Friday, July 3, 2020

සී තාත්තා


සූර්යග්‍රහණය අද වෙනකොට මට මතක්වුනා අතීත කතාවක්.ඔය ග්‍රහණයට අදාලවෙච්චි කතාවක් මේක.අපේ පරම්පරාවෙ වරුණෙ කියවනව කියල නොහිතා උඹල නොදන්න එව්ව දැනුමට එක්කරගන්න එකයි ඇත්තෙ ඕං.
මේක අපේ අම්මගෙ සීයාගෙ කතාවක්.ඒ කියන්නෙ අම්මගෙ තාත්තගෙ තාත්තා..පරම්පරික දේවාල කපුමහත්තුරු.. හොදම වැඩ්ඩො..අඩි හතක් විතර උහයි.දන ලගට දිග කොන්ඩෙ.පපු මැදට දිග රැවුල..සුදට සුදේ බැබැලෙනව ඕං ශරීරෙයි කොන්ඩෙ රැවුලයි වෙන් කරං අදුරගන්න බැරි මට්ටමට..
දැන් උඹල හිතන්නෙ මම කෝමද ඕව දන්නෙ කියලද.16x24 රාමු කරපු වර්ණ පින්තූරයක් තියෙනව ඕං අපේ ගෙදර.ඕනිනම් ඇවිත් බලාකියාගෙන වැද පුදාගෙන යන එකයි ඇත්තෙ.
මේ කතාව මගෙ කනේ තිබ්බෙ අපෙ සීයා.උන්නැහෙත් හයේ හතරෙ ප්‍රමාණෙ මනුස්සය වෙච්චි.වල් ඌරෙක් උනත් කකුල් කෙටියෙන් අල්ල පොලොවෙ ගහන්න හයිය තිබ්බ.තිබ්බ නෙවෙයි මම දෑහින් දැක්ක. වත්ත පහල මයියොක්ක කොරටුවේ සුදුම සුදු දඩ වල් ඌරු නාම්බෙක්ට ගැහුවා පයින් පාරක් ඌ කෙලින්ම ගිහින් වැටුනෙ ආච්චි කොහිල දළු කප කපා උන්න පිහිය උඩට.බෙල්ල කැපිලා වෙන් උනා.ආච්ච් ඌව එහෙමම උයල ගත්තා.කොහිල දළු දාල වල් ඌරු මස් හරි රසයි උයල කාල බලහල්ල.
කපුමහත්තුරු සූකරමස් බුදිනව ඇහුවාම අපුලයි වගේද.ඒ කන්න නාක කලු පාට ඌරො.අපේ සීයල කෑවෙ සුදුම සුදු පාට උන්ව.විශ්වාස නැත්නම් ඇවිත් බලහල්ල අපේ ගෙදර කනප්පුව හදල තියෙන්නෙ සුදුම සුදු ඌරු දල හතරක් කකුල් වලට හිටවල.
සීයගෙ කතා කියල වැඩක් නෑ මෙතන.සීය වැඩ්ඩ උනාට සී තාත්තා ඊට වඩා වැඩ්ඩ.හිතාං අපි කොයි තරං තේජස් පරම්පරාවක්ද කියල.ඉංග්‍රීසින්ට මේ රට එපා වෙලා දාල යන්ට ගුරුකමක් කරල තියෙන්නෙත් අපේ සී තාත්තා.උඹල උනත් ඕම නිදහසේ ඉන්නෙ ඒ උත්තමය පිං සිද්ධ වෙන්න කියන එක හිතේ හටහං කරගනිල්ල.ඕවා කියන්නෙ මම තෑගි බෝග තානාන්තර බලාගෙනවත් නෙවෙයි.පත පොතේ නැති දේවල් බොලාල දැනගන්න ඕනි නිසා.
වරුණෙ වැඩක් නැතුවා..කියන්ට ආව කතාව මෙන්න මේකයි ආයිබොවන්ඩ..
සී තාත්තා ශරීර ශක්තියෙන් විතරක් නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර වලිනුත් හරි හරියට වැඩ පෙන්නපු මනුස්සය වෙච්චි.එතුමා ගමේ රටේ මිනිස්සුන්ගෙ සුව පහසුව ගැන හොදටෝම වදවුන හිත හොද උත්තමයෙක්.නියං කාලෙට වතුර ඕනි බෝග වලට විතරක් වැස්ස වස්සල බෝග රැකගන්න උන්නාසෙ හරි හරියට උනන්දු වෙලා තියෙනව.හරක්ට මහන්සි වුනාම යක්කු බන්දල සී සාලත් තියෙනව කියනවනෙ.. සමහර යක්කුන්ගෙ නම්ගම් නම් දැන් මතක නැතුවා.. උන්ට වසන්ට ගේ අයිනෙන් වෙනම පැල්කොටයක් පවා හදල තිබ්බය කියනව.ඔය ඉසව්වෙ පස් කන්ඩියක තිබිලා රං කෙන්දෙන් හදපු මංචු කුට්ටමක් වගේ එකක් මට ලැබුණනා..සීයා කියන්නෙ යක්කු බාන ඈදුවෙ ඒ රං කෙන්දෙන් බැලදලු.ඒ බැදල පිරිත් වතුර වක්කරනවලු බලය ශක්තිය සමෝසම වෙන්ටය කියල..
පුරාජේරු කියවනව කියල හිතන්ට එපා..ගුණ කන්දක්ම තියෙන නිසා එහෙන් මෙහෙන් ගලාගෙන එන එක නතර කරන්ට බැරුවා.
සුද්දව රටින් පන්න ගන්ට කල්‍ යල් බල බලා උන්න සන්දියෙ ඉර මේ වගේම වහංවෙලා..විනාඩියකට දෙකකට නෙවෙයි හත් දොහක්ම ගන අන්ධකාරෙ තිබුණය කියන්නෙ.චන්ද්‍රයගෙත් ආලෝකයක් තිබිලා නෑය කියනවනෙ.ඉරේ එලිය නැතුව කෝමෙයි චන්ද්‍රයා දිලිහෙන්නෙ. කෑලි කපන කලුවරේ රටේම මිනිස්සු බතක් බුලතක් සප්පායං වීගන්නවත් නැතුව හරිම අපහසුවෙන්ලු කාලය ගතකොලේ..හුළු අත්තකට ගිනි මැලයකට හැකියැ දවස තිස්සෙම එලිය දෙන්ට.
අනික එච්චර කොරන්ට කොහෙ තියෙන දරද..
සී තාත්ත ඕක ගැනත් කම්පනාකරමින් ඉන්නවලු..හිතේ නෑලු කිසිම සන්තෝසයක්.එක අතකින් පර සුද්දො එලව ගන්ට ඕනිය, මේ ගණ අදුරය මිනිස්සුන්ට කන්ට බොන්ට විදියක් නෑය.රටේම ප්‍රශ්ණ ඉතින් එයැයි එපැයි විසදන්ට.
ගිනි මැලය ලගට වෙලා කල්පනාකරනව දැකල ඔතැන්ට ඇවිත් තියෙනව ඕං අර යක්ස සේවකයො පිරිස.මුලින්ම මේ අදුරට පිලියමක් හොයමුය කියල පිරිසම ගිනි මැලේ වට කරගෙන සාකච්ඡාවලු.
යක්කු කියල තියෙනව හද එහාට තල්ලු කරල එලිය අරං දෙන්නංය කියල.සී තාත්තා ඕකට කැමති වෙලා නෑ..ඉරයි හදයි ආදරෙන් වෙලිලා ඉන්නැද්දි අවම බලය යෙදීම යුතු නෑය කියල.
ඔය කතිකාව කරගෙන යනකොට එක් යකෙක් හිසකෙසක් ඇදල අරං ගිනි මැලේට විසි කරපි. මෙන්න මේක රං කෙන්දක් වගේ දිලිහෙන්ට පටං අරං..පොඩි ඉරක් පෑව්ව වගේ එලියක් ඇවිත්. සී තාත්ත ඕක දිහෑ බලං ඉදල සී ආච්චිට කියල තියෙනව හෝර්ලික්ස් බෝතලේ ගේන්ටය කියල..ඒ කාලෙ හෝර්ලික්ස් ආවය කියන්නෙ වීදුරු රවුම් බෝතල් වලලු.සී තාත්තා අර ඇවිලුනු හිසකේ බෝතලේ ඇතුලට දාල කටින් හුලං ටිකක් පිඹල මූඩිය තදකරල වැහුවලු.දැන් ඔන්න අර අලෝකය යන යන තැනක අරං යන්ට හැකිලු. සීයා තනියම එලියෙ ඉන්නෙ මොකටදැයි හිතලා පරම්පරාවම භාවිතා කලාය කියන හෝර්ලික්ස් බෝතල් කන්දක්ම ගිනි හිසකෙස් බෝතල් කලාය කියනව.රට වටේම මිනිස්සු ඒ හත්දොහම එලිය අරං තියෙන්නෙ ගිනි බෝතලෙන්ය කියනවනෙ.
පහුකාලෙ ඕක බලං ගිහින් බල්බ් එක හදල තියෙන්නෙ සුද්දො.උන්ට ගිනි කෙස් තිබ්බයැ ඔව්ව හදන්න.උන් ඉතින් හරිම දුක් විදල තියෙනව කෙස් ගහ පත්තු කරගන්ට..අන්න එහෙමයි අපේ පරපුරේ උතුමේ රටට සේවය කරල තියෙන්නෙ...
ඔය කතා අහල මාත් ඇහුවා සීයාගෙන් ඇයි සීයෙ රටේ ප්‍රශ්න විසදගන්න සීයට උදව් කරන්න පුළුවන්කම තියාගෙන නොකර ඉන්නෙය කියල.එතකොට සීයා කියපි පොඩි පුතේ මේ රටට අපිම ඔය සේරම කොලාම අපි මේ රටේ නොනිල පාලකයො වෙනවය රටේ පහු පරම්පරා නිකන් කන්ට බොන්ට හුරුවෙලා නිකම්මු වෙනවය කියල..
අන්න ඒමයි බලයට උනත් කෑදර නැති රත්තරං මිනිස්සු...
ගොහිං එඤඤං...


©මුදියන්සෙ මලයා




2 comments: