පුස්තකාල සහ තං කේක් -
කියවීම පුදුම පුරුද්දක් වෙලා තිබ්බ ළමාකාලයක් පහුකරගෙන ඇවිත් කියවන්න වෙලාවක් නෑනෙ කියා හිත හදාගන්න උත්සහකරන කාලයක් මේක. අද වගේ නෙවෙයි හැම එකටම ශොපින් කවර දුන්නෙ නෑ කඩවලින්.පාන් රාත්තලම වුනත් දෙන්නෙ අතින් අල්ලන් යන හරිය වහගෙන යන්න පුලුවන් වෙන තරමෙ පත්තර කොලේක. කරවල, පරිප්පු , සීනි එකී මෙකී නොකී හැම උලව්වක්ම ඔතල දුන්නෙ පත්තරේ. ඒ වයසෙදි මං ඔය හැම එකම ඔතල ගේන පත්තර කෑලි කියවනව. ඔය අතර එක කඩයක් තිබ්බා ඒකෙ තියෙන්නෙ අරාබි පත්තර. ඒවාගෙ කියවන්න දේවල් නැත්වුනාට බලන්න තිබ්බ විවිධාකාර වාහන. කරවල ඔතන පත්තරේ කියල අදාල නෑ වාහනේ කපල අලවනව බිත්තියෙ.
අපේ මාමා එහෙම නැත්නම් අම්මගෙ අයියගෙ තිබ්බ හොද පොත් එකතුවක්. හැබැයි කවදාවත් ගෙනියන්න දෙන්නෙ නෑ ගෙදර ඉදන් කියවල තියල යන්න ඕනි. නොකා නොබී අතට ගත්ත පොත කියවල ඉවර කරන පුරුද්ද එන්නත් ඒක හේතුවක් වෙන්න ඕනි. ඒක ඇත්තටම පුද්ගලික පුස්තකාලයක්. පුංචි කතන්දර පොතේ ඉදන් වෛද්ය විද්යාව දක්වා පොත් තිබුනා.ඔය පොත් රාක්කෙ පොත් පෙරලෙනවට හේත්තු කරල තිබ්බෙ මිනී ඔළුවක්.ආයෙ ඉතිං හොරෙන් පොත් ගන්න කිසි කෙනෙක් රිංගන්නෙ නෑ කාමරේට. ඕනි පොත කියල එලියට ගෙන්න ගන්නව. නැත්නම් එයා එක්කම ගිහින් තෝරගන්නව. දවසක මගෙ ගෙදරකත් මේ වගේ පුස්තකාලයක් හදාගන්න ඕනෑය කියන හැඟීම ආවෙ එතනින්.
ප්රාථමික අංශයේ ඉගනීම ලබපු පාසැලේනම් පුස්තකාලයක් තිබුණාදෝයි හරියට නිච්චියක් නෑ. එක කාමරයක පොත් පුරවපු කබඩ් කීපයක් තිබ්බ බවනම් මතකයක් තියෙනව.
කොල්ලා ශිෂ්යත්වය එහෙම යාන්තම් වැට උඩින් පාස් වෙලා ගියානෙ නගරෙ පාසැලකට. ඒකෙ පුස්තකාල දෙකක් තිබුණා. එකක් බැහැර දෙන පුස්තකාලය. අනික් එකට මොකක්ද කිව්ව නම කියල මතකයක් නෑ. ගොඩනැගිල්ලෙ මැදට වෙන්න විශාල මේස දාල තිබ්බ ඉදගෙන කියවන්න. ඒවා වටේට විවිධාකාර පොත් පිරිලා හිටියා දොර දෙපැත්තෙ අහිංසක මිස් කෙනෙක් සහ සැර ජාතියෙ මිස් කෙනෙක් උන්නා අන්න ඒක තමා බැහැර දෙන පුස්තකාලය. මුලින්ම ඕකට ගියාම ඉතිං දිව්යලෝකය මිහිපිටට ගෙනාවේ කවුදැයි වගේ සිතිවිල්ලක් ආවට අපෙ කටවල් ටිකක් සද්ද වැඩි වුනා කියල බනිනව ඇහුණාම තේරුණා මිහිපිට අපායකුත් එතන නොතිබ්බාම නෙවෙයි කියල.
සතියකට වතාවක් සිංහල පරිච්ඡේදයෙන් කොටසක් වෙන් කරල තිබ්බෙ පුස්තකාලයට ගිහින් අපිට රිසිසේ කැමති පොතක් තෝරගෙන එන්න. රිසිසේ කිව්වට සමහර කබඩ් වලින් පොත් ගන්න අර මිස්ලට වඳින්න ඕනි. කාලයක් යනකොට දොරෙන් ඇතුලට යද්දි කියන්නෙ ඔය නවකතා පරිවර්තන පොත් ගන්න එපා. ඉගෙන ගන්න දෙයක් තියෙන පොතක් ගන්න. එවෙලෙට තමා හිතෙන්නෙ කෝ යකෝ මානව නිදහස කියල. විෂයපථයට අදාල පොත් කෙසේ වෙතත් නවකතා පරිවර්තන ටිකනම් සේරම කියවන්න ඇති. ඕකට මට සෙට් උනා පන්තිය උන්න සිරාම පොරක්. ඌට කිව්වෙත් " සිරා " කියලමයි. මටත් වැඩා කියවීම ප්රගුණ කරපු මනුස්සයා. ගුරුවරයෙක් පන්තියෙ උගන්වනකොට පවා මේ මනුස්සය පොත් කියවනව. ඔහොම කියවල සතියට ගන්න පොත දවස් 3න් කියවල අපි දෙන්න පොත් දෙක මාරු කරගන්නව.
පුස්තකාලයට යන්න වෙලාවක් කලාවක් ඕනි උනේ නෑ මුලිනම්. පහුවෙනකොට ඇයි දැන් ආවෙ මොනවද තියෙන්නෙ ගුරුවරු නැද්ද නානප්රකාර ප්රශ්ණ. අපි අපිම කරපු හොර මාට්ටුවෙලා වෙන්නත් ඇති. මොකද දෙමල උගන්වපු ගුරුවරී මගෙ මූණ දැකලම නෑ. හැමදාම එයාගෙ කාලය මම ඉන්නෙ පුස්තකාලෙ. පීරියඩ් කට් කරගන්න විතරක් නෙවෙයි ගෑනු ළමයිට බැල්ම දාන්නත් ඔය පුස්තකාලය හොද තැනක්. ඔය කාලෙ මම බැල්ම දාපු ගෑනු දැරිවි උන්නෙ මට පහල පන්තියෙ. ඒ දැරිවිගෙ පන්තිය පුස්තකාලයට යනකං ඉදල මං යාලුවෙක් ඇදගෙන යනව ඔතෙනට. ගිහින් පොඩියට ඉඟිබිඟිපාල අහම්බෙන් වගේ ඇඟේ එහෙම හැප්පිලා එනව. එලියෙදි දැක්කාම වගේ මාව මඟහැරලා දුවන්න කියලයැ පුස්තකාලය ඇතුලෙදි.
බැහැර දෙන පුස්තකාලයට අමතරව තිබුණ පුස්තකාලයේ තිබුනෙ ඉතා වටිනා පොත් වෙන්න ඕනි.ඒකෙ හැම කබඩ් එකක්ම අඟුලුලා තිබ්බ නිසා පොතක් ගන්න විශේෂ අවසරයක් ඕනි වෙන්න ඇති. ඒ ගැන හරියට නොදන්නෙ කවදාවත් ඒකෙන් පොත් අරගෙන නැති නිසා. ඒ පුස්තකාලයේම පසෙක දොරකින් ඇතුල් වුනාම තියෙනව ලොකු කාමරයක්. මේස පුටු දාල පාඩම් කරන්න පුලුවන් වෙන්න හදපු. උසස්පෙල විභාගයට ඔන්න මෙන්නය මාස කීපයක්ය පාසැල් එන්න ඕනෑ නැතය කියල තියෙනකොට හද පත්ලෙන් නැඟී ආ ප්රේමණීය හැඟුමන් නිසා පාසැල් ගියාම දවස ගතකලේ ඔතන. ගුරුවරුන්ගෙ ඇස ගැටෙන්නෙ නැතුව හොරාට හොරාට කෝල වදන් මුමුණ ගන්න පුලුවන් වෙන නිසා ඔතෙනට ගියා මිසක පාඩම් කරන්න ගිය ගමනක්නම් නෙවෙයි. ඒකත් අර පෙර කිව්ව ගෑනු දරුවා එක්කම තමයි ඕං.
පාසැල් කාලයෙන් පස්සෙ පාඩම් කරන්න ඕනෑය කියල ගියෙ නගරයේ මහජන පුස්තකාලයට. ඒක ඇත්තටම පාඩම් කරන්න හොදම තැනක්. ඕකෙ සීට් එකක් අල්ලගන්නව කියන්නෙ ගෑනියෙක්ගෙන් බැනුම් නාහන පිරිමියෙක් හොයාගන්නව වගේ අමාරු වැඩක්. එහෙම දවසට පාඩම් කිරීම බස් නැවතුම්පලේ බාට ගෙවෙනකම් ඉහල පහල ඇවිදිමින්.
පාසැල් පුස්තකාලෙ තිබුණ පොත් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නම ඕනි. ජීවිතේ පලමු වතාවට කොමික් පොත් කියෙව්වෙ ( කියෙව්වම නෙවෙයි රූප බැලුවා) ඔතනදි. ටිං ටිං ගේ කතාමාලාවම ඔතන තිබුනා. ඒ වයසෙ අපිට ඒක නිකන් හතරමහ නිධානය වගේ තමයි. හද්ද ඩොටේ ගමකින් ඇවිත් කොමික් පොතක් බලනව කියන්නෙම ඉතිං. කේජී කරුණාතිලක මහත්තයගෙ බොහෝ පරිවර්තන කෘති කියවන්නත් අවස්තාව උදාවුනෙත් ඔතනදි.
ඔය අතර පොත් කීපයක් තිබුනා කවදාවත් අපි පුස්තකාලයෙන් එලියට අරං නොගිය සහ ගෙනිටන්න බයවුණ. අරං නොගියේ පුස්තකාලාධිපතිනිය ඒ පොත් කියවලා තිබුණානම් අපිට ආයෙ එයාගෙ මූණ බලන්න එන්නවත් තහනම් වෙනබව දන්න නිසා. අන්න ඒ පොත් අපි ඉඩ ලැබෙන හැම වෙලාවෙම ගිහින් කියවනව. කියවල ඉවර කරන්න බැරිවෙන නිසා වෙනම පොත් රාක්කයක හංගනවා වෙන කෙනෙක් ගනීය සහ පහුවදාට කියවන්න ලැබෙන්නෙ නැති වේවිය කියන බිය නිසා. අට නවය වසරේ හිරිමල් කාලෙ ගෙවන අපිට අමුම අමු ශෘංගාරාත්මක පොතක් කියවන්න ලැබෙනව කියන්නෙ ඉතිරිය ගැන මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
" ඇය ඇදුම් ගලවා පියයුරු වල පියරු ගල්වන අයුරු බලා සිටියෙමි " වගේ අදහසක් තියෙන කොටසක් තිබුණා කියල මතකයි. "විහඟ ගීතය " ඕක තමයි පොත.ඔය මතක් කලේ ඒකෙ තිබ්බ ඉතා සරල කොටසක් පමණයි. පහුවෙනකොට පොත පුස්තකාලයෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. සමහරවිට අරන් ගිය කෙනෙක් ගෙනත් දෙන්න නැතිව ඇති. නැත්නම් ගුරුවරියක් ඒක ඉවත් කරන්න ඇති.
හය වසරේ සිට උසස්පෙල දක්වා ලමුන් දෙදහසකට වඩා ඉගෙනුම ලබන මිශ්ර පාසලක පුස්තකාලයකට පවා නිර්දේශ කරන්න පුලුවන් මට්ටමේ ශෘංගාරායක් තිබුන ඔය පොත ඇසුරු කරපු මට පෙර ලිපියක් ගැන කෙනෙක් කියනව මෙහෙම කතාවක්.
" තං උරපුවා ලියන්න උඹට ලැජ්ජා නැද්ද "
ලංකාවේ ඉතා ශ්රේෂ්ඨ ගත්කතුවරුන් ශෘංගාරාත්මක දේවල් ලියනකොට අවුලක් නැති "මම ඇගේ පියයුරු සිපගතිමි " කිව්වාම පරල වෙනව. ඔය වෙලාවට තමා ඉත්තුල් බහින්න දෙන්න හිතෙන්නෙ.
ඔය කතාව කීවා කෙනා පහුවදා එයාගෙ ස්ටෝරි අප්ඩේට් කරල තිබ්බ හරිම ලස්සන කේක් දෙකක්. මෆින්ද කප් කේක්ද මොනාද කියන්නෙ අන්න ඒවා. සුදුපාටන් අයිසින් තවරල ඒ මැදින් ඉලිප්පිලා සිටින විදියට දුඹුරු පාට ස්මාර්ටීස් එකක් තියල. ඔය දෙක දැක්ක වෙලේ ඉදං මගෙ අත නලියනව. හිත මිරිකපං කියනව.
සමහරවිට එයා කිව්ව වගේ මගෙ නරක ගතිගුණ නිසා වෙන්න ඇති.
ගොහිං එංඤං.
©මුදියන්සෙ මලයා


No comments:
Post a Comment