Friday, August 28, 2020

නොහදුන්නී - 01

        ජීවිතය තුල සිදුවන්නාවූ යම් යම් වෙනස්කම්වලට ආවේනික වූ කාල රාමුවක් ඇති අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බව ජීවිත්වීම තුලින්ම අපි උගෙනගත යුතුය.එසේ නොවනාතෙක්ම අප දුවන මුවන්ට පලා කෑමට දෙමින්ද ඉබ්බන්ගෙන් පිහාටු ගලවමින්ද කාලය කාදමනු ඇත..මේ ජීවිතයනම් ග්‍රන්ථය එක් පරිච්ඡේදයකි.

මාගේ මුග්ධකම්වලට කිසිවෙකු නින්දා අපහාස නොලයුතුබැවින් පුද්ගලනාමයන් සිතාමතාම වෙනස්කර සටහන් කරමි..

දැනට විසි වසරකට පෙර මා නගරයේ පාසැලට ඇතුලත් වන්නේ ජීවිතේ සොදුරුම ළමා කාලයට අවසන් තිත තබමිනි.ඉන් වසර අටක් තුල මාතුල සිටි මා හදුනාගැනීමටත් ජීවිතයේ ප්‍රථම වතාවට පරුෂ වචන කතා කිරීමටත් ආලයෙන් වෙලීමටත් ක්‍රෝධයෙන් ගුටි ඇනගැනීමටත් ගුරුවන්ගේ ප්‍රශංසා නැතත් පරිභව ලබන්නටත් මේ බිම් කඩ මට ඉඩසලදා දුන්බව කිවයුතුමය..

ගමේ සිට කිලෝමීටර 27ක් දුරින් පිහිටි පාසලට යාමට විවිධාකාර දුක්ඟැහැට විදීමට සිදුවන්නේ ප්‍රවාහන පහසුකම්වල හිඟතාවය නිසාමය.ඒ දුක් මැදින් සොදුරු මතක සටහන් එකතු වීමටත් ප්‍රේම සිතුවිලි දළු ලෑමටත් මේ ප්‍රවාහන පහසුකම් හිඟකමම ආශිර්වාදය විය.

මේ පහලොස් වසකට පෙර ප්‍රථම ප්‍රේමය මා දෙවරක් සහ ඇය එක්වරක් ලෙස හමාර කරමින් පාසැල් කිරිල්ලියන්ට බැල්ම හෙලීමට නැවත වාරයක් වරම් ලැබූ සමයයි.

නිල් කොට කලිසමේ සිට සුදු දිග කලිසමට හුවමාරුවීම කණිෂ්ඨ අංශයේ ජේෂ්ඨයන් බවට පත්ව තිබීම එක් ප්‍රේමයක් හමාර කර තිබීම සිත් තුල උසස්‍ යැයි හැගීමක් ජනිතකර තිබූ සමයයි.

මේ කතාව තුල වැදගත්වන භූමිය ගැන අවබෝධයක් තිබීම අගනේයැයි වැටහෙන නිසා එය මෙසේ සටහන්කොට තබමි..

මා පාසැල් ගිය බස් රථය අතුරුමාර්ග හරහා ගොස් විශාල නුග ගසක් අසලින් ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතර එතැන් පටන් පාසල පිහිටි ඉසව්ව තෙක් ඒ මාර්ගය තුලම ගමන් කරනු ලබයි.පාසැල නගරයට යාබද නිසංසල වටපිටාවක පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ග දෙකකින් පිවිසුම් සහිතවය.

ප්‍රධාන පිවිසුම අසලින්ම මහාමාර්ගය දිව ගියත් මා පාසැලට ඇතුල්වීමට භාවිත කල පිවිසුම දක්වා මීටර් සියයක් පමණ දුරක් පයින් ගමන් කලයුතුය.මේ පාගමනින් යන මාර්ගය දෙපස උසාවිය, මහේස්ත්‍රාත් නිල නිවාස, පොලිස් අධිකාරී කාර්‍යාලය , අඩවි වන කාර්‍යාලය සහ කලක් අත්හැර දැමුනු ක්‍රීඩාගාරයක් සහිත පිට්ටනියක්ද වේ.මේ පිවිසුම අප පොඩි ගේට්ටුව ලෙසත් ප්‍රධාන පිවිසුම මහ ගේට්ටුව ලෙසත් හදුන්වමු.මේ ගේට්ටු දෙකෙන්ම පාසැල තුලට පැමිනෙන මාර්ග එකිනෙක සම්බන්ධවන ස්ථානය පැණි හන්දිය ලෙස නම්කර ඇත්තේ කිසියම් කෙනෙක්ට බැල්ම හෙලීමටනම් මේ මං සන්ධිය තරම් වෙන ස්ථානයක් නොමැති නිසාය.




පැණි හන්දිය




පැණි හන්දියෙන් පසුපස කොටසේ කණිෂ්ඨ අංශය පිහිටා ඇති අතර පැණි හන්දියෙන් දකුණුපස මාවත බුදු මැදුරත් ප්‍රධාන ගොඩනැගිල්ලත් ක්‍රීඩා පිටියටත් මැදිව උසස්පෙල අංශය දක්වා දිවෙන්නේ ප්‍රධාන කාර්‍යාලය හා වාණිජ අංශය පසුකරමිනි.පැණි හන්දියට පිටුපස කොටසේ පිලිවෙලින් ආපනශාලාව , 10වන ශ්‍රේනියත් 11වන ශ්‍රේණිය හා 7 වන ශ්‍රේණියත් පිහිටා ඇත.7 වන ශ්‍රේණි ගොඩනැගිල්ල තුල එකම එක 10වන ශ්‍රේණියේ පන්තිකාමරයක් ඇති අතර ඒ අසලින් 9වන ශ්‍රේණියත් කණිෂ්ඨ අංශ කාර්‍යාලයත් පිහිටා තිබේ.

6 ශ්‍රේණියේ සිටම ඉතා කාරුණික ගුරු මහත්මියක් සෙවනේ වැඩුණු අප නිවුණු පුද්ගලයන් නොවීම ගුරුතුමියගේ දෛවයේ සරදමක් ලෙස ඇය වරක් හඬමින් පැවසූ බව මතක්වන විට දැන් නෙත් කෙවෙනි තෙත්වුවත් එදින එසේ නොවූබව හොදහැටි මතකය.ගණිත විෂය ගුරුවරිය වූවා පමණක් නොව අප රැකීමේ පවුරද වුයේ ඇයමය.

අප ශ්‍රේණිභාර ගුරුවරයා වූයේ කෙසඟ සිරුරක් සහිත වක්කඩ කටක් ඇති අයෙකි.ඔහු අප 'කොමා' එනම් 'කොරිඩෝවේ මාරයා' ලෙස හැදින්වූයේ පන්තිකාමර අසල කොරිඩෝවට පිවිසි සෑම විටම වේවැල් පහරින් දෙකකුල් සම්බාහනය කල නිසාය..කොතරම් නපුරු චරිතයක් වූවත් ඔහු මාගේ කතාව තුලදී නරියාට කිකිලිය භාරදුන් පුද්ගලයාය.. 

පන්තිකාමරය 43 දෙනෙකුගෙන් පිරී පැවති අතරම 10 වන ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණය දක්වාම මම 38 හා 42 අතර මගේ ස්ථානය ස්ථාවර කරගෙන සිටියේ විෂය කරණු කරෙහි සිත් යොමු නොවීම නිසාම නොවේය.පන්තිකමරය තුල දැඩි තරඟකාරී බවක් පැවතීමත් එයට බලපෑ එක් සාධකයකි.තරඟයට පැන හැල්මේ දිවීමට තරම් මාගේ මොලය මෝරා නොතිබෙන්නට හෝ විකාර නොවී තිබීමත් හේතුවක් වන්නට ඇත.ගුරුවරුන්ගේ මතය වූයේ මා කිසිවක් මතකයේ රදවාගත නොහැකි කෙනෙක් බවය.නමුත් අදටත් එකල කියවූ බාහිර පොත් පත්වල කොටස් හොදින් මතකයේ තිබීම විහිළුසහගතය.

සදහන් කල පරිදි සුදු දිගු කලිසම අපට සිතට මනමාලකම එක්කිරීමට හේතුවූ අතර සිතේ තිබූ දෑ තැනක් නොතැනක් නොබලා කියවීමටද එය හයියක් වූ බව සැබෑය.

මිතුරෙකුගේ මිතුරියක් මාගේ මිතුරියක් වන්නෙ පාසැලට ඇතුල් වී වසර කීපයකට පසුවන විටය. ඇයට අප එක්ව සම්ච්චල් කිරීමත් ඇය අප බස් රියේ ගමන් කිරීමත් අවුරුද්දකින් ලාබාල තැනැත්තියක් වීම නිසාත් ඇය හා කුළුපග බවක් පැවතිනි.

දිනක් සවස බස් රියට නැගි ඇයට හා කතාවට පිවිසී මොහොතකින් ඇය අසලින් මා මෙතෙක් කල් නොදුටු රුවක් මතුවූයේ මූණට මැණිකකින් දමා ගැසුවා සේය.ඇය උසට සරිලන මහතක් සහිත පැහැපත් සමක් ඇත්තියකි.දෑස් මිණිකැට මෙන් දිලිසෙද්දී මා දෙස බලා සිටියේ මිතුරියට කල නොමනා විහිලුව ඇයට ඇසීම නිසාම වන්නට ඇත.දිගු ඇහි පිහාටු මුහුණට ලස්සනක් එක්කල බව සැබෑය.

පිට මැදට ලංවන්නට ගෙතූ කොන්ඩා කරලක් මගේ අතේ මහතට සමානය.දොතොල් රෝස පැහැතිය නාදළු මෙන් නොවේය ඊට වඩා මහතින් වැඩිය.සිහින් සිනාවකින් ඈ මදෙස බලා සිටි තත්පර කිහිපය මා සිකුරු ග්‍රහයා අසලටම දිව යමින් සිටියේ දෑස ඉවතට නොගෙනමය.අහෝ මා අසලින් පැමිණි ග්‍රාහයක ගැටින.සිතිවිලි ලෝකයෙන් මිදී පණ අදිමින් ගමන් කරන බස් රියටම කැදවන ලද්දේ මිතුරිය විසිනි.


"කන්න වගේ බලන්න එපා.එයා මගෙ හොදම යාලුවා"



-----ඉතින් අපි නැවත හමුවෙමු----