Tuesday, February 22, 2022

ජීවිතය

ජීවිතය --




දෙයියො දොරකඩටම ගෙනත් දෙනව කියන එක මේ කාලෙ කිව්වා ඇඟට ගොඩ වෙන්න හිතෙනවද? . එහෙනම් කපුටාස් හිට්ද බකට් තමා යාලු. මේ දවස්වල මම ඉන්නෙ ස්වයං නිරෝධායනයෙ. ඒ කියන්නෙ කට පරිස්සම් කරගෙන ගෙදර මිනිස්සු එහෙ මෙහෙ වෙනකං ඉදල ඇල්වතුර ටිකක් නාගෙන චිල් එකේ ඉන්නෙ. අතරින් පතර තදට කහිනව තමා ඉතිං. ආයෙ මේ ලෝකෙ කැස්ස එකම මිනිහා මම විතරයැ. කැස්සෙන් බහුවරණ ප්‍රශ්න වලට උත්‍තරත් ලියපු මිනිස්සු අපි.

පොහොය පහුවෙලා දවස් 3ක් වුනාට අද මුලු අහසටම කළු වලාකුළු අරක්ගෙන ඉන්නෙ හරියටම තුනේ දෙකේ ලේලන්ඩ් බස් එකක් මැද හිටගෙන ඉන්න අඩිය අඟලට තලන්න ඇහැකි සයිස් එකේ ඇන්ටි කෙනෙක් වගේ. අහසෙ කිසිම තරුවක් පේන්න නෑ. විනාඩි කීපෙකට වතාවක් ඔය කලු අහස එලිය කරගෙන පොලවට ඉරි කෑලි ඇදෙනව . හරියට ක්‍රශ් එකේ සුලැගිල්ලක් මගෙ අතේ වැරදීමකින් වැදුනාම වගේ. ඒ එක්කම සීතලත් එක්ක යන්තම් සුලඟක් ඇවිත් යනවා ඉටිපන්දම් දැල්ල සල්සා නැටුමක කාන්තාවකගෙ ලාලිත්‍ය ඇස් ඉදිරියේ මවනව. එන්න ප්‍රේමණීය ලෝකෙක තනිවෙන්න මේව ලගටම ගෙනාව දෙවියො මට ආරාධනා කරනව. 

මුලින්ම ඔය ආලෙක පැටලුනේ 9 වසරෙ (ටෝක් කතා - 1 ) උනාට හරියට ඒ ගැන හැගීමක් දැනීමක් ආවෙ ඊට අවුරුදු 2කට විතර පස්සෙ කියල තමයි මම හිතන්නෙ. ඔය කැහුටු කාලෙ කකුල් දෙකමට කලිසම ඇදල මොනිටර් බැජ් එකත් ගහගෙන ඉස්කෝලෙ කරක් ගැහුවෙ තවත් ගැම්මකින්. ලස්සන කෙල්ලෙක්ට බැල්ම දාගෙන උන්න නිසා. උදේට හවසට දවල්ට හැමවෙලේම පස්සෙන් යන එක තමා රාජකාරිය. ඒ ගැන කලින් ලියල ඇති. ඔය කෙල්ල මම හාය කියල කිව්වට පස්සෙ උදේට ඉස්කෝලෙට එන්නෙ දෙන්නම එකට. පොඩි ගේට්ටුවෙන් ඇවිත් පැණි හන්දියෙ රැප්ටර් කල්ලිය පහුකරල එතන තියෙන බුදු මැදුරට වැඳලයි යන්න ඕනි. ඒව්ව තමා නීති.

රන්සමනල ජෝඩුව වගේ ඇවිත් රැප්ටර් කල්ලිය ලං වෙනකොට පුල්ලිගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් කියල එයා ඉස්සරවෙලා මං පස්සෙන් තමයි යන්නෙ. 

" ආ අකලංක .මෙහෙ එනව . මොකක්ද ඒ සපත්තු දෙක. උබලෑ තාත්තා ඇලඩින්ද ? නැත්නම් පහනෙ භූතයා උබේ නෑයොද " 

කියන්නට කිසිත් නැති හඬා පලක් නැති. මට පේනව අනාගතය එක්කො සපත්තු දෙක බෙල්ලෙ.නැත්නන් රාජ සන්තක. ඒ සිතිවිල්ලෙන් බුදු මැදුර දිහෑ බලනකොට මට පේනව ඊයෙ දත් ආපු පොඩි එකෙක් වගේ මට විරිත්තගෙන කාලි අම්ම වැඳගෙන ඉන්නව. කොරවක්ක නෙළුමෙ යන්නැහේ හීන්සීරුවෙ අඩුය තියන මගෙ කන ලඟින්ම ආයෙ අකුණක්. දඩාස්. අකුණු දඩාස් ගාල සද්දෙ එන්නෙ නෑ තමයි. ඒ මගෙ තිබ්බ අන්තිම නම්බුවෙ ටික බිමට වැටුන සද්දෙ. 

" දුවේ මූව දැන්ම මම එවන්නෙ නෑ. ඔය දුව යන්න. දුව පස්සෙ මූව අල්ලගන්න. හදාගන්න බලන්න " 

ඉතිං ඊට පස්සෙ. ඒවා කියල වැඩක් නෑ.(නොහදුනන්නී)

පාසැලෙන් පස්සෙ විවේකීව කාලකන්නිව තනිකඩව අවුරුදු 2ක් ගියාට පස්සෙ ආයෙම කෙනෙක් එන්නෙ ටෙක්නිකල් එකේදි. ජීවිතේ කොච්චර සරදම්ද කියනවනම් අර රැප්ටර් කල්ලි සාමාජිකයෙක්ගෙ ඥාති දුවක්. වෙන්සක් නෑ පොඩි රැප්ටර් පැටියෙක්. එයැයිට බඩු වගයක් ගෙනියගන්න මගෙ සැපට දුකට සනීව පටලවගෙන තුන්දෙනම ඩබල් දාල ඔන්න යනව අපි වෑන් එකේ. කෙල්ල පිටිපස්සෙ ඉදගෙන ඉස්සරහ සීට් දෙක අල්ලගෙන. ඔය අතරෙ ඇති වෙච්ච කතාබහකදි සනියා කියනව

"ගෑනු ඔහොමම තමා බං" 

මං කට අරින්න හිතන පමාවට කෙල්ල කියපි.

"ගෑනු?? තාම ගෑනු නෙවෙයි නේද අකලංක " 

අයිසැක්ගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටුනාම කොහොම ඉන්න ඇතිද කියල මම වටහාගත්තෙ අන්න එදා තමයි.

ජොබ් එකක් හොයාගෙන කොලඹ ආපු කාලෙ ඔලුවට දැනුනෙ පුදුම තනිකමක්. දන්න කියන කිසි කෙනෙක් නැති කොලඹ අහසට ඔරවගෙන ඉන්න ගොඩනැගිලි, ඒවා අතරින් ගලාගෙන යන ලෝදිය වගේ උණුවෙච්ච පාරවල්. බස්වල වල හිට්වෙලා වැටුන කපුටාස් ඩෙත් බොඩි. කොලඹ පිස්සෙක් නොවෙන්නනම් කෙල්ලෙක් අතේ එල්ලිලා ඉන්න ඕනි කියන සිතිවිල්ල ඔලුවට අරගෙන එනව.

එහෙම ඇතිබුන සම්බන්ධයක් එක්ක බෙල්ලන්විල පාක් එකෙ ඉදගෙන පාරෙ යන වාහන ගණින්න . ඒ ගමන් හිම්න් සීරුවෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යොදල හිස පිරිමදින්න. පෝයට බෙල්ලන්විල පන්සලට ගිහින් කෙල්ල අනේ අපිට ගෙදරින් කැමැත්ත අරගෙන දෙන්න කියල ගැටගහන බාරෙත් එක්කම හුස්ම හිරවෙන හැටි විදිගන්න ලැබුණා. 

නැන්දම්ම එක්ක වෙච්ච කතාබහකට පසුව මගේ තත්වය තරාතිරම නොගැලපෙන බවට කියපු දේවල් එක්ක මොනව වුනත් කෙල්ල මං ලග ඉදීනෙ කියන සිතිවිල්ල ගතයි හිතයි එකට ගැටගහන්න උදව්කලා. 

පසුවදා 

" අකූ. අම්ම කියන කතාව ඇත්ත. කොලඹ අවටින් ගෙයක් ගන්න බලන්න.මම ඔයාට ගෙදරක ඇඩ් එකක් එව්ව ඒක බලන්නකො "

ගෙයක් ,කොලඹින් ඔන්න ඔහෙ ඒකත් බලනව. දොඹ ගෙඩි දැකල තියෙනවද ? මගෙ ඇස් අන්න ඒ වගේ ඇඩ් එක දකිනකොට.

ලක්ශම 184ක්. කොලඹ අහස මාව ගිලගත්තෙ ටයිටැනික් එකේ ජැක් මමමද කියල හිතෙන්න ඉඩදෙනගමන්.

(මත්වෙන ආදර කතා 02)

ප්‍රේමයක් නොවන ප්‍රේමයක් හමුවෙන්නෙ ඔය කාලෙන් පස්සෙ. ( ප්‍රේමය) එයා අදුනවල දුන්න එයාගෙ යාලුවා. පෙර ආදරකතා සේරම අඩි සීයක් පොලව යටට වලලන්න සමත්වුන කෙනා. හුරුබුහුටි කෙල්ල. හරියන කෙල්ල. 

මුල්ම හමුවට පෙරම පාරෙ එහා පැත්තෙ ඉදන් මෙහාපැත්තෙ මට ෆෝන්කැමරාව මානපු කෙල්ල. ප්‍රේමණීය දවස්. කලු වලාකුලේ ඇදෙන රිදී ඉරි. 

"අපි බඳිමුද ?" ඒ මම

" බඳින්න බෑ මට.මට මේක තවත් කරන්න බෑ. මට මගෙ රස්සාව හරියට කරගන්න වෙන්නෙ නෑ. මට මේ රස්සාවෙන් ඉහලට යන්න ඕනි. මට මේක නතර කරන්න ඕනි "

කලු වලාකුළක රිදී ඉර. මම හිතන්නෙ ඒ රිදී ඉරි කියල මිනිස්සු කියන්න ඇත්තෙ අකුණු වලට. කරවෙලා යන්නම වදින අකුණු වලට.( ආලයේ ගාථා )

මේ කතා කීපයක් විතරයි.

කාලය කියන්නෙ මුවානම් අපි මුවා පස්සෙ එලවන තිස්ස වගේ. ඔය දුවගෙන යනකොට ඉදල හිටල කෙල්ලෙක් මතුවෙලා කියනව තිස්ස නැවතියං මට ලං කරපං කියල. අන්න එතකොට මුවාගෙ අධෝමුඛයට පෙට්‍රල් ගැහුවා වගේ කාලය තවත් වේගෙන් දුවනව. ඒ නතර කරගත්ත කෙල්ල එක්ක කයියක් දාල හැරිල බලනකොට මුවා නෑ.. අපේ ඉහ නිකටත් පැහෙන්න පටන් අරගෙන.

:මොනාද බං කල්පනාකරන්නෙ?

:නෑ බං මං මේ කල්පනා කලේ.මට මුලින්ම හම්බුන කෙල්ලට වඩා අන්තිම කෙල්ල කොච්චර හොද කෙනෙක් වෙන්න ඕනද කියල.

: ඇයි බං ඒ.

:මුල්ම කෙල්ලගෙ ඉදන් අන්තිම කෙල්ල වෙනකන් සේරම මට අන්තිමට කිව්වෙ.. 

"ඔයා හොද කෙනෙක්.ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි කියල"

"හැමෝම ඔහොම ප්‍රාර්තනා කලාම මුල් කෙනාගෙ ඉදන් පිලිවෙලට හොද වැඩි වෙන්න එපැයි බං"

මට අපේ උන් කිව්වෙ මූට කෙල්ලෙක් හොයාගෙන යාලුවෙලා බූට් එක කන්නම සති 2ක් හොදටම ඇති කියල.

ඒ කාලය ගෙවිලා ඉවරයි.දැන් වර්ථමානය. අතීතය පාඩම් පොතක් . අනාගතයට පාර කියන්න ඒ පොතේ කොලවලින් පන්දම් පත්තු කරන්නම ඕනි. දශක තුනක් ඉවරයි. තව දශක දෙකක් ජීවත් වෙයි. කොහොමද ආවෙ කොහෙද යන්නෙ. මොනවද කරන්නෙ මොනවද ගෙනියන්නෙ. හැමදේම දිහා ආපහු හරිලා බලනකොට තියෙන්න ඕනි සතුටක්. ඒ සතුට එක්ක වර්ථමානය අතින් අල්වගෙන ඉන්න එක ඉතාම සතුටක්. ජීවිතේ සැනසීමෙන් හුස්ම ගන්න පුලුවන් වුන දවසක් . ඒකට තමයි කියන්නෙ හරියටම ආලය කියන්න පුලුවන්. 

ගොඩක් උන් අහන දෙයක්.ඇයි මේ අතීතය ලියන්නෙ .ව‍ර්තමානයට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද. නැහැ ඇත්තටම. සුලැගිලි දෙකෙන් කොකු දෙකක් හදාගෙන අල්වගෙන ඉන්න පුලුවන් තරමට " විශ්වාසය ". ඒකයි ඒකට අපි කියන වචනය. 

අතීතය අමතකවෙලා යනව.සමහර සිදුවීම් දැන් හරියට මතක නෑ. අතේ ඇගිලි ගානට සම්බන්ධ තිබ්බත් සමහරුන්ගෙ මූණු, නම් පවා මතක් කරගන්න අමාරුයි. මේ කරන්නෙ ඒ මතකයන් තැනක ගොඩගහන එක. සැදෑකාලයක් වෙනකං හිටියොත් ආයෙම මේවා මතක් කරගෙන හිනාවෙන්න පුලුවන් වෙන්න. දත් හැලුනු කට ඇරගෙන හිනාවෙන්න. ඒ එක්කම සැනසීමෙ හුස්ම වාතලයට මුදාහරින්න. 

මුව මස්ම නෙවෙයි මේ කැලේ මී අඹත් තියෙනව. ජීවිතේ තියෙන්නෙ අතීතයෙ නෙවෙයි වර්තමානයේ.

යන්නම් නෙවෙයි. ගිහින් එන්නම් කියන වර්තමානයේ. ඒක ඇතුලෙ පිරිලා තියෙන්නෙ ආලය , සුරක්ෂිබව, විශ්වාසය.

ගිහින් එන්නම්

4 comments:

  1. Replies
    1. අතීතයට හිනා වෙන්න එපා බොල... එත් හිනා යනව තම මටත්

      Delete
  2. https://drackey.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ප්‍රේමම් ෆිල්ම් එක බැලුවා වගේ

      Delete