Saturday, November 12, 2022

නමක් නැතිකතාවක් -

 නමක් නැතිකතාවක් - 



බස් එකෙන් බැස්ස ගමන් හන්දියෙ ගාමිනී අයියගෙ තේ කඩේට යන එක දැන් පුරුද්දක් වෙලා.කැශියර් එක ලගට යනකොටත් ගාමිනී අයියා ඩන්හිල් එකක් මට දික් කරගෙන.


" මල්ලි බස් එකෙන් බහිනව දැක්ක මම. ඒක නිසා මේක එලියට ගත්තා. ප්ලේන්ටිය දාන්න කියන්නද මල්ලි ".


මිනිස්සු හරි පුදුමාකාරයි වෙලාවකට. ඉස්සර සිගරට් එකක් අරගන්න ගියාම බැනල එලවපු ගාමිනී අයියම දැන් සිගරට් එක මට දික් කරගෙන ඉන්නව. සිගරට් එක පත්තු කරගන්න ගමන් මට හිතුනෙ මේ වෙනස්වීම් ගැන. 


" උඹ තැන් තැන්වල සිගරට් බීලා එක එකා දැකල ගෙදරට කිව්වොත් උබට විසුමක් වෙන එකක් නෑ මල්ලි. සිගරට් බොන්නම ඕනිනම් මෙහෙ කඩේ කුස්සියට පලයං " 

මම ටවුන් එකේ සිගරට් එකක් බොනව දැකපු ගාමිනී අයියා වෙනස් උනේ අන්න එහෙම. මගෙ හොදට. එක්කො අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොදට.

සිගරට් එක පත්තුකරං පාර දිගේ ඇවිදින ගමන් කල්පනා කරන්න ආසාවක් තිබ්බට මාව මෙතනට හිරවුනේ එහෙම. දැන් මේ සේරම හැමදාම දුවන රවුමක් වෙලා. 


ෆේස්බුක් එකේ උඩ පහල යනකොට දැක්ක පෝස්‍ට් එක. පත්තු කරන් හිටිය සිගරට් එකෙන්ම මගෙ පපුව පුච්චල දානව වගේ හැඟීමක් එකතුකලේ ඇයි. මං මොකටද මේවාට රිදවගන්නෙ. ඒත් ඇයි මම රිදවගන්නෙ නැතුව ඉන්නෙ. බොන්න ඕනි ප්‍රශ්න ඇත්තටම මේවා. බොන්න ඕනි නෙවෙයි පහුගිය ටිකේ බිව්ව ප්‍රශ්නත් මේවාම තමා. 


" ආදරේ තනි වැරැද්දක් " නිරාලි කොහොමද මෙහෙම ඒවා ශෙයාර් කරන්නෙ ? එච්චර ආදරේ තිබ්බ කෙනෙක්. නිකන්ම පිඳුරු ගොඩක් වගේ වෙන්නෙ කොහොමද ? 

අපි හමුවෙලා අවුරුදුම දෙකක්. වෙන්වෙලා දැන් මාසයක් හමාරක් ඇති. ඇයි මෙහෙම වුනේ කියලවත් අපි තාම කතාකරල නෑ. කතාකරගන්න හිතුනත් ඒකට මුහුණ දෙන්න ශක්තියක් අපි දෙන්නටම නැතිව ඇති.


නිරාලි මට මුණගැහෙන්නෙ ඔෆීස් පාටි එකකදි. තරමක් වැදිලා හිටපු වෙලාවක. ධනීශ් අයියා කිව්ව කතාව හරි.වැදිලා ඉන්න වෙලාවට ඇහේ ඇලවෙන කෙල්ලො ජීවිත කාලෙටම හිතෙන් ගලවගන්න බෑ. ඒක හරියටම ආර්ථිකේ කෙලවෙලා ඉන්න රටක මහ බැංකුව සල්ලි අච්චු ගහනව වගේ කවදාවත් නතර කරගන්න වෙන්නෙ නෑ. 


"උඹල හරි අයියෙ උඹල දෙන්න හරියටම හරි" පොද වැස්සෙ හයියෙන් හයියෙන් ගෙවල් වලට දුවන මිනිස්සු දිහෑ බලාගෙන හිටපු මට ඒක කියවුනේ ලොකු දුම් ගුලියක් පිටකරනවත් එක්කම.


ධනීශ් කියන්නෙ සහෝදරයෙක්ට වඩා එහ ගියපු එකෙක්. කාලෙකට කලින් මට ඌ එක්ක තරම් වෛරයක් තියෙන්න නැතිව ඇති ඉස්කෝලෙ පඬු සිවුරා එක්කවත්. ජීවිතේට පාඩම් ගොඩක් කියල දුන්න ඌ මං එක්ක කතාකරල තියෙන්නෙ එකම එක දවසයි. ඒකත් බලෙන් මාව එක්කගෙන ගිහින් . ඒක හැම රසක්ම සමව තියෙන ජෑම් පේරගෙඩියක් වගේ කතාවක්.


ධනීශ්ව මම දන්න අවුරුදු 4කට කලින්.ඒ මගෙ එකම අක්කගෙ කොල්ල විදියට. දුරට දැකල තිබ්බ මිසක් කිසි දවසක මම ලගට දැකල හෝ කතාකරල නෑ. අඩුම ෆෝන් එකෙන්වත්. අක්ක මට ඌව සමීප කරන්න උත්සහ කරලවත් නෑ. දෙන්නගෙ සම්බන්ධය අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් තියෙන්න ඇති. ඊට පස්සෙ අක්ක එයා ගැන කතාකරනව මම දැකල නෑ. දෙන්න දෙන්නව අමතක කරන්න ඇති. අක්ක එයාගෙ අලුත් ජොබ් එකත් එක්ක බිසී වුන නිසා වෙන්නත් ඇති.


ඊටත් අවුරුදු දෙකකට විතර පසු අක්ක දවසක්ම අම්මගෙ ඔක්කෙන් ඔලුව අහකට ගත්තෙ නෑ. මෙතුවක් කාලෙකට අක්කට ආදරේ පෙන්නව මම දැකල නැති තාත්තා අක්ක කන්න ආස කෑම ජාති සේරම සැරෙන් සැරේ ගෙනත් සාලෙ මේසෙ පුරවල තිබ්බ. මට වෙන්නෙ මොකක්ද වුනේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නැතිවම දවසෙ ගෙවිලා ගියා. රෑ පුරාම ඕක කල්පනාකරපු මට පොට්ට කැස්බෑවට වගේ හඳ පෙනුනෙ ධනීශ්ගෙ ෆේස්බුක් ගිණුම බලනකොට . වෝල් එක පුරාම ඌගෙ වෙඩින් ෆොටෝස්. එක එකා විශ් කරල දාපු පෝස්ට්. ඉතිං මං ඌට වෛර නොකර වෙන මොකක් කරන්නද.


කාලය ගෙවිලා යන්නෙ පුදුම ඉක්මනට. එදා ඉස්කෝලෙ ගිය මම අද රස්සාවක් කරනව. අක්කත් සම්බන්ධකම් කීපෙක ආයෙ පැටලිලා ගැලවිලා ගියා. මට ධනීශ්ව අමතක වෙලා ගියා. සුනාමියට කලින් නිසල මුහුදක් වගේ අපේ ජීවිත ගෙවිලා ගියා. නිරාලි මගෙ ලෝකෙට ආව. මගෙ ලෝකෙ මල් පිපෙන්න ගත්තා. 


ඒත් එක දවසක අපේ එකෙක්ගෙන් මට ආපු කෝල් එක නිසල මුහුද දෙබෑකරගෙන සුනාමිය ගැලුවා. මම ගෙදර මල් පෝච්චි කුඩු කලා. අක්කට ගහන්න අත ඉස්සුවා. ඒත් ඒකිගෙ මූණෙ මම දැක්කෙ නෑ බයක්. අඩුම තරමෙ මම ඒ කරපු දේවල් ගැන කිසිම හැඟීමක්. පහුවදා උදේ මං උඹ එක්ක තරහ නෑ බං කියල අක්ක කිව්වත් මම ඒක පයිසෙකට මායිම් කලේ නෑ. මට ඕනි උනේ ඒකිව රැකගන්න. 

.

" සමහර දේවල් තේරුම්ගන්න උබ පොඩි වැඩී තාම. කෙල්ලෙක් උන්නට උඹ මහ මිනිහෙක් නෙවෙයි " අම්ම කිව්වෙ එච්චරයි. 


ඔය සිදුවීමට දැන් ඇති අවුරුද්දක් විතර. එදා ඉදං මං අක්කගෙ හැමදේටම හරහට හිටියා. ඒකි එක්ක රණ්ඩු කලා. 

"කසාද බැදපු මිනිහෙක් එක්ක තමුසෙට මොකටද සම්බන්ධකම් කිව්ව " 

ඒකි හිනාවුනා. එච්චරයි එච්චරමයි.හිනාවුනා විතරමයි.

ඔය සිදුවීමෙදි නිරාලිවත් මගෙ පැත්ත ගත්තෙ නෑ. කතාව තව දුර අරං යන්න මට දෙන්නවම අතට අහුවෙලා තිබ්බෙත් නෑ. 


ඔෆීස් එකෙන් කලින් පැන්න දවසක බියර් ටින් එකක් අතේ තියං මුහුද දිහෑ බලාගෙන ඉන්නකොට මම දෙයක් දැක්ක. කොච්චර කිව්වත් හැදෙන්නෙ නැති අක්කව දැක්ක. ධනීශ් ප..රයා. අක්කගෙ නලලට හාදුවක් දෙනව. බියර් කෑන් එක විසිකලද විසි වුනාද දන්නෙ නෑ. මාව ඒ පැත්තට දිවවුනා.


මිනිස්සු කොහොමද මෙහෙම සන්සුන්ව ඉන්නෙ.මම මෙච්චර දෙයක් කරලත්. අක්කව ත්‍රීවිල් එකකට ගොඩකරපු ධනීශ් වාහනේ නතර කලේ මාරවිල මචං එකේ මිදුලෙ. " මල්ලි බැහැපං " මගෙ පිස්සුවෙන් පස්සෙ ඌ කතාකරපු මුල්ම වචනෙ. 


" බියර් දෙකයි ඩන්හිල් හතරයි ඔම්ලට් එකයි ගේන්න " වේටර්ට ඒක කියනකොටත් ඌගෙ ඇස් තිබ්බෙ මගෙ මූනෙ. බියර් දෙක එනකොටවත් ඒක මගෙ මූණෙන් එහෙ මෙහෙ වෙනව මම දැක්කෙ නෑ. 


" උඹ බොනව කියල දන්නව.බීපන් " සීත බීර උගුරෙන් පහලට යනවට වඩා උගෙ වචනවල සීතලක් මට දැනුනා. 


" කවදාවත් වැදිලා ඉන්න වෙලාවක කෙල්ලෙක් දිහෑ බලන්න එපා මල්ලි.ඒක ජීවිතේට ඇස් වලින් ගලවගන්න බැරි වෙනව. මට අක්ක හම්බුනේ එහෙම "


"ලස්සන දවස් ජීවිතේ තිබ්බ. අක්කව මුලින්ම හම්බෙන්න යන දවසෙත් කලින් දවසෙ බීපුවගෙ ගඳ ගිහින් තිබ්බෙ නෑ. එරිස්ට්‍රෝෆ් දන්නවනෙ.පට්ට රසයි.ඒ උනාට ගඳයි බං "


" මල්ලි සමහර බැඳීම් තියෙනව ඒවා නිර්වචනය කරන්න කිසිම.හෝඩියක අකුරු නෑ බං. මිනිස්සු ලං වෙන්නෙ දාල යන්න නෙවෙයි තමයි. ඒත් සමහර වෙලාවට අපිට එහෙම කරන්න වෙනව.කාලය එහෙම කරවනව බං. ඒවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඒක හැමෝම බලන දකින විදියත් එක්ක සාපේශයි බං. සමහර විට මං මේ කියන බන උබට දැන් බයිලාවක් වෙන්න පුලුවන්.ඒත් දවසක උබ තේරුම් ගනී. ඒ දවස හැමෝටම එනව බං.කවදකම හරි."


" මං දන්නව උඹ මං එක්ක තරහයි.සමහර වෙලාට උඹේ අක්කටත් එහෙමයි.මටත් එහෙමයි බං. ජීවිතේ එහෙම තමා බං. "


" උබ දන්නවද අපි වෙන්වුනාට පස්සෙ හමුවෙලා තියෙන්නෙ අවස්තා දෙකයි බං. කලින් දවසෙ තමයි උඹ ගෙදර හෑවෙ. ඒකට අපි මුකුත් කියන්නෙ නෑ. ඒ තමා උඹ අක්කට තිබ්බ ආදරේ ." 


" මේ අපි අපිට තියෙන්නෙ ආලය බං. මං ඒකට ආදරේ කියල හෑල්ලු කරන්නෙ නෑ බං. මං ඒකට කියන්නෙ ආලය කියල. කවදහරි වෙන් වෙච්ච උන් දෙන්නෙක්ට මහ පාරකදි අහම්බෙන් හමුවුනත්, එන කෝල් එකකදි හඬ ඇහුනත් මුල්ම හමුවීමෙ වගේ ප්‍රබෝධයක්, ප්‍රීතියක් හිතට දැනෙනවනම් , බඩේ සමනල්ලු පියාඹනවනම් අන්න ඒක තමා බං ආලය. ඇලීම. ඕකට පණ්ඩිතයො ලඟ වෙන වෙන නිර්වචන ඇති. ඒත් මේක මගෙ නිර්වචන බං. අපි දෙන්න ලග තියෙන්නෙ එහෙම එකක්. "


" උබ හිතං ඉන්නව වගේ සම්බන්ධයක් අපි අතර නෑ. තියෙන්නෙ මේ ආලය විතරමයි බං. ඒක දෙන්නම කටින් පිට නොකරන, සීමා ඉක්මවා නොයන දෙයක්. උබේ අක්ක ඒකි තමා බං මට ජීවය වුනේ. මේක ගෞරවාන්විත හැඟීමක් බං. ඒකට කිලිටි එකතු කරන්න එපා බං "


" මුල්ම වතාවෙවත් උඹ ඇහුවද ඇයි අක්ක මාව හම්බුනේ කියල. අක්කට මොකක් හරි ප්‍රශ්ණයක් තිබ්බද කියල. ඇහුවත් උබට කියන්නෙත් නැතිවෙයි. උඹ තාම පොඩි එකානෙ එයාට. ඒක අමතක කරපං.

උබ ටෙලිපති දන්නවද ?.බැඳීම් අස්සෙත් ඒවා තියෙනව බං.අපි අපිට කතාකරගන්න සමහර දවස් තියෙනව බං. කෝල් එක ගත්ත ගමන් අහන්නෙ මොකක්ද අවුල කියල.

මං අද ජීවිතේ අතරමං වෙලා හිටපු දවසක්. මගෙ ජොබ් එක නැති වුනා බං අද. අක්කට ඕනි උනා මාව වැටෙන්න නොදී ඉන්න. හැමදේම හරියයි බය නැතුව ඉදිං කියන්න. ඒකයි අක්ක ආවෙ."


"උඹ අක්කට ගැහුව කම්මුල්පාරට රිදුනෙ මට බං. ජොබ් එක නැත්වුනාට වඩා මට ඒක රිදුනා බං. ඔය කෙල්ලට මං සීරීමක්වත් වෙන්න දීලා නෑ බං හිතට වද දුන්නට. උබවත් ඒකිට වද නොදී ඉන්න බලපං බං. " 


" හරි අමතක කරපං. මේක විතරක් මතක තියාගනින්. අහිමිවීම් හිමිවීම්වලට වඩා ප්‍රේමාන්විතයි. 

ලං වෙලා අතින් අල්ලං යන උන්ට වඩා වෙන්වෙලා දුරින් යන උන් හිතිං අල්ලං ඉන්නෙ. සදාකාලිකවම සුළැගිලි කොකු ගහගෙන " 


"මං දන්නව උඹ දවසක තේරුම් ගනී .දැන් යමං.මං ගේ ලගින් දාගෙන යන්නම් "


ඌ එකදිගට කියවගෙන ගියා.ඩන්හිල් 4ක් බියර් බෝතල් දෙකක් ඉවර වෙනකං එකදිගටම. ඒ සමහර දේවල් මට මතක නැහැ. මතක තියාගන්න ඕනි වුනේ නැහැ.

බයිලාව අහන් ඉන්න මට දැනුනෙ මෙහෙම හැඟිමක් කියල කියන්න තේරෙන්නෙ නෑ. ඒත් බියර් බෝතලේකට වෙරි නොවෙන මට ඇවිදගන්න කකුල් උස්සගන්න බැරි උනා.ඒවා ඒ තරමට සීතල වෙලා. එක්කො මගෙ ස්නායු පද්ධතියම සීතල වෙලා. අක්කට උස්සපු අත ගිනි ගන්නව දැනුනාවුනත් මම පොඩි කාලෙ සෙල්ලම් කරන්න ගත්ත ප්ලාස්ටික් සොල්දාදුවෙක් වගේ ගල්වෙලා. ඒත් තාම තුවක්කුව දික් කරගෙන . ධනීශ්ට. ඌ වැරදි. මොනව කිව්වත් ඌ වැරදී. 


------------ 

" මචං ගින්දර ටිකක් දියං "


ෆෝන් එකේ ඔලුව ඔබාගෙන මතක ලෝකෙ හිරවෙලා හිටය මම මෙලොවට ගෙනාවෙ ගින්දරක් ඉල්ලපු එකෙක්. ඌට පේන්නෙ නැද්ද මෙතන මගෙ පපුවම ගිනි ගන්නව කියල. තව ගින්දරත් ඉල්ලන්නෙ.


ලයිටරේ දික්කරපු මං නිරාලිට "ආදරේ තනි වැරැද්දක් ඒත් මට ඒක පුරුද්දක් ". කියල කමෙන්ට් එකක් දැම්ම ගමන් කලේ අක්කට මැසේජ් එකක් යවන එක 


" අක්කෙ මට සමාවෙයන් " 


" ඉන්න තැනකන් පරිස්සමින් ගෙදර වරෙන් .අපි කතාකරමු "


ඒ මගෙ අක්ක.මට තාම තේරුම් ගන්න බැරි හැඟීමක් විඳින මගෙ අක්ක.


2 comments:

  1. තාම පොඩි වයසට මේවා තේරෙන්නෙ නෑ අප්පා😪

    ReplyDelete