස්මතු උනා.නැත්නම් ඌ මගෙ ඒ ගුණේ ඉස්මතු කරව ගත්තා.

කොහොමින් කොහොම හරි නවාතැන් දුන්න කියමුකො.ඉත්තෑවගෙ ගෙට කැබැල්ලෑව රිංගත්තාහෙ මූගෙන් හරිම කරදරේ.දගලනවා ඇවිදිනවා එක එක කෝලම්.වරක් දෙවරක් වෝනින් කලා.ම්හූ.. එයා ආතල් එකේ මගෙ ආතල් කඩනව.

සිංහලය කියන්නෙ සිංහයන්ගෙ පැවතෙන්නෙ කියනව නෙහ්.කේන්ති යනව නෙහ්.ඉවසීමෙ සීමාවක් තියෙනව නෙහ්.එතකොට අර සිංහ ගති ඇවිත් පහරදෙන්න සූදානම.එහෙමද හිතුවෙ.නෑ බන්.සිංහයා කොඩියෙ උන්නට හැම තැනම ඉන්නෙ අලිනෙ.එතකොට අලියගෙ නහයට කටුස්සා රිංගුවාම අලියට උනදේ තමා උනේ.

අපි ඉතින් හොරෙන් ගෙට රිංගන්න එන එකාටත් කරන්නෙ වතුර ගහන එකනෙ.ඒක අපිට ඈත අතීතයේ ඉදන් එන සිරිතක්ය කියවනෙ.ආගන්තුකට ඒත් ගානක් නෑ.සබන් කෑල්ලක් තිබ්බනන් නාගන්න තිබ්බ කියපි.


ඉතින් කොහොමදැයි දන් වලදන්නේ.දැන් මේ යකා මගෙ යක්ශයාට වඩින්න කියල පාවඩ එලනව.දියමස් ගොඩ මස් තියල කුකුල් කරමලෙන් (මගෙන්ම තමා) ලේ ඩිංගකුත් දාල පිදේනි ගොටුවකුත් තියල. අවස්තාවාදීන් හැමවෙලේම වැඩ කරන්නෙ අනික් කෙනාව අවුස්සගෙන ප්‍රහාරයක් එල්ල කරයි කියන බලාපොරොත්තුවෙන්.අපි ඒකට අවස්තාව දුන්නොත් උන් ප්‍රීතියෙන් පිනා යනව.අපි කැමතිද එහෙම.සතුරෙක් නෙවෙයි මිතුරෙක් උනත් ප්‍රීතියෙන් ඉන්නවට අපි කැමතියැ.ඒව හදේ.හාවගෙ කනේ.

මොනා උනත් අපි ඒ කාලෙ ඉදන් (ඒ කාලෙ කිව්වෙ ඉංගිරිසි හෝඩිය ලංකාවට ආව කාලෙ, නැතුව අපි දන්නවැයි ඒ බී සී ඩී, කොස් ඇට සිබිඩී හැර) ඉවසීම කියන එක තිබ්බ.ඉවසීම කියන එක තිබ්බෙම යටිකූට්ටු ගේම් ගහන්න බලාපොරොත්තුවෙන්.සතුරා පුදුමකරවීමට.කැප්පෙටිපොළ මහ නිළමෙතුමත් අන්න ඒ ජාතිය තමා.ඉවසන් ඉදල ඉදල අවස්තාව ලැබුන ගමන් පැත්ත මාරුකරල දුන්න දොබෙන් යන්න.උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය ගැන තියෙන දැනුම නිසා මාත් අන්න ඒ චරිතෙ ආරූඪ කරගත්තා.දෝතිය වෙනුවට සරම ඇදගත්තා.

දැන් මං එන්න මේ පැන් බොන්න මේ පලතුරු කන්න කියාගෙන ඉන්නව.මගෙ හිත යටින් හිනා වෙනව.අරූ හිත උඩින්ම හිනා වෙනව.ඌ කනව මං සංග්‍රහ කරනව.ඌ බඩ පිනුම් කරණම් ගහනව මං අත්පුඩි ගහනව. හිරැ නැගෙයි ඈත අහසේ ඔබ නිදයි සුව යහනේ කියල මං මගේ යටිකූට්ටු ගේම දියත්කලා. දියත් කලා කියන්නෙ වෙන උන් එලල ආපු මාලුදැල් වලින් මාලු උස්සන්න ඔරුව දියත් කරනව වගේ තමා.


තනියම මෙහෙයුම් කටයුතු කරන්න බෑනෙ.මං අණ දෙනකොට වැඩ කරන්න එකෙක් ඕනි නිසා සහයට ඩැනීගෙ පුතාව ගෙන්න ගත්තා.ඊලගට මේ කටයුතු ගැන විශේෂ දැනුමක් තියෙන කෙනෙක් ලගට ගියා.රන් තැබිලි තියාගෙන ගොන් තැබිලි බොන්න ඕනි නෑනෙ.මදුශ් ලගට ගිය මන්ත්‍රී වගේ කිව්ව අඩාගෙන ප්‍රශ්නෙ.ගාස්තු කතා කරගත්තා.

මෙහෙයුම ආරම්භයි. මොන පාතාලෙ උනත් හොදින් කියනවනෙ මුල් දෙවතාව.හොදින් කිව්ව යන්ට මේක ඔබේ තැන නෙවෙයි පින්වත පිටවන්න.මුජබර් රහුමාන්ට කඩු ගැන කියන්නහේ කනකට ගන්නෙ නෑ. 

අන්තරේට උනත් අවම බලය භාවිතාකරන නිසා තීරණය ආයෙම ස්නායක් දෙන්න.ඉබ්බට වතුර ගැහුවා වගේ වතුර කාගෙන යනව.වෙඩි සද්දෙ අහුනොත් පොලීසි උස්සන් යාවි කියල හිතුන නිසා අපි සගවාගෙන උන්න උල් ආයුද භාවිතා කරන්න තිරණය කලා.

ඉබ්බ උනත් ගෑනියෙක් දැක්කාම කට්ට දාල දුවනව කියනව වගේ මෙන්න ගෙනාපු බඩු පැක් කරන් එලි බැස්ස සතුරා.එලියට ඇවිත් අම්මමෝ නැතුව මට දෙස් දෙවල් තියන්න ගත්තෙ.මානවහිමිකම් යනවය, යන්න කිව්වනම් යනවනෙ වෙන උන් දම්මල ගස්සන්න ඕනි නෑය අරකය මේකය. ඒ කතා අහල මගෙ තරහත් නිවිලා.කියන මංගල්ලයක් කියාගන්නය කියල කුඹියෙක්ගෙන් පිටවුනු අධෝවාතයක් තරම්වත් ගණන් නොගෙන අපි ආව එනට.මගෙ මෝඩකම නිස දේවාලෙ ඉහේ කඩන් වැටුන නිසා මං තනි මහන්සියෙන් සේරම පිලිසකර කරගත්තා.

ඔන්න ඔය නස්පැත්තිය නිසයි පහුගිය දොහේ මේ පැත්තෙ කරක්ගන්න ඉස්පාසු නැතුව ගියෙ.


ප.ලි.-- 

අටුවාටීකා ටිප්පනි ගස් කැපිලි පදුරු තැලලි තාර දැමිලි නැතුව කියනවනම් කණට කුරුමිනියෙක් ගියා අයිබොවන්ඩ.පැය 9ක් ඌ එක්ක දැහෙමින් සෙමින් වසල දොස්තර මහත්තයට කියල අයින්කොරගත්තා.


Thursday, November 25, 2021

සමාවෙන්නකො සාදු

සමාවෙන්නකො සාදු





සමාවෙන්නකො සාදු

නිසිලෙසක වැදගන්න

ඇදුම ඉඩ නොදෙනවා

නැමුවොතින් හිස තවත් 

කොන්ඩෙ මල් වැටෙනවා

ෆොටෝ එක කැත වේවි

සිතත් කෑ ගසනවා


හිමිදිරියේ අන්දාපු

ඇගට හිර බර ඇදුම

සිතත් සිර කරනවා

නුපුරුදුම උස් අඩිය

දෙපා වෙව්ලුම්කවනවා

හංදියේ නුග ගහත්

මා වගේ සිතෙනවා


හැඩවලට ඉදලාම 

මුලු ඇගම රිදෙනවා

නිදිනොමැති දින ගණන

මතකයට නැගෙනවා

තාම අපි බැදල නෑ

කසාදේ දුක දැන් දැන්ම විදිනවා


සමාවෙන්නකො සාදු

පුදබිමේ සිටත් අපි

කෙලෙස් ගොඩ ගසනවා

ඔබ වහන්සේ දැක දැකත්

වෙනතකට ඇදෙනවා

බැදීමේ දුක සිතින් අප විදිනවා

ඉතින් අපි හැමදාම

සසර සැරි සරනවා

Wednesday, November 3, 2021

ආලයේ ගාථා

 - ආලයේ ගාථා-






"උබට ගැලපෙනම කෙල්ල මේකි තමයි."


අපේ මූලාරම්භය එතැනයි කියල මට තාම මතකය.එම කතාව කියල මට ඒ ඇයව හදුන්වලා දුන්නේ ඇයගේ දකුණතවන් මිතුරියයි.

අපි දැකල නෑ කතා කරල නෑ. දෙන්නවම දෙන්නා දන්නෙ නාම මාත්‍රිකව. ඒ ඇයගේ දකුණතේ කටකාර කම නිසාමයි.


මම ඇය ගැන නොසිතුවාමයි කියල කීවොත් මම වැරදී. කටකාරීගේ මිතුරි ලැයිස්තුවේ සිටි ඇයගේ රූපයට මං නිතරම එබුනේ තරමක් වෙනස් නිදහස් ඡායාරූපයක් නිසා. කැමරාවක් එල්ලගෙන විල්ලුවක් මැද හිටන් ඉන්න කෙල්ලෙක්ව දැක්කාම කාටද ආයෙ ආයෙම නොබල ඉන්න හිතෙන්නෙ. අනික මේ විගඩමක් වගේ බූසි කොන්ඩයක් තියෙන කෙල්ලෙක්ව.


කණාමැඳිරි එලියෙන් පාර සොයමින් සිටි මිනිසෙක්ට කෑලි පහේ පන්දමක් දුටු විට එයට ආශාවක් ඇතිනොවන්නේද ?

හදුනාගන්නයැයි බලකරන්නේනම් එය නොකර සිටීමට මට ඇති හේතුව කුමක්ද ? මා තුල හටගත් ප්‍රශ්ණ සමුදාය නිරාකරණය කරගැනීමට ඉඩක් නොතබාම ඇයට ඇරයුමක් යොමුකලෙමි. කටකාරියගේ මිතුරිය දැන් මාගේ මිතුරියයි.


ගසට ගසක් විල්පත්තුවේදී හෝ ජල ගැලුම් නිම්නයේදී හමුවන්නේ යම්සේද අපද එසේමය.හමුවීමට තෙවන පාර්ශවයක බලපෑම තදින්ම තිබිය යුතුවිය. කටකාරිය හැඩකාරිය වූවාත් ඇඟෙන් මිදෙන සෑම මොහොතක්ම මම සිත බූසි කොන්ඩාකාරිය වෙත යොමු කිරීමට උනන්දුවිය. උත්සාහ කලේය. ඇය සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් තවම නැත්තේය. නමුත් මා ඒ ඇස් පස්සේය.


ඇය හැඩකාරය ,කටකාරය ,සුකුමාලය නිදහස් සිතුවිලි ඇත්තියක්ය .ඒ සිත කී ඈය. සිත මට පෙන්වූ ඈය.

ඇය එසේමදැයි සොයා බැලිය යුතුමය. ඇය මටම කැපෙන්නේදැයි උරච්චි කර බැලිය යුතුමය. විය සිදුරෙන් ඇගේ සඳ වෙත එබිකම් කිරීමට ලැබුණු දිනය අවසන්වූයේ හිරු නැගෙන හෝරාවේදිය.


"මෙහෙම එක දිගට පැය 10ක් 12ක් චැට් කරන්නෙ ඇයි අපි " මම සුපුරුදු ලෙස ප්‍රශ්ණවලින් දමාගසනා මාය.


"දන්නෙ නෑ " ඒ කාන්තා ශබ්දකෝෂයේ ඉතා සරල වැඩිම භාවිතය ඇති වචනයයි.


දින කිහිපයකට පසුව 

" අපි හමුවෙලා කතා කරමු මේ ගැන " ඇය එක එක්වරම පැවසූයේ ඇයිදැයි තවම සිතාගත නොහැකිය.


මගේ ජීවිතේටම ඇත්තේ අමුතුම මුක්කු ගැසීම්‍.මුළු විහාරමහාදේවි උද්‍යානය පුරාම දෑත් පටලා සක්මණ් කල අපට හිමිවූයේ කඩාවැටේදෝයි සැකයක් සිතෙනා ඇදවූ බංකුවකි. බංකුවේ ඇලය සමහරව්ටෙක අප තවත් සමීපකරවන්නටම සාධකයක් වන්නට ඇත. ඇය මාහට සමීපය. සිත කී දෑ බොහෝ නිවැරදිය. නොදත් දෙයනම් ඇය විනෝදකාමීය. අතීතය වමාරමින් අප මේ යෙදනුයේ අනාගතයකට අඩිතාලම් දැමිමට මාර්ගය සකසමිනි. ආලය ගොඩනැගෙන්නේ එහෙමය. පලමු වෙන්වීම හාදුවකින් නලලෙතේ සනිටුහන් කලෙමි.


හමුවීමෙන් පසු අප ආලවන්තයෝ වීමු. නව කැදැල්ලක තනම්න් සිටි අපට කටකාරිය මඟහැරිණි. නැත මා සිතා මතා මඟහරිමින් සිටිමි. පූර්ණකාලීන ආලවන්තියක් සිටිනාවිට අනෙකුත් දෑ වෙනුවෙන් කාලය සීමිතය. ආලය නිසා එහෙමය.

අප ඇයට අප ගැන නොකීවෙමු එයට හේතු නොතිබුණා නොවේය.මසක් දෙකක් පසුවනවිට අශ්වයා පැන ගොසින් තිබිණි.


දින කිහියක් දෙදෙනාටම එකවර ඇමතුම් ලබාදීමේදි දුරකතන දෙකම ඇමතුමක සම්බන්ධ වී ඇතිබව ඇය වටහාගෙන තිබිණි. එතැන් සිට බර අවි ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවිය.මා සමඟ මටත් ඇයත් ඈ සමඟ ඇයත් මටත් බැණ වැදුණි.ඇය එක්කල අප ඇයට නොකියා සමුවීම කැඳලි තැනීම දෝෂාරෝපණයට හේතුවිය. ඇමතුමක් ගත්විය අපට ආලය කිරීමට අවස්තාවක් නොදී දිගින් දිගටම ඇය හරස්විය. ඇයව සන්සුන් කල හැක්කෙක් මිහිපිට බිහිව නැතිබව අප තේරුම් ගැනීමට උත්සහකලෙමු.


ගල්, මුල් , බර අවි ප්‍රහාර හා අවිවේකී රැකියා මැදින් අප ආලෙයෙන් වෙලීමට කෝලම් කලෙමු. ආලය ශක්තිමත් කිරීමට බාධක තිබිය යුතුමය.


ඇයගේ උපාධිප්‍රදානෝත්සවය පැවතියේ මාගේ කාර්‍යාලය අසලමය. ඇයගේ ජීවිතේ ප්‍රභල සංධිස්ථානයක් මා මඟහරිමින් සිටියෙමි. පවුලේ සමාජිකයින් හා සබඳතාවක් ඇති කරගැනීමට තරම් ඉක්මන්වැඩියැයි සිතිනි. ගහකින් වැටෙන්න නියමිතනම් පිදුරුගසේ හෝ පැටලී වැටීමට තරම් මගේ ඉරාණම සොඳුරුය.


"වැඩේ ඉවරයි.අපි යනවා " ඒ ඇයයි. දිනයපුරාම අසලම සිටි ඇය නොදැකම යනවාය. දෙදෙනාම පපු සූරා වෑහෙන ලේ බිදු අතගාමින් සිටී. හඬේ හංගා ඇත්තේ එයයි.

ඇයගේ ඇමතුම විසන්ධිකල සැණින් තවත් ඇමතුමකි. මුං දුකක්වත් සමරාගැනීමට කාලය නොදෙන හැටි.සිතින් බැන්නාය අමතන්නා නොදනී.


"___ පුතා නේද ? බිසී නැත්නම් ඔෆීස් එක ඉස්සරහට එන්න."


"මම ? ඒ මොකටද ?"


"මම __ගේ තාත්තා"


හුටාය. මුල්ම දෙබසින්ම අනාගෙන හත්පොලේම ගාගත්බව හැගුණි.මුහුණ සඟවාගෙන සිටීමට ඇත්තේ රැවුල පමණි. දැන් ඒකෙත් හොඳි හලාගෙනය. මාමණ්ඩියට මුහුණ දියයුතුමය.


"පුතා බිසී නැත්නම් අපි ටිකක් කතා කරමු. වාහනේට නගින්න "


මෙන්න මුං මාව පැහරගන්නෝ සිත එක් පසෙකින් කෑ ගසනය. අනික් පසින් සිනාසෙනවාය. නැවතුම රාජගිරියේ අවන්හලකි.


බර බර ගා කුකුල් අඬු සැපෙන හඬ දමව පියා සහ ඇච්ච කොල්ලෙක් ඌ මල්ලීද මා අනුභවයට සූදානමින් මේසය මත බලා සිටී. අහෝ මිත්‍රවරුනි. මේ ගෙවෙන්නෙ අවසන් හෝරාවයි.දෑස් සතර අතේ දුවයි.ඇයගේ සිනාසෙන් දෑස් මා අසරණකර බැඳදමයි. අනපේක්ෂිතව හමුවන්නෝ සිත් සොරකම් කරයි. පියා තරමක් දැඩ්ය.මව මෙලෙක්ය.


" තාත්තා කියන ඒවාට භය වෙන්න අවුල් ගන්න එපා. එයා ඔය විහිළුවට සැරෙන් කතා කරන්නෙ "


දියෙන් ගොඩගත් මසෙකුට දිය බිඳත් මහමෙරකි. ප්‍රශ්නෝත්තර වැඩ සටහනින් පසු කාර්‍යාලය අසලින් මා දමා ඔවුන් වාහන ගංගාවට එක්විය.


වාහනයෙන් බැසගත් පසු 

"පුතා අපි කොහොමත් ඔයාට කැමතී. කතාබහ කරල හඳුනාගන්න විතරයි ඕනිවුනේ" 

ඔහු ජීවිත ගංගාවේ හබල මාහට ලබාදී ගියේය.

ආලය එහෙමය. අනපේක්ෂිතව හමුවන්නෝ සිත් සොරකම් කරයි.


දින සති මාස ගෙවීයන කාලය ගෙවියන්නෙ කටකාරිය නිසා ඇතිවන යම් යම් අඬදබර සමඟිනි. අඬදබර නිසා ආලය මෝරන්නේය. ආලය එහෙමය. ආලවන්තයෝ එහෙමය. බත ඉදෙනකම් විතරය. මාස ගණනික් සමුවීමට නොහැකිවනසේ රැකියාවන් අප මැඳින් විසල් බාධකයක් නිර්මාණය කරමින් තිබිණි.


"මට හිත නිදහස් කරගන්න ඕනි. දළඳා මාලිගාවට එක්කගෙන යන්න "


ඒ ඇගේ ඇමතුමයි.පන්සලේ හාමුදුරුවන් සමඟ මිස දළඳා වැදීමට නොගොස් ඇතැයි ඇයට කියා පලක් නැත.


ගම්පහ දුම්රිය ස්ථානයේදී මා දුටුවේ බෝනික්කියක් ලෙස යැයි සිතේ තවමත් සනිටුහන් වි තිබේ.ඇය එතරම් පියකරුය. ඇය දෙස නෙත් යොමාගෙනම ඉල්ලුම්කල ටිකට්පත් දෙවන පන්තියෙන් ලබාදීමට ටිකට්පත් නිකුත් කරන්නා කාරුණික වී තිබූබව ම දැනගත්තේත් ඇය එය නිරීක්ෂණය කල පසුය. කොහොඹ ගහට එතුනු මේ කරවිල වැල කුමක්දැයි බලන්නට ගොස් එය ටිකට්පත වරදින්නට ඇත. ඔහු අපට නුවර තෙක් ගමන මෙසේ ලබාදී ජීවිත මාවතේ පියනැඟීමට දෙපා ශක්තිමත්දැයි බලාගන්නට අවස්ථාවක් දුන්නාද විය හැකිය.


දුම්රියට මා කවදත් පෙම් කලෙමි. ඇය සමඟ දුම්රියට මා තව තවත් පෙම් කලෙමි. දුම්රියේ හඬ පරදා නැගෙන ඇඟේ සිනා හඬට පෙම් කලෙමි. සිනා හඬත් සමඟ ඇති කෝල බැල්මට තව තවත් පෙම් කලෙමි. දුම්රියේ දොරටුව ආලවන්තයන්ට විහාරමහාදේවි උද්‍යානයට වඩා ඉස්තරම් තැනකි. ජීවය පොවන තැනකි. එක්තරා ආතල් එකකි. ආලය නිසා එහෙමය. ඕනෑම තැනක් මල්යහනාවකි.


දළදා මැඳුරේ හේවිසි හඬ පරදන විසිල් හඬ විටින් විට මහා රූස්ස ගස් අතරේ පියාඹයි. ආලයට ක්‍රෝධකරන්නෝ උයන්පල්ලෝ ලෙසම උපදියි. නිදහසට බාධකයක් වීම ඔවුන්ගේ එකම අරමුණයැයි මම සිතමි. නිදහස් රටක නිදහසේ දෑත් පටලාගෙන උරහිසේ මුව හොවාගෙන සිටීමට නිදහසක් නැත්තේය. නමුත් අප අපගේ ලෝකය තුල පියාඹයි.අතීතය වර්ථමානය පිලිබඳ සමාලොචනයක් කරයි. මේ අපේ ලෝකයයි. අප තනාගත් ලෝකයයි.


එය ආලයේ අවසන් හමුවදැයි අපි නොදනිමු. ඇයට මා එපාවීද මට ඇය එපාවීද. අපට කටකාරිය එපාවීද.

ජීවිතේ පුදුමය දැඩිව අල්වාගත්තෝ ඉක්මණික් අතෑරිය යුතුය. අත්හැරීමද ආලයේම කොටසකි. ආපසු ගමන පුරාවා අපි මුනිවත රැකීමු. උරහිසේ හිසපොවා දෑත් පටලාගෙනම සිටි ඈ මහා බරකින් නිදහස් වීමට උත්සහ කලේයැයි නොදැනුනේ නොවේය. රාත්‍රී භෝජනය ඇයගේ නිවසෙන් පිළියෙල වුවත් එය මගහැර යාමට තීරණය කලේ තව තවත් සිරවීමක් නොකල යුතු නිසාය.


මිතුරියගේ නොනවතින හැඬීම් වැලපීම් ඇඟේ සිත සසලකල හැකිබව දැන සිටියෙමි. නමුත් ආලය යටකිරීමට තරම් එය ප්‍රබල වෙනුඇතැයි නොසිතුවේය.

ආලය ඇත්තේ පූජාකිරිමටය. ඉතින් ඇය එය පූජාකලාය. නමුත් මරානොදැමුවාය.


අප තුංමංසලෙන් වෙන්වී ගමන් කරන්නේ වුවත් ආලයේ ගංගාව ඇයව ගිල්වාගෙන ඇතිබව ඉදහිට නැගෙන එක් වචනකින් වුවද අදටත් දැනේ. පපු කුහර සුරා දමයි. වෑහෙන ලේ බිදු දෙස ප්‍රීතියෙන් බලයි. ඒ ගලනුයේ ලේ බිදු නොව මතකයන්යැයි කියයි. මතකයන් සිත් තුල රාමුවී ඇත්තේයැයි කියයි. නොකීවත් ක්‍රියාවෙන් පෙන්වා සැඟවයයි. මා දුන් අනාගත වැකි එකින් එක පසුකරමින් සිටින ඈ හඬයි. දෑස් තෙමා හැලෙන්නේ ආලයේ ගංගාවමැයි දැනෙයි. ආලය සඟවා මිත්‍රත්වය රැගෙනයයි.


අනපේක්ෂිත හමුවන්නෝ සිත් සොරකම් කරයි.සියලු මතකයන් රාමුතුල කොටුකර හදකුහර තුල එල්වා හැඩබලයි. වෙලෙන්නෝ එක්ව නොයති. නමුත් සිත් අත්නොහරිති.


'ආලයේ හැටි එහෙමය '



( පසුව ලියමි - කටකාරිය ගැන ඔබට ඕනෑ යමක් සිතිය හැකිය. මා ගැන වුවද එසේමය. එවකට මා ඇගේ  ප්‍රේමවන්තයා නොවුවෙම්. ප්‍රේමයක් නොතිබුනේයැයිද නොකියමි.මතකශෝධක වූවෙමි.)

Saturday, October 30, 2021

ස්ට්‍රීට් වීව් සහ හෙලිකොප්ටර

 ස්ට්‍රීට් වීව් සහ හෙලිකොප්ටර





මා ප්‍රිය කතාලෝලී හිතවතුනි හිතවතියනි , මා මේ ඔබ අමතන්නේ රස කතාවක් ඔබ හමුවේ තැබීමටයි. අන්න එහෙම කියල මේක පටන් ගන්න තිබ්බනම් හොදයි ඉතිං. ඒත් හිත එකතැනක තියාගෙන කාටවත් මඩගහන්න පුළුවන් ජඩ මිනිහෙක් නෙවෙයි මේ මම. මෙව්ව දන්න කියන අය නම් නොකියා කට වහගෙන ඉදහල්ලා, නොදන්න උන් කට ඇරගෙන ඉදහල්ලා. නොදන්න උන් දන්න උන්ගෙන් ඇහුවාමත් කට වහගෙන ඉදහල්ලා. අනුවර්ත නාම වලින් මොන චක්ගුඩ්ඩක් පැනගත්තත් මට කාරි නෑ ඕං. 


විදේශගත මිත්‍රයෙක් කියල පටං ගත්තාම අපේ මගඩි වැඩ ගැන ඔය ඇත්තන්ට සමහරවිටෙක මතකයකුත් ඇති. මතක නැතිවත් ඇති. මිත්‍රත්වය ඇතිවෙන්නෙ 2000 වසරෙ විතර වුණත් හැදුනුම්කම් ඊට ගොඩක් ඈතට දිවයනව. ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් කියන්නෙ ආන්න එහෙම එකක්. අපි ළමා සමාජයක් කළා, දන්සැල් දුන්නා , බස් කැඩුණාම පයින් ගියා, කට්ටි පැන්න, කැලේ පැන්න ඔය එකී මෙකී නොකී හැම එකම කළා. කෙල්ලො පස්සෙ යනව කියන එක හැබැයි හොදටම කළා. නිකම්ම නෙවෙයි තලෙයිබාන්ල ඇමරිකාවට ගහන්න සැලසුම් කරනව වගේ සැලසුම් කරල. හැදුණුම්කම දිවයනව කියල කිව්වෙම ඔන්න ඔහොම කරපු සැලසුම් නිසා සමහරදාට රෙදි ඉල්ලෙ වෙලා දුවන්න වෙන නිසා. 

අපේ රජ තුන්කට්ටුවෙ අනෙක් මිත්‍රයානම් කියන්නෙම 


"ඕකා වෙලාවට ලංකාවෙන් ගියෙ. තුන්දෙනාගෙම හොදට. නැත්නම් තුන්දෙනා ඉන්න තැන හිතාගන්නවත් වෙන්නෙ නෑ " 

කියල. අන්න ඒතරම් ගුණගරුක පිංවත් කොලුගැටයෙක් . බොම්බයිමොටයි එකට වැටිච්ච කූඹියෙක් වගේ පිංවන්තයි.


අපි කෙල්ලො පස්සෙන් කොච්චර ගියාත් මේ මනුස්සයට කසාදයක් බැදගන්න ඕනිමයි කිව්වනෙ. ලංකාවට එන එන වතාවට බඳින්න කෙල්ලෙක් හොයන පුරුද්දක් තිබ්බ. ඒ පුරුද්දෙ සැර ගැන විස්තර කළොත් සතියක් මට කට ඇරගන්න බැරිවෙන්න මාළු වෙළෙන්දෙක්ගෙන් ගුටිකන්නත් වුණා. අපේ අක්ක නොහිටින්න අපි දෙන්නට සුප්‍රීම්සැට් එක ලගටම උණත් යන්න තිබ්බ. විශේෂයෙන්ම මට. 

වැහි වෙලාවට හාන්සි පුටුවක වාඩිවෙලා කෝපි එකක් බොන ගමන් ඕවා මතක්කරගන්න ඉස්පාසුවක් තිබ්බනම් ඒ පාරෙ සැර එවෙලෙටත් හිතෙන් විදගන්න පුළුවන් තරමටම ඒක සුන්දරයි කියතෑකි. 


විවාහයෙන් පස්සෙ අවස්ථාවක මිත්‍රයාගෙ බිරිද සහ මිත්‍රයාගෙ නංගි දෙන්නගෙම අතපය වල ඇඟිලි එකතු කරල කෙල්ලො ගණන් හදලත් අනේ අපේ ඇඟිලි මදි ගණන් කරගන්න කියල වැඩේ අතෑරල දාන මට්ටමක අපි දෙන්න හිටියා. මනුස්සයෙක්ට තනිකරල මඩගහන්න හොද නැති නිසා තමයි මම මේ අපි අපි කියල කියන්නෙ. නැතුව කඨින පෙරහැර පස්සෙන් පිං පෙට්ටිය උස්සන් ගියා හැර මම කරපු දෙයක් නෑ. 


වැල් පදුරු කපල රඹකැන මතුකරගත්‍ත නිසා දැන් කතාව අහල ඉමුනෙ.


මිත්‍රයා විවාහ වෙනව කිව්වාම ඉතිං අපිටත් රජ මඟුල්නෙ. පළවෙනි දවසෙ වෙඩින් හෝල් එකට මනමාල මහත්තැන්ට යන්න වුණෙත් අලිය පිටේ කියහංකො. අන්න ඒ වගේ පුදුමකිරීම් මේ මංගල්ලය පුරාම තිබ්බ. අවසානෙට කලින් පුදුම කිරීමත් ඉවරවුණේ පුදුමකිරීමකින් තමා. ලංකාවෙ පුරසිද්ධ ආයතනයකින් ගෙන්නගත්ත කන්වර්ටබල් කාර් එකේ පණ ගිහින් තිබ්බ ජෝඩුව කාර් එක දකින්නත් කලින්ම. 


දෙවෙනි ගමන පටන් ගත්තෙ කොළඹ පිහිටි හෝටලයක ඉදන්.එතනින් රත්මලානට. රත්මලානෙන් ගම්පහට. ගම්පහෙන් අස්ගිරියට . ඔන්න ඕකයි දෙවෙනි ගමනෙ ගමන් මාර්ගය. දැන් බොලාලට හිතෙනව ඇති මේ මොන රඹ පුෂ්පයක්දැයි කොළඹින් කෙළින්ම අස්ගිරි එන්න පුළුවන් එකා පියෝ ටීවි එකේ හිරු ටීවි හොයනව වගෙ රට වටේ ගිහින් තියෙන්නෙ කියල. ටිකක් ඉන්ටකෝ මේ කියන්නෙ අන්න ඒක තමයි.


ගාලුමුවදොර ඉදල රත්මලානට යන්ට වුණේ මනමාලංට තෑග්ගක් විදියට හෙලිකොප්ටර ගමනක් ලැබිලා තිබ්බ නිසා. රත්මලානෙන් හෙලිකොප්ටරයේ නැගල ගම්පහ ඔරුතොට පාරෙ තියෙන මුදුන්ගොඩ පිට්ටනියට තමා එන්න සූදානම. එතනින් කාර් එකේ අස්ගිරියටත් අස්ගිරියෙ පන්සල ළග ඉදන් මීටර් කීපයක් විල් බැරෝවකත් ආයෙමත් කාර් එකේ වෙඩින් හෝල් එකට. ඕකයි සැලසුම. කෙල්ලො පස්සෙ යන්න සැලසුම් කරපු අපිට මෙව්ව සැලසුම්ද.


මනාලියගේ පාර්ශවයට පිට්ටනිය අසලට එන්න කියපු නිසා එතනදි ඒ අයට පොඩි සංග්‍රයක් පිළියෙල කළා. පිට්ටනියක ? මඟුලකට යන අයට සංග්‍රහයක් ? අපුලයි වගේ නේද. නෑ නෑ එහෙම වෙන්න දුන්නෙ නෑ. මේ අත් දෙකෙන් පිට්ටනියෙන් අක්කර භාගයක් විතර රටා තියල ඇමදුවා ආයෙ විජය කුමාරයාගෙ රට ගොඩනැගීමේ පිරිසිදු සිත වගේ වෙන්නම. ගේට්ටුව ළග බැලුන් ආරුක්කුවකුත් ගැහුවා. පිට්ටනිය වුණාට සෙල්ලම් නෑනෙ. මඟුලක්නෙ .ලකේට තියෙන්න එපැයි. 


"මචං මම හොටෙල් එකෙන් පිටත්වෙනව" කියනකොටත් මමයි තව මිත්‍රයෙකුයි පිට්ටනිය අතුගානව. ඒ සේරමත් අහවර කරල ගෙදර ගිහින් ලැස්තිවෙනකොට මෙන්න තව කෝල් එකක්.


"මචං අපි දිවුලපිටියෙ ඉන්නෙ . ඔහෙ විල්බැරෝ එකක් තියෙනවද ? නැත්නම් මෙහෙන් අලුත් එකක් අරං එන්නද ? "


"මඟුලනෙ අලුත් එකක් අරං වරෙං " කියාගෙන උන්ට ඕනි කරන ලට්ට ලොට්ට ටිකත් එළියෙන් තියල මිත්‍රයයි මායි ආයෙ පිට්ටනියට. 

දැන් අපි බලාගෙන ඉන්නවා ඉන්නවා කොප්ටරේ නෑ.

ටික ටික ගමේ මිනිස්සු පිරෙනව පිට්ටනිය වටේට. 


"මල්ලි කවුද එන්නෙ? "


"අයියෙ අර අහවල් ඇමතිගෙ පුතාගෙ වෙඩින් එකනෙ අද. පුතා එන හෙලිකොප්ටරේ එන්නෙ මෙතනට"


අපේ කටවල් කොච්චර හොදයිද කියන්න දැන් පාරත් බ්ලොක් වෙන තරමට වාහනත් නතර කරං මිනිස්සු බලං ඉන්නෙ හරියට මූදු වෙරළෙ බියර් එකක් බීම බටෙන් බොනගමන් ඉර දැන් ගිලෙයි දැන් ගිලෙයි කියල බලං ඉන්නව වගේ. ඔන්න එතකොට තමයි අපිට නොදුටු අඳුරු පැත්තෙන් දුම් විසිවෙන කෝල් එක ආවෙ මනමාලංගෙන්.


"මචං අපිට බාන තැන හොයාගන්න බෑ. පිට්ටනියෙ අලුහුණු ටිකක් දාන්න කියල පයිලට් කියනව"


මේ මඟුල් අස්සෙ දැන් හොයපංකො අලුහුණු. කෝට් බෑය පිටින්ම අලුහුණු හොයල ඒකත් කළා. 


" මචං ඒත් හොයාගන්න බෑ" 


ඇයි වදේ මෙච්චර මිනිස්සු පිරිල ඉන්න පිට්ටනිය හොයාගන්න බැරි වෙන්න පයිලට් පොට්ටද. ඔය අව් අස්සෙ හෝටලේ මැනේජර් කෝල් කරනව.


" මල්ලි මේ පොඩ්ඩක් එන්නකො. ඔයලෑ කට්ටියක් ඇවිත් අපේ ගාර්ඩ්න් එක හාරන්න හදනව මල් වෙඩි හයි කරන්න. ඔයාල මෙහෙම එකක් කිව්වෙ නෑනෙ කලින් "


"මොකක් මල් වෙඩි? කියන්න මමත් දැනගෙන ඉන්න එපැයි."

මේ මංගල්ලයම පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ පුදුමකිරීම් වලින් මේකත් එහෙම එකක්ලු. 


දෙකකුල් ඈත් කළොත් බිත්තරේ බිමට වැටෙයි වගේ බයවුණු කිකිළියෙක් වගේ අපිදෙන්න දැන්. අහසෙං මනමාල ජෝඩුව පොළොවට ගන්නත් ඕනි. හෝටලේ ප්‍රශ්නෙ විසදන්නත් ඕනි. උඹ මූව පොළොවට ගනින් කොහොම හරි කියල මිත්‍රයාට බිත්තරේ බාරදීලා හෝටලේට ආවාම රත්තරං ටික වගේ පණිවිඩේ ආව ජෝඩුව පොළවට බැස්ස කියල.


කොහොමින් හරි වෙලාවට පැයක් විතර පරක්කුවෙලා ඇවිත් පාන්දර 1ත් පහුවෙනකං මඟුල කාල කාල වැඩිවුණ කීප දෙනෙක් හරහට කාර් වලටත් පටවල සියල්ලෝම සතුටෙන් විසිර ගියා මිසක් පිට්ටනිය හොයාගත්ත විදිය අහගන්න ඉස්පාසුවක් තිබ්බෙ නෑ.


හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලුනෙ. 

පසුදා උදේ.


"අඩේ මේ . මට උඹ ලැන්ඩ් කරනව බලන්න ඉන්න බැරි වුනාණෙ. කොහොමද පිට්ටනිය හොයාගත්තෙ"


" ඇත්තම විස්තරේ කියන්නම් උබ කටක් හොලවන්න එපා මේක ගැන ඈ "


" අස් අස් වී වීනෙ මචං "


"අළු හුණු දාලත් හොයාගන්න බැරිවුණනෙ බං. ඊට පස්සෙ පයිලට් කිව්ව මල්ලි තව වෙලා උන්නොත් අපිට මූදට තමයි බාන්න වෙන්නෙ ආපහු යන්න තෙල් මදිවෙයි කියල "


" අෆ්ෆට ඉතිං"


"මම කිව්ව බං අයියෙ ඔහොමම ඔයාට පුළුවන්ද ගම්පහ ටවුන් එකට යන්න කියල.එතන් ඉදන් පාර කියන්නම් කියල ටවුන් එකෙන් මිනුවන්ගොඩ පාරෙ වටරවුම ළගට ගියා "


" යකෝ "


" අහපංකො. ඊට පස්සෙ මං පිට්ටනියට පාර පෙන්නුව බං මහ පාරදිගේ "


" ඒ කියන්නෙ උබල ආවෙ මහ පාර දිගේ අහසෙන්ද ? අඩේ ටිකක් ඉදාං හිනාවෙලා ඉවර වෙනකං "


" පල #&$* , කට හොලවන්න එපා ඈ "


ස්ට්‍රීට් වීව් එකෙන් හෙලිකොප්ටර් ගමනක් ගියෙ ඔන්න ඔහොමයි. මම කට හෙලෙව්වෙ නෑ ලිව්ව විතරයි. මඩගැහුවෙත් නෑ ඇත්ත කිව්ව විතරයි

Sunday, October 10, 2021

මත්වෙන ආදර කතා -03

 මත්වෙන ආදර කතා -03 





උසස්පෙළ පන්තිවල ඉගෙනුම ලබනව කියන්නෙ මානසික පීඩනය උපරිම කාලයක්.පාසැලේ එහා කෙළවරේ මේසයකට තට්ටු කරන ශබ්දයක් ආවත් අංශප්‍රධානී,පන්තිභාර ගුරුවරු උඩ පැනගෙන තොපි නේද ඒ කියල අහගෙන එනකොට අහිංසක අපිට දැනෙන මානසික පීඩනය හිතාගන්න පුළුවන් වේවි. ඒත් අපි එකාවගේ එකට හිටි නිසා ඒ පීඩනය සමෝසමව බෙදාගන්න පුළුවන් වුණා.හරියට විවේක කාලයෙදි බිත්තරයක් නැති බත් එකක් බෙදාගන්නව වගේ. ගුරුවරු නොයෙක් නොයෙක් චෝදනාකළා , පාසැලේ සමහර දවස් අපි විනාශකළා කිව්ව, නම්බුව නැතිකළා කිව්ව, වයසට නොගැලපෙනදේ කළා කිව්ව ඒත් අපි හරිම අහිංසකයි.පන්තියෙන් භාගයක් විතර ටිකක් දඩබ්බර උණාට සාමාන්‍ය අගය බැලුවාම හැමෝම අහිංසකයි. 

උසස්පෙළ විභාගය අතට ළඟ වුණත් දුර වුණත් නෑ අපිට කිසි වෙනසක්. වෙනසක් තිබ්බට නොතිබ්බවගේ උන්න එයැයිලව හඳුනගන්න ප්‍රතිඵල එනකන්ම ඉන්න ඕනිය කියනවනෙ. ඒක කාරි නෑ.. ඔන්න ඔය අවධියෙදි ඉතාම අවාසනාවන්ත විදියට පන්ති සඟයෙකුගෙ පියා මියයනව. යාළුවො විදියට අපි කොහොමත් මිතුරගෙ මවට වඩා පියාට සමීපයි. එව්වට හේතු එමටයි. කෝමත් බෙලිකටු එක්ක අපිට ආශ්‍රයක් නෑනෙ. 

මිතුරාගෙ පියාගෙ අදාහනෝත්සවය දක්වා අපි සියලුදෙනාම එක්රැස්වෙලා සමෝසම මහන්සියෙන් වැඩකටයුතු කළේ මළගම වුණත් වළක් බහින්න කියාපු ක්‍රමය නිසාදෝ කියල දැන්නම් හිතෙනව. ඒම නොහිතෙන්න තිබ්බ අද වෙනකොට ඒ ඒ පුද්ගලයන් එක්ක ඒකාලෙ තිබ්බ සමීප ඇසුර පවත්වාගෙන ගියානම්. එව්ව කාරි නෑ. ලෝකෙ කැරකෙනකොට මිනිස්සු පෙරලෙනව. හැගීම් , බැදීම් යටවෙනව තැලෙනව ,පොඩිවෙනව, පොළවට පස් වෙනව. 

ඔය මදන විසේ එක්ක කොළුකාරමක් හරි හරියට තිබ්බ වයසෙ අපිට නින්දත් නොනින්දත් අතර ගෙවිච්ච ඔය දවස් කීපය රස සාගරයක්. නොයෙක් නොයෙක් රස කෑමද , නොයෙක් නොයෙක් රස බීමද තියෙනකොට අපිට ආයෙම කටුව පොගන්න ඉබ්බ දියේ දාන්න ඕනියැ. කොහොම උණත් අතේ එතරම් මුදල් ගැවසෙන්නෙ නැති කාලයක් නිසා සතෙන් සතේ ඉතිරි කරල රහසේ කැටයකට දමල ගෙනාව රෙඩ්‍ රම් බෝතලේ කොටසක් පොල්ගසකට දියර පොහොර කරපු මිත්‍රයාගෙ මලගමත් එදාම නොගත්තෙ මහන්සි වැඩිකමට වෙන්න ඕනි. 

මිතුරගෙ නැඟනියක්ද අම්මද කියල වෙනසක් නෑ එකම අච්චුවෙ නෙෆර්ටිටි මල් පෝච්චිය වගේ. හෙනම ඝනකම. තට්ටු කළත් දහ් දිහ් ගානව වගේ සද්දෙ. එයාගෙ වරුණෙ ඒම උණාට අපිට මෙතන රැදෙන්න හේතු සාධක ගෙනාවෙම එයා. ඒ එයාගෙ මිතුරියො රොත්තක් දිවා රෑ තේ කෝපි බෙදීමට යොමුවෙල තිබ්බ නිසා. ඔය අතර සමහරුන්ව අපි අපේ නම්වලට රෙජිස්ටර් කරල ඔප්පු ලියමින් උන්නෙ. මගෙ බිසෝනාමාවලියෙ එක් පරිච්ඡේදයක් ලියන්න තමා මගෙ සූදානම. 

කැරමේ සිට මඩ ගැසීම දක්වා සියල්ලම කරමින් හුළගට වැනෙන කෙහෙල් අතුවගේ උන්න අපිට ජීවයක් පිඹින්න මහ පාන්දර ඕනි වෙන්නෙ කෝපි. හීන් සීරුවෙ කුස්සියට ගිහින් බෙලෙක් කෝප්පෙ එක්ක ආරෝවට කෝපි හදනකොට ඔන්න එනව සුරලෝකෙන් බිමට පතබෑවිච්ච සුරංගනාවියක්.

එක් අන්තයක කුණු කෙළ පිසමින් පැමිණෙන ඈය.


මේ අන්තයේ බෙලෙක්කයට තට්ටුකරන මාය..


සුළි සුලගට හසුවූ වරාමලක් වැනි කෙස් කලඹ අතින් හදමින් දිව එන ඈය.


කොහොම ආවත් ඔයා ලස්සනයිනේ සිතනා මාය.


ළග ලගටම විත් කෝ ඕක දෙන්නයැයි කියනා ඈය.


නෑ නෑ නංගි මට පුළුවන් කියනා මාය.


කෝ අයියෙ මේකට කෝපි දාල නෑනෙ සීනී වතුරයි විතරනෙ කියනා ඈය.


මට ඕනිවුණේ උඹව ඇහැරවගන්න යැයි කනට මුමුණනා මාය..


නෝකාඩුවක් දෑසේ රදාවා සිනාසෙන ඈය.


වියෝවන් මැදින් වුවද බැඳීම් ගොඩ නැගාගත හැකිය.


මගේ ලයින් මැද ඇගේ ලයින් මැද දවස් ගෙවීගෙන යනවිට මගේ අතිජාත මිත්‍රයා සැපත්වෙනව ලංකාවට.

ඔහු කොහේද මා එතනය. අපි කොහේද ප්‍රශ්න එතනය. ඔව් ඔව් ඩාම් වෙනව ඩූම් වෙනව තමා. මිත්‍රයාගේ පිළිගැනීමේ සාදයත් අහල පහළකම යොදාගෙන තිබ්බ නිසා කුකුළා අතේ අරං පිටත්වුණේ අරුන්දට හොරෙන්. නිකමට ලයින් එක දැම්ම කියල නෑ ගෑනු ප්‍රශ්න මල්ල ලිහන්න ගත්තාම. දොදොල් හැදිගෑවිල්ල වගේ තමා.

උදෑහනම ගියාට මොකද එන්න වුනේනම් බිං ඇඳිරිය වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන.


සයිස් දෙකක ටයර් දාගත්ත පරණ ටාටා ලොරියක් වගේ මම වැටේ සිදුරකින් රිංගගත්තා ඉඩමටනම්. ටිකක් අයිනක් අල්ලන් ඉදගෙන ඉන්නට ඕන කාටවටත් නොපෙනෙන්න. ඒකට යන්න ඕනි කුස්සිය පැත්තෙ කැලෑවට වෙන්න තිබ්බ හට් එක යටට. රඹට කැකිරි උඹට වැඳිරි කියාගෙන එන්ජිම පනගන්වගෙන ඇදෙන්න ගත්තෙ සුන්දර සිහින පේන ඉසව්වට.මම හිතන්නෙ අඩි පහ හයක් යන්නට ඇති. මහ අමුතු සීතලක් දැනුණ අතෙ මැණික් කටුව ළගට. ගොම්මං වේගන එනකොට මළගෙදරක ඒ අමුතු සීතල මුළු ඇගම සලිත වෙලා. ඒ එක්කම ඇහෙනව ශබ්දයක්.


"අයියෙ උඹ මොකද වැනෙන්නෙ" 

ටිකක් හුරුයිත් වගේ. ඒත් නුහුරුත් වගේ. සීතල එක්ක ආවට පිරිමි කටහඬකුත් නෙවෙයි. තවම මම ඉන්නෙ පාරිභෝගික අධිකාරියෙ සභාපති වගේ කන්ෆියුස් උන්ගා බුංගා වෙලා.

ඊළගට දැනුණෙ අත ටිකක් තදට ඇදෙනව එක්කම මාව ඇදගෙන කෙනෙක් ඉස්සර වෙනව. ඇදෙගෙන කිව්වට ටිකක් වෙන්න වත්තම් කරගෙනත් වගේ .ඒ එක්කම 

" සට පට රම්පෙට පොරි ඩෙකට කැකිරි " වගේ එව්ව ටිකක් ඇහුණා හරියට මතකයක් නෑ.


ඊළග මොහොත මම හට් එකක් යට හිදගෙන මා ඉදිරියෙ උන්නෙ අර බිමට වැටිච්ච දේවතාවි අපායෙන් කුලියට ගත්ත ඇඳුමක් දාගෙන. වැඩි අවුලක් නෑ. මූණ ටිකක් රතු වෙලා. ඇස් ලොකු වෙලා. එච්චරයි. 

ආයෙම අර " සට අට රම්පෙට පොරි ඩෙකට කැකිරි " වගේ එක ඇහෙනව.


"අඩියක් හෙලවෙන්නෙ නෑ ඔතනින් මං එනකං " කියාපු ඇය යන්න ගියා මැකිලා.

එයා කියන්නෙ මාර කතා නැගිටගන්න පුළුවන් උනානම් එයාගෙ ඔය කැකිරි කතා අහං ඉනනවයැ මම. විකාරණෙ.


ඊළග මොහොතෙ තේ කෝප්පයක් අතින් ගත්ත ඇය එනව අහසින් පහළට . මේක බීහන් මුලින්. ඊට පස්සෙ කියහං උදේ ඉදං මකබෑබුන දිහෑව කෙළින් කටින් ඉන්න බැරිවෙන්න. ගෑනුන්ට ඇත්තටම පිස්සු අප්පා. පිගාන කාල රොටිය හෝදන ලෙවල් එකේ මනුස්සයෙක්ගෙන් ප්‍රශ්න අහල හරියනවද. මොනා කරලත් බෑ ජාමෙ බේරගන්නත් ඕනෑය. 


" ආ මම දවල් ගියෙ. යාළුවෙක් හම්බෙන්න"


"අනේ පලයං අයියෙ උදේම යනව මම බලාගෙන "


" හරි හරි ඉතිං . ඒක නෙවෙයි මේ අහන්නකො "


"ඇයි ඒ ගමන මොකද ? "


"මෙහෙමයි. ඔයාට පුළුවන් හැමදාම මට මෙහෙම බනින්න. නෑ එක්කො මම මෙහෙම ආවාම උණුවෙන් තේකක් ගෙනත් දීලා ඔහොම ඔරවගෙන. නෑ සොරි. ඔහොම ලස්සනට හිනාවේගන මගෙ ඉස්සර පුටුවක ඉදන් බලාන ඉන්න "


"මොකක් ?"


" ඇත්තටම මෙහෙමයි. ඔයා ගෙදරට සාරි අදින්න . එතකොට මට පුළුවන් ඔයා ඔහොම තරහ අරං ඉන්නකොට අර හින්දි ෆිල්ම්වල වගේ සාරි පොටොන් ඔයාව ඇදල ළගට ගන්න. තරහ නිවෙන්න. "


" පිස්සුද මනුස්සයො සාරි පොටෙන් ඇද්දාම සාරිය ගැලවෙනවනෙ "


" ආ ඒකට මොකද අස් අස් වී වී නෙහ්."


" දැන් මං මොන මඟුලකටද එහෙම කරන්නෙ "


" ආ ඇයි අපි කලින් කතාවුණේ අපි බඳිනවනෙ. "


" අපි ? කොයි වෙලේද ? ගිය දිහෑවක උන්න එකියකට කියපු එව්වද මට කියන්න එන්නෙ. ආයෙ මට අහුවෙන්න එපා මෙහෙම. ඇයි වදේ අර පෙට්ටියෙ ඉන්න මනුස්සය මැරිලා තියෙන්නෙත් සිරෝසිස් වලින්.දැන් තමුසෙටත් ඕනි එහෙම කරන්නද ? "


" හැබැයි ඒකත් නරක නෑ නෙහ්.ඔයාට එතකොට තව කාටහරි තේ හදල දෙන්න බැරියැ. "


" අයියෙ මේ ...."


" හරි හරි. මම ඔයාට කැමතිනෙ. ඔයා මට කැමතිද ?"


" රම්පෙර පොරි ඩෙකට කැකිරි දේශනය ."


"ඇහුව එකට උත්තරේ ?"


" ඔව් මම කැමතී.මට දැනටත් කොල්ලෙක් ඉන්නව. ඔයාට මාව බෙදාගන්න පුළුවන්නම් මට බැරිනෑ දෙන්නෙක්ට ආදරේ කරන්න ".


"....හීක්.... " ( ඉක්කාව ඇස් උඩ ගිය මම )


බොරු ඕනි නෑ. මට රට ඉදන් ආව මගෙ යාළුවා ගැන විතරයි දුක හිතුණෙ. අපරාදෙ අච්චර වියදම් කරල ගෙනාව විස්කිය.


Sunday, September 5, 2021

සී තාත්තා සහ මුරුංගා

සී තාත්තා සහ මුරුංගා





පහුගිය දොහේ දවසක යාලුවෙක් පණිවිඩයක් එවල තිබ්බ මුරුංගා තියෙනවය අරං යන්ට එන්නය කියාලා. ඔය ගමන මුරුංගා මුරුංගා කියල සිත සිතා ඉන්න ඇහිල්ලෙ තමා මට මතක්වුනේ මේ මුරුංගා කියන්නෙ අපේ පවුලට බද්ධවුන දෙයක් නෙදෝ කියාලා. මම මේ පවුලේ පුරාණේ දිගහරිනවය මගේ ලොකුකම් කියවන්න තනනවය කියාලා කෝප ගන්ට එපා. කෝප ගත්තාය කියාලා මට කොරන්ට ඇති ඇටිකෙහෙලකුත් නෑ මෙව්ව සත්‍ය සිද්ධි නිසා. බොලාලට මතකනම් මම කලින් දොහකත් කීවා මගේ සීතාත්තගෙ ලෝකප්‍රසිද්ධ කෙරුම් ගැන. එතුමා අපේ පරම්පරාවට ඉරබටු තරුව වගේ දීප්තියක්ම ගෙනාව උත්තමයා නෙව.

ඉරයි හදයි ආදරෙං වෙලිලා උන්න දොහක රටටම අඳුරෙ ගිලිලා උන්නාය කියල මං කීවා මතක ඇතිනෙ. මේක ඊට පස්සෙන් පහු වෙච්ච සිදුවීමක්. සීතාත්තා කියන්නෙ ඉරේ එවුං මහ නාහෙට නාහන දඩබ්බර උන්ය කියල. ඉරයි හඳයි ලංකරගෙන පාලමක් හදන්නය කියල උත්සහ කල හඳේ රජ්ජුරුවන්ට අරිආදු කරන්ට තැනුවය කියනව ඔය ඉරේ එව්වො. මෙහෙ එහෙ කියල වෙනසක් නෑ අයුබොවන්ඩ කොහෙත් ඉන්නව හොද වැඩකට අකුල් හෙලල ජාතියම අනතුරේ හෙලන්ට කැපවෙච්ච එව්වො. 

ඔය පාලම හදන්ට හේතුවුනේ ඉරෙන් ගින්දර ගන්නත් හදෙන් සීතල එහෙට යවන්නත් කියල තමා කියන්නෙ. කෝමින් කෝම හරි ඔය අරියාදුව නිසා පාලම් හැදීම කෙසේවෙතත් දෙරට අතර නොහොදනෝක්කාඩු ඇතිවුනාලු. සීතාත්තා ඉතිං කාකවුරුත් එක්ක වුනත් හිත් අමනාපකං ඇතිකොරගන්ට අකමැති කෙනා වෙච්චි. උන්නාන්සෙ දන්නව දැන් කොයියම් මොහොතක හරි දෙඟොල්ලොම උදව් ඉල්ලගෙන සීතාත්තා මුලිච්චිවෙන්න එනබව. සී තාත්ත තද නීතිරිති කාරයා නිසා උදව්ව ලැබෙන්නෙ මුලින්ම එන එකාලය විතරයි.
ඉරේ එවුන් කාලෙකට කලින් සෙනසුරු එව්වො එක්ක කරගත්ත අරියාදුවෙදි සීතාත්තගෙන් කැටපෝලයක් ඉල්ලං ගෙහුං තියෙනව. ඔය දැන් අපි සෙනසුරු වටේ තියෙනව කියන වලල්ල ඇතිවෙලා තියෙන්නෙ ඒ කැටපෝලෙන් විද්ද ගල් නිසා. මෙව්ව බොලාලට විද්‍යාවෙදි ඉගෙන ගන්ට ලැබෙන්නෙ නෑ අන්න ඒකයි මතකෙට එන මේ කතාකෑලි මේ අස්සෙම ඔබල බොලාලට දැනුම දෙන්ට තනන්නෙ. මෙව්ව වරුණෙ කියවනව කියල අහකදාල ජීවිතේට පාඩු කරගන්ට එපා ඕං.

සී තාත්තට මුලිච්චෙ වෙන්න හඳේ විදෙස් ඇමතිතුමා ඇවිත් තියෙන්නෙ තමන්ගෙ පුද්ගලික හාව පිටේලු. ඒ තරමට ආරක්ශාව ගැන එතුමට බයක් තිබ්බෙ නෑලු සී තාත්තා මුලිච්ච් වෙන්ට. මොකදෑ මේ තනිපංගලමේ අහද්දි එතුමා කීවාලු මෙව්ව අපි ආගිය තැන් වෙච්චි මේ සක්වලම පාලනය කොලහැකි උත්තමය උඹ වෙච්චි ඉතිං මක්කටද මං සේනාවක් එක්ක එන්නේය කියල. අන්න ඒමයි අපේ සීතාත්තට සක්වලේම උන් සලකල තියෙන්නෙ . මෙව්ව ආඩම්බර නොවී ඉන්ට ඕනි කාරණා නෙවේය කියල වැටහෙනව ඇතිනෙ.

ඔය හමුවීමෙදි ඉරේව්වන්ගෙන් වෙන අඩත්තේට්ටම් ගැන හා මයිලේ ඉදන් අලි මයිල දක්වාම විස්තරේ හෙලි කොරල අනේ අපිට මෙවුන්ගෙන් ගැලවෙන්ට උදව් කරන්නට මයෙ දෙයියො කියාල හඬාවැටිලා තියෙනව. සීතාත්තා යුදකෙරුවාවට එතරම් කැමැත්තක් නොදක්වපු නිසා මේ සන්තෑසියෙ අක්මුල් සොයාගෙන , ආයුධයකට ගතහැකි ස්වාභාවික දේවල් මොනවාදැයි බලා කියාගෙන එන්ටය කියල බැඳගෙන උන්න යක්ශයෙක් පිටත්කරල එවෙලෙම.

දැන් උබල හිතනව ඇති ඇයි ඒ උත්තමයට යන්ට තිඹුනා නෙවෙද ඇයි ගෝලයක් පිටත් කලේය කියල. ඒ කාරණාව මෙන්න මේකයි.

දැන් හිතාපල්ලා සක්වලම පාලනය කලහැකි උත්තමයා හඳට ගොඩබැස්සාම ඉරේ එව්වන්ට එතමම මල මූත්‍ර පිටවෙන්ට හැකී. එහෙම උනාම ඔය මුත්‍රා ගලාගෙන ගිහින් ගිනි මූලාශ්‍ර නිවිලා යන්ට හැකී. යුද්ධ කරනටත් එවුන් කාල ඇඳල ඉන්ටත් මුදල් කොරගන්ට හැකි එකමදේ එව්වන්ට නැති වුනාම මොනවයින් මොනවා වෙයිද ? අපි වගේ නෙවෙයි සීතාත්තා දුරදිග බලලා වැඩකරන උත්තමයෙක් කියල දැන් උඹලට වැටහෙනව ඇතිනෙ.

රටතොටේ විස්තරේ බලාගෙන යන්ට ආව යක්ෂය දැකල තියෙනව මුළු හද පුරාම සාරුවට වැවිලා තිබ්බ බෝගයක්. එවෙලෙම පින්තූරයක් එවලා සී තාත්තගෙ අනුමැතිය අරගෙන එයින් ගහක් පිටින් ගලවං කැලෑ මන්ඩියට වෙන්න ඉන්දලා තියෙනව. වෙන දේශෙකින් ගෙනාව ගහක් නිසා ගමේ උන්දල බයවේවි කියල තමා ඔය කැලෑ මණ්ඩියෙ ඉන්දල තියෙන්නෙ. සී තාත්තාට වැටහුනාලු මේක තමාය ගැලපෙනව ආයුධය අපේ රටේ හෙල්ල වගේ විසිකරන්ටත් හැකිය සිහින් වුනත් ශක්තිමත් නිසා හොද ඉලක්කයක් ගන්ටත් හැකිය කියල.
ඊලග කාරණාව වෙලා තියෙන්නෙ හඳේ එවුන් සක්වල පතුරවගෙන තියෙන කීර්තිනාමයට කැලලක් නොවෙන්නත් සී තාත්තගෙ කෙනෙක් රිදවීමට අකමැතිවීමත් කැටිකරල මේක ආයුධයක්බවට හරවන එක. ඔය වෙලේ තමා ඒ උත්තමය වටහාගෙන තියෙන්නෙ එක ගලෙන් කුරුල්ලො කීපදෙනෙක් නෙලාගන්ට හැකිය කියල. ඉරේ එව්වො ඔය හැටි නාක වෙලා තියන්නෙ උන්ගෙ ජනගහණය වැඩි නිසාය , ජනගහනය පාලනය කලෝතින් අනික් එව්වනට වෙන අරියාදුවලට කළුගලක්ම තියතෑකිය කියන කාරණාව සිහියට අරං ගහට මතුරල තියෙනව මේ ගහේ හටගන්නා ඵලය සතුරෙක් ඉලක්ක කරගෙන එල්ලකලාම සතුරා වන්ධභාවයට පත්වෙන්ට ඕනෑය කියල. හඳේ එව්වන්නට ජාති ජාතිත් පාපයක් නොවෙන ආයුධයක් ගොඩනගල දීලා තියෙන්නෙ අන්න එහෙමයි. මේ ගැන සන්තෝසවුන හඳේ රජ්ජුරුවෙ චන්ද්‍රරක්ඛිත කියල ගරු පට්ටමකිත් පූජාකරනට යෙදිලා තියෙනව. ඒ සන්නස් පත්‍රය එදා පෙට්ටගමේ අස්සෙ ගැහුව ගමන් තාමත් එතනමයි. සීතාත්තා ඔය පට්ටං තානාන්තර වලට කෑදර ආසකල මිනිහෙක් නෙවේ. 

දැන් මේ කතාව මම දන්නෙ කෝමදැයි කියල බොලාල කල්පනාකරනව ඇතිනෙ. ඒ උත්තමයව මම දෑහින් නොදැක්කට අපේ සීයා ඔය කාරනා කාරනා සියල්ල දෑහින් දැක්ක මිනිහා වෙච්චි. ඔය සිදුවීමෙන් පස්සෙන් පහු කාලෙක සී තාත්තා මුලිච්චිවෙන්න ආව ලෝක පරසිද්ද මැංචෝසන සාමිතුමා ඉර හඳ යුද්ධ විස්තර ආයුධ ගැන හරිම පුදුමයකින් කතාකොලාලු. සීතාත්තා නෙවේලු එක කෙලබිඳක් බිම හෙලුවෙ. උන්දැ අපේ සීයා දිහෑ බලල අර සුදුම සුදු රැවුල දෑතින් පීරලා කටකොනකින් සිනාවක් පෑවලු. ඒ ඉඟිකොරාල තියෙන්නෙ මෙව්ව කාගෙවත් කනේ තියන්ට එපාය කියන එක තමා. 

එහෙමවුනත් මම මෙහම මේ කාරණා සටහන් කොරන්ට යෙදුනේ අපේ පවුලේ උදවියගෙ කියුම් කෙරුම් තව දුරටත් එක එක පසික්කාඩුවන් පුම්ඹන්ට අවභාවිතාවෙනවා ඉහුලුම් නොදුන්න නිසා. මේ කාරණා වල ඇත්ත නැත්ත ගැන හඟිස්සන ඕනි එව්වො ඉන්නවනම් මැංචොසන් සාමිතුමාගෙ සටහන් බලන එකයි ඇත්තෙ. 
දැන් දැන් මේ රටේ උන්දැලට කෝමත් විශ්වාස පරදේශක්කාරයන්ගෙ වචන විතරක් වෙච්ච්කොට ඊට වඩා මොන සාක්කියක් සපයන්නද මම.

ගෙහුං එංඤං.

Saturday, August 28, 2021

නොහදුන්නී - 04

 නොහදුන්නී  - 04




දුප්පත් කැමරාවට අප සේයාපටලයක් දමා නැත. අවුලක්ම නෑ ඈ කතා කලානෙ. ඊටත් වඩා සතුටක් කුමටද ?

ඒ සිදුවීම ඇයට කෙතරම් කෝපයක් ගෙනා ආවද ඒ ප්‍රමාණයටම මට සතුටද ගෙනාවේය. හිස් බැල්මකින් හුන් ඇය දැන් දැන් මුලිච්චිවන සෑම විටම රුදු බැල්මක් මවෙත තිලිණ කිරීමට පසුබට නොවූවාය. පාන් රාත්තලම නොමැතිවුවත් පාන් පෙත්තක් වුවද සෑහේය. ඉතින් එය මට එය මාමයිට් තැවරූ පාන් පෙත්තක් ලෙසම රසවත්ය. 

දින සති හැල්මේ දිවයන්නේ යම්සේද සිතත් ඈ පසුපසම දිවයයි. සාමාන්‍ය පෙල විභාගය ලංවන නිසා සෑම දිනකම සවස්වරුව අමතර පන්තිනම් කුකුල් දැලෙන් අපව කොටුකර ඇත. සෑම දිනම සවස්වරුවත් පාසලේ රැදීම සිත ගත දෙකටම පීඩාකාරීය. එවන් එක් දිනක සියල්ලෝම එකාවන්ව සවස පන්ති එපායැයි ඉල්ලීමක් කරමුයැයි යෝජනා සම්මත කරගත්තත් එය ඉදිරිපත් කිරීමේ දූත මෙහෙවර හිමිවූයේ මටත් පන්ති නායිකාවටත්ය. සැබැවින්ම මෙය කටු ඔටුන්නකි. 

සමපෝෂ ගිල කඩුලු පනින්නෙකු සේ ශක්තියක් සිතට ගත් මා ඇය කැටුව ගුරු විවේකාගාරය දෙසට ගමන්කලේ විදෙස් බස උගන්වන් ගුරුවරිය හමුවීමටය. ඇය කුළුපඟුය. මපියාගේ මිතුරියකි. 

" මිස් හැමෝම හවස පන්ති ඉන්න බෑ කියනවා. මේ ටිකේම ඉදල මහන්සීලු "

කීමට හැකිවූයේ එපමණකි.

" ඇයි උඹට අර 10 වසරෙ කෙල්ල පස්සෙ යන්නද පන්ති ඉන්න බෑ කියන්නේ" 

පිතිකරු විශ්මයට පත්කල හැකි පිටඳග පන්දුවකි. විශ්මයාර්ථය කටේ හරහට හිරකරගත් මා කිසිත් නොකියාම ක්‍රීඩාගාරයට පසුබැස්සේ තරඟය පටන් ගැනීමටත් පෙරම දැවීගිය මෙන්ඩිස් වාගේය.

ඈ දන්නේ කෙසේද ? තවත් කිසිවෙකු මෙය දන්නේද ? පෙර සිදුවීම ගුරුකනකට යොමුවීද ? මපියා දැනුවත්වේවිද ? ලෝකයට ගෝලාකාර හැඩයක් ඇත්තේ නූල් බෝලයක් මෙන් ප්‍රශ්ණවලින් එතී පැටලී ඇති නිස විය හැක.

මා ඉදිරි පාදය පසුපසට ගත්තෙ ප්‍රවේශම සියල්ලටම වඩා අගනාබව වටහාගත් නිසාය. ඇයට නිදහසේ පාසැල තුල හැසිරීමට හැකිය. ඒ මා ඈ පසුපස නොයන නිසාය. ඈ යන යන තැන්වල ඈ දෙස බලා නොසිටින නිසාය. උගුඩුවා ඇටිකෙසෙල් කැනක් දෙස මෙන් මා ඈ දෙස බලාහුන් බව වැටහෙන්නේ මිතුරන් මාගෙ වෙනස අගයනා නිසාය. 

ඇටිකෙසෙල් සහ උගුඩුවාගෙ කතාව මෙසේය. හොඳින් ඉදුණු සුවදවත් ඇටිකෙසෙල් කැනක් දකින උගුඩුවා මෙසේ සිතයි.

"දුර සිට දෑස් පිනෙව්වාට ලඟට යන්නෙ නෑනෙ."

බලාහින්නට බැරිම තන තව ටිකක් ලංවන උගුඩුවා

"සුවඳ බැලුවට කන්නෙ නෑනෙ."

සුවඳ දරාගන්නට බැරිම තැන ඇටිකෙසෙල් කන උගුඩුවා

"කෑවට රෙන්නෙ නෑනෙ" යැයි සිතයි.

අවස්ථානුකූලව පසු බැසීම පසු සටන් දිනාගැනිමට හේතුවක් වන්නේය. කාන්තා සිතද ඇඳගැනීම එවන්ම සටනකි. මා ඇය පසුපස නොපැමිණීම ඇයගේ මිතුරියන්ට මෙන්ම ඇයටද ප්‍රෙහේලිකාවක් වන්නට ඇත. දැන් මා දුටුවිට මා නොබලන්නේ මන්දැයි දැනගැනීමට ඇය බලයි. කන්දක් මුදුනට ගෙනගොස් පහලට එක්වරම අත්හැරීම මඟින් කාන්තා සිත් වසා ඇති අඟුලු බිඳ හෙලිය හැක. උගත් පාඩම එසේය. සිදුවීම මෙසේය.

මිතුරියක් දිනක් මා වෙත ලංව මා වෙනතක බලාගත්තේ ඇයිද ? අන් ආදර දැලක පැටලීද යැයි විමසා සිටී. මා සිනාවකින් එයට පිළිතුරු දුන්විට.

"අයියේ කෙල්ලන්ට ඔහොම කරන්න එපා බං.අපේ එකී තරහෙන් වගේ උන්නට එහෙම නෑ. ඔයාට පොඩි කැමැත්තක් තියෙනව . උඹ එකපාරටම අත්හැරියාම ඒකිට අවුල්නෙ "

දැන් ඉතිං කුමක් කියනුද . දන්නා නැටුම් සියල්ලම එතැනම නැටීමට සිත්වුවත් අහිකුණ්ඨික රිලවා කදමළු බැදගෙන නැන්දම්මා බලන්න යන අයුරින් එය පෙනිය හැකි නිසා සිතට පමණක් කැමති පදයකට නටා ගැනීමට ඉඩදීමට සිදුවිය. ඉලෝන් මස්ක්ගේ රොකට්ටුවක් මෙන් මා දැන් ඉහලින් ඉහලටම ඇදී යමි. සුරක්ෂිතව ඇයගේ සිතතුල ගොඩබාන්නට සැලසුම් කරමි.

දැන් ඇටවූ උගුලෙන් දඩයම සරි කර ගැනීමට කාලය පැමිණ ඇත. දඩයම උගුල අසලටම පැමිණ ඇත.

පාසැලෙ වටපිටාව ගැන පවසන විට අත්හැරදැමූ ක්‍රිඩාගාරයක් සහිත ක්‍රීඩ පිටියක් ගැන සඳහන් සදහන් කල බව මතකයට නගාගන්න. පාසැලේ එක් මායිමක්වූයේ එයයි. එවකට පැවති රජය රට පුර ශිල්ප ශාලික නමින් අංගසම්පූර්ණ ක්‍රීඩාපිටි ඉදිකිරිම සිදුකලේය. පාසැලට හොරෙන් රිංගීමට ඉඩ සලසාදුන් මෙම පිටියට ඒ ව්‍යාපෘතියේ එක් ගොදුරක්ම විය. දැන් එය වටකොට කම්බි දැල් ගසා අලංකාර කර ඇත. කලට වේලාවට වැඩකොට නම් දරාහුන් ජනාධිපතිනිය එය විවෘත කිරිමට පැමිණෙන බැවින් ප්‍රදේශයම කුරුළු ගෙදර දොරටවැඩුම වාගේය. පාසැලේ නැටුම් සූදානම් කරනවාය , නොයෙකුත් බහුරූ කෝලම්ය. 

පාසැලේ බාලදක්ෂ , රතුකුරුස කන්ඩායම්ද සීරුවෙන් තබා ඇත. කලු බොත්තම් ඇල්ලූ සුදු ගවුම් මැද ඇයද සිටී. ඇය මගේ සිත තුවාලකොට අන් අයට බෙහෙත් කිරීමට සැරසෙනවාය. ගෑණු ඔහොමමය. සෙනඟ අතර තෙරපීමට අකමැතිවුවත් උත්සවයේ නැරඹීමට තරම් බක්කක් නැතිවුවත් ඇයට සමීපවීමට එයට යා යුතුමය. 

ප්‍රදේශයේ පාසැල් සියල්ලම සහභාගීවන නිසා යම් යම් ආතල් තිබියද හැක. 

පටු ගේට්ටුවකින් තණබිමේ කෙලවට අටවා ඇති ගාලකට ගාල්වන බැටළුවන් මෙන් අප එකිනෙකා පිටියයට ඇතුල්වීමු. ගුරුවරුන්ට ළමුන් අමතක වන දිනයක් නිසාවෙන් ගාලක් වුවත් සැණකෙලියක් කරගැනීමට අපට හැකිය. ඒ සිතිවිල්ල සතරවටින් තුවක්කු මානගෙන සිටින්නන් දකිනාතුරු පමණි. උත්සවය ආරම්භවීමට බොහෝ වේලා යනු ඇත. උසුලු විසුලු මුකුළු වලට ඈ සොයාගත යුතුය. 

පිටියේ කෙලවරක ඈය. සමනලයෙකු අල්ලාගන්න කුඩා දරුවෙක් මෙන් ඈ අල්වාගත යුතුය. පරිස්සම් විය යුතුය. නොතැලෙන ලෙස අල්වාගත යුතුය. 

පොම්පෙයි නුවර ගිනිකන්දට අසුවූවා සේ මා ගත දැවී යන්නට තරම් රුදු බැල්මක් හෙලූ ඈ ටයිටෙනික් නැව ගිලගත් අයිස් කුට්ටිය මෙන් අද සිනාසෙනවාය. ගෑනු හරියට ලංකාවේ කාලගුණය වගේය. නියමිත වැසිකාලයට පායයි. පායන කාලයට වසී. නෙලාගතහැකි තුත්තිරි ගස්වලින් මල්කලඹක් සකසා මෑ ඇයට දික්කලේ කොලොප්පමකට නොවුවත් සියල්ලනටම එය එසේවීය. කම් නැත. ඈ සිනාසෙනවාය. සුදු නෙළුමක් වාගේය. මා ඒ නෙළුම ගෙන් ආදර පුදසුන වට පැදකුණු කල යුතුය. ගිනිගහන අව්වේ වුවද සිහින මැවිය හැක. ආලය එතරම්ම ප්‍රභලය. 

සිනා මැද හුන් ඇගේ වත එක්වරම මිලින වී ගියේය. ඒ අප අසලට පැමිණි අනෙකෙකු නිසාය. පැමිණියා නොවේය. ඔහුව කැදවාගෙන විත් තිබිණ. ඈගේ පන්ති සඟයන් දෙදෙනෙකු විසින් ඔහු මාහට හදුන්වාදීමට කඳවාගෙන විත් තිබිණ. කතාන්දරයක් ලස්සන වීමට ප්‍රේමවන්තයන් පමණක් මදිය . දුශ්ඨයන්ද සිටිය යුතුය. 

- ඉතින් අප නැවත හමුවෙමු - 

Monday, August 16, 2021

නොහදුනන්නී - 03

නොහදුනන්නී - 03




කටු ඔටුන්නේ සටපට ගා පොරි පීදෙන්නා සේ මල් පිපෙන්නට විය.

මල් පූදින විට බිඟුන් ඇදේ. බිඟුන් ඇදෙනවිට ගුමු ගුමුව ඇසේ. ඔය අතරින් පතර නිලමැස්සෙක් මංමුලාවූ සමනලියකගෙන් පාර ආසාගැනීමටද පැමිනිය හැක.

මොහොතක් නවතින්න. මා කොමාට නිල මැස්සා කීවායැයි වරදවා වටහා නොගන්න. නමුත් මල් ගොමුවක සුන්දරත්වය නිල මැස්සෙකුගෙන්ද බිඳි යා හැකිය. 

" ඕක අරං ගිහින් අහවල් පිටුවෙ අහවල් පැවරුම පන්තියට දෙනවා. මම ආයෙම එනකොට ඕක ඉවරකරල තියනවා "

ඒ පෙරකී නාදයයි.

මා ඉතා ශාන්ත පුද්ගලයෙකි. එය මැනවින් ඇයට හැගෙන්නට ඇත. ඒ හිස ඔසවාගන්නට නොහැකිවම පන්තියෙන් එලියට පල්ලම් බැසි නිසාය. ලැජ්ජාවූ නමුත් මා දැන් ඇයගේ පන්තිකාමරය දනී. ඇය මා පන්තිනායකයා බවද දනී. කටු වුවත් එය ඔටුන්නක් යැයි සිතා සිත සනහාගන්නට එයම කදිම හේතුවකි.

කණිෂ්ඨ අංශ කාර්යාලයට යන අතරමග ඇයගේ පන්තිකාමරය පිහිටීම පන්තිනායිකාවගේ බරෙන් කොටසක් හෑල්ලු කල බව හැබෑය. හුණු කෑල්ලටත්, නාමලේඛන ආදිය ගෙන ඒමටත් මා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වීම නිසාය. මා දැන් දිනකට කිහිපවරක් ඇය ඉදිරියේ පෙනී සිටී. ඇය ඉදිරියෙන් ගමන් කරමි. 

එකල විලාසිතාවක් වූ බූල් ලේන්සුව සාක්කුවෙන් මදක් පෙනෙන්නට දමා ගමන් කරමි. අසල්වාසියෙකුගේ වීදුරු ඇස් යුවල පලදාගෙන ගමන් කරමි. බරට බරේ පොත් පත් ඔසවාගෙන ගමන් කරමි. ඔහේ කිසිදු අවශ්‍යතාවක් නැතිව වුවද ගමන් කරමි. එහෙත් ඇයගේ සෙලවීමක්වත් නැත.

ඇය සෙලවෙන්නෙ නැතිමුත් දැන් දැන් ඇගේ මිතුරියන් සෙලවෙයි. මා පන්තිය අසලින් යනවිට ස්ස්ස් ශබ්දයක් ඇසෙයි. මිතුරියන් චියර් ලීඩර්ස්ලා ලෙස හැඟෙයි. 

සමහර තැටි රත් කිරීමට ගෑස් විතරක් මදිය. කටු සහිත දර අතුද යහමින් ඕනෑය. මේ තැටිය රත් කිරීමට මම ඇගේ මිතුරන් දෙදෙනෙකුට සමීප වීමි . මා දන්නා තොරතුරුද නොදන්නා ලෙස ඔවුන්ගෙන් දිනපතා අසයි. ඔවුන් මාගේ උනන්දුවේ තරම ඇයට කියනු ඇත. මේ මොලය ඉගෙනීමට යෙදවූවානම් යැයි ඔබට මෙන්ම මටද දැන් දැන් නොසිතෙන්නෙ නොවේය. මෙහෙයුම සාර්ථකය ඇය දැන් මා දුටුවිට ගමන් මඟ වෙනස් කිරිමට වෑයම් කරයි.

වාර්ශික අධ්‍යාපන චාරිකාවෙන් පසුදින පාසැල් පැමිනීම අවශ්‍ය නොවූවත් එතරම් නිදහස් දිනයක් නැතිකර නොගැනීමට පසුපෙල අප තීරණය කලෙමු. ආකිමිඩීස් දිය නෑමට ගත් තීරණය කෙතරම් ජීවත ගණනකට බලපෑමක් කලේද නමුත් එය ඉතිහසගත තීරණයකි. මෙයද එසේමය.

නලජල පසුකම් මද වීම නිසා ඇය සහ පිරිවර දහවල් ආහාරයෙන් පසු අත සේදීමට කොටි අඩවියට පැමිණිය යුතුමය. දිය කඩිති භයානකය. දත් විලිස්සාගත් රකුසන් ඒ අසල රැක සිටී. පෙනුමෙනන් අපෙගෙත් රකුසන්ගේද වෙනසක් නැත්තේ නිදහස් දවස නිසාය. ඇය පැමිණි විගස සගවාගෙන හුන් කැමරාව ගෙන " ක්‍රීක් , ක්‍රීක් " 

හඩින් මහ දවල් ෆ්ලෑශරයද දමා ඇය සිතුවම් කරගති. දැන් මා සතුටෙනි. අලෝකය වැදි ගෝනුන් සේ සියල්ලෝම මා දෙස බලාගත්වනම බලා සිටී. චූන් පාන් රථයක් ගිය පසු ඇතිවෙන්නාවූ නිශ්ශබ්දතාව පරිසරය ගිලගෙන සිටී. නමුත් මා සතුටෙනි.

නිශ්ශබ්දතාව පෑල දොරින් දිවයනු මට පෙනේ. වචන දෙකක් මා වෙත දිව එනු පෙනේ. 

කෝපය දෑසින් සට සට ගා කඩා හැලේ, මුව දෙපසින් දල දෙකක් මතුවූවාය. කෙස් පොල්කූරු වූවාය. ඈ පැරණි පන්සල් ඝණ්ඨාරයක් හැඬෙව්වාය.

" තමුසෙට පිස්සුද " 

ඒ ඈය. මා ප්‍රේම දැල එලමින් සිටි ඈය. කෝපවූ විට ගැහැණුන් එසේ වනවා ඇත. කෙසේ වෙතත් ඒ ඈය. ප්‍රේම කරනා ඈය. මා ඇය සමඟ ජිවත්විය යුතුමය. ඉතිං ඔන්න ඔහෙ පොඩ්ඩක් කේන්ති ගත්තාය පැත්තක් පාත් වෙන්නේ නැත්තේය. 

බලන්න ගැහැණිය දත් විලිස්සා ගත්තද , කෑ ගැසුවද , කෙස් අවුල් කරගත්තද කෙතරම් ලස්සනද ප්‍රේමනීයද. සිතට දැනෙන හැටිය. සිතට පිස්සුය. 

මා දැන් පෙරටත් වඩා සතුටෙනි. ඒ ඈ නිසාය. ඈ මා ඉදිරියේ මා සමඟ පලමු වචන කිහිපය කතාකර ඇත. මෙය ඉතිහාසගත තීරණයක් බව මා කීදේ සැබැවක් නොවේද ? මා සතුටෙනි. සිත සතුටෙනි.

එය බැනීමක් නොවේය. ආමන්ත්‍රණයකි.

තත්පර කිහිපයක සිදුවීම අවසන් වෙනවත් සමඟම මිතුරෙක් කැමරාව ඩැහැගෙන පන්තිකාමර අතරේ අතුරුදන් විය. කැමරාවේ අගය දන්නේ හිමිකරු නිසා ඈ එය කැබලි කරාවියැයි බියවීම සාදාරණය. 

ඒ සමඟ පැවති නොසන්සුන්බව අහවර වී සියල්ලෝම නොසතුටින් විසිර ගියහ. 

දැන් ඇත්තෙ බැරෑරුම්ම කටයුත්තකි.

කැමරාවෙ සේයාපටලය පරිස්සමෙන් ගලවාගත යුතුය. පාසැල් හැරුණු විගස චිත්‍රකලාවට දිව යායුතුය. එක් ඡයාරූපයක් පසුම්බියටත් තවකක් කාමරයෙ මේසය මතටත් ලෙස සකසාගත යුතුය. මනසින් රාමුකල පින්තූරවල හැඩ බලමින්ම කැමරාවෙ පසුකොටස ගලවා සේයාපටලය ගැලවීමයට අත යොමුකල විට " සිතිවිලි සිරවී හදවත පත්ලෙ ඉකිබිඳ වැලලී ගියේය " 

දුප්පත් කැමරාවට අප සේයාපටලයක් දමා නැත. අවුලක්ම නෑ ඈ කතා කලානෙ. ඊටත් වඩා සතුටක් කුමටද ?

-- ඉතිං අප නැවත හමුවෙමු ---


Saturday, June 12, 2021

නිවසේදීම ගෑස් සාදාගන්නා ආකාරය


අවශ්‍ය  ද්‍රව්‍ය.
* දාර බයියෙක්
*සෞභාගයේ දැක්ම පිටු කීපයක් ( රස අනුව පුන්න්නක්කු, පිදුරු හා තණකොලත් එක්කල හැක.)
*දූපත් බයි මිනීවලක් ( ගෑස් කුටීරය වලලා ගැනීම සදහා)
*බයි හයිවේ පස් ටිපරයක් ( වල වැසීමට)
*තිබේනම් පමණක් හිස් බයි තෙල් බැරලයක්.
* බයි කසිප්පු දගරයක්
*රේඩියෝවක් හෝ රූපවාහිනියක්.

සාදාගන්නා ආකාරය.

දාර බයියා ගසක බැද ඌට අවශ්‍ය  තරමින් සෞභාග්‍ය  දැක්ම පිටු ආහාරයට ලබාදෙන්න. පෙර ගෙන්වා ගත් රූපවාහිනිය හෝ රේඩියෝව බයියාට ඇසෙන පෙනන මානයේ තමා විශාල ශබ්දයක් ඇසෙන අයුරින් නිතරම ප්‍රවෘත්ති සහ දේශපාලන සංවාද ඇසෙන්නට සලස්වන්න.හැකිවිට පමණක් අං තට්ටුව අතගාමින් කෝ පුතේ වියත්මඟ යැයි අසන්න. එවිට නොනවත්වා ඌ බෙටි ගැසීමට පටන් ගනී. වලේ වලලාගත් හිස් බයි තෙල් බැරලයට එම ගොම සේදී එක්වන ලෙස ඇටවුම පිලියෙල කරගත යුතුය.පසුව බැරලයේ ඉහල සිදුරක් සාදා එයට දඟරය සවිකර ගන්න.දැන් ඔබට දඟරය දිගේ ගමටම ගෑස් දිය හැක.
(විශේෂ දාර බයියෙක් නිසාත් වියත් මඟ මතක් කරනා නිසාත් වෙනත් කිසිම අමුදව්‍යයක් අවශ්‍ය  නොවේ.තිබේනම් පමණක් රටින් ගෙන්වූ ක්ෂුද්‍රජීවීන් රහිත කාබනික පොහොර ස්වල්පයක් පමණක් එක්කරන්න)

Thursday, June 10, 2021

කාසැල් පාලය

   





පාසැලක් කොහොමද ජීවිතේ වැදගත් තැනක් වෙන්නෙ නැත්නම් ජීවිතේ කොහොමද පාසැල වන්නෙ.

දැන් කියයි පෙම්වතුන් නිසා කියල. දැන් පොඩි උන්ට එහෙම උනාට අපේ පොඩි කාලෙ එහෙම එකක් නෑ. දැන් කියලත් මහ ලොකු නෑ. පොඩි වයස. ලොකු ටෝක්. එච්චරයි.

අපේ ගමේ පාසැලක් තිබ්බට මගෙ ප්‍රථම පාසල උනේ අම්මගෙ ගමේ පිහිටි මහා විද්‍යාලය. ඒක එහෙම වෙන්න හේතු කීපයක් බලපෑවා. ගමේ පාසැල පල්ලිය යටතේ පැවතීම , පාසැල අසලම කොලනියක් පිහිටා තිබීම වගේ ඒවා. ඒ පාසැලට ගෙදර ඉදන් මීටර 200ක් විතර වුනාට මට යන්න වුනේ කිලෝමීටර 3ක් එපිට තිබ්බ අම්මගෙ ගමේ පාසැලට.

අම්ම, අම්මගෙ අයියා අක්කල නංගි මල්ලි විතරක්යැ අපේ අම්මගෙ දුවල දෙන්නත් ගියෙ ඔන්න ඔය පාසැලටම තමයි.

ඉංග්‍රීසි එල් හැඩයේ භූමි ප්‍රමාණයක තිබ්බ පාසැලේ ඉදිරිපස මහා මාර්ගයක් ඉතිරි පැතිවලින් 3/4ක්ම වටවෙලා තිබ්බෙ ගමේ ගුරු පාරෙන්.ඇත්තටම ඒක ගුරු පාරක් නෙවෙයි වැලි පාරක්. කලුගලින් හදපු අර්ධ කවාකාර ගේට්ටු කනු දෙක දෙපස උස කම්බ් කණු හිටවල තිබුණා. ඔය කම්බි කණු වහගෙන ගේට්ටු කනුව උසට වැවුණ බොක්ස් වැට (ඔය ගහේ නම තාම දන්නෙ නෑ. ඕකට අපි කිව්වෙ බොක්ස් වැට කියල. සියඹලා කොට වගේ චූටි චූටි කොල තිබ්බ පදුරු ශාකයක්. ඉදුණ ගෙඩි එහෙම අපේ ප්‍රධාන කෑමක්)

ගේට්ටුවෙන් ඇතුල් වුනාම ලංකාව හැඩයට හදපු පොකුණ වටකරන් වතුර බින්දුවක හැඩේට ලොකු මල් පාත්තියක් තිබුණා. මේ මල් පාත්තිය දෙපැත්තෙන් තමයි පාසැල ඇතුලට යන්න පාර තිබ්බෙ. වම්පස පාරෙන් ගියාම 3 වසර දක්වා ගිහින් එතනින් ආයෙම දකුණට හැරුනාම 8,7,6 පන්ති හරහා 1 වසර දක්වා යන්න පුලුවන්. 1 වසර පාසලේ කෙරවෙලේම පිහිටලා තිබුණෙ. හරියටම කිව්වොත් ක්‍රීඩා පිටියෙත් කෙරවලේම 1,2 වසරත් 1 වසර දක්වා යන මාර්ගයට සමාන්තරව පිට්ටනිය මායිමේම 5 වසර පන්තිය.

5 වසර සහ 6 වසර අතර කුඩා ප්‍රමාණයේ කැන්ටිම පාසලේ වතුර ටැංකිය ලිද සහ ඔසු උයන තිබුණා. පාසල කොච්චර කුඩා උනත් ඒ ඔසු උයනෙ තිබ්බ ඇතැම් ශාක වර්ග මම තවම වෙන කිසි තැනකින් දැකල් නෑ. හොදටම මතක තියෙන්නෙ කොට කිඹුල ගස(නම වැරදිද දන්නෙ නෑ).පොලවෙන් තරමක් ඉහලට වැඩිලා පොලව හා සාමාන්තරව බංකුවක් ආකාරයට හැදිලා තිබුනෙ. ලොකු පන්තිවල අයියල අක්කගෙ පෙම් බංකුව වුනෙත් ඕකමයි.

1,2 වසර එකම ගොඩනැගිල්ලෙ මැදින් තාවකාලික බිත්තියකින් වෙන් කරල තිබුණා.1 වසර කොටස නිල් පැහැ මේස පුටු 2 වසර කොටස රෝස පාට මේස පුටු.

ඉබ්බගෙයි හාවගෙයි රේස් එක, නරියා මිදිකාපු හැටි, තොප්පි වෙලෙන්දා වගේ කතා ගොඩක් බිත්තිවල ඇදල ලස්සනට පාට කරල.මේස වලත් මැද කොටසෙ චතුරස්‍ර, රවුම්, ත්‍රිකෝණ වගේ ජ්‍යාමිතික හැඩ තල වලින් කරපු රටා.

ඔච්චර විච්චූරණ තිබ්බ ගොඩනැඟිල්ලට කොට බිත්ති උඩින් කොටු දැල් ගහපු කුකුල් කූඩුවක් වගේනෙ කියල හිතෙන්නෙ දැන් දැක්කාම.ඒත් මතකයන් කැමති නෑ ඒ මතය පිලිගන්න.දැන් හිතනවද මෙච්චර හැඩ වැඩ රටා ගැන කතා කලේ ඒවා මේ කතාවට අදාලයි කියල.අනේ එහෙම මුකුත් නෑ මෙයා. ඒක නිකන් ඔයාලගෙ පොඩි වයස ගැන මතක් කරගන්න දුන්න පොඩි බුල්ටෝ එකක්.

සැපසේ පාසැලක සිටියානම් ඒ එකම තැන මේ පාසැල තමා. හේතුව වෙන කිසිම දෙයක්ම නෙවෙයි.ගුරුවරුන්ගෙන් සියයට අනූවක්ම අපේ නෑයො නැත්නම් අම්මගෙ යාළුවො.

කිසිම දවසක දඩුවමක් ලැබුනායැයි මතකයයි නැති තැනක්.

ලැබුන එකම දඬුවම තාමත් පොඩි ඇදයක් තියෙන වේදනා දෙන අත විතරයි.ඒක වෙනමම කතාවක්.

පාසැල් ගියෙ බස් එකේ.පාරටම තිබ්බෙ බස් තුනයි.ලංගම එකයි ප්‍රයිවට් දෙකයි.ප්‍රයිවට් දෙකම ගෙවල් අහල පහල අයගෙ.උදේට ගේ ලගින් අපි තුන්දෙනාවම ,අහ් තුන්දෙනා කිව්වෙ අක්කල දෙන්නක් ඉන්නවනෙ බස් එකට නග්ගනවා.පාසැල ලගින් බහිනවා.හවසට මම 11.30ට ඉවර වුනත් 2 වෙනකං ඉන්නව අක්කලට ඉවර වෙනකං.ඔය කාලෙ කාලය ගෙවන්නෙ ඔහොම පාසැල් අහවර වෙනකංම ඉන්න ලමයි ටිකක් එක්ක බුදුමැදුර ලගට වෙලා සෙල්ලම් කරමින්.

ඔය පොඩිවුන් කාලෙ අපිට තියෙනවයැ වාර පරීක්ෂණ.ඔන්න දවසක් ඉන්නවා ඉන්නවා අක්කල නෑ.ලොකු අක්කලෑ පන්තිය හොයාන ගියාම එයැයිට විභාගෙ ඉවර වෙලා කලින් ගිහින්.ඊලගට සද්ගුණවත් චූටි අක්කගෙ පන්තියට. වගකීමත් ඇති අක්කල හරියටම වගකීම අරං වැඩ කරල කියල පස්සෙ කාලෙක තේරුණත් එදානම් වුනේ අක්කල දෙන්නටම මාව අමතක වුණ නිසා මහ පාරට වෙලා හිටගෙන ඉන්න.බස් ගාස්තුව රුපියල් දෙක වුනත් මං අහවල් දෙක දීලා බස් එකේ එන්නයැ.අනික ඒ කාලෙ ඔය අහවල් ඒවා බස් කාරයො ගන්නවද දන්නෙත් නෑනෙ. පාසැල ලග පෝස්ට් ඔෆීස් එක ලගට මාමා නොයෙන්න අම්ම එනකං මම හවස්වෙනකං ඒ කඩපිලේ.

විභාග වෙලාවට පහ වසරෙ කියල නෑ අපිව දාන්නෙ ගෑනු පිරිමි කලවම් කරල.

පන්තිභාර මිස් එච්චර සැර නෑ ටිකක් වසයි.දෙනකොට දෙන්නෙ මහත වේවැල කැඩෙන්න විතරමයි.එයාට වේවැල් කැඩුනට ප්‍රශ්ණයක් නෑ.ගේ ලඟින් තමයි ඔය ගලාගෙන යන්නෙ දෙපැත්තෙ වේවැල් පඳුරු හුරතල් කරගෙන.

පන්තියෙම උන්න දක්ෂම ලමයා මුල් නම පටන් ගන්නෙ 'ජ' අකුරෙන්.අවසන්.වෙන්නෙ 'රී' අකුරෙන් අවසාන නම සදමාලි. තව ලමයෙක් උන්නා අපි එයාට කසුන් කියල කියමු. ප්‍රශ්ණ පත්‍රය දුන්නාම හිස් තියන්නත් තහනම්.මොනාම හරි ලියන්නත් ඕනිමයි.විභාග අවසන්වෙලා සෙල්ලම් සතියකට විතර පස්සෙ සේරගෙම උත්තර පත්‍ර එහෙම බෙදල මිස් ඉන්නව ඔන්න මල්වර වෙච්ච යක්ශ දෝණි මූණ දාගෙන.

"හ්ම්.. දැන් කියපල්ලා බලන්න.. මේ පන්තියෙ ඉන්න මේ අමුතු එකා මොකාද "

අපි ඉන්නව නිකන් වෘක හම පොරවගත්ත සිංහයට අහුවෙච්ච බැටලු රැල වගේ "

" මොකාටද දැන් උත්තර පත්තරේ නොලැබුන එකා "

කසුනට මං හිතන්නෙ චූ චූට්ටක් හරි යන්නත් ඇති පුටුවෙන් නැගිටින ටිකට.

"තමුසෙ කවද්ද ඉදන්ද ඕයි 'ජනවාරි සදමාලි' කියල නම වෙනස් කලේ "

කසුනා ඉදල තියෙන්නෙ අර දක්ශම කෙල්ලට එහාපැත්තෙ.

ඇත්තමයි ඔය මූණ බලාගෙන අපිට හිනාවෙනව කියල හිතන්නවත් බෑ.

කසුනානම් ගෙදර ගිහිල්ලත් ඇඬුවෙ නෑ කියල තමා ඌනම් කිව්වෙ. 

ඔය අයිනෙ වේවැල් පඳුරක්නම් එදා හවසම අඬලා තිබ්බා අනේ අපිට කැත්තෙන් කොටල කෑලි කපාගෙන යන්න එපා කියල.

(ලියන්න පටංගත්තෙනම් මෙව්ව නෙවෙයි සහෝදරියෝ සහ පාසැල කියල එකක්.දැන් මේක ලියන මොහෙතෙ මං ඉන්නෙ නහය හාරන පෝලිමේ. ඉස්සරහ උන්ගෙ නහය හාරනව දැක්කාම ලියන්න උන්න එකත් අමතකවුනා ඉතිං.)

Tuesday, June 8, 2021

නොහදුන්නී -02

නොහදුන්නී  - 02

"කන්න වගේ බලන්න එපා ,එයා මගෙ හොදම යාලුවා"

"මං කලින් දැකල නෑනෙ "

" ස්කූල් වෑන් එකේ යන්නෙ.අද ඒක නැති නිසා මාත් එක්ක ආවෙ"

" ඉතිං එයාගෙ නම මොකක්ද.එයාගෙ කොන්ඩෙ ලස්සනයි කිව්ව කියන්න "

" මං මොකටද තෝල්ක වැඩ කරන්නෙ.උඹ කියාගනින් ඕනි එකක් අයියෙ "

අපේ කතාව පුරාවටම ඈ වෙනතක් බලාගෙන සිනාසෙයි.මුව ගොළුයි.දෑස් දිලිසෙයි.
ඒ නම නොදත් ඇගේ මිතුරියයි .පලමු හමුවම මා සිකුරු වෙත ගුවන්ගතකල යුවතියයි.

            නවීන බස්‍ රථයක් තිබූ නිසා හැමදාම පාසැලට යන්නේ තරමක් ප්‍රමාදවෙලාය. පලමු හමුවෙන් පසුදාද වෙනසක් නැත. ප්‍රමාදයට තණකොල ගැලවීමය, නැතිනම් අරලියා කොල මල් ඇහිලීමය. එය යකාගේ දඬුවමකි. කෙල්ලො අතුගෑයුතු මිදුල කකුල් දෙකටම දිගට හැද සිටිනා අප ලවා සුද්ධ කිරීම ඉතා අසික්කිත දඬුවමකි. එය වඩා දැනෙනුයේ ඇය ඉදලක් අතින් ගෙන මුව වසාගෙන දෑසින් කැකිරි පැලූ නිසාය. වැඩිම කොල ප්‍රමාණයට ප්‍රසාද ලකුණු ලෙසවත් බැනුම් අඩුවක් නැතත් ඇය ඉදිරියේ ඔළුව ඔසවාගත නොහැකි මම එදින වැඩිම කසල වාර්තාවට හිමිකම් කීවෙමි.



          එකලොස්වන වසර යනු හිරිමල් සිතට දැඩි පීඩාවක් එල්ලකරන කාලයකි. නමුත් නාරිලතාමල් පිපීමට සිතේ ඉඩක් නැත්තේම නොවේය. ඇය දහවන වසරේබව දනිමි. නමුත් ඇය කිනම් පන්තිකාමරයේදැයි නොදනිමි. සොයා යන්නට කාලයක් නැත්තේය. ගුරුවරු නිවාඩු නොගන්නේ යම්සේද අපගේ ආදර කතා සිත්තුල දැඩි කිරීමට එයම හේතුවක් වන්නේමය. ඒ සෑම විටම පන්තිකාමරයට ගුරුවරයෙක් අරක්ගෙන සිටිනා නිසාය.

           එකල ශ්‍රේණි ප්‍රධාන තනතුර ඉසිලුවේ කෙසඟ සිරුරක් හිමි තරමක් මිටි ගුරුවරයෙකි. ස්කුබිඩූ නරඹා ඇති ඇත්තෝ ස්ක්‍රැපීව මතකට නඟාගන්නේනම් ඉතා අඟනේය. සියල්ලම ඒ හා සමානය. අපි ඔහුට කොමා යැයි කියමු. කොරිඩෝවේ මාරයා යන්නෙහි කෙටි යෙදුමයි ඒ. අපට කිසිම අවස්තාවක පන්තිකාමරයෙන් එලියේ කොරිඩෝවට පැමිණීම තහනම්ය. ඔහුගේ අතැති දහයේ කම්බියකට සමාන වූ වේවැල අප පශ්චාත්භාගය සහ දෙපා සිඹීමට නොයිවසිල්ලෙන් බලා සිටී.

            මා ඉගනුමෙහි දක්ෂතමයෙක් නෙවේ. පන්තිභාර ගුරුතුමියගේ සුරතලෙකුද නෙවේ. නමුත් ඇය එකලොස්වන වසර සඳහා පන්තිනායක දූරයනම් කටු ඔටුන්න මා හිසේ පටවා තිබිණි. ගුරුවරුන්ට මේච්චල් කල නොහැකි වයසේ උන්ව මා කෙසේ හසුරවයිදැයි ඇය බලාපොරොත්තු වූයේදැයි මට තවම සිතාගන නොහැක.

            උදෑසනම කාලපරිච්ඡේදය හිස් කරමින් පන්තිභාර ගුරුතුමිය නොපැමිණියෙන් පාන් රොඩ්ඩක් හසුවූ කපුටු වැසියන් සේ අප ප්‍රීති ප්‍රමෝදයටපත්ව සිටියෙමු. ප්‍රීතිය ඇත්තේ කොතැනකද කොමා එතනය. කොමා ඇත්තේ කොතනකද දුක එතනය. අහසට පිඹිනා එරන් කලේයා ගෙන් පටන් ගෙන එක පඳුරෙන් ලී සයක් කපාගෙන දේශනය අවසන්වූයේ "මොකාද යකෝ පන්තිනයකයා , වරෙන් යන්න මගෙ පන්තියට " කියමිනි.
කොමා දනී මුළු පාසලේම කෙල්ලන් දනී ඔහුගේ පන්තිය නොදනී. අසල පන්තියකින් පාර අසාගෙන හසරක් නොදැන මා පන්තිය වෙත පාදයාත්‍රා කලෙමි.

            පන්තිනායක පට්ටම යනු බූරුවාට කියනා තවත් නමකි. කොමා හමුවෙන සෑම විටම එක තරයේ සිතට ගැනීමෙන් ඇතිවන විලි ලජ්ජාව දෑතින් වසාගෙන සිටිය හැක.
මෙය සිතට ගෙන දහය ශ්‍රේණියේ එක් පන්තිකාමරයකට මා ඇතුල් වූයේ රෙදි පිලි දොරලග උනා තබාය.

"ආ මේ එන්නෙ අහවල් පන්තියේ අහවලාය. ඌට අහවල් වැඩේ අහවල් ආකාරයට කරගන්න බැරි නිසා මං අහවල් දෙයක් දෙන්නයි එන්න කීවේ"
ඒ පිලිගැනීමේ සරල ගීයයි.

" _____ (කාන්තා නමක්) අර ප්‍රශ්ණ පත්‍ර පොත දෙන්න "

ඔලුව ඔසවාගැනීමට බැරිවෙන ලෙසම කටු ඔටුන්න හිසට බරබව දැනේ. නමුත් පොතක් දික්වනවා සමඟ පුරුදු සිරික්කලයක් කන්බෙරයට තට්ටුකරනු දැනේ. අංශක 60කට නවාගෙන සිටි හිස අංශක 30කට පමණ අඩුකරමින් වටපිට බැලූ මට උනා දැමීමට තව වස්ත්‍ර තිබුනේනම් යැයි සිතේ.

අහෝ ඛේදවාචකයකි. ඉරකි තිතකි.
ඒ ඇයැයි. මා සිකුරු වෙත ගුවන්ගතකල යුවතියයි.

කටු ඔටුන්නේ සටපට ගා පොරි පීදෙන්නා සේ මල් පිපෙන්නට විය.

-----ඉතින් අපි නැවත හමුවෙමු----

©මුදියන්සෙ මලයා