Wednesday, December 15, 2021

වර්ගීකරණය

 වර්ගීකරණය 




ඔයැයිලට මතකනම් මම මේ මෑතකදි පාසැලක් කොහොමද ජීවිතේ වෙන්නෙ කියල මොකක්දෝ හෑල්ලක් ලියල තිබ්බ.මේක ඒකට අදාල නොවුනට මේකත් පාසැල් වලට අදාල කතාවක්.


මම හිටියා අහවල් පාසැලේ මතක එකතුකරන්නන්ගේ සංගමය කියල ගෘප් එක්ක.දැන්නම් මම නෑ .මම නෑ නෙවෙයි උන් මාව එලවල. අම්මට අප්පට හදන්න බැරිවුන කුණු කට අහවල් පාසැලෙන් හැදුනෙත් නෑ දරුවනේ. ඒකයි මේ සේරටම මුල කියලයි මට හිතෙන්නෙ.අනික් එක මට ඔය සමහර සුළු සුළු සිදුවීම් අමතක නොවීම.


ගුරුවරයා කියන සංකල්පය ගැන මම කතා නොකරමි.හමුවූ ගුරු වර්ග ගැන පමණක් කියමි .මෙන්න මේකයි ගුරු කතා වස්තුව.වස්තුව කීවට වස්තුටික.


අහිංසක ගුරුවරු -


මම ඔය අහවල් පාසැලේ හය වසරට ඇතුලත් වෙන්නෙ කඩයිම් ලකුණ කිරිහාමි අමුඩෙ ගැහුව වගේ තිබ්බ නිසා. දෙදහස වසරෙ. ඔය වෙනකොටත් පොඩි අක්ක දීප්තිමත් ශිෂ්‍යාවක් ඔය පාසැලේ. පසුකාලීනව මමත් ඉතා දීප්තිමත් වුනා. ඉගෙනීමෙන් නෙවෙයි. ලව් කිරිල්ලෙන්.


දීප්ති දීප්ති කියනකොට මතක් වුනේ හඳයාව.හරි අහිංසකයා වගේ උන්නට මෙහා ගොඩනැගිල්ලෙ ඉදන් එහා ගොඩනැගිල්ලට හඳයා කියන වචනයක් ඇහිලා අපේ අහිංසකම එකෙක් බෙල්ලෙන් උස්සල කනට ඩෝං ගාල එකක් දුන්න මතකයි.ඕක දැනගෙන අපේ පන්තිභාර මිස් අහනව ඔයාල අපිටත් නම් දාල තියෙනවද කියල. අනේ මංදා සිංදුවක් කිව්වාමත් මෙයාල හිතන්නෙ එයාලට කියනව කියලනෙ.


ඔය දෙදහෙදි අපි උන්නෙ තට්ටු දෙකක බිල්ඩින් එකක උඩ තට්ටුවක.මම තට්ටු ගොඩනැගිල්ලකට ගිය පලවෙනි අවස්ථාව ඒකද කොහෙද . ලස්සන ඇහැල ගස් පේලියක් තිබුණා ඕක ඉස්සරහ.ඇහැල කියන්නෙ ජීවිතේට බැඳුන දෙයක්වුනේ ඔතනින්ද කොහෙද. ඕකෙ මල් පිපුණම හරිම ලස්සයි.පන්තිකාමර ලඟම මල් කිනිති. හරියට මල් වත්තක් වගේද මංදා. පොඩි වයස නිසා ඕවා එච්චර ඔළුවට නොගත්තට සමහර සිදුවීම් නැවතිල්ලේ මතක් කරල බැලුවාම දැන් එහෙම හිතෙනව.


ඔන්න ඔය සුන්දර පන්තිකාමරේ ඉන්නකාලෙ අපිට අහවල් විෂය ඉගැන්නුවෙ ගුරුවරියක්. හරි හුරුබුහුටි සුදු ලස්සන කෙනෙක්. පාසැලේම උන්න පොඩිම ලමයි විදියට අපිව හොදට බලාගත්ත වගේ මතකයි. එයා කොච්චර හොදවුනත් එයාට අපිට උගන්වන්න දුන්නෙම නෑනෙ. අමුතු පෙනුමක් තිබ්බ් ගුරුවරයෙක් එනව පන්තිය ලගට.ඊට පස්සෙ මිස්ව පන්තියෙන් එලියට එක්ක ගිහින් දෙන්න කතාව කතාව කතාව. කාලපරිච්ඡේදය ඉවර වෙනකන්ම කතාව. සීනුව ගැහුවාම දෙන්නත් එක්කම යන්න යනව. ඔන්න ඊලග දවසත් ඔහොමමයි.


ඔහොම කතා කරගෙන කරගෙන ගිහින් එකපාරටම මිස් පන්තියට එන්නෙ නැතුව ගියා. ඔහොම සතිගානක් අපි ඉන්නැති ගුරුවරයෙක් නැතුව. අර ගුරුවරයත් ආයෙම පාසැල ඇතුලෙ දකින්න ලැබුනෙ වසර දෙකකට විතර පස්සෙ. දෙන්නව දඬුවම් මාරු යවලය කියල පස්සෙන් පහු කාලෙක තමා දැනගත්තෙ. සමහරවිට අපි ලව් කරන්න ඉගෙන ගන්න ඇත්තෙ ඕව බලාගෙන වෙන්ට ඕනි.


ඒ විෂයට අභාගයසම්පන්න කාලක් උදාවෙන්නෙ ඊට පස්සෙ. අනේ අපිට ආව තව ගුරුවරයෙක්. පන්තියට ආව ගමන් කාට හෝ නැඟිටල පාඩම කියවගෙන යන්න කියනව. කියවනව කියවනව . එපමණයි. සමහර දාට අපි පාඩම් 4,5ක් එක දිගට කියවල. එක පාසැල් වාරයක්ම ඒ ගුරුවරයා පන්තියට ඇවිත් නෑ. අපි ඉතිං ගුරුවරයා එක්ක එන්න කියල යනව පාසැල වටේම රෝන්දෙ.

සමහර විට අපි දැහැමි නොවෙන්න ඇත්තෙත් ඕවා නිසාද කොහෙද.


දෙන්නෙක්ගෙ ලව් කිරිල්ලෙන් අපිට කෙලවුණු තරම තමයි ඒ.


ඔය ලව් දායාදයක් විදියට හමුවුණු ගුරුවරයා වගේම තව ගුරුවරියක් හිටියා. පංතියට එනව.පිටු 400ක පොත බලා ගන්නව කියවගෙන කියවගෙන යනව. ළමයි ලියාගෙන ලියාගෙන යනව.ඊට ලේසි ඒ පොත ෆොටෝකොපි ගහල බෙදුවනම්. එක දවසක් ළමයි ඒ පොතේ පිටු 2ක් ගලවල සඟවලා නිසා ගුරුතුමීට දවසම ඉගැන්වීමක් කරන්න බැරිවුනා. බලා කියවීම කරගන්න විදයක් නෑනෙ.


පාසැල් ප්ල්ස් පුද්ගලික පන්ති ගුරුවරු-


ඔය පාසැලේම උසස් පෙල හදරනකොට මම විද්‍යා විෂයධාරාව තමයි තෝරගත්තෙ. ජීවිතේ කරපු වැරදි තෝරාගැනීමක් විදියට ඒක නොදැනෙනව නෙවෙයි. උසස්පෙල කියන්නෙම පුද්ගලික පන්ති මත යැපීමක්. පාසැලේ ගුරුවරයෙක් වේවා පිටත ගුරුවරයෙක් වේවා අපට ඔවුන් මත යැපීමටම සිදුවෙනවා.සිදුකරනු ලබනවා. ඇයි මම එහෙම කියන්නෙ.


ඔය කාලෙ මම පුද්ගලික පන්තියකට සහභාගීවුනා පාසැලේ ගණිත අංශයට යම් විෂයක් උගන්වපු ගුරුවරයෙක්ගෙ. මාස කිහිපයක් ගියාට එයා කියන කිසි දෙයක් මට තේරුම් ගියෙ නෑ.හරියට කම්පියුටර් හයෙන් තුනක් කැඩුනාම ඉතිරි හතර කෝ වගේ අහන මට්ටමේ තමයි මම හිටියෙ. ඉතිං සල්ලි සහ කාලය දෙකම අපරාදෙ නිසා එයාට ටටා බායි කියල මම වෙන ගුරුවරයෙක් හොයන් ගියා.

ප්ලාස්ටික් කවරයක් ගිලල කක්කි දාපු බල්ලෙක් වගේ සිදුවීමක්ට මුහුණ දෙන්න සිදුවුනේ ඒ හැරයාමත් සමඟමයි.

සෑම දිනකම සපත්තු දෙකේ ලේස් ලා කළු පැහැයක් යැයි කියමින් හෝ මාව උදෑසන රැස්වීමෙන් පස්සෙ නවත්වගන්න පටං ගත්තා. විනය විරෝධීවීම හා පුද්ගලික පන්ති අතර තියෙන්නෙ අනුලෝම සමානුපාතිකයක් බව වටහාගන්න පුළුවන් වුනේ ටික කාලයක පසුව.


ඒ එක් අයෙක්.තව ගුරුවරියක් භාවිතා කලා අපූරු ක්‍රමවේදයක්. කාටවත් පුද්ගලික පන්තියට සහභාගී වෙන්න යැයි කියන්නෙ නැහැ. නමුත් ඇය පාසලේදී විෂය නිර්දේශය මුල සිටත් පුද්ගලික පන්තියේදී විෂය නිර්දේශය අවසානයේ සිට මුලටත් ඉගැන්වීම සිදුකරනව. උසස්පෙල විෂය නිර්දේශය කිසි ලෙසකවත් පාසැල් කාලයේදී අවසන් කරන්න බැරි නිසා පුද්ගලික පන්ති නොයන්නන්ට දෙවියන්ගේ පිහිටම තමයි.


නමුත් අක්කා ඇයගේ දීප්තිමත් ශිෂ්‍යාවක් වීම නිසා මට සමහර අවස්ථාවල විශේෂත්වයක් නොලැබුනාම නොවෙයි.

අකලංක තමුසෙ මේ මොනවද කරන්නෙ .අක්කනම් ඔහොම නෙවෙයි.අක්කට ලැජ්ජා කරන්න එපා වගේ වචන වලින් වගේම , සියල්ලෝම කල වරදකට අනික් සියල්ලන්ම පන්තිකාමරයෙන් එලියේ තැබීමටත් මා පන්තිකාමරයේ තබා ගැනීමෙනුත් ඇය විශේෂත්වයෙන් සැලකූබවට මතකයක් ඇත.


අපි තමයි හොදටම ගැහුවේ -


පරණ යුධ චිත්‍රපටවල කඩුව අමෝරාගෙන දත් විලිස්සාගෙන සතුරාමත කඩා පනින සොල්දාදුවන් ඔබට මතකයැයි සිතමි. එම රූපය මතකයෙ තබාහෙන මෙම වර්ගය කියවන්න.

බැටලුවෙකු දුටු රැප්ටරයෙකු සේ ළමුන් වෙත කඩ පනින ගුරුවරු කල්ලියක් මට මතකයි.

ඒ අය අතර තිබ්බෙ තරඟයක්. ඉගැන්වීමට නෙවෙයි.

මම තමයි හොදටම ගැහුවෙ කියන්න.


ඔය අතරෙ කාන්තාවක් උන්නා.එච්චර උසත් නෑ.කටනම් නිකන් එන්සිනා වගේ. කතා කරන්නෙම ඇඟිල්ල උරුක් කරගෙන. පංතියේ ගැහැණු ළමයෙක්ගෙ ප්‍රේම සම්බන්ධයක් ගැන ලැබුනු ඔත්තුවකට මුළු දවසම අපෙන් ප්‍රශ්ණ කලා මතකයි .හවස කෙල්ලව පන්තියට අරගෙන ආවෙ වත්තං කරගෙන. ඒ තරමට රසට එයාට බුෆේ එකක් දාල දීලා ගුරුවරියගෙ දෑතෙ මහන්සියෙන්.


සුදු උස මහත කෙනා. කට කතාවට කියන්නෙ කලින් මහණදම් පුරපු කෙනෙක් කියල. අන්න ඉතිං ශාන්ත බවේ ප්‍රතිමූර්තියක් තමා. ගැහැණු පිරිමි කියල කිසි වෙනසක් නෑ. හැමෝටම බෙදන්නෙ එකම බුෆේ එකෙන්. එයාගෙ තරම එයා මනින්නෙ ඔරලෝසුවේ පටිය කැඩෙන වාර ගණනෙන්. මටනම් වැඩිය ගහල නෑ.එක දවසක් පයින් ගහල බඩ මිරිකුවා.බඩ කිව්වට මිරිකන්නෙ බුරිය.දවස් කීපයක් යනකං තෙල් ගාන්න වෙන්න.


එකලොස්වෙනි ශ්‍රේණියෙ පන්තිකාමරවල තිබ්බෙ තරමක් උස බිත්ති.අඩි 8ක් නවයක් විතර ඇති. එකලහේ මුල්ම දවසක එහා පන්තිකාමරයට විද්‍යාත්මක විෂයක් උගන්වනව සුදු උස ගුරුවරයෙක්. අපේ පන්තියෙ බජව්ව. අද මම තොපි සියල්ල අනුභව කරමි ලුක් එකෙන් සුදු උස කෙනා ආව. කරුමයේ දිග පළල හයිවේ වලින් කියන්න වෙනව වගේ අනික් උන් සේරම ඉදගෙන මම විතරක් හිටගෙන.


"මෙහෙ වරෙන්" කන් පාත් කරන් මම එලියට ගියාම

රන්ජන් රාමනායක ටෙනිසන් කුරේව උස්සල ගත්තා වගේ මගෙ බෙල්ලෙන් උස්සල බිත්තියට හේත්තුකලා.


"තොපි මොකද කෑගහන්නෙ " " ටෝං ටෝං."


"කවුද පන්ති නායකයා"


"මම සර්" " ටෝං ටෝං ටෝං"


" කෝ බැජ් එක "


" තාම ගත්තෙ නෑ සර් " " ටෝං ටෝං ටෝං ටෝං"


කකුල් බිම වැදුන ගමන් මම කලේ කණිෂ්ඨ කාර්‍යාලයේ මේස ලාච්චුවෙන් බැජ් එකක් අරං ආව එක.

ඒ කාලෙ ඔය බැජ් එකක් රුපියල් 50ක්. ගුටිකන්නයි සල්ලි වියදම් කරන්නයි දෙකක් කරන්න පුලුවන්ද.බෑනෙ.


ඔය රැප්ටර් කල්ලියට පසුකාලීනව එකතුවෙනව තව කෙනෙක්.එයා ගැන මගේ අත්දැකීම මෙහෙමයි.


"කවුද භල්ලො කෑ ගැහුවෙ"


"අපි දන්නෙ නෑ"


"තෝ කොහොමද දන්නෙ නෑ කියන්නෙ" ටෝං ටෝං


"සාදු වැරැද්ද කරපු එකෙක් හොයාගන්න"


" තෝ එනවද මට උඩින් කතාකරන්න " ටෝං ටෝං


මෙයා චීවරදාරියෙක්.වැඩි උසක් නෑ.උඩ පැන ගහන්නෙ රෙස්ලින්කාරයෙක් වගේ. කිසි දවසක හරි වැරැද්දක් සොයා බලන්නෙ නෑ.මුලින්ම කරන්නෙ කනට ගහල ඉන්න එක.

පශ්චාත්භාගය අහිමිවූ කඩියෙක් වගේ හැසිරීම. ඔය එයාගෙයි මගෙයි අත්දැකීමෙ අවසන් ප්‍රතිඵලය වුනෙ ඒ ටෝං ටෝං එකම මම වෙන එකෙක්ට පාස් කරල වැරදිකාරයා හොයාගත්ත එක විතරයි.


ගැහුවෙ නැත්නම් හදන්න බෑය.අපි මෙහෙම ඉන්නෙ ගැහුව නිසාය කියල ටිපර් වලින් වචන බාන අය ඉන්නව. අනේ ඒ ගහලත් මමනම් තාම මෙහෙමම තමා. එක්කො මට ගහල මදි වෙන්න ඇති.


ගිරා පැටව්-


අහවල් පාසල ලොකු පාසැලක් නිසා නිතරම නව පත්වීම් ගුරුවරු එකතුවුනා. සීමා වාසික, පුහුණු කාලසීමා , නොයෙක් ආකාරයේ අය වගේම එහෙම ඇවිත් කොහොල්ලෑවල ඇලිච්ච අයත් ඉන්නව.මේ වර්ගයට අයත් වෙන්නෙ ඒ අය.

මෙයාල නිකන් පතෝල වගේ ඇවිත් උඩ තියෙන වර්ග වලින් එකකට පසුකාලීනව උසස්වීම ලබනව.

ඒ බෞතීස්ම ලබන්නෙ මෙන්න මෙහෙමයි.


පරණ අයගෙ තියෙනව එක එක විදියෙ කල්ලි. අහිංසක ,රැප්ටර් , කෝකටත් නැති, පන්දම් අල්ලන වගේ.

අලුතින් එන කෙනාට උගැන්වීමට සිදුවෙන විශය අනුව ඒ අයට සමීපව ඇසුරු කරන්න වෙන අයගේ අනුගාමීන් බවට මේ අය පත්වෙන්නෙ නිරයාසයෙන්. ඒකෙන් එයාල තමන් අතුපතර විහිදුවාගත් නුග ගහක් වෙන්න හිතුවට වෙන්නෙ පාසැල් මාතාවගෙ සිරුරේ පිළලයක් වෙන එක.

ඇත්තෙන්ම අලුත් අය සුලඟට ගසාගෙන යන ගිරව් පැටව් වගේ.වැටෙන තැන අනුව වැඩෙනව.ඉරණම නෙළුමක් වීමද හෝ බාඳුරාවක් වීමද යන්න කල්ලි විසින් තීරණය කරනව ඇත.


පිස්සො -


මේ වර්ගයේ ඉන්නෙ කිසිම වගකීමක් හෝ පාලනකින් තොර අය.අතට අහුවෙන ඉබ්බෙක්ගෙන් පිස්ටන් එකකින් වගේ දමල ගහන්න දෙවරක් නොසිත අය.ඒ ගැන ඊට වඩා පැහැදිලි කිරීම් හෝ උදාහරණ දීම අවශ්‍ය නැහැ.


මේ සියල්ල මම දැක්ක විඳපු වසර 15කට පෙර පාසැල් ජීවිතේ ඇසුරෙන් කරපු වර්ග කිරීමක්.මේකට ඇතුලත් නොකල තව සිදුවීම් සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නව. ඒක නිසා මේ චරිත තමන්ගේ ගුරු තරුවලට ආදේශකරගෙන සිත් රිදවාගැනීමෙන් වලකින්න. එය මට වගකීමක් ගත නොහැකි කරුණකි.



8 comments:

  1. මෙහෙමයි ගුරුවරු වෙලා එන්නෙත් සාමාන්‍යය සමාජයේම පිරිසනෙ. ඉතින් හැම ගුරුවරයම ගුරුතරුව හා සමයි කියන්න බෑ. අහම්බෙන් ගුරු මරුවෝ වෙච්ච සිද්දීත් පුවත්පත්වල දකින්ට ලැබෙනවා. අපිත් ගුරුවරුන්ගෙන් අනෙක වර ගුටි පූජා ලැබුවා. හැබැයි මට හමුවුන එකඳු ගුරෙක්වත් ඔබට හමුවූ අය තරම් නොවේ හා එය සිහිකරන්නෙ මහත් සතුටින්...

    ReplyDelete
    Replies
    1. වැඩි තරමක් හම්බුනේ ගුරු මරුවො තමා. මරු ගුරුවරුත් කීපයක් නොහිටියම නෙවේ

      Delete
  2. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, හොඳට හිනා වෙවී කියෙව්වා කියන එක. මට මතක ගුරුවරු අතරත්, ඔය කියන ජාතියෙ සමහරු හිටියා.

    සාම්ප්‍රධායික ගුරුවරු අතර, අපේ සිතුම්, පැතු තේරුම් ගත්ත, අලුතින් කැම්පස් එකෙන් ආපු, නිහතමානි ගුරුතුමෙකුත් හිටියා. එයාව කල්ලි වලට අහු වෙන්නෙ තරම් කාළයක් නැති නිසාද කොහෙද, ඔහු අපේ ආදරය දිනා ගත්තා. අද හිතලා බලනකොට, අනෙක් ගුරුවරු ගැන වුනත් අකමැත්තක් නෑ. ඒ කාළෙ හැටියට, ඒ කාළෙ සමාජ සම්ම්මත හැටියට, ඔවුන් වැඩ කරන්න ඇති. අපිත් ඉතිං ආදර්ශමත් සිසුන් කියල කියන්නත් බෑ නෙව?

    ReplyDelete
    Replies
    1. ගුරු මරුවො නිසා අපිට ආදර්ශමත් සිසුන් වෙන්න බැරි උනා වෙන්න බැරිද..😉😉😉😉😉

      Delete
  3. මට හම්බෙච්ච අය අතරත් ඔය සෙට් වලට ළගිං යන අය හිටියත් ඔය තරං අවුල් අය හිටියෙ නෑ. 😂😂😂
    අනික ඔය ඒ කාලෙ කියං එනව නේ... ගහන්ඩෝන හොම්බ කටෙං බහින්ඩ. උං ආතල් එකක් ගත්තෙම නෑ. පොතේ එල්ලිල කේලම දාං හිටිය මිසක්.
    දැං එනව ආතල් නේ මචං ඒ කාාල කියං. කෙලින්ඩ හිතෙනව දුං විසිවෙන්න

    ReplyDelete
    Replies
    1. ඔය කේලම් කියන උන් නිසා තම අනික් උන්ට ගුරුවරුන්ව එපා වෙන්නෙ

      Delete
  4. කොහොම කලත් හිතේ රැඳෙන මතක ඉතිරි කලේ අහිංසක ගුරුවරුන්ට වඩා අපිව බාගෙට මරවපු අයම තමයි! ටොං! ටොං!! ටොං!!!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට වැඩියෙන්ම මතක හිටින්නෙ රිදුන තැන්

      Delete