Monday, July 8, 2019

ගහක මල් පිපිලා


"ගහක මල් පිපිලා "
රේඩියෝ එකේ ඒ සින්දුව ගිහින් ඉවර උනත් මගෙ ඔලුව ඇතුලෙ ඇහෙන්නම ඒක.......
ඇයි ද මංදා හැමදාම ඕක ඇහුනාම මට මතක් වෙන්නෙ කහපාටට මල් පොකුරු පිරුණු ඇහැල ගහක්.පොද වැස්සක්.අර මල් පොකුරු තෙමාගෙන පහලට බේරෙන වතුර බිංදු.....

"පුතේ ඔයාව තෙමෙනව" ඔය වීදුරුව වහගන්න.ඒ එහා පැත්තෙ ඉදන් ඉන්න ආච්චිගෙ කටහඩ.ඒ කටහඩ එක්ක අතට දැනුන සීතල තට්ටු කිරීම නිසයි මං කල්පනා ලෝකෙන් මිදුණෙ..
ජීවිතේ මං අකමැතිම දේ කල්පනාව බිදින එක.

වැහි පොද ... සීතල සුළග... ගහක මල් පිපිලා සින්දුව...
ආච්චි....ආච්චි..
ආච්චි ආයෙම මාව තල්ලු කලේ තවත් මනෝලෝකයකට....
සරාගෙ ආච්චිත් මේ වගේ..හරිම ප්‍රියමනාපයි..

සරාගෙ ඇගිල්ලට මං මුදුව දානකොට ආච්චි කිව්ව වචන..

"පුතේ මේකිට උන්නෙ මං විතරයි.අදින් පස්සෙ උඹ විතරයි."

හැමදාම මොනදේ කලත් ඔය වචන ඔලුවට අකුණක් වගේ ඇවිත් යනව.දැන් මේක හරිම වදයක්.....
දැන් නෙවෙයි මට එදා ඉදන්ම වදයක්.... මට ඒ ටික දැනුනෙම ඔලුව උඩින් ටොන් එකක බරක් අතෑරියා වගේ...
දාපු මුද්ද ගලවල ගන්න ඒ වෙලේම නොහිතුනා නොවුනත් ඒක කරගන්න බැරි උනේ ඒ අහිංසක ඇස් ගැන තිබ්බ අනුකම්පාව නිසා... එක්කො සේරම නෑදෑයො ඉස්සරහ මට අම්මලට ලැජ්ජා කරන්න තරම් හයියක් නොතිබ්බ නිසා..

එදා ඉදන් දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඇවිත්.. සරා මගෙ කසාද ගෑනී.. නෑ ... ඇත්තටම ඒ ගෙදර ගෑනි...
සියුමැලි කටහඩ, සියුමැලි වචන , වෙලාවකට නම් අදහසුත් සියුමැලී තමයි...වැඩත් සියුමැලී...
වයස් පරතරේ වැඩි උනාම ඔහොම දැනෙනව කියල හිත එතන තියාගන්න උපදෙස් දුන්න උන් ඕනි තරම්...
මගෙ හිත කියන්නෙ මගෙ දෙයක් ඒක කොහොමද කවුරුවත් කියන පාරවල යන්නෙ...

"උඹේ හිත හැමදාම යන්නෙ ආයාලෙමයි සහෝදරයා..."
බෝතලයක අඩිය දකින හැම වෙලාවෙම මගෙ හිත මටම කියාගන්න පුරුදු වෙලා උන්න වචන...

ආච්චි...සරා.. වැස්ස... වැහි තුවානමට තෙත් වෙලා සීතල වුණ පරණ මතක...
වෙලාව 5.30යි උදේ ගෙදරින් එලියට ඇවිත් ඕෆ් කරගත්ත ෆෝන් එක... තාමත ඕෆ්.... මං ඉස්සර මෙහෙම ඉදල නෑ....
ෆෝන් එක ඕෆ් කරන් තනියම තනිවෙන්න හදල නෑ..
එතකොට මේ ඉන්නෙ මම නෙවෙයිද..??..
ඔෆීස් එකේ හරියට වැඩක් කලාද...ඒ ගැන හරි මතකයක් නෑ...
එතකොට මං මේ ඉන්න බස් එක...කොට්ටාව .....
කොට්ටාවට මං යන්නෙ මොකටද... එහෙ ගියෙ මීට අවුරුදු 2,3කට කලින්... මං මේ යන්නෙ අතීතයට යන ගමනක්ද??...
හවස ඕෆ් උනාට පස්සෙ මං රශ්මිව බෝඩිමට දාන්න ගිය බස් එක...
මගෙ කසාදෙන් පස්සෙ රශ්මි ඔෆීස් එකෙන් අස්වෙලා ගියා...රටත් දාල ගියා..
මං යන්නෙ ඒ මතක පස්සෙද....

සරා මාව රවට්ටන්න බොරු කිව්වද ?.ඇත්තටම මං තාත්ත කෙනෙක් වෙන්න යනවද... සරා කවදාවත් බොරු කියන ගෑනියෙක් නෙවෙයි.... ඒ මූනෙ තිබ්බ හිනාවෙ හැටියට බොරුවක් වෙන්නම බෑ...
ඒ වචන වලට මං මෙච්චර පිස්සෙක් වගේ හැසිරෙන්න ඕනිද??
තාත්ත කෙනෙක් වෙන්න යනවනම් ඇයි මට මෙහම පාලුවක් තනිකමක් දැන්නෙ...??

ෆෝන් එක ඔන් කලේ මං නොවන මමමයි...හිතලා කලා නෙවෙයි ඔන් උනා..
බීප්..බීප්... මැසේජ් 2ක්.මිස්කෝල් ඇලට් 1ක්... දවසම ඕෆ් කරන් ඉදලත් මැසේජ් 2ද..
මිස්කෝල් එක සරාගෙන්..දවල්ට කෑවද අහන්න ගත්ත සුපුරුදු කෝල් එක...ඒක එයාගෙ දින චරියාවෙ කොටසක්..එයා කොහෙ උන්නත් ඒ කෝල් එක වෙලාවට එනවමයි.. ඒ ගෑනිට පිස්සු..

මැසේජ් එක...ඕපන් කරනවද...
මං මේ මැසේජ් වලට බයේ ෆෝන් එක ඕෆ් කරගෙන උන්නා නෙවෙයිද...
මට අනවශ්‍යය බැදීම ඕනි නෑ කියල හිත තද කරගන්න උත්සහ කලාද ... ඔව් ... එහෙම තමයි...

ඒත් මං ... මාව ගිලගන්න හදන ඒ ඇස්... ඒ පහස...
ඒ ඇස් වල තියෙන ජවය සරාගෙ අහිංසක ඇස් වල නෑ..සරාගෙ ඇස්වල හැමදාම තිබ්බෙ බලාපොරොත්තු .. මාව එයා ලග විතරක් නතර කරගන්න අධිෂ්ඨානයක්...

ඒ ඇස් කොයිතරම් මගෙ ඇස් වලට බැදිලද... ඒ ජවය... මාව කුල්මත් කරන්න පුලුවන් වුන ඒ උණුසුම ....

"මිනිහො කොහෙද ඉන්නෙ,ඊයෙ රෑ ඉදන් තාම පැලෙනවද?"

ඒ ඇස් ලොකු වෙලා... මැසේජ් එකේ අකුරු අස්සෙන් එබීගෙන ඉන්නව... රිප්ලයි නොකරම ෆෝන් එක සාක්කුවෙ ඔබාගත්ත මම ආයෙම කල්පනා ලෝකෙ....

ඉස්සර මම මෙහෙම නෑ...
රශ්මි කියන්නෙම... ඔයාව ලබන්න මං පිං කරල තියෙන්න ඕනි කියල...බැන්ද දවසට ඔයා මාව බබෙක් වගේ බලාගනී...
ඇත්තටම මං ඒකාලෙ රශ්මිට මගෙ ඇතුලෙ ඉන්න සතාව නොපෙන්නා උන්නද ?? එහෙම නැත්නම මං සතෙක් උනේ මේ අකමැති වෙන්න බැරිකමට උන කසාදෙන්ද ??...

          ඩන්හිල් එකක.. සීතලට දැනෙන දුම් ගුලියකට උගුර හිර කලා වගේ දැන්නෙ...
රශ්මිගෙ මතකයන්... හැමවෙලේම පපුව හිර කරවනව...
සිගරට් දුම පිරුණු කාමරේ... දුමට ඇස්වල කදුලු පුරවගෙන තුරුල් වෙලා ඉන්න රශ්මි...
පත්තු කරපු සිගරට් එක පිච්චිලා ඉවර වෙනකන් තොල් සිපගත්ත රශ්මි....

ආයෙමත් මනෝලෝකයකට බාදාව.... සරා....රශ්මිව මගෙන් ඈත් කරවපු බාධකය..

"මහත්තයා...ඔයා එනගමන් නේද ?..රෑට කැමට මොනවද හදන්නෙ.."
"මම එන්න රෑ වෙනව කන දෙයක් කාල නිදාගන්නව වදයක් නොවී"

මං කිව්ව නෙවෙයි කියවුණා...සරාට කියන්න වචනයක්වත් ඉතුරු නොකර මං කෝල් කට් කලා..

"මම එනව බබා...රෑට කෑම අරං එන්නම් " 

අර ඇස් වලට රිප්ලයි කලා..
සීතල වැහිපොද කොච්චර වැටුනත් අර ඇහල මල් ඉන්නෙ පාලුවෙන්...
ජීවිතේට පාලුව දැනුනාම අපේ හිත් මල පෙරේත වෙනව.... අපිට දැනෙනම දේවල් වෙනුවෙන්....
©මුදියන්සෙ මලයා



No comments:

Post a Comment