Friday, July 12, 2019

පරිඝණක පන්සල හා හංසයෝ



උපතින් බුද්ධාගමේ නිසා අපි හරිම දැහැමට ලැදි මිනිස්සු.
පොඩි කාලෙ කොච්චර දහමට ලැදිද කියනවනම් සරම කරේ තියාගෙන උනත් දහම් පාසැල් යනව යනවමයි. මොකද
ඉරිදට ගෙදර හිටියා කියල වැලි මලුවක සෙල්ලම් කරන්න ලැබෙනවයැ. ගෙදර හිටියොත් අම්මත් එක්ක පොලට යන්නම වෙනව.පොලට ගියා නොගියා කියල මොකද හැමදාම මොකක් හරි චූටි සෙල්ලම් වාහනයක් අම්ම අරං එනවමනෙ.සමහර දාට ඕක හාල් එක අස්සෙ දාන් හංගන් එන්නෙ තාත්තා බනින නිසා.

කොහොමින් කොහොම හරි දහම්පාසල කියන්නෙ වෙනම ලෝකයක්.මුලින් මුලින් සෙල්ලම් කරන්න ආසාවට දහම්පාසල් ගියාට ටික ටික ලොකු වෙනකොට ඕක වෙනස් උනා. කෙල්ලෙක් දෙන්නෙක් ලයින් කරගන්න , ලොකුවට කර දාල මහපු ලමාසාරි හැට්ට බලන්න.තව නෙක නෙක දේවල් තියෙනව.පස් පව් වලින් තොරව ඇස් පිනවීම වගේ දේවල් වලට කියාපු තැන.ආ ...ඒ වගේම තමා දානෙන් අපේ කොටහ කොටාබාන එක.පන්සලේ තැබිලි වලු ටික කඩන එක..ඒකටනම් එක එක ක්‍රම තියෙනව.මම කලේ යකඩ කම්බියකින් ඇනල ගහේ තියෙන ගෙඩිය හිල් කරල බිම ඉදන් ඕකට කට අල්ලන් උන්න එක.😂😂

යහමින් සෙමින් දහම් පාසල් ජීවිතය ගත කරන් ඉන්න කාලෙ අපේ ශ්‍රේණියෙ උන්නා කොල්ලො 7ක් කෙල්ලො 6ක්.ඔය කොල්ලො 7ම එක වගේ නසරාණි තමයි ඒත් උන් ඒවා එලියට දාන්නෙ එක එක මට්ටම් වලින්.අපිට ඉහල ශ්‍රේණියෙ උන්න කොල්ලො සේරම සියලුම කුප්පකම් එලිපිට කරන එවුන්.අපිට උන්ගෙ පහනින් එලිය බලන්න නොහැකිඋනාමත් නෙවෙයි... හැබයි අපි මහන්සි වෙලා මාසයක් විතර දුක් විදල ගස් බඩගාල මටළු වලින් හදපු වෙසක් කූඩුවට හම්බුන තෑගි ටිකනම් උන් අරන් තිබුණා.රුපියල්ම 10000ක් ද කොහෙද.

ඔය කාලෙ තමයි තරමක් යමක් කමක් ඇති ගෙවල් වලට පරිඝණක ආගමනය වෙන්න ගත්තෙ.ඒවාත් ඉතින් p2, p3 තමයි.කලාතුරකින් කෙනෙක් ලග p3 එකක් තිබුනා.
අපේ පන්සලේ හාමුදුරුවෝත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලට තිබ්බ ආසාව නිසාම p2 පරිඝණකයක් අරගත්තා.මුලු ගමටම පරිඝණක තිබ්බෙ අතේ ඇගිලි ගණනට උනාට කොහොම හරි ඕක අතපත ගාල ඔන් කරගෙන cd එකක් බලාගන්න වගේ දේකට හැකියාව තිබ්බ අපි කීප දෙනෙකුට.

ආවාසගෙය ඇතුලෙ ඕනෙම තැනකට යන්න අපේ ශ්‍රේණියෙ සහ අපිට ඉහල ශ්‍රේණියෙ කොල්ලො ටිකට අවසර තිබුණෙ බල්බ් එකක් මාරු කරගන්න, ගිලන්පස හදවගන්න , දහම්පාසල් තෑගි ප්‍රදානෝත්සවයෙ තෑගි පාර්සල් කරන්න වගේ වැඩ භාරවෙන්නෙ අපිට නිසා.කාමර 4ක් සාලයක්, කුස්සියක් සහ නාන කාමරයක් තිබුන ආවාසගෙයි වැඩහිටියෙ හාමුදුරුවෝ තුන්නමක් විතරයි.මම දහම්පාසල් යන්න පටන් ගන්න කාලෙ සතර නමක් විතර වැඩ උන්නට ඉන් කීපදෙනෙක් සිවුරු හැරල ගියා.පස්සෙ කාලෙ ආව අයත් වැඩි කාලයක් රැදුනෙ නෑ.
පදුරු තලල වැඩක් නෑනෙ.කතාව කතාව..

ලොකු හාමුදුරුවෝ කිව්වට වයස 30ක විතර ඇති ඒ කාලෙ.උන්නාසෙ හරිම ආසයි ළමයි ඉගනගන්නවට වගේම හැම වෙලේම පන්සලේ සෙනග ඉන්නවට.සෙනග කියන්නෙ ඉතින් දහම්පාසල් ආව අපි තමා.කයියක් ගහන්න , වැඩක් කරගන්න , ගමනක් යන්න, ඉතුරු වෙන දානෙ කන්න දෙන්න ඔය හැම එකටම අපි තමයි.ඔය සමීපතාව හා ලමයි ඉගෙන ගන්නවට තියෙන ආසාව නිසා අපිට උන්නාසෙගෙ කාමරේ තිබුණ පරිඝණකය භාවිතා කරන්න ලැබුනා..

මේ කියන ඉරිදා දවස මුලු අහසම අදුරු වුන , සීතල සුලං හමන මදින මද වැසි වැටෙන , පරිසරයම නිශ්ශබ්ද දවසක් නම් නෙවෙයි.ඒත් ඒක ඒ පරිඝණකය කවදාවත් නොහිතපු තමන්ට මේ වගේ නස්පැත්තියක් වේවි වැයි නොසිතමු දවසක් කියන එකනම් හොදටම විශ්වාසයි.
කුමක් හෝ නිසා එදා උදේවරුවෙ ඒ තරම් වැඩක් තිබුණ දවසක් නෙවෙයි..
ඉහල ශ්‍රේණියෙ කොල්ලො ටික ආවාසගේ පැත්තෙ ඇදෙනව බලන් උන්නත් තරමක් වෙලාවක් පහුවෙලත් කිසි කෙනෙක් ආපහු නාව නිසා අපි අනුමාන කලා අනිවාර්‍යෙන්ම දානෙකින් ලැබුන පලතුරු වට්ටියක්වත් ඇති බවට.අපිත් හිමින් පන්තියෙන් රූටල දැන් ඇදෙනව ආවාසගේ පැත්තට.
ගෙඩිවලින් වැහිලා තිඹුන පැනිමොර ගහේ ගෙඩි ටිකකුත් කඩාගෙනම ආවාසෙට අතුල් වුනාට කිසි කෙනෙක් පේන්න නෑ.
ලොකු හාමුදුරුවෝ පිළිමගෙයි බණක් දේශනාකරමින් උන්නෙ.පොඩි දෙනම පන්තිවල උගන්නව.
එතකොට කෝ මුං.....

පිළිමගෙයි ඉන්න පිරිස ගෙනත් තිබ්බ කැවිලි වල සුවද මුළුතැන්ගෙයින් සාලය හරහා ඇවිත් අපේ බඩට තට්ටු කරනව.ඉතින් අහිංසක පණුවෙක් උනත් දන්නවද සාංඝික දේ කන්න හොද නෑ කියල.අනික ඒ පණුවො සාංඝිකදේ නොකාපු උන්යැ.එහෙම හිත හදන් මුළුතැන්ගෙයට රිංගනකොට ඇහෙනව ලොකු හාමුදුරුවන්ගෙ පරිඝණකය "බර බර ජර බර" ගාන සද්දෙ.
පරිඝණකය "ජරබර" ගානවද කියල අහන්න හිතෙනවනම් නොඅහ ඉදපල්ලා..ඒ කාලෙ එව්වා ඒම තමා..හාඩ් එක වැඩ කරන එකේ ඉදන් කීබෝඩ් එකේ බොත්තමක් ගානෙම "ජරබර" ගානව.

කුතුහලය තරම් පිඹුරෙක් මේ ලෝකෙ නැති තරම්.කුතුහලය අපිව ඔතාගෙන බදාගෙන බෙල්ලටම හිර කරගත්තාම කාමරේට එබෙනව මිස වෙන කුමක් කරන්නද?? අහිංසක අපි පන්සල් ගියා කියල මාර්ගඵල ලබල නෑනෙ.
අපිත් පෝලිමට ඇතුල්වුනා..කට්ටියම වට වෙලා මොකක් නමුත් බලනව.නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් මොකො කිව්වට මේක ඉංගිරිසි එකක්.
රජ මැදුරක මල් වත්තක් වගේ තැනක්.නිල් අළු ඇදගත්ත ගැහැණු පිරිමි 10ක් විතර පොරකනව.තව සුදු මහත සුදුම සුදු දිග රැවුලක් තියෙන හෙන්ඩුවක් වගේ එකක් අතින් ගත්ත දෙන්නෙක් ඉන්නව අධීක්ෂණයට.වැඩේ යනව සැරයම.වැඩේ සැර වෙන තරමට අපි ඇතුලු සේරගෙම කටවල් ඇරිලා...
පොඩි වයසනෙ... අනික පන්සලනෙ...
හාමුදුවන්ගෙ මැශින් එකනෙ...
විකාර...
එහෙමයි කියල රසය වෙනස් වෙනවයැ.

අපි කොච්චර දහැන් ගතවෙලා උන්නද කියනවනම් උදේ සිරිසේන භාවනාව කරන වෙලේ කෑව මදුරුව මරන්න අත උස්සපු තරම්වත් දැනිමක්නෑ අවට පරිසරය ගැන.
ආතල් උනත් උදේ පූජා කරපු මල් වගේමයි ටික වෙලාවකින් පරවෙලා යනව.මල් පූජාකරන ගාථාවෙ වගේම සත්‍ය පසක් වෙන්න මොහොතයි අපිට ගියෙ.එක පාර ඇහුනා ඉස්සරහ දොර ඇරෙන "කරාස්" සද්දෙ...
ඊලගට ලොකු හාමුදුරුවන්ගෙ අඩි සද්දෙ...අඩිය තියෙනකොට ඇහෙන සිවුරෙ "කිසි කිසි" සද්දෙ.

කුමක් කරන්නද පාපයක් වේනම් පලිසන්දෙන්නම ඕනි කියනවනෙ.සීඩී එකේ හිමිකරු බයේ ගැහෙනව.
බය උන පාරට මං ඇන්න සීඩි රොම් එකේ බටන් එකට."ජර බර ජර බර" සද්දෙ එක්කම ඒක හිර උනා.. එතකොට විඩියෝ එක..
මුලු මොනිටර් ස්ක්‍රීන් එකම වහගෙන ලොකුම ලොකුවට හංසයෙක් මොනිටරේ පුරාවට...
හංසයෙ උනත් දැනගන්න ඕනි පාත්තයො අස්සෙ රිංගන්නෙ නැතුව ඉන්න.
ඉතින් කුමක් කරමුද..හාමුදුරුවෝ දොර ලග..
හංසයා ස්ක්‍රීන් එකේ..
මැශින් එකට නිවස් සැප ලැබේවා කියල ඇද්ද පිටිපස්සෙ වයර් සේරම එකම ගැම්මට.සුරුස් සද්දෙ එක්කම වයර් ටික අතේ..

අපි මොනා කරන්නද..අපි "බර බර" ගාල පලතුරු කනව.හාමුදුරුවෝ ඔලුව දැම්ම ඇතුලට.ආ ඕකෙන් ඇපල් ගෙඩියක් ඉතුරු කරපන් කියල ආපහු වැඩියා..
වයර් ටික අමුනලා මාරු උනා..

කෝමත් ඒ මැශින් එක ආයෙ වැඩ කලේ නෑ...සීඩී එක පස්සෙ එලියට ගත්තෙ කටුවක් දාල රොම් එක එලියට පන්නගෙන..

ඔන්න ඔහොමයි ශ්‍රද්ධාව..
ගොහින් එන්නම් ඈ...


©මුදියන්සෙ මලයා

No comments:

Post a Comment