Thursday, September 26, 2019

වතුර

                               මැනික අදත් වහිනව.එදා වගේම. මොර සූරන තරම්ම නම් නැතුව ඇති.ඒත් පීල්ලෙන් වතුර වැටිලා ඔයාගෙ ඇන්තූරියම් ගහේ කොල ටිකනම් ඉරිලා.සමාවෙන්න අනේ මේ රස්සාවට යෑමයි ගෙදර වැඩයි නිසා මට ඒක අරං තියන්න බැරි වුනානෙ. ඉස්සර වගේ නෙවෙයිනෙ.ඒ රස්සාව කරපු කාලෙ වගේ මේකෙ නිදහසක් නෑ. ලයින් එකේ එන පෙට්ටි ටික මහ පෙට්ටියට අහුරගන්න බැරි උනොත් කිරිපිටි පෙට්ටි බිමට වැටෙනව.සුපවයිසර් බනිනව.පඩියෙන් කපනව.
හිටගෙන ඉදලම කකුල් කැක්කුම එනව.රෑට නින්ද යන්නෙම නැති තරම්.තනියම තෙල් ටිකක් ගාගන්නව.සමහර දාට ඒකත් නෑ.

                            වැහි කාලෙට මං ඉස්සර හරිම ආසයි.මං විතරක්‍ යැ.ඔයත් එහෙමනෙ. මමනම් ආස කලේ ඔයාව මුණගැස්සුවෙ මේ වැස්ස නිසා. එදා මම තෙමි තෙමී චිත්‍රකාමරයට යනව දැකල ඔයා කුඩයක් එවල තිබ්බනෙ යාලුවෙක් අතේ.ඒ කාලෙ කොහෙද පාට පාට කුඩ.හැමෝටම තිබ්බෙ කළු කුඩනෙ.
ඔය සිදුවීම මතක නිසාමයි මම හැම උපන්දිනේටම ඔයාට කුඩයක් දුන්නෙ.පාට පාට ඒවා. ඉස්කෝලෙ හැමෝටම රහසක් නොවී අපි ආදරේ කලා.හවසට එක කුඩේ යට වැස්සට අපි ගියෙ අපේ උන් විහිළු කරනකොටමයි.ඔයාත් උන්ට විහිළුවක් කරන නිකන් උන්න නිසා උන් සේරම කිව්වෙ බදිනවනම් බදින්න ඕනි ඔයා වගේ කෙනෙක් කියල.

                 උන් හිතන්න ඇති මම ඔයාව අත්හරීවි කියල.උන් කොහෙද දන්නෙ අනේ මගෙ හිතේ තියෙන ආදරේ ගැන.

                  මා ඔය ඉවුර ලගම තිබ්බ අපේ ගෙදරට ඔයාව කැන්දන් එන්න මට තිබ්බ හදිස්සියට වඩා ඔයාට හදිස්සිය තිබ්බෙ හැමදාම ඔයට බැහල නාන්න තිබ්බ ආසාව නිසා කියල මම දැනගත්තෙත් පහුකාලෙනෙ.ඔයා වතුරට තිබ්බෙ පුදුම ආසාවක්.බැදීමක්.ගමේ උන් අම්මට කියල තිබ්බ පුතා ගෙනල්ල තියෙන්නෙ දියකාවෙක් නේද කියල.මහ එකීවගේ වතුරට පැන්නට පීනන්න දැනන් උන්නෙත් නෑනෙ.ඒක පුරුදු උනෙත් අපේ ගෙදර ආවට පස්සෙනෙ.

                          ඔයා අපිට ගෙනාව තෑග්ග ඔයා වගේම ලස්සනයි දඟයි.වෙන පොඩි කෙල්ලො වතුරට අකමැතිම වෙනකොට ඔයාට අපේ කෙල්ල නාවල ඉවර කරන්න දුන්නෙ නෑනෙ.වතුරෙන් උඩට ගත්තාම අඬනව.කෙල්ලට සෙම හැදෙයි කියන බය නිසා වතුරෙන් ගොඩ ගන්නව මිසක ඔයා ඒකිගෙ කදුළු දකින්න බැරුව ඇස්වල කදුළු පුරවන් උන්න හැටි තාම පේනව මට.මැවිලා.මම ආස කරපු වීදුරු බෝල වගේ ඇස් දෙක.

                             2006 ආපු මහම මහ වැස්සට බඩල්ගම පාලමෙන් එගොඩ කොටසක්ම ගලවගෙන ගියෙ ඉවුරුවල උන්න අපි වගේ උන් ගැන මුකුත්ම නොහිතමයි.
ඒ කොටස සතියෙන් පස් පුරවල හදවල දුන්නෙ ජෙයරාජ් මහත්තයා.එතුමට පිං අයිතිවෙන්න ඕනි.ඔයා දන්නෙ නෑනෙ.ඊට ටික කාලෙකට පස්සෙ බෝමබයකට අහුවෙලා එතුමා අන්ත්‍රා වුනානෙ.ගමේ උන් සේරම වගේ ඇඩුවා.මටනම් ඒ වෙනකොට අඩන්න කදුළු ඉතුරු වෙලා තිබ්බෙ නෑ..

                        අවුරුදු 10ක්ම ගෙවිලා ගිහින් දැන්.මේ සැරේ වැස්සට ආයෙම පාලම ලග කොටස ගැලවිලා ගියා.නිකන්ම නෙවෙයි අපේ මතක සැමරුම් වල කොටහකුත් අරගෙනම.ඉවුරෙ තිබුන පන්සල මතකයි නේද.ඒකෙ බෝධියත් ගහගෙන ගියා මේ වතාවෙ.ඒ බෝධියට මම කී වතාවක් පූජා තියල ඇතිද..
ඔයාව සනීප කරල දෙන්න ඉල්ලල..... ඔයා මීගමුවෙ මහ ඉස්පිරිතාලෙ හිටියෙ.මතක නැතුව ඇති දැන් ඔයාට.පන්සලේ හාමුදුරුවෝ දුන්න පිරිත් නූල කීයක්නම් ඔයාගෙ අතේ බැන්ඳද මම ඒ ටික දවසට..ඒත් ඔයා යන්න ගියානෙ.. දූ ලගට..

                            දුක්වෙන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ.ඇත්තටම මට තේරෙන්නෙ නෑ.මම දරාගන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.. ඔයා ගියෙම මං එක්ක තරහින් වෙන්න ඕනි.මාස 2කට වඩා ඔයා කතා නොකරම හිටියා මම එක්ක.ඉස්සර ඔය කට වැහිලා තිබ්බ වෙලාවක් ඇත්තෙම නෑ.හරියට දෙමළියක් වගේ.කියෝනව කියෝනව.මම හරි ආස උනා ඒකට.අනික්දේ ඔයාගෙ හිනාව.ඒ සේරම මම ඒ මාස 2ම දැක්කෙ නෑ..

                                ඒ ගංවතුර වෙලාවෙ මම නොකල දෙයක් නෑ වස්තුවෙ අපේ කෙලි පොඩ්ඩව බේරගන්න.ඒ හැඩපාරට මාවත් ගහගෙන ගියා.පාලම කිට්ටුව පෙරලිලා තිබ්බ උණ පඳුරෙ එල්ලිලා මම බේරුනේ.ඒ මහ රෑ මම මොනාව කරන්නද.කාගෙන් උදව් ඉල්ලන්නද.මහ වැස්ස එක්ක ගෙවල් පිරෙන්න ආව වතුරෙන් හැමෝම අසරණවෙලා.ඒත් මම වැරදී.අපේ කෙල්ලව බේරගන්න මට මොනවම හරි කරන්න තිබුනා.මම උත්සහ කලා මදි.ඔයා මාත් එක්ක කතා නොකර උන්න එක වැරදි නෑ.ඒත් යන්න කලින් එක වතාවක් ඔයාට මම එක්ක හිනාවෙලා යන්න තිබුණා..
අපි ආයෙම දුවෙක් ගේමු කියන්න තිබ්බා..

                           ඔයාව හැමදාම අක්කලෑ ගෙදර තියන්න බැරි නිසයි මම දූගෙ තුන්මාසෙ දානෙටවත් ආයෙම පරණ ගෙදරටම එන්න හිතුවෙ.ගේ සුද්ද බුද්ද කරන ලිඳ ඉහල පිරිසුදු කරගත්තෙ ආයෙනම් ඔයාවවත් ඔයට යවන්නෙ නෑ කියල හිතාගෙන.අපේ දූ ගිලගත්ත යක්ෂණීගෙන් වතුර බින්දුවක්වත් අපිට මොකටද .. ඒකිගෙ උදව් අපිට ඕනි නෑ..ඒකිට අපේ සැහල්ලු ජීවිතේ ඉවසන් ඉන්න බැරිවෙන්න ඇති.පරට්ටි...

                           මම ආයෙමත් වැරදී.දූ නැති සාංකාවෙන් උන්න ඔයාව ගෙදර තනියම දාල ගිය එක.ඒත් අපේ දේවල් හැමදාම අනුන්ට කරන්න බෑනෙ.ඒකයි මම කඩේට ගියෙ.ඒ ගිය ටිකට ඔයා යන්න ගිහින්..ඔයාට තිබ්බ යන්නම ඕනිනම් ආයෙ අක්කලෑ ගෙදරට යන්න.නැත්නම් නැන්දලෑ ගෙදරට යන්න..ඒත් ඔයා ගියෙ අර යක්ෂණීගෙන් ඔයාව බෙරගන්න මම හොයාගත්ත අනික් එකී ලගට.ඒකි එක්ක මොනවට ගියාද.ඔයා ආස වතුරවත් ඒකි ලග නොතිබෙනකොට.

                  දැන් අවුරුදුම 10ක් ගිහින්.කැඩුන පාලමට අටවපු යකඩ පාලමෙන් ලස්සන චූටි කෙලි පොඩිත්තියො ඉස්කෝලෙ යනව.සමහරවිට අපේ දූ එක්ක ලෝකෙට ආව අයම වෙන්න ඇති.එයාගෙ යාලුවො වෙන්න ඇති.එයාලගෙ යාලුවා මේ යක්ෂණී යටකරන් ඉන්නව නොදැන එයාල ආසාවෙන් වතුර දිහෑ බලනව.පොඩි උන් බය කරන්න හොද නෑනෙ.නැත්නම් මම උන්ට ඇත්ත කියල දෙනව.
                     
අවසානෙ මට ඔයාල වෙනුවෙන් පූජාතියපු බෝධියත් නැතිවුනා..මතකයන් එක්කම උදුරන ගියා යක්ෂණී. වතුරෙන් ඉපදිලා අපි වතුරෙන්ම විනාශවෙලා ගියා කියල හිතුනට මම තාම වැස්සට ආදරේ කරනව.වැස්ස ඔයාගෙ විදියට තාම හිනාවෙනව.නටනව.
මතකද ඔයාගෙ ඔටෝග්‍රාෆ් එකේ මම ලිව්ව වචන.

"කැරකි කැරකි ගලනකොටයි ගඟක් ලස්සන.
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන"


©මුදියන්සෙ මලයා

Thursday, September 19, 2019

මත්වෙන ආදර කතා -02



                මම හැම වෙලේම කියන කතාවක් මතක තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නෙ කියන එක.සමහර අතීත මතක වලට පුළුවන් වර්ථමාන කඩයිම් වලින් අපිව පන්න ගන්න.
ඒ කියන්නෙ අන්තෝ ජඨා බහි ජඨා වෙලා ඉන්න වෙලවට මතක් වෙන සමහර ඒවට පුලුවන් අපිට ඒ ප්‍රශ්ණෙන් ගලවල පැත්තකට කරන්න සුළු මොහොතකට හරි.
අතීතය මත ජීවත් වීම මානසික ලෙඩක් විදියට හැදින්වීමක් කරල තිබ්බට ඒකෙ තියෙන ආතල් එක වෙන කිසි දේක නෑ..

                     මම ජීවිතේ සමහර වැදගත් තීන්දු තීරණ අරන් තියෙන විදිය මතක් වෙනකොට ඒක වෙනම ආතල් එකක්.සමහරුනට ඒක මගෙ ළදරු මානසිකත්වය වගේ දැනෙනෙව.මටනම් ඒක සමහර ප්‍රශ්ණ මගෙ නෙවෙයි වගේ ආතල් එකට ගැනීම කියන රෝගයේ කොටසක්.ජීවිතේ කරන කියන ඕනි දෙයක් මතක හිටින මතකයක් කරගනීම අනාගතේට වැදගත්.

-------------------------------------


                         දැනට වසර කීපයකට කලින් විදේශගත මගේ මිත්‍රයෙක්ට ඕනි වෙනව ටිකක් ලොකු සමාජසේවා වැඩක යෙදෙන්න.යෙදෙන්න කියන්නෙ ඌ කලේ මූල්‍යමය යෙදීම සහ මං කියන ඒවා එහෙ ඉදන් අහන් උන්න එක.සුපුරුදු ලෙසම වැඩේ කරන් ගියෙ මම.
ඔය කියන වැඩේ අහවර කරල ඒක භාරදුන්න දවසෙ එතනට ආව ලංකාවෙ සියල්ලෝම දන්න කියන මහත්මියක් ආපහු ගෙදරට ඇරලවීම සිදුකරන්නෙ මම, විදේශගත මිත්‍රයා සහ තවත් මිත්‍රයන් දෙදෙනෙක්.
මහන්සිපිට උනත් අපි ඒක භාරගන්නෙ තලගොයිත් මරාගෙන එන යටි අරමුණු 2ක්ම ඇතිව.

           විදේශගත මිත්‍රයාට ව්‍යාපාරික සාකච්ඡාවක් තිබීම සහ මාගෙ නොදුටු මාගේ පෙම්වතිය වගේ එක මුල් වරට දැකීම තමා අරමුණ.අපි මේ යන්නෙ ගම්පලාතෙ ඉදල කොලඹ පලාතට.

(මේ ලියන රටාව මට හරියන්නෙ නෑ)

              මේ පෙම්වතිය කිව්වට ඒමම වෙලා නෑ.නිකන් කතාබහ කරනව විතරයි.ටිකක් දුර දිගට.පෙම්වතී කිව්වට ඒක නිකන් හදුන්වාදීමක් නිසා ගොඩනැගුනු සබඳකමක්.

             කොහොමින් කොහොම හරි අපි හවස 6ට විතර සැපැත්වුනා නුගේගොඩට.මිත්‍රයා අපි තිදෙනව මහ පාරෙ බස්සල යන ඕනි දිල්ලියක පලයං මං වැඩේ ඉවර කරගෙන උඹලව ගන්න එන්නම් කියපි.
නොදන්නා නගරක නොදන්නා මූණු ගොඩක් මැද අපි තුන්දෙනා තනිවෙලා.
                   අහෝ... මිත්‍රවරුනි ( ධම්මික බණ්ඩාරගෙ කවි පොතක නමක්).කිමෙක්ද මේ අපට වුයේ.එහෙන් ලාවට වගේ වැහිපොද.මෙහෙන් පිඹගෙන යන වාහන යටකරන් එන ඇඳිරිය.
කොහේ කියා අප යන්නද.ගෑනු වගේ රෙදිකඩ වලට යන්න කියලයැ කාලෙ කන්න. ඕනෙම නගරයක අපි දන්නෙ එකම නමයි.එකම තැනයි.එතන කොහොමත් ගෙදර වගෙයි.
දැන් කුමක් කරන්නද ආදරය කරනු මිස කියල හිතාගෙන අපි ගොඩවැදුනෙ රෙස්ටුරන්ට් එකකට..

එක් මිත්‍රයෙක් තිබහ නිවාගැනීම තරයේ ප්‍රතික්ෂේප කලා රථාචාර්‍ය වෙන්න නියමිත නිසා.
කාලයි.... මිත්‍රයා නෑ...
බාගයයි.... මිත්‍රයා නෑ..
තුන් කාලයි.... මිත්‍රයා නෑ...

රථාචාර්‍යතුමාගෙ බලවත් පෙරෙත්ත මත අපි තිබහ නිවාගැනීම නතර කරල රාත්‍රී අසිරිය විදගන්න බැස්ස මහමගට...

           අහෝ මිත්‍රවරුනි...නියම පුසුඹක් වහනය වන්නේ අප ශරීර කූඩුවලින්.ඒ පානය එතරම් සුවදවත් කියල වැටහුනේම නෑනොවැ. කෙල්ල බලන්න යන්න ඕනි නේද කියල මතක් වුනේ එතකොට.
           ප්‍රශ්න කොතනද උත්තර අපි ලග.. සෙමින් සෙමින් ඇග කෙලින් කරන් ඇතුල් වුනේ නුගේගොඩ පාලම ලග නොලිමිට් එකට.පොඩි වෙලාවක් ඇවිදල බැස්ස පහල සුවද විලවුන් අංශයට...
            කුඹුකෙ ලිදෙන් දිය ඇදලා නාලා වගේ ටෙස්ට් ලේබල් එකෙන් තිබ්බ සේරම විලවුන් ඇග ගල්වාගෙන තමා ඔන්න එලියට ආවෙ.. ආයෙ ටෙස්ට් ඒවා ගහගෙන ආව කියල උන් අපිට ගහන්නයැ.මල විකාර.

           එලිබහිනකොට මිත්‍රයා ඇවිත්.ඊලග නැවතුම මහරගම නගරයේ අතුරු පාරකට.වෙන මොකටද නොදැක උන්න ආලෙයි නොකී අලෙයි කීමට උන්න කෙල්ල බලන්න.මල්ලක් ලිහල බලලම එපැයි භාරගන්න.

            හීනියට වගේ තමා සමහර ඒවා මතක් වෙන්නෙ.ඒත් ඒ අතාරින්න හොද නැති වැදගත් ඒවා.කෙල්ලට උණ ගැනිලය ඉන්නෙ කිව්ව මතකයි.

"අඩෝ හරෝපන් කීල්ස් එකට."

පාන් රාත්තලක් , කෙසෙල් ඇවරියක්, පෙනඩෝල් කාඩ් එකක් අරගෙන මං ආයෙම වාහනේ ඇතුලෙ.

       ඔන්න ඔහොම ගිහින් කෙල්ලගෙ බෝඩිම ලගට යනකොට වෙලාව 9යි.එතන පැයක් විතර කාලෙ අනුභව කරල ගෙදර ගොහින් හොදටම නිදාගත්තා..

------------------------

         කොහොමින් කොහොම හෝ වැඩේ පත්තු උනා.ඒ කියන්නෙ ආලය දෝරෙ ගිහින් කරවටක් ගිලුනා.
ඔෆීස් එකෙන් හවසට නුගේගොඩට එතනින් මගරගමට ආයෙම බෝඩිමට.
          ඔෆීස් එකෙන් නුගේගොඩට බස් එකේ. නුගේගොඩින් මහරගමට ත්‍රීවිල් එකේ.මහරගමින් බෝඩිමට ආයෙම බස් එකේ.
කෙල්ල කොච්චර ආදරණීයද කියනවනම් පෙනඩෝල් පෙත්තක් පොවාගන්න පීසා එකක් අරන් දෙන්න ඕනි.
මහරගම ගවමස් කඩ වහල නොතිබෙන්න උන් මාව කොක්කෙ එල්ලනව විශ්වාසයි.
         ඔය මහරගම බඩගෑමට කලින් ඔෆීස් එකේ හෝ බෝඩිම අහල පහලක ,දියත උයනෙ වල ලග , මැතිවරණ කාර්‍යාලය ලග රසායන විද්‍යා ඇකඩමිය ලග හවසට, රෑට මහපාරෙ ඉදගෙන හිටගෙන රෙස්ටුරන්ට් පුටුවල සැපට ඉදගෙන ගත කරපු කාලයක් තිබ්බා.

           මීහරක් කොච්චර නාවල ගොඩ තිබ්බත් උන් කරවටක් මඩට බහින එක වලක්වන්න බෑ වගේ තමා.මහරගම ගිය ගමන් අස්සෙන් පස්සෙන් පරන පුරුදු වලට ආයෙම අදෙන එක වලක්වගන්න බෑ.

අතරින් පතර මහරගම නොගිය දවස් වල

"කොහෙද ඉන්නෙ?"
"ඔෆීස් එකේ"
"එතකොට වීදුරු සද්දෙ?"
" ආ.. ඒ.. අඩියක් ගහනව "

"කොහෙද ඉන්නෙ"
" රෙස්ටුරන්ට් එකේ"

"කොහෙද ඉන්නෙ?"
"කෑම ගන්න ආව"
"මොනාද ගන්නෙ?"
"බියර් 2ක් ගත්තා .බිත්තර රොටී 2යි පරාටෙකුයි ගන්නව"


                  ඔන්න ඔහොම දැහැමින් සෙමින් ආලයෙන් වෙලීගෙන විදෝගෙන ඉන්නකොට මගේ සදාදරණීය නැන්දම්මා පනා, නාරං ,සියඹලා ,කටු ඉපල් මේ දෙහදට පෑමට කාලය යොදවන්න ගත්තා.මිනිහගෙ කෑම වේලට කලින් මේ ආලය මා අනුභව කරමී කියන චේතනාව මූලික කරගනෙ.
එයැයිට ඕනි උනේ උලා කන්න දත්ටික නැති උනත් මැස්සො එලවන්න නැට්ට තියෙන බෑනෙක්.
නැන්දම්මා දුශ්ඨයට අදින්න පටන් ගත්තාම එයැයිගෙ දොණි "මමාස් ඩොටර්" වෙන්න ගත්තා.
එහෙන් මල්ටි බැරල් ගහනකොට දෝනි ගල්කටස් වලින් වෙඩි තියනව.මම සේරටම එකම පලිහ වෙන පනාව දාගෙන ඉන්නව.
ගෙයක් ගන්න කියනව.මං හිනා වෙනව.
වාහනයක් ගන්න කියනව.මං හිනා වෙනව.

               එකෝමත් එක දවසක ඔය හිනාව පුපුරලා ගියා.පැය ගානක මූත්‍රා බරක් හීනෙන් නිදහස් කරගත්තා වගේ හරිම සැහල්ලුවක් දැනෙන මට්ටමටම.
ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපලා නැන්දම්මව සීන් එකෙන් අයින් කලා.
ඊලගට එනව දෝනිගෙන් ඇමතුම.

"බ්ලා බ්ලා බ්ලා (බනිනව, බනිනව බනිනව)"

මම හිනා වෙනව.

"තමුසෙ වගේ එකෙක් එක්ක යාලු වුනේ මොන මගුලටද මංදා.
කිසිම ගණනක් නෑ තමුසෙට.කොයි වෙලෙත් පිස්සු නටනව.අම්ම කියන ඒවා හරි.වැද්දෙක් වගේ කොන්ඩෙත් වවාන.හැටි බලනව තමුසෙගෙ.තමුසෙ කවද්ද හැදෙන්නෙ"

"අන්න ඒකනෙ ඕයි කියන්නෙ.එදා තමුසෙ බලන්න ආව දවසෙත් බීලා නොහිටියනම් මං තමුසෙ එක යාලුවෙන්නෙ නෑනෙ.ඒත් එදා ඔයත් බීලද උන්නෙ සුදූ.."

"මොකක්......තමුසෙ.... එදත්....."

"කෑ ගහන්න දෙයක් නෑනෙ අනේ.ආයෙනම් බීපු වෙලාවට කෙල්ලො බලන්න යන්නෙ නෑ"

"තමුසෙ තමුසෙ... මැරියං...තෝ..තෝ....මං තමුසෙව අතාරිනව."

"ඔයා ඒක කෝල්එක ගත්ත ගමන් කිව්වනෙ.එහෙනම් බායි ..අම්මට සතුටින් ඉන්න කියන්නකො"

ආදර කතාව කෙලවර උනේ අන්න එහෙම.ඒක කෙලවර නොවෙන්න මෙලහකට මම මගෙ වත්කමට දරාගන්න බැරුව පීසාහට් එකේ පීසා වලට පිටි හලනව.ඒක ශුවර්.

-------------------------
(මේක මුලට එන්න ඕනි කොටසක් )

මුලින්ම කෙල්ල බලන්න ගිහින් ආව දවසට පහුවදා උදේම අපේ රථාචාර්‍යතුමා.

"ඇත්ත කියපන්.තෝ කිව්වෙ බොරු නේද අපිට.කලින් ඒ කෙල්ලව හම්බෙලා තියෙනව නේද "

"උඹ පල්ලා නෑ බං.සත්තයි "

"යකෝ එහෙනම් ඊයෙ තෝ ඒකිගෙ අතින් අල්ලගෙන කරට අතත් දාගෙන ඉදල එනකොට කිස් එකකුත් දීලා ආවෙ.කලින් හම්බෙලා නැත්නම් එහෙම වෙනවද බොල."

"අඩේ.සත්තයි කියපන්.එහෙම උනාද "

"කුනුහරුප වැලයි"

---------------------------

             උඹල වැරදි ආදර්ශ ගන්නව හෙම නෙවෙයි මෙව්වගෙන්.මම දැන් ඔයිට ගොඩක් වෙනස් යහපත් සිරිමත් ළමයෙක්.
බනින උන්ට බනින්න හැකි.මීහරක් එල හරක් එක බානේ බදින්නෙ නැත්තෙ අතපය කහනවට නෙවෙයි.නොගැලපෙන නිසා.

Sunday, September 8, 2019

මත්වෙන ආදර කතා -01

මේ දවස්වල වෙලාවක් කලාවක් නැතුව වහින වැස්ස සමහරු දකින්නෙ කරදරයක් විදියට.ඒත් කකුල් දෙකත් දිග ඇරගෙන හාන්සිපුටුවකට වෙලා වැස්ස දිහෑ බලාගෙන මනෝපාරක් ගහනව කියන්නෙ හරිම සුන්දර හැගීමක්.අන්න එහෙම වෙලාවට කාටවත් කටක් ඇරල කියන්න බැරි උනත් තමන්ටම තනියම හිනාවෙන්න පුලුවන් මතක ඇතුලෙ කිමිදෙන එක මගෙනම් පුරුද්දක්.

මගේ මුල්ම ආදර කතාව පටන් ගන්නෙ නවය වසරෙදි.ඔය ආදර කතාවේ එක් වතාවක මං පියාඹනව.ඊලග වතාවේ ඇය පියඹනව.ආයෙම වතාවක මම පියාඹනව.වසර 4ක් පුරවටම ඔය කතාව ඇදිලා ගියෙ ඔහොම.ඉන් පස්සෙ බොහොම කාලයක් කොහෙ කූඩුවක කූඩුවෙලා ඉන්නවද නොදැන නොදැක ගතවෙනව.මුල්ම ආදර කතාව අමතක කරන්න බෑය කියල කතාවක් තියෙනවනෙ.
ජීවිතේ පලමුවතාවට හිතට දැනුන සිසිලස කොහොම අමතක වෙන්නද.අපි පසුකාලීවන දැනෙන සිසිලස් මනින්න යොදාගන්න මිනුම්දන්ඩක් කරගන්නෙත් අර ප්‍රථම ප්‍රේමයම තමයි.

අටුවාටීකා ටිප්පනි වල් පැල ඉලුක් මාන පඳුරු තලාගෙන මේ යන්නෙ මතක් කරකර විදින්න වෙන සිදුවීම් කීපයක් ගැන කියලදාන්න.ආයෙ කොහොමත් රෙදි නැතුව ඉන්න එකේ මේවා කිව්වය කියල මොනව වෙන්නද.

ඔය මොන සතුටත් වඩා අපිට දැනෙන සතුටක් වෙන්නෙ හිත් කුහරෙ පුරවගෙන බැදිලා ඉන්න කෙනෙක් කාලයකට පස්සෙ මුනගැසුනම.කාලයක් තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු සැරෙන් සැරේ ඔලුවට අකුණුපාරකින් ඒ කෙල්ලව හොයපන් කියල මතක් කරපු කෙනෙක් හොයාගන්න ලැබුනම දැනෙන හැගීම මෙතෙකැයි කියල නිමකරගන්න බෑ.හරියටම අවුරුදු 12කට පස්සෙ මට මගෙ ප්‍රථම ආදරවන්තියව හොයාගන්න පුලුවන් උනා.අහම්බයකින්.මුහුණු පොතෙන්.

මහත් වෙලාද, ලස්සන වෙලාද, බැඳලද, ළමයි ඉන්නවද , හස්බන්ඩ් මොකද කරන්නෙ, අහ් ඔයා මොකද කරන්නෙ ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔලුව උඩ කැරකෙනව.කොහෙන් පටන් අරන් කොතනින් ඉවර කරන්නද.මුලින්ම කරන්න ඕනි ඉස්සර අපි හිටපු විදිය ගැන කතා කරන එක.එයාට මතක් කරන එක.කෙල්ලෙක් උනත් නවාගන්නනම් උන්ගෙ හදවතේ රිදෙන තැනට පොඩි සියුම් කටුවකින් අනින්න ඕනි.
ඒකයි තියරිය.මතක අවුස්සනව කියන්නෙ රිදෝලා හිනාගස්සගන්න පුලුවන් හොදම විදිය.

ඔයා ආවෙ ලුණු මිරිස් බැදගනමනෙ දැන් ඉතින් එහෙනම් මේ මගේ වාරය.හිතේ සිතුවිලි පයිප්පෙ පීඩනේ වැඩී.දරාගන්න අමාරුයි.සමතුලිත කරගන්න කලින් පුපුරයි..

"හායි"
"හායි"

"කොහොමද කෙල්ලෙ."
"වරදක් නෑ ඔයාට කොහොමද?"

"මාත් හොදින් .අවුරුදු 12කට පස්සෙ නේද. ඔයා දන්නවද මං ඔයාව මෙච්චරකල් හෙව්වා."
"ආ උදානි කතාකල වෙලාවක කිව්ව තමයි ඔයා මං ගැන ඇහුවා කියල.ඔයා කොන්ඩෙ වවාගෙන වැද්දෙක් වගේ ඉන්නව කිව්වෙ"

"වැද්දෙක්.වැදිකමට නෙවෙයි වවන්නෙ.කැන්සර් හොස්පිට්ල් එකට දෙන්න..බ්ලා බ්ලා බ්ලා ( මගෙ කොන්ඩෙ ලොකුකම් ටික )"
"හරි හරි අනේ ඔයාට තාම කේන්ති යනවනෙ ඉස්සර වගේම.විහිලුවක්නෙ කලේ "

"හරි ඒකෙන් වැඩක් නෑ.දකින්නත් ආසයි ඔයාව"
"මගෙ මොනව දකින්නද.ඉස්සර හිටියා වගේම තමා"

"ඒ කියන්නෙ ඔයාට අපි මීට් වෙන්න කැමැත්තක් නෑනෙ නේද ?"
"කවුද මෝඩයො එහෙම කිව්වෙ"

"එහෙනම් දවසක හම්බෙමු"
"බලමු"

"මොනාද බලමු කියන්නෙ"
"හම්බෙන්න බලමු කියල කියන්නෙ"

"හරි කවද්ද කොහෙද ?"
"කොෆී එකක් බොන්න යමු හවසක"

(යකෝ තුන්වේලම තේ බීපු අපි කෝපි බිව්වෙ බඩේ අමාරුවට විතරයි.කොෆී බොන්න යන්න.අනේ කාලේ වනේ වාසේ )

"එහෙනම් මං එන්නම් ඔයලෑ ගෙදර"
"පිස්සුද?"

""නෑ මෙහෙමයි.ඔන්න ඔයා ඔෆීස් ගිහින් ගෙදර ඇවිත් ඉන්නව.හොදටම වැස්ස වෙලාවක්.මං ඇවිත් ඔයාගෙ ගෙදර දොරට තට්ටු කරනව "ටොක් ටොක්" ඔයා ඇවිත් "හානේ මුදී ඔයාව දකින්න තිබ්බ ආසාවක්.ඔයානම් වෙනස්වෙලා හොදටම.එන්න එනන ඇතුලට" කියල මාව ගෙට ගන්නව.ඔයා ඉන්නෙ ඔෆීස් ගිය ඇදුම් පිටින්මයි."මං මේ ආව විතරයි වොශ් එකක් දාගන්න යන්න කියල හැදුවෙ" කියල කියනව.එතකොට
මම "වොශ් දාන්න යන්නෙ ටයිඩ්ස්කර්ට් එකක් ඇදගෙනද?"
ඔයා "අනේ හරි නරකයි " කියල ලාවට මගෙ උරහිසට තට්ටුවක් දානව.ඊට පස්සෙ ඔයා "හරි මහන්සි මං වොශ් එකක් දාන් එනකන් ඔයා ඉන්නවද" කියල අහනව.
මම "හා හරි ඔයා වොශ් දාන් එන්නකො"
ඔයා වොශ් දාන්න ගිය අතරෙ මම දෙන්නටම කෝපි දෙකක් හදනව.ඔයා වොශ් දාගෙන ටවල් එකත් ඔලුවෙ බැදගෙන ඇවිත් ප්‍රැන්ට්‍රියෙන් ඉදගන්නව.මං කෝපි එක දෙනව ඔයාට.ඔයා ඒක අරගෙන හරිම ආදරෙන් ඔයාගෙ ලොකු ඇස් තවත් ලොකු කරන් බලන් ඉන්නව.ඊට පස්සෙ සෝෆා එකට වෙලා ඔයා මට හේත්තු වෙලා කෝපි බොනව""

"හම්මෝ ඇති ඇති.අපේ ගෙදර එන්න එපා කොහොමත්.අපේ ගෙදර කෝපිත් නෑ.මං එන්නම් ඔයලෑ ගෙදර"

"ආ එහෙනම් මෙහෙමයි.ඔන්න හොදටම වහිනව.ඔයා මගෙ ගෙදරට ඇවිත් "ක්‍රීන් ක්‍රීන්" .මම දොර අරිනව "අනේ චරී.කොච්චර කාලෙකින්ද.හම්මේ ඔයාගෙ හැඩ.කොච්චරනම් හෙව්වද ඔයාව මම" කියනව."එන්න එන්න ඇතුලට.අනේ කෙල්ලෙ ඔයා හොදටම තෙමිලානෙ".
ඔයා " ඔව් මුදී.හරිම සීතලයි.මාර වැස්සක්නෙ එකපාරට පාත්වුනේ"
මම "මං ටවල් එකක් අරං එන්නම්.ඔයා වොශ් එකක් දාගන්නකො" මං ඔයාට ටවල් එකක් දීලා වොශ් එකක් දාගෙන එන්න කියල කෝපි එකක් හදන්න යනව.ඔයාට සීතල නැතිවෙන්න හරියන්නෙ ඒක අනික ඔයා ආසම බීමනෙ.මට තාම ඒවා මතකයිනෙ.
මම කෝපි හදමින් ඉන්නකොට ඔන්න ඔයා එනව.මගෙ ශර්ට් එකක් හොයාගෙන ඒක ඇදගෙන.ඔයාට ඒක ලොකුයි.ඔයා තාම ඉස්සර වගේම චූටීනෙ.ශර්ට් එක කොටයි ඔයාට.යන්තම් කලවෙන් බාගයක් වැහෙනව විතරයි.ඔයා ටවල් එකෙන් උරහිස ලගට කොට ක්‍රේල් කොන්ඩෙ පිහමින් එන්නෙ කොන්ඩෙන් විසිවෙන සීතල වතුර බින්දු මගෙ ඇගෙ දැවටෙනව.ඔයා ආවම ඔයාගෙ අතට මම කෝපි එක දීලා ටවල් එක ඉල්ලන් ඔයාගෙ ඔලුව පිහිනව.ඔයා සීතලට මට හේත්තුවෙලා කෝපි එක බොනව "

මම"එහෙම වෙයි නේද ශෝක් නේද ?"

"තමුසෙට පිස්සුද ඕයි.බීලාද ඉන්නෙ දැනුත්.කවදද මනුස්සයෙක් වෙන්නෙ.කෝපිත් එපා මට ඔහෙව හම්වෙන්න ඕනිත් නෑ.ආයෙ මැසේජ් කරන්නත් එපා.
මේ අවුරුදු ගානම මං හොයල බැලුවා ඔහේ කරපු කියපුවා.බස්ටෑන්ඩ් එක මැද්දෙ නටපුවා, කඩවල් වල එලියෙ බෆල්ගාව නටපුවා ඔය හැම එකම මං දන්නව."

"ආ.....ඇයි නරකද?"

"ආයෙ කෝල් මැසේජ් එපා.හැදෙන්න බලනව නොබී ඉන්න පුරුදු වෙනව.බායි."

"ආ... හරි බායි."

----------------------
දැන් තේරෙනවද දන්නෑ මේවාට මං මත්වෙන ආදර කතා කියන්නෙ ඇයි කියල.

©මුදියන්සෙ මලයා

Tuesday, July 23, 2019

මතක අරගල

                                         2009 අවුරුද්ද.දෙවෙනි වතාවට උසස්පෙල ලියන්න බලන් උන්න අවුරුද්ද.පලවෙනි වතාවෙත් පුලුවන්තරම් වල බැහැල එක්සෑම් එක සබ්ජෙක්ට් එකක් විතරක් ගොඩදාගෙන දෙවැනිවතාවකට විභාගෙ ලියන්න උන්න අවුරුද්ද.

                                එක්සෑම් එකට මූණ දෙනවට වඩා මට ඕනි උනේ ඒ කාලෙ ගෙදර පරිසරයෙන් මිදිලා කොහෙ හෝ යන්න.පාවෙන්න.මාසෙ වැඩි දවසක් තුන් වේලෙන් එක වේලක් කාල ගෙදරට එන ණය කාරයන්ගෙන් බේරෙන්න කාමරේට ගුලිවෙලා උන්න කාලෙ.විභාගෙ කොච්චර ලග උනත් පන්තියන්න බස් එකටවත් සල්ලි නොතිබුන කාලෙ .

                               වෙන උන් අගහිග වැඩි උනාම මොරාල් උනාට කොහොම හරි ගොඩ දාගන්නව කියල පාඩම් කලාට මට තිබුනෙ නෑ එහෙම ආසාවක්.මට තිබ්බෙ සමාජෙ ගැන තරහක්.අනික් උන්ට තියෙනකොට මට නැතිවෙන කොට තිබ්බ තරහක්.

                              විභාගෙ බල්ලට ගියාවෙ කියල ඒක නොලියන්න අදහස් කරගෙන ඕහේ බයිසිකලේ ගම පුරා ඇවිද්ද එක තමා දවසෙ ලොකුම රාජකාරිය උනේ.ඒත් මට ඕනි උනා සල්ලි.අම්මට තාත්තට අක්කලට එක වේලක් කන්න දෙන්න.ගෙදර බරට හූනු බෙට්ටක තරමක සහනයක් දෙන්න.

                              නෑයෙක් වෙන විදුහල්පති කෙනෙක්ගෙන් ලැබෙනව යොජනාවක්.එක මාසෙක රැකියාවක්.එකම එක මාසෙක.
කරන්න තියෙන්නෙ විභාගශාලාව අතුගාන්න, පුටු මේස හදන්න,කොල බෙදන්න, කඩේ යන්න.ඔය ජොබ් පෝස්ට් එකට කියන්න ඕනි නම මොකක්ද කියන්න මං තාම දන්නෙ නෑ.

                              ඒකත් හරියටම මං දන්න අදුරන මගෙ වයසෙ උන් ඉන්න ඉස්කෝලෙක.මං නොලියපු උන් ලියන උසස්පෙළ විභාගෙ.
මානසික මට්ටම යන්නෙ බින්දුවටත් පහලින්.දන්න අදුරන උන්ට මූණ දෙන්න ඕනි.උන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනි.මගෙ හිතේ ප්‍රශ්නවලට මමම උත්තර දෙන්නත් ඕනි.
ජීවිතේ කියන්නෙම අරගලයක්.

                                 ඒ බින්දු මාන්සික මට්ටම නැති කලේ ඒ ඇස්.ඒ තරු කැට ඇස්.මූනට දිස්නයක් ගෙනාව ඒ ඇස්...අනික් උන් ඔරවද්දි මං දිහෑ හිනාවෙන් බැලුව ඒ ඇස්.මාත් එක්ක කතා කරපු ඒ ඇස්.

                                   විභාග වැඩට ආව අනික් ගුරුවරුන්ගෙ හැමදේම කරල හොදක් නොඅහපපු මට හිනාවෙලා දවස ගෙවන්න උදව්වක් උනේ එයා.ඇත්තටම මට 18යි.එයාට ඔව් එයාට ඒ වෙනකොටත් 30ක්.ඒත් ඒ තරම් වයසක් පෙනුනෙ නෑ.හුරුබුහුටි පෙනුම වැඩි කලේ බූසි කොන්ඩෙ.ලොකු ගෙඩියක් බැදන් උන්න ඒ බූසි කොන්ඩෙ කෙහෙරැලි අතරෙ මාව පැටලුනා.අතරමං උනා.ආදරේට කොහෙද වයසක්.

                                   කොලයක් අතට දෙනකොට වැරදිලා අත වැදුන පලවෙනි දවසෙ ඒ ඇස් දිලිසුනා.පස්සෙ හැමදාම කොලත් එක්ක මං ඒ අත අතගාන්න පුරුදු උනා.ඒ ඇස් තවත් හිනා උනා.

                                        වැඩක් නැති හැම වෙලේම මං එයාගෙ මේසෙ ලග එයාට තනි රැක්ක.කටින් නොකිව්ව ගොඩක් දේ ඒ ඇස් මට කිව්ව.
ගෙදරට ඕනිකමට සිද්ධ උන අසාර්ථක කසාදෙ.ලග නිදාගන්නවත් නොහිතෙන අපිරිසිදු මනුස්සය ගැන.මේ හැමදේම.ඒ ඇස් වැඩිපුරම දිලිසෙන්නෙ කදුලින් හැමවෙලේම තෙත් වෙලා තිබුන නිසා.ඇස් මුවහත් වෙන්නෙ කදුලු හෙලපු තරමට.

                                            ජීවිතේ කෙල්ලෙක්ට මුල්ම වතාවට මම වස්තුව කියන වචනෙ කිව්වෙ එයාට.ඒ ඇස් මට වස්තුවක් උනා. ඒ කදුලු වලට හිනාවක් ඕනි කලා.හැමදාම ගෑනියෙක්ට අඩන්න බෑ.සැනසීමක් ලැබෙන තැනක් තියෙන්නම ඕනි.ඒ සැනසීම එයා මගෙ ලග හෙව්ව.මං මගෙ කටුක ජීවිතේ අමතක කරන්න විදියක් හෙව්වා.ළමයි ප්‍රශ්නපත්‍ර බදාගෙන ඒවට උත්තර ලිව්වා අපි අපි බදාගෙන අපේ ප්‍රශ්නවලට උත්තර හෙව්ව.

                                           "ඔය තරම් මට ආදරේ දෙන්න එපා.මට දාල යන්න බැරිවෙයි" ඒ එයා හැමවෙලේම මතුරපු මන්තරේ.ඒත් අපි අපි නැතුව කොහොම ඉන්නද. එක දෙක එලියට පේන්න තිබුන එයාගෙ සුදු කෙස් ගස් කැපිලා ගියා.මගෙ අතපය වල නියපොතු පාරවල් එකතු උනා.

මාසෙක රස්සාව මාව ජීවත් කලා.නෑ අපිව ජීවත් කලා..

මාසෙ රස්සාව ඉවර උනා.අපේ හමුවීම් සීමිත උනා.ඉස්කෝලෙ ඇරුනාම මිස් කෙනෙක්ගෙ ඉනවටේ අත දාන් යන කොල්ලෙක් ඉස්කෝලෙ ලමයිට සුලබ උනා.
මගෙ ජිවන අරගලේ හරස් උනා.එක එක සුලි සුලං වලට අහුවෙලා ජීවිතේ ගහගෙන ගියා.එයා නතර උනා.මං පවුනා.ආයෙමත් ආයෙමත් මං පාවුනා.ඒ පාවෙලා නතරවෙන හැමතැනකම හෙව්ව.ඒ ඇස්.ඒ දිලිසෙන ඇස්.මට ආදරේ කරපු ඇස්.

ඇත්තමයි.ජීවිතේ කියන්නෙ අරගලයක්.මතකයන් එක්ක කරන අරගලයක්.



©මුදියන්සෙ මලයා

Friday, July 12, 2019

පරිඝණක පන්සල හා හංසයෝ



උපතින් බුද්ධාගමේ නිසා අපි හරිම දැහැමට ලැදි මිනිස්සු.
පොඩි කාලෙ කොච්චර දහමට ලැදිද කියනවනම් සරම කරේ තියාගෙන උනත් දහම් පාසැල් යනව යනවමයි. මොකද
ඉරිදට ගෙදර හිටියා කියල වැලි මලුවක සෙල්ලම් කරන්න ලැබෙනවයැ. ගෙදර හිටියොත් අම්මත් එක්ක පොලට යන්නම වෙනව.පොලට ගියා නොගියා කියල මොකද හැමදාම මොකක් හරි චූටි සෙල්ලම් වාහනයක් අම්ම අරං එනවමනෙ.සමහර දාට ඕක හාල් එක අස්සෙ දාන් හංගන් එන්නෙ තාත්තා බනින නිසා.

කොහොමින් කොහොම හරි දහම්පාසල කියන්නෙ වෙනම ලෝකයක්.මුලින් මුලින් සෙල්ලම් කරන්න ආසාවට දහම්පාසල් ගියාට ටික ටික ලොකු වෙනකොට ඕක වෙනස් උනා. කෙල්ලෙක් දෙන්නෙක් ලයින් කරගන්න , ලොකුවට කර දාල මහපු ලමාසාරි හැට්ට බලන්න.තව නෙක නෙක දේවල් තියෙනව.පස් පව් වලින් තොරව ඇස් පිනවීම වගේ දේවල් වලට කියාපු තැන.ආ ...ඒ වගේම තමා දානෙන් අපේ කොටහ කොටාබාන එක.පන්සලේ තැබිලි වලු ටික කඩන එක..ඒකටනම් එක එක ක්‍රම තියෙනව.මම කලේ යකඩ කම්බියකින් ඇනල ගහේ තියෙන ගෙඩිය හිල් කරල බිම ඉදන් ඕකට කට අල්ලන් උන්න එක.😂😂

යහමින් සෙමින් දහම් පාසල් ජීවිතය ගත කරන් ඉන්න කාලෙ අපේ ශ්‍රේණියෙ උන්නා කොල්ලො 7ක් කෙල්ලො 6ක්.ඔය කොල්ලො 7ම එක වගේ නසරාණි තමයි ඒත් උන් ඒවා එලියට දාන්නෙ එක එක මට්ටම් වලින්.අපිට ඉහල ශ්‍රේණියෙ උන්න කොල්ලො සේරම සියලුම කුප්පකම් එලිපිට කරන එවුන්.අපිට උන්ගෙ පහනින් එලිය බලන්න නොහැකිඋනාමත් නෙවෙයි... හැබයි අපි මහන්සි වෙලා මාසයක් විතර දුක් විදල ගස් බඩගාල මටළු වලින් හදපු වෙසක් කූඩුවට හම්බුන තෑගි ටිකනම් උන් අරන් තිබුණා.රුපියල්ම 10000ක් ද කොහෙද.

ඔය කාලෙ තමයි තරමක් යමක් කමක් ඇති ගෙවල් වලට පරිඝණක ආගමනය වෙන්න ගත්තෙ.ඒවාත් ඉතින් p2, p3 තමයි.කලාතුරකින් කෙනෙක් ලග p3 එකක් තිබුනා.
අපේ පන්සලේ හාමුදුරුවෝත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලට තිබ්බ ආසාව නිසාම p2 පරිඝණකයක් අරගත්තා.මුලු ගමටම පරිඝණක තිබ්බෙ අතේ ඇගිලි ගණනට උනාට කොහොම හරි ඕක අතපත ගාල ඔන් කරගෙන cd එකක් බලාගන්න වගේ දේකට හැකියාව තිබ්බ අපි කීප දෙනෙකුට.

ආවාසගෙය ඇතුලෙ ඕනෙම තැනකට යන්න අපේ ශ්‍රේණියෙ සහ අපිට ඉහල ශ්‍රේණියෙ කොල්ලො ටිකට අවසර තිබුණෙ බල්බ් එකක් මාරු කරගන්න, ගිලන්පස හදවගන්න , දහම්පාසල් තෑගි ප්‍රදානෝත්සවයෙ තෑගි පාර්සල් කරන්න වගේ වැඩ භාරවෙන්නෙ අපිට නිසා.කාමර 4ක් සාලයක්, කුස්සියක් සහ නාන කාමරයක් තිබුන ආවාසගෙයි වැඩහිටියෙ හාමුදුරුවෝ තුන්නමක් විතරයි.මම දහම්පාසල් යන්න පටන් ගන්න කාලෙ සතර නමක් විතර වැඩ උන්නට ඉන් කීපදෙනෙක් සිවුරු හැරල ගියා.පස්සෙ කාලෙ ආව අයත් වැඩි කාලයක් රැදුනෙ නෑ.
පදුරු තලල වැඩක් නෑනෙ.කතාව කතාව..

ලොකු හාමුදුරුවෝ කිව්වට වයස 30ක විතර ඇති ඒ කාලෙ.උන්නාසෙ හරිම ආසයි ළමයි ඉගනගන්නවට වගේම හැම වෙලේම පන්සලේ සෙනග ඉන්නවට.සෙනග කියන්නෙ ඉතින් දහම්පාසල් ආව අපි තමා.කයියක් ගහන්න , වැඩක් කරගන්න , ගමනක් යන්න, ඉතුරු වෙන දානෙ කන්න දෙන්න ඔය හැම එකටම අපි තමයි.ඔය සමීපතාව හා ලමයි ඉගෙන ගන්නවට තියෙන ආසාව නිසා අපිට උන්නාසෙගෙ කාමරේ තිබුණ පරිඝණකය භාවිතා කරන්න ලැබුනා..

මේ කියන ඉරිදා දවස මුලු අහසම අදුරු වුන , සීතල සුලං හමන මදින මද වැසි වැටෙන , පරිසරයම නිශ්ශබ්ද දවසක් නම් නෙවෙයි.ඒත් ඒක ඒ පරිඝණකය කවදාවත් නොහිතපු තමන්ට මේ වගේ නස්පැත්තියක් වේවි වැයි නොසිතමු දවසක් කියන එකනම් හොදටම විශ්වාසයි.
කුමක් හෝ නිසා එදා උදේවරුවෙ ඒ තරම් වැඩක් තිබුණ දවසක් නෙවෙයි..
ඉහල ශ්‍රේණියෙ කොල්ලො ටික ආවාසගේ පැත්තෙ ඇදෙනව බලන් උන්නත් තරමක් වෙලාවක් පහුවෙලත් කිසි කෙනෙක් ආපහු නාව නිසා අපි අනුමාන කලා අනිවාර්‍යෙන්ම දානෙකින් ලැබුන පලතුරු වට්ටියක්වත් ඇති බවට.අපිත් හිමින් පන්තියෙන් රූටල දැන් ඇදෙනව ආවාසගේ පැත්තට.
ගෙඩිවලින් වැහිලා තිඹුන පැනිමොර ගහේ ගෙඩි ටිකකුත් කඩාගෙනම ආවාසෙට අතුල් වුනාට කිසි කෙනෙක් පේන්න නෑ.
ලොකු හාමුදුරුවෝ පිළිමගෙයි බණක් දේශනාකරමින් උන්නෙ.පොඩි දෙනම පන්තිවල උගන්නව.
එතකොට කෝ මුං.....

පිළිමගෙයි ඉන්න පිරිස ගෙනත් තිබ්බ කැවිලි වල සුවද මුළුතැන්ගෙයින් සාලය හරහා ඇවිත් අපේ බඩට තට්ටු කරනව.ඉතින් අහිංසක පණුවෙක් උනත් දන්නවද සාංඝික දේ කන්න හොද නෑ කියල.අනික ඒ පණුවො සාංඝිකදේ නොකාපු උන්යැ.එහෙම හිත හදන් මුළුතැන්ගෙයට රිංගනකොට ඇහෙනව ලොකු හාමුදුරුවන්ගෙ පරිඝණකය "බර බර ජර බර" ගාන සද්දෙ.
පරිඝණකය "ජරබර" ගානවද කියල අහන්න හිතෙනවනම් නොඅහ ඉදපල්ලා..ඒ කාලෙ එව්වා ඒම තමා..හාඩ් එක වැඩ කරන එකේ ඉදන් කීබෝඩ් එකේ බොත්තමක් ගානෙම "ජරබර" ගානව.

කුතුහලය තරම් පිඹුරෙක් මේ ලෝකෙ නැති තරම්.කුතුහලය අපිව ඔතාගෙන බදාගෙන බෙල්ලටම හිර කරගත්තාම කාමරේට එබෙනව මිස වෙන කුමක් කරන්නද?? අහිංසක අපි පන්සල් ගියා කියල මාර්ගඵල ලබල නෑනෙ.
අපිත් පෝලිමට ඇතුල්වුනා..කට්ටියම වට වෙලා මොකක් නමුත් බලනව.නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් මොකො කිව්වට මේක ඉංගිරිසි එකක්.
රජ මැදුරක මල් වත්තක් වගේ තැනක්.නිල් අළු ඇදගත්ත ගැහැණු පිරිමි 10ක් විතර පොරකනව.තව සුදු මහත සුදුම සුදු දිග රැවුලක් තියෙන හෙන්ඩුවක් වගේ එකක් අතින් ගත්ත දෙන්නෙක් ඉන්නව අධීක්ෂණයට.වැඩේ යනව සැරයම.වැඩේ සැර වෙන තරමට අපි ඇතුලු සේරගෙම කටවල් ඇරිලා...
පොඩි වයසනෙ... අනික පන්සලනෙ...
හාමුදුවන්ගෙ මැශින් එකනෙ...
විකාර...
එහෙමයි කියල රසය වෙනස් වෙනවයැ.

අපි කොච්චර දහැන් ගතවෙලා උන්නද කියනවනම් උදේ සිරිසේන භාවනාව කරන වෙලේ කෑව මදුරුව මරන්න අත උස්සපු තරම්වත් දැනිමක්නෑ අවට පරිසරය ගැන.
ආතල් උනත් උදේ පූජා කරපු මල් වගේමයි ටික වෙලාවකින් පරවෙලා යනව.මල් පූජාකරන ගාථාවෙ වගේම සත්‍ය පසක් වෙන්න මොහොතයි අපිට ගියෙ.එක පාර ඇහුනා ඉස්සරහ දොර ඇරෙන "කරාස්" සද්දෙ...
ඊලගට ලොකු හාමුදුරුවන්ගෙ අඩි සද්දෙ...අඩිය තියෙනකොට ඇහෙන සිවුරෙ "කිසි කිසි" සද්දෙ.

කුමක් කරන්නද පාපයක් වේනම් පලිසන්දෙන්නම ඕනි කියනවනෙ.සීඩී එකේ හිමිකරු බයේ ගැහෙනව.
බය උන පාරට මං ඇන්න සීඩි රොම් එකේ බටන් එකට."ජර බර ජර බර" සද්දෙ එක්කම ඒක හිර උනා.. එතකොට විඩියෝ එක..
මුලු මොනිටර් ස්ක්‍රීන් එකම වහගෙන ලොකුම ලොකුවට හංසයෙක් මොනිටරේ පුරාවට...
හංසයෙ උනත් දැනගන්න ඕනි පාත්තයො අස්සෙ රිංගන්නෙ නැතුව ඉන්න.
ඉතින් කුමක් කරමුද..හාමුදුරුවෝ දොර ලග..
හංසයා ස්ක්‍රීන් එකේ..
මැශින් එකට නිවස් සැප ලැබේවා කියල ඇද්ද පිටිපස්සෙ වයර් සේරම එකම ගැම්මට.සුරුස් සද්දෙ එක්කම වයර් ටික අතේ..

අපි මොනා කරන්නද..අපි "බර බර" ගාල පලතුරු කනව.හාමුදුරුවෝ ඔලුව දැම්ම ඇතුලට.ආ ඕකෙන් ඇපල් ගෙඩියක් ඉතුරු කරපන් කියල ආපහු වැඩියා..
වයර් ටික අමුනලා මාරු උනා..

කෝමත් ඒ මැශින් එක ආයෙ වැඩ කලේ නෑ...සීඩී එක පස්සෙ එලියට ගත්තෙ කටුවක් දාල රොම් එක එලියට පන්නගෙන..

ඔන්න ඔහොමයි ශ්‍රද්ධාව..
ගොහින් එන්නම් ඈ...


©මුදියන්සෙ මලයා

Wednesday, July 10, 2019

සොදුරිය


මිතුර ..

මතකද...

අන්න අර ගැහැණිය..

උබේ සිතට ගිනි බින්ද
සොදුරිය..

ඉකිය අතරින් සිනාසෙන
හැතිරිය...

මිතුර..

බලාපන් අදවත් නැගිට
ඇස් හැර..

මේ..
උබේ මළගම....


©මුදියන්සෙ මලයා

Monday, July 8, 2019

ගහක මල් පිපිලා


"ගහක මල් පිපිලා "
රේඩියෝ එකේ ඒ සින්දුව ගිහින් ඉවර උනත් මගෙ ඔලුව ඇතුලෙ ඇහෙන්නම ඒක.......
ඇයි ද මංදා හැමදාම ඕක ඇහුනාම මට මතක් වෙන්නෙ කහපාටට මල් පොකුරු පිරුණු ඇහැල ගහක්.පොද වැස්සක්.අර මල් පොකුරු තෙමාගෙන පහලට බේරෙන වතුර බිංදු.....

"පුතේ ඔයාව තෙමෙනව" ඔය වීදුරුව වහගන්න.ඒ එහා පැත්තෙ ඉදන් ඉන්න ආච්චිගෙ කටහඩ.ඒ කටහඩ එක්ක අතට දැනුන සීතල තට්ටු කිරීම නිසයි මං කල්පනා ලෝකෙන් මිදුණෙ..
ජීවිතේ මං අකමැතිම දේ කල්පනාව බිදින එක.

වැහි පොද ... සීතල සුළග... ගහක මල් පිපිලා සින්දුව...
ආච්චි....ආච්චි..
ආච්චි ආයෙම මාව තල්ලු කලේ තවත් මනෝලෝකයකට....
සරාගෙ ආච්චිත් මේ වගේ..හරිම ප්‍රියමනාපයි..

සරාගෙ ඇගිල්ලට මං මුදුව දානකොට ආච්චි කිව්ව වචන..

"පුතේ මේකිට උන්නෙ මං විතරයි.අදින් පස්සෙ උඹ විතරයි."

හැමදාම මොනදේ කලත් ඔය වචන ඔලුවට අකුණක් වගේ ඇවිත් යනව.දැන් මේක හරිම වදයක්.....
දැන් නෙවෙයි මට එදා ඉදන්ම වදයක්.... මට ඒ ටික දැනුනෙම ඔලුව උඩින් ටොන් එකක බරක් අතෑරියා වගේ...
දාපු මුද්ද ගලවල ගන්න ඒ වෙලේම නොහිතුනා නොවුනත් ඒක කරගන්න බැරි උනේ ඒ අහිංසක ඇස් ගැන තිබ්බ අනුකම්පාව නිසා... එක්කො සේරම නෑදෑයො ඉස්සරහ මට අම්මලට ලැජ්ජා කරන්න තරම් හයියක් නොතිබ්බ නිසා..

එදා ඉදන් දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඇවිත්.. සරා මගෙ කසාද ගෑනී.. නෑ ... ඇත්තටම ඒ ගෙදර ගෑනි...
සියුමැලි කටහඩ, සියුමැලි වචන , වෙලාවකට නම් අදහසුත් සියුමැලී තමයි...වැඩත් සියුමැලී...
වයස් පරතරේ වැඩි උනාම ඔහොම දැනෙනව කියල හිත එතන තියාගන්න උපදෙස් දුන්න උන් ඕනි තරම්...
මගෙ හිත කියන්නෙ මගෙ දෙයක් ඒක කොහොමද කවුරුවත් කියන පාරවල යන්නෙ...

"උඹේ හිත හැමදාම යන්නෙ ආයාලෙමයි සහෝදරයා..."
බෝතලයක අඩිය දකින හැම වෙලාවෙම මගෙ හිත මටම කියාගන්න පුරුදු වෙලා උන්න වචන...

ආච්චි...සරා.. වැස්ස... වැහි තුවානමට තෙත් වෙලා සීතල වුණ පරණ මතක...
වෙලාව 5.30යි උදේ ගෙදරින් එලියට ඇවිත් ඕෆ් කරගත්ත ෆෝන් එක... තාමත ඕෆ්.... මං ඉස්සර මෙහෙම ඉදල නෑ....
ෆෝන් එක ඕෆ් කරන් තනියම තනිවෙන්න හදල නෑ..
එතකොට මේ ඉන්නෙ මම නෙවෙයිද..??..
ඔෆීස් එකේ හරියට වැඩක් කලාද...ඒ ගැන හරි මතකයක් නෑ...
එතකොට මං මේ ඉන්න බස් එක...කොට්ටාව .....
කොට්ටාවට මං යන්නෙ මොකටද... එහෙ ගියෙ මීට අවුරුදු 2,3කට කලින්... මං මේ යන්නෙ අතීතයට යන ගමනක්ද??...
හවස ඕෆ් උනාට පස්සෙ මං රශ්මිව බෝඩිමට දාන්න ගිය බස් එක...
මගෙ කසාදෙන් පස්සෙ රශ්මි ඔෆීස් එකෙන් අස්වෙලා ගියා...රටත් දාල ගියා..
මං යන්නෙ ඒ මතක පස්සෙද....

සරා මාව රවට්ටන්න බොරු කිව්වද ?.ඇත්තටම මං තාත්ත කෙනෙක් වෙන්න යනවද... සරා කවදාවත් බොරු කියන ගෑනියෙක් නෙවෙයි.... ඒ මූනෙ තිබ්බ හිනාවෙ හැටියට බොරුවක් වෙන්නම බෑ...
ඒ වචන වලට මං මෙච්චර පිස්සෙක් වගේ හැසිරෙන්න ඕනිද??
තාත්ත කෙනෙක් වෙන්න යනවනම් ඇයි මට මෙහම පාලුවක් තනිකමක් දැන්නෙ...??

ෆෝන් එක ඔන් කලේ මං නොවන මමමයි...හිතලා කලා නෙවෙයි ඔන් උනා..
බීප්..බීප්... මැසේජ් 2ක්.මිස්කෝල් ඇලට් 1ක්... දවසම ඕෆ් කරන් ඉදලත් මැසේජ් 2ද..
මිස්කෝල් එක සරාගෙන්..දවල්ට කෑවද අහන්න ගත්ත සුපුරුදු කෝල් එක...ඒක එයාගෙ දින චරියාවෙ කොටසක්..එයා කොහෙ උන්නත් ඒ කෝල් එක වෙලාවට එනවමයි.. ඒ ගෑනිට පිස්සු..

මැසේජ් එක...ඕපන් කරනවද...
මං මේ මැසේජ් වලට බයේ ෆෝන් එක ඕෆ් කරගෙන උන්නා නෙවෙයිද...
මට අනවශ්‍යය බැදීම ඕනි නෑ කියල හිත තද කරගන්න උත්සහ කලාද ... ඔව් ... එහෙම තමයි...

ඒත් මං ... මාව ගිලගන්න හදන ඒ ඇස්... ඒ පහස...
ඒ ඇස් වල තියෙන ජවය සරාගෙ අහිංසක ඇස් වල නෑ..සරාගෙ ඇස්වල හැමදාම තිබ්බෙ බලාපොරොත්තු .. මාව එයා ලග විතරක් නතර කරගන්න අධිෂ්ඨානයක්...

ඒ ඇස් කොයිතරම් මගෙ ඇස් වලට බැදිලද... ඒ ජවය... මාව කුල්මත් කරන්න පුලුවන් වුන ඒ උණුසුම ....

"මිනිහො කොහෙද ඉන්නෙ,ඊයෙ රෑ ඉදන් තාම පැලෙනවද?"

ඒ ඇස් ලොකු වෙලා... මැසේජ් එකේ අකුරු අස්සෙන් එබීගෙන ඉන්නව... රිප්ලයි නොකරම ෆෝන් එක සාක්කුවෙ ඔබාගත්ත මම ආයෙම කල්පනා ලෝකෙ....

ඉස්සර මම මෙහෙම නෑ...
රශ්මි කියන්නෙම... ඔයාව ලබන්න මං පිං කරල තියෙන්න ඕනි කියල...බැන්ද දවසට ඔයා මාව බබෙක් වගේ බලාගනී...
ඇත්තටම මං ඒකාලෙ රශ්මිට මගෙ ඇතුලෙ ඉන්න සතාව නොපෙන්නා උන්නද ?? එහෙම නැත්නම මං සතෙක් උනේ මේ අකමැති වෙන්න බැරිකමට උන කසාදෙන්ද ??...

          ඩන්හිල් එකක.. සීතලට දැනෙන දුම් ගුලියකට උගුර හිර කලා වගේ දැන්නෙ...
රශ්මිගෙ මතකයන්... හැමවෙලේම පපුව හිර කරවනව...
සිගරට් දුම පිරුණු කාමරේ... දුමට ඇස්වල කදුලු පුරවගෙන තුරුල් වෙලා ඉන්න රශ්මි...
පත්තු කරපු සිගරට් එක පිච්චිලා ඉවර වෙනකන් තොල් සිපගත්ත රශ්මි....

ආයෙමත් මනෝලෝකයකට බාදාව.... සරා....රශ්මිව මගෙන් ඈත් කරවපු බාධකය..

"මහත්තයා...ඔයා එනගමන් නේද ?..රෑට කැමට මොනවද හදන්නෙ.."
"මම එන්න රෑ වෙනව කන දෙයක් කාල නිදාගන්නව වදයක් නොවී"

මං කිව්ව නෙවෙයි කියවුණා...සරාට කියන්න වචනයක්වත් ඉතුරු නොකර මං කෝල් කට් කලා..

"මම එනව බබා...රෑට කෑම අරං එන්නම් " 

අර ඇස් වලට රිප්ලයි කලා..
සීතල වැහිපොද කොච්චර වැටුනත් අර ඇහල මල් ඉන්නෙ පාලුවෙන්...
ජීවිතේට පාලුව දැනුනාම අපේ හිත් මල පෙරේත වෙනව.... අපිට දැනෙනම දේවල් වෙනුවෙන්....
©මුදියන්සෙ මලයා



Tuesday, June 25, 2019

මිහිරාව

මිහිරාවිය....

මේ ....

වැයෙන්නේ තාලයයි..
තොල් පෙති ඇවිලෙන
තාලයයි....

මේ ගැයෙන්නෙ ගීතයයි..
ලැම ගැහෙන උච්ච ස්වරයේ
ගීතයයි....

දිලන්නේ ඔප දැමෙන ගත
වසාගන්නා දාහයයි....
ගායනේ අනුරාගයයි....

උණුසුමින් කුස තුල ගලන්නේ ..
ප්‍රේක්ෂක ප්‍රතිචාරයයි....
රාගයේ ප්‍රතිරාවයයි....


Monday, June 24, 2019

වවන්නෝ දිනන්නෝ 1

පැරණි කියමනක් තියෙනවනෙ වවන්නෝ දිනන්නෝ කියල.ඕකනම් කියල තිබ්බෙ කන්න බොන්න ඕනි දේවල් ගෙදරම වවාගන්න කියන එක වෙන්න ඕනි.දැන් ඉතින් කොහෙද මිනිස්සුන්ට ඕවාට වෙලාවක්.වෙලාවක් තිබ්බට ඉඩක් තියෙනව කියලයැ.
මිනිස්සුන්ට වවන්න කිව්වම ඉතින් නොයෙක් දේවල් වවනව නෙහ්.නියපොත්තෙ ඉදන් වැවෙන හැම මයිල් ගහක් වෙනකම් වවනව නෙහ්.

තරුණ වයස ආව ගමන් ඉස්සර කොල්ලොනම් මහපට ඇගිල්ලෙ නියපොත්ත වවන.කෙල්ලොනම් මොනා වවනවද කියන්න දන්නෙ නෑ.ඔය ඇගිල්ල වවන්නෙ පු# කසා ගන්නය කියනවනෙහ්.මං දන්නෙ නෑ නව යොවුන් විය ආවාම #කේ අමුතුවෙන් කැසිල්ලක් එන්නෙ මොකද කියල.දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියහං.

කොල්ලො කොහොමත් ඉස්කෝලෙන් එලියට එනකම් ඉන්නෙ රැවුල වවාගන්න.දැන්නම් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලාය කියනව නෙහ්.අපිනම් ඉස්කෝලෙ නිවාඩු කාලෙත් කලේ රැවුල වවන එක තමා.ඒ කාලෙ මටනම් පොඩි හැකියාවක් තිබ්බ එතකොට ට්‍රෙන්ඩ් එකක් වුන මූන වටේ හීනියට ඉරක් වගේ තියෙන රැවුල් කට් එක ඇද නොවී තනියම කපාගන්න.කට කියෙව්වෙ මදැයි.කතාවට යං.

මගෙ මිත්‍රයෙක් හිටියා රාජ්‍ය ආයතයක රැකියාවක් කරන.රාජ්‍ය කිව්වට අර්ධ රාජ්‍ය .
පොරට එක එක ලෙඩ හැදෙනව කාලෙන් කාලෙට.ලෙඩ කිව්වට සේරම ලෙඩ හැදෙන්නෙ කොන්ඩ රැවුල සම්බන්ධව.අද දකින පෙනුම නෙවෙයි මාසෙකින් තියෙන්නෙ.උගෙ යාලුවෙක් ඌට කතා කරනව යාළු මනමාලයට ඉන්න කියල උගෙ මගුලෙ.හැබැයි එක කොන්දේසියක් මත.රැවුල කොන්ඩෙ වවන්න ඕනි.ඉබ්බ දියේ දැම්මාම ඇන්නෑවෙ කියන්නහේ ඌට කරන්න ඕනි උන දේකට දැන් තියෙනව හේතුවක්.ඕකට කියල පොර දැන් කොන්ඩෙ වවනව.ඔය අතරෙ තමා ලංකාවෙ කොන්ඩා දන්දීමේ ක්‍රියාවලිය ප්‍රසිද්ධ වෙන්නෙ.දැන් ඕකටත් ආසයි පොරට.

රාජ්‍ය ආයතන කියන්නෙ ඉතින් පෙනුමට හෙනම හනමිටි නීති තියෙන තැන් නෙහ්.දැන් මූට කේස් එක කොන්ඩෙ වවනවට.දකින දකින එකා බනිනව.අහන හැම එකාටම කියන්නෙ දන් දෙන්න වවනව කියල.පොර ස්ථීර සේවකයෙක් නෙවෙයි.ඔය කාලෙ තමයි ස්ථීර කරන්න විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලට කැදවන්නෙ.ඔෆීස් එකේ සෙට් එකට මෑන්ව කොච්චර වටිනවද කියනවනම් මෑන් දන්නෙ අන්තිම මොහොතෙ තමයි ඕකට ඉල්ලුම් කරන්න ඕනා කියල.කොහොම හරි ඉල්ලුම් කලාය කියමුකො.ස්ථීර කරන්නෙ 36යි එක්සෑම් එකටම ඉන්නව 150ක් විතර.කෝමින් කෝම හරි මෑන් එක්සැම් එකෙන් 14 වෙනියා උනා.
දැන් තමා භීෂණ සමය පටන් ගන්නෙ.මිත්‍රයව ආයතයකට ගැලපෙන්නෙ නෑ.කොන්ඩෙ වවල උඩින් ගෙඩියක් බැදන් ඉන්නෙ.රැවුලත් වවල.කොච්චර කිව්වත් කොන්ඩෙ කපලත් නෑ..ඒ කියන්නෙ අන් අය කියනදේ අහන්නෙ නෑ.නැත්නම් නම්‍යශීලී නෑ.ඔහොමයි දැන් කසු කුසුව.පොර ඉන්ටෙව් එක අනිවාර්යයෙන්ම ෆේල් වෙනව.කට්ටියට හරිම සතුටුයි.ආයතයෙන් පිට ඉන්න යාලුවොත් කියනව ජොබ් එක වැදගත් නේද ඕක කපල යමන් කියල.එකම මතය.නෑ මං කපන්නෙ නෑ.

සම්මුඛ පරීක්ෂණ දවසේ උදාව.

පිරිමි හැමෝම සුදු අත්දිග ශර්ට් එක ඇදන් මනාව කපා පීරාගන්නා ලද හිසකේ සහිතව ෆයිල් කවරෙ අත දරාගෙන ඉන්නව.අපේ එකා විතරක් යන්තම් තෙල් ටිකක් ගාල.කොන්ඩෙ තද වෙන්න පීරල ඔලුව උඩින් ගෙඩියක් බැදන් ඉන්නව.හැමෝටම එකම ජෝක් එකක්.හැමෝම හිතන්නෙ මූ කෝමත් එලියෙ නිසා අපිට චාන්ස් එක වැඩීනෙ කියල.උන් හිනාවෙනව කට කොනින්.

අපේ කොල්ලගෙ අවස්ථාව.දෙපාරක් දොරට තට්ටුවක් දාල කොල්ල යනව ඇතුලට.
පැනල් එකේ ඉන්නව HR AGM , HR අංශ ප්‍රධානී, තවත් අංශ 3ක AGMලා 3 දෙනෙක්.
මිත්‍රයාගෙ පෝස්ට් එකේ අයගෙ ඉහලම නිලධාරියා සහ තව දෙන්නෙක්.
දැන් මිත්‍රයගෙ ෆයිල් එක ඉල්ලන් බලන් ගමන් තව කෙනෙක් අහනව විෂය සම්බන්ධ ප්‍රශ්න
.
ප්‍රශ්න එකයි.උත්තරේ හරි.

ප්‍රශ්න දෙකයි .උත්තරේ හරි.

ප්‍රශ්න තුනයි.ඒක HR AGM

"ඇයි පුතා කොන්ඩෙ වවල"

උත්තරේ දෙන්න කලින්ම තව කෙනෙක්
"මං අහන්න උන්න එක ඔයා ඇහුවෙ"

"ඕක ආයතයකට ගැලපෙන්නෙ නැතිබව දන්නවද "

" ...... ඔව් සර් නොගැලපෙනව ඇති.ඒත් මං මේක වවන්නෙ දන් දෙන්න "

"මොකක්.එහෙම කරන්නෙ කොහෙද? ලංකාවෙ එහෙම එකක් කරවද "

"ඔව් මිස්.ලංකාවෙ රමනි ෆ්‍රනෑන්ඩු සැලුන් එකෙන් එහෙම දෙයක් කරනව.කැන්සර් හොස්පිට්ල් එකේ අයට විග් හදන්න "
.
"ආ.අපි ඒ ගැන දැනුවත් නෑ විස්තර කරන්න පුලුවන්ද ?"
(කොල්ලා හිත යටින් හිනා වෙනව.දෙන්නම් ජම්බු.ඔය ගැන කොල්ලා a-z හොයල දැනුවත් වෙලා ඉන්නෙ )

"ඩැමේජ් උන, කලර් කරපු , වෙනස් කරපු කොන්ඩා ගන්නෙ නෑ.අගල් 12කට වඩා දිග තියෙන්න ඕනි කොන්ඩෙට.ඕනි කෙනෙක්ට දෙන්න පුලුවන්."

"දැන් කොච්චර විතර දිගද ඔයාගෙ.ඕක ලෙහල පෙන්නන්න පුලුවන්ද ?"

"දැන් අගල් 8 ක් විතර තියෙනව "

"ඕක නඩත්තු කරන්න අමාරු නැද්ද.මං අහන්නෙ ඔයා කොල්ලෙක් නිසා"

" නෑ සර්.දවස ගානෙ නානව.දවසක් හැර දවසක් ශැම්පු කරනව, ඔයිල් ට්‍රීට්මන්ට් කරනව.සතියට වතාවක් ඔලිව් ඔයිල් දානව විටමින් E එක්ක.ගැට කඩල පීරගන්නව.නඩත්තුව අමාරු නෑ ඉතින්"

"බලන් ගියාම මේ කොල්ල මගෙ කොන්ඩෙ මං කරන සාත්තු කරනවට වඩා සාත්තු කරනවනෙ"
සේරටම හිනා....

"එතකොට රැවුලත් දෙනවද ?"

" නෑ රැවුලනම් වැවුවෙ වෙන හේතුවකට."
"ඒ ?"

" මේකනෙ සර් කොන්ඩෙ වවල රැවුල කපල උන්නාම මිනිස්සු බලන්නෙ වෙන විදියකට නෙහ්.ඒකයි "
සේරටම හිනා..
බ්ලා බ්ලාබ්ලා....
කොල්ල දෙනව සම්පූර්ණයෙන්ම ලෙක්චර් එකක් කොන්ඩෙ වැවීම නඩත්තු කිරීම හා කොන්ඩය දන්දීම ගැන.
.
"මේ ලමයා යවමු එලියෙ තව පෝලිමක් ඉන්නව " ඒ තව සර් කෙනෙක්.

"හරි පුතා ඔයා යන්න.තෑන්ක්ස් නොදන්න දෙයක් ගැන අපිව දැනුවත් කලාට"

අනේ අපේඑකා කොන්ඩෙත් කඩාගෙන දොර ඇරන් එලියට එනකොට එලියෙ උන්ගෙ ඇස් කටේ.කලින් එකා ඇතුලෙ උන්නෙ විනාඩි 10යි.අපේ එකා විනඩි 30කට වඩා ඉදල.
එලියෙ ඉන්න උන් අහනව

"මොනාද බන් ඇහුව ප්‍රශ්න "

"මුකුත් ඇහුවෙ නෑ බන්."

හරි ඉතින් උගෙන් විෂය දැණුම අහලම නෑනෙ.
ස්ථීර කරන ලිස්ට් එක ආවාම අපේ එකේ 6 වෙනියා.
දන් උගෙ යාලුවො ඌට කියන්නෙ කොන්ඩෙන් ගොඩ ගිය එකා කියල.
මගේනම් මතය සම්මුඛ පරීක්ෂණ වල ඉන්න නිලධාරීන් ඔය වගේ විවෘත මනසක් ඇති අය වෙන්න ඕනි.

වවන්නෝ දිනන්නෝ 2 පසුවට.

නිකන් තියෙන කොන්ඩෙන් වැඩක් ගන්න හුරු වෙයල්ලා.ඕක එක පාරක් කපල දන් දුන්න කියල වරදක් වෙන්නෙ නෑ.
එහෙම කැමති අයට මෙන්න මේ තැනින් ඕක කරගන්න ඇහැකි.

කවුද ? ඇයි ? මොකටද ?


කවුද කිව්වොත්

කොලු ගැටයෙක් ,මලයෙක් අදුරු සොදුරු අතීත කතාවල හිමිකරුවෙක්.

ඇයි, මොකටද ?

විනෝදෙට වගේ , හිතේ හෑලි දිග ඇරගන්න , හිත සුද්ද කරගන්න, බෙදා හදාගන්න , හිතට එන දේවල් කොහේ හෝ අවකාශයක් තුල අත්හැර දමන්න ඕනිය කියල හිතුන නිසා.

ඉතින් ඇති හැකි වෙලාවට තියෙන දෙයක් අතෑරල දාන්න සහ පරන ලට්ට ලොට්ට ගොඩ ගහන්න අවසර.
හැම වලව්වෙම වගේම ගෙදරක උනත් ලට්ට ලොට්ට කාමරයක් තියෙනව නෙව.


අවසර !!!