Monday, September 18, 2023

 --ජර්මානු යුධ ටැංකියට එරෙහිව ජර්මානු ශෙපර්ඩ්--

 

 




ලෝකය පුරාම මිනිසුන් වෙනුවෙන් සතුන් තමන්ගේ ජීවිතයෙන් වන්දිගෙවන අවස්තා ගැන අපි හොදටම අහල දැකල තියනව. කාන්තාවෝ අනේ අපි සත්ව හිංසාවට විරුද්ධයි  කියල සුනඛයො වඩාගෙන කිස් කරන වෙලාවට මූනෙ උලාගෙන ඉන්න මේකප් තට්ටුවත් ඉතිං සතුන් හරහා පරීක්ෂණ  වලට ලක්කරපු ඒවා තමා. ඔය කතා කොහොම උනත් මේ කතාව යුධ කටයුතු සදහා සතුන් යොදා ගැනීම ගැන.

ඉතිහාසයේ සිට අද දක්වාම අලි ඇතුන්, පරවියන්, ඌරන්, දියබල්ලන්, සුනඛයන්, වවුලන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුලු සත්ව වර්ග යුධ කටයුතු  සදහා යොදාගන්නව. මේ අතරින් සෑම රටක්ම යුධ කටයුතු සදහා සුනඛ වර්ග යොදා ගැනීම වත්මන වන විට සාමාන්‍ය  කරුණක් . මේ එයින් රතු හමුදාවේ යුධ ටැංකි නාශක සුනඛයින්ගේ කතාව.

රුසියානු සිවිල් යුද්ධය රතු හමුදාව ජය ගැනීමෙන් පසුව 1924දි තමයි සෝවියට් සමාජවදී ජනරජයේ  විප්ලවීය හමුදා කවුන්සිලය රතු හමුදාවට සුනඛයන්  ඇතුලත් කරගන්න අවසර දෙන්නෙ. මෙහිදී ඔවුන් බලාපොරොත්තු  වූනේ
ප්‍රථමාධාර සැපයුම් , සන්නිවේදනය වේගවත් කරගැනීම, පුද්ගලයන් ලුහුබැඳයාම , කුඩා භාණ්ඩ  ප්‍රවාහනය වැනි කටයුතු සුනඛයන් හරහා ඉටුකරගැනීම. සුනඛයින් ඇතුලත් කරගැනීමට අවසර ලැබුනත් සුනඛ පුහුණුකරුවන් රතු හමුදාව තුල නොවීමේ ගැටලුවට මුහුණදෙන්න ඔවුනට සිදුවෙනව. සර්කස්කරුවන් හා දඩයම්කරුවන් වැනි සුනඛයන් හැසිරවීමට හැකි ඕනෑම අයෙකුට රතු හමුදාව තුල ඉඩහසර විවරවන්නේ මේ ගැටලුවට පිලියමක් විදියට.

මෙතෙක් හමුදාව තුල සුනඛයින් යොදාගෙන ඉටුකරගන්න බලාපොරොත්තු  වූ කරුණු වෙනස් මඟකට යොමුකරන්නේ දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර සටන් බිම. සෝවියට් පාබල හමුදාවන්ගේ ගමනට දැඩි තර්ජනයක් දෙන්න ජර්මානු යාන්ත්‍රික බලඇණි සමත් වීම නිසාම සෝවියට් බලධාරීන්ට අඩු වියදම් නව ආයුධවල අවශ්‍යතාව  දැනෙන්න පටන් ගත්‍තා.
මූලිකම අවශ්‍යතාව වුනේ ජර්මාණු යුධ ටැංකි විනාශ කරන්න ආයුධයක් නිශ්පාදනය කිරීම. මේ අවස්තාවෙදි තමයි " යුද ටැංකිනාශක සුනඛයින්" කරලියට ගේන්න බලධාරීන් සැලසුම් කරන්නෙ.

ජර්මානු යුධ ටැංකි වලට එරෙහිව ජර්මානු ශෙපර්ඩ් වර්ගයේ සුන්ඛයින් යොදාගන්න තීර්ණය වෙන්නෙ පුහුණු කිරීමේ පහසුව නිසා. සුනඛයින් ටැංකි වෙත දිවගොස්  පිටෙහි රදවා ඇති බෝම්බ ඇටවුම එහි ඇති නූලක් කටින් ඇදීම මඟින් බිම හෙලා නැවත පුහුණුකරු වෙත පැමිණීමත්  හෙලන බොම්බය  ටයිමරයක් හෝ දුරස්ථ  ඩෙටනේටරයක්  මඟින් පුපුරුවා හැරීමටත් මූලික සැලසුම්  සකස්වුණා.  නමුත් මාස හයක පුහුණුවකින් පසුවත් නිසියාකාරව  මෙම ක්‍රියාවලිය ඉටුකිරීමට සුනඛයින් සමත්වන්නේ නැහැ.

පුහුණුව සරල කලහොත් මෙහෙයුම සාර්ථක කරගතහැකි යැයි සිතු රුසියානුවන් නව බෝම්බ ඇටවුමක් නිර්මාණය කරන්නෙ කලු පැල්ලමක් දෝතින් ගෙන මුහුණේ තවරගනිමින්. මේ ඇටවුම නිසා සුනඛයන්ට බෝම්බය බිම හෙලා ආපසු පැමිනීම පුහුණු කිරීම අනවශ්‍යය වුණා.  සුනඛයාගේ ප්‍රමාණය අනුව නිර්මාණය කරන ලද බෑගයක කිලෝග්‍රෑම් 11ක් පමණවූ බෝම්බයක් සහ එයින් ඉහලට එසවුනු ලීවරයකින් නව ඇටවුම සමන්විතයි. සුනඛයින් සතුරු ටැංකි යටට රිංගා යාමේදී ටැංකි බදෙහි වදින ලීවරය ක්‍රියාත්මක වී බෝම්බය පුපුරායාම අපේක්ශිත මිලේච්ඡ විසදුම වුනා. මෙලෙස පුහුණුකල සුනඛයින් 30 දෙනෙක් සහ පුහුණුකරුවන් 40 දෙනෙක්ගෙන් යුත් පලමු යුධ ටැංකිනාශක සුනඛ  කන්ඩායම යුධ පෙරමුණට එක්වූයේ 1941 වසර මැදභාගයේදීයි.

යොදාගත් බොම්බ බෑගයේ සැලසුම


පලමු යුධ ටැංකිනාශන සුනඛ කණ්ඩායම යුධ පෙරමුණ වෙත ගමන් කරමින්


වසර ගණනාවක් තිස්සේ ඇවිලයන යුද්ධයක් කියන්නෙම ආර්ථික ඝාතකයෙක්. මේ නිසාම තම සම්පත් ඉතිරි කර ගැනීමට සිතූ රුසියානුවන් සුනඛයින් පුහුණු කිරීමට තුවක්කු බාවිතා කලෙ නැහැ. තුවක්කු හඬට හුරුවක් නොමැති නිසා සුනඛයන්  කලබල වී ආපසු දිවවිත් රුසියානු වාහන යටට රිංගා යාමත් , සොල්දාදුවන් පිරි යුධ අඟල් වෙත දිවයාමත් මඟින් රුසියානුවන්ටම අලාබ සිදුවන්නට පටන් ගත්තා. සජීවී පුපුරණ ද්‍රව්‍ය පැස සහිත සුනඛයන්ට මරණයේ රේඛාව පසු කිරීමට කිසිදු ඉඩක් නොලැබෙන්නේ ආපසු දිවඑන විට රුසියානු මැශින් තුවක්කු  උන්ඩ මඟින්  ඔවුන්ගේ සිරුරු පසාරු කිරීමට අණ ලැබීමත් සමඟයි.  තම හමුදාවට සිදුවන හානි වලක්වා ගැනීමට මෙලෙස මිලේච්ඡත්වය  මුදාහැරීම සුනඛ පුහුණුකරුවන් විවේචනය කිරීම නිසාම   ඔවුන්ගේ ඉදිරිකාලය බලහත්කාර කම්කරු කඳවුරුතුලට ගාල් කිරීමට රුසියානු බාලධාරීන් පසුබටවුනේ නැහැ.

මෙම පුහුණුවේ හිඩැස් වඩා හොදින් රුසියානුවන් විදවාගන්නෙ  ජර්මානු හා රුසියානු යුධටැංකි අතර වූ සටන් වලට සුනඛයින් යොදාගැනීම සමඟයි.  වෙඩි හඬට බියවීමත් සමඟ නුහුරු නුපුරුදු ජර්මානු ටැංකි වෙනුවට තමන්ට හුරුපුරුදු පෙනුමෙන් හා සුවඳින් යුත් රුසියානු ටැංකි යටටම සුනඛයන්  රිංගා යන්නේ  මිතුරු රුසියානුවන් තම ජීවිතය බේරාගනු  ඇතැයි සිතා වන්නට ඇති. නමුත් මිලේච්ඡ රුසියානුවන්ට සුනඛයින් තවත් එක් යුධ මෙවලමක් පමණයි. මෙම සුනඛ මෙහෙයුමෙන් හොදින් හෙම්බත්වූ රුසියානුවන් 1942 වසර වනවිට නව විකල්ප ආයුධ නිපදවාගත් නිසා සුනඛයින් බාවිතය අවම කලත්  අසාර්ථක ටැංකිනාශක සුනඛ පුහුණුව නිල වශයෙන් අවසන් කරන්නෙ 1966 වසරේදීයි.




කිනම් වංශෙයේ  අය වුවත් තමන්ගෙ වංශය කබල් ගාමින් අපිතමයි හොදටම කලේ කියාගන්නේ තමන්ගෙන් සිදුවූ වැරදි අඩුපාඩු ලෝකයට වසන් කරගනිමින් පිරුවට පෙරවාගැනීමටමයි. රුසියානු යුධවාර්ථා සුනඛ මෙහෙයුම් අති සාර්ථක බවත් දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු ටැංකි 300කට පමණ පහරදීමට සමත්වූ බව ලේවැකි පෑනකින් රන් අකුරින් ලියාගන්නේ පෙර කියමන නැවත නැවතත් සනාථකරමින්.
එය එසේ ලියවාගත්තත්  සුනඛයින් තරමක් හෝ සාර්ථක වුණ බවට සදහන් වෙන්නෙ සුනඛයින් 16ක් විසින් ජර්මානු ටැංකි 12ක් kursk යුධපිටියේදී විනශ කිරීමයි.

 කෙසේ වෙතත් සීමිත සුනඛයින් සංඛයාවක් යොදාගනිමින් එයිනුත් කොටසක් මරාදමමින් සිදුකල මෙම මෙහෙයුම අසාර්ථකව අවසන් වීමම මානූශීයත්වය අගයන සමාජය ලැබූ ජයග්‍රහණයක්. යුද්ධය කෙතරම් මානූශීයදැයි, තම පාර්ශවය කෙතරම අහිංසකදැයි උලුප්පා පෙන්විමට උත්සාහ කලත් දිය යට සඟවන රබර් බෝලයක් සේම අමානුෂිකත්වයත්  සැගවීමට හැකියාවක් නැහැ. එය මිහිමත ඇතිවූ පලමු යුද්ධයේ  සිටම මේ සියවස දක්වාම පවතින පැවති යුද්ධ සදහා අදාල වෙන කරුණක්. යුධ ඉතිහාසයේ  මිලේච්ඡ  කලුපැල්ලම් සදහටම මතකයේ රඳවාගනින් පාඩම් උගෙනගනිමින්  මානුශීයත්වය සැමට බෙදාහල හැකි යුගයක් උදාකරලීමට අපි සැවොම උත්සහ කලයුතුමය.