Wednesday, June 3, 2020

කකුළු කොරටුව


මම පොඩි කොල්ලා කාලෙ.දැනුත් කොල්ල තමා...
තාත්තා රැකියාව කලේ ගොඩනැගිලි ඉදිකිරීම්..මහා පරිමාණයෙන් නොවුනට අතේ මිටේ සල්ලි ගැවසුනා කිව්වොත් හරි.කාලෙන් කාලෙට රටේ තැනින් තැන වැඩ කරන නිසා ගෙදර එවෙන්නෙ අඩුවෙන්.හැබැයි ඉතින් එන දවසට අපිට රජ මගුල් වගේ තමයි..නොවරදින එකමදේ රටඉදි මල්ල.
තාත්තගෙ මල්ලිත් පදිංචිවෙලා ඉන්නෙ අපි පදිංචිවෙලා හිටපු ඉඩමෙමයි.ගෙවල් දෙක අතරමැද තමයි ගෙවල් දෙකම භාවිතාකරන ළිඳ පිහිටිලා තියෙන්නෙ.ළිද එක්කම පුවක් ගස් 10ක් 15ක් සහ කොහොල කොටුවක් තිබුණා.අපේ ගෙදර ළමයි තුන්දෙනයි.බාප්පලෑ ගෙදර දෙන්නයි.ඔක්කොම පහයි.
අල්ලන් සෙල්ලමේ ඉදල මහා පරිමාණයෙන් ක්රිකට් සැණකෙළි පවා පොඩි කාලෙ පවත්වන්න අපි පස්දෙනා සමත්.බෝල අහුලන්න වගේ දේවල් වලට ටාසන් කියන බල්ලත් උදව් වුනා.උදව් කියන්නෙ කැලේට බෝලෙ ගියාම බෝලෙ අපිට කලින් හොයාගෙන ඒක අරං දුවන්නෙ හපකරන්න බලාගෙන.කැලේ කිව්වට ඒ එහා වත්ත.තාමත් ඒක අඳුරු පරිසරයක් තියෙන ඉඩමක්.පොඩි කාලෙ ඇලී ගැලී උන්න අය දැන් විසිරිලා.පවුල් පන්සල් වෙලා.
ඒ කාලෙ අපි ඇම්බැට්ට වැඩ වගේම ගොං ඌරු වැඩ මහ ඉහලින් කරල කප් ගැහුවා.
තාත්තා ගෙදර එනකොට බොහෝ දවස් වලට තාත්ත එක්ක එනව එයා ලග වැඩ කරපු බාස් කෙනෙක්.යාකා බාස් කියල තමයි කියන්නෙ.එච්චරම උස නැති ටිකක් කැරලි කොන්ඩයක් තියෙන අහිංසක මනුස්සයා.අපි මොන වැඩේ කලත් මහ ඉහලින් අපිට සහයෝගය දීම සහ වැඩේ අවසානයේ තාත්තගෙන් බැනුම් ඇසීම ගෙදර ආවාම එයාගෙ ජීවනරටාවෙ අංගයක්.
අදට උනත් ගෙදරට මාළුවිකුණන කෙනෙක් ආවොත් මොන වැඩේ කරමින් උන්නත් මම ඒක දාල යනව මාළු බලන්න.ගිහින් උන් ගැන ප්රශ්ණ අහනව.මාළු කපනකොට බලාගෙන ඉන්නව.
මේ සිදුවීම වෙන කාලෙ තාත්තා වැඩ කලේ මාරවිල.ඉතින් ගෙදරට මාළු කියනදේ වරදින්නෙම නෑ එන දවසට.එක දවසක තාත්තා ආවෙ මහ රෑක. කොයි වෙලේ ආවත් මාළු ගෙනාවොත් ඒක කපල ඒ වෙලේම උයන පුරුද්දක් තිබ්බ අපේ ගෙදර.එදා ලොකු ගල්මාළුවෙක් ගෙනත් තිබුනෙ උගෙ බඩ කපනකොට බාගෙට දිරවපු සාලයො 4,5 දෙනෙක්ම හිටියා.උන් ටික ටාසන්ට ගල් මාළු අපිට.
විස්තර විචාරය ඉවරයි.කතාව දැන්..
එක වතාවක් තාත්ත හවසක එනකොට යකා බාස් එක්ක ආව ලොකු පෝරමල්ලක් උස්සගෙන.පෝරමල්ල ගෙනත් කුස්සියෙ බිමට හැලුවාම කෙසෙල් පඬරැල් වලින් ගැට ගහපු තරමක ලොකු කකුළුවො 5,6ක් හිටියා.කොලපාටට හුරු උන් ගොඩේ තැඹිලිපාට ලස්සන එකෙක් හිටිය බව හොදට මතකයි.කකුළුවො විකුණන්නෙ පණ පිටින් උනාට පණ තියෙන උන් මරං කාල පුරුද්දක් නැති නිසා අම්ම ඒ වෙලාවෙ උන්ව උයන එක ප්රතික්ෂේප කාලා.ඔය අතරෙ එක කකුළුවෙක්ගෙ ගැටයක් ලෙහිලා මූ පැනපි මිදුලට.දුවනවා දුවනවා දුවනවා හරකට ප්රෙට්රල් ගහල වගේ.වේවැල් කූඩයක පිහිටෙන් යකාබාස් ඌව අල්ලගෙන ආයෙම දැම්ම ගැටයක්.
අපිට මේක අලුත් අත්දැකීමක්.වෙලේ කක්කුට්ටො දැක්කට කවද දැකපු කකුළුවොද.දැන් අහනව විස්තර ඉන්නෙ කොහෙද මුං.කන්නෙ මොනාවද .නොයෙක් ප්රශ්ණ.ඔලුවට ගිය එකම කතාව මුං ජීවත් වෙන්නෙ මුහුදෙ.ඒ කියන්නෙ ලුණු වතුරෙ.දැන් අපේ වට මේස සාකච්ඡාව මුංව එලිවෙනකන් තියාගන්නෙ කොහෙද කොහොමද කියන එක.
ප්රශ්ණ කොතනද විසදුම් එතන කියන්නැහේ ආව විසඳුම ක්රියාත්මක කරන්න සැලසුම් කරමින් අවශ්ය බඩු එකතු කලා..
අලුත් පෝර කවර කීපයක්,ලුණු පැකට් එකක්, වීල් බැරෝව, කංකුන් මිටියක් සහ වියපු පොල් අතු දෙකක්.
දැන් ක්රියාත්මක වීම.හවස් වේගන එනකොට බඩු ටික අරෙගන අපි පස්දෙනාම ළිඳලග.පෝරකවර ටික වීල් බැරෝවට එලුවෙ වීල් බැරෝවෙ තහඩු මූට්ටු වලින් වතුර කාන්දුවෙන එක වලක්වන්න.ඊලගට ළිදෙන් ඇදගත්ත වතුරෙන් පුරවගත්තා වීල් බැරෝව.කට මට්ටම් වෙන්නම.වීල් බැරෝවම යොදාගන්න හේතු වුනේ ආච්චිගෙ නාන්න වතුර උණුකරන ඇලුමිනියම් මුට්ටිය අපේ අපත වැඩ නිසාම එයාගෙ ඇස් මානයේ තබාගෙන තිබීමත් ලොකු වී තම්බන හැලියේ වී එකක් පුරවා තිබීමත් නිසා වතුර පුරවාගන්න ලොකු භාජනයක් නැතිවීම.දැන් තියෙන්නෙ ගෙදරින් පන්න ගත්ත ලුණු පැකට් එක වතුරෙ දියකරගන්න එක.පැකට් එකම වීල් බැරෝ තටාකයේ දියකරගෙන කංකුං ඉති කීපයක් වතුරට දාල අපි හොයාගෙන ගියෙ අපේ සහයක ඩැනීව.යකාබාස්ව.මොන මගුල කලත් අපි බයයි කකුළුවො ටික අල්ලන්න.
යකාබාස් සියකැමැත්තෙන්ම කකුළුවො ටික ගෙනත් ගැට ලිහල තටාකයට දැම්මෙ වේලි වේලි උන්න කකුළුවන්ට ජලස්නානය දෙන්න හිතාගෙන වෙන්න ඕනි.අපි හැමෝගෙම තිබ්බෙ යහපත් සිතුවිලි.මල් වගේ ළමයිනෙ.ටික වෙලාවක් උන් එහෙ මෙහෙ යනවත් බලාගෙන ඉදල පොල් අතු දෙකෙන් උඩින් වහලා අපි විසිර ගියෙ උදේම අපේ කකුළු කොරටුව නරඹන්න එන සිතිවිල්ල ඉහ මත්තෙ තියාගෙන.
රැය ගෙවුනෙ හරිම ඉක්මනට.උදේම දුවන් ගියෙ කකුළුවන්ට කෑමට දෙන්න කංකුං අරගෙනම.අපේ සිත්වල තිබ්බ පුණ්ය මහිමය කොච්චරද කියල අපිට පොල් අතු ඉවත් කරපු ගමන් බලාගන්න පුලුවන් වුණා.කකුළුවො රහත් වෙලා..ඇටවුමේ කිසි දෙයක් වෙනස් නොවීම උන් රහත් වෙලා.අහල පහල කොච්චර හෙව්වත් උන් අහලකවත් නොයිද මූදම හොයාගෙන යන්න ඇති.අපේ පොඩි මූද උන්ට මදි වෙන්න ඇති.අතුදහන් වීම පොලිස් පොතේ සටහන් වුණේ නොවිසඳුණු අභිරහසක් විදියට.
යකා බාස්ට බැනුම් ,අපිට ගෙරවුම් සමග අපේ කකුළු මෙහෙයුම ආවසාන වුනේ ගෙදරට පණ කකුළුවො කවදාවත් ගේන්නෙ නෑ කියන තීරණයත් එක්කමයි.
කකුළුවො උනත් දැනගන්න තිබ්බ යනකොට කියල යන්න.අපි පොඩි උන් කියල හිතන්න තිබ්බ.

©මුදියන්සෙ මලයා




පින්තූරෙ ඉන්නෙ මිත්රයෙක් සහ මම අවස්ථා කීපයකදි මීගමුවෙ මාළු මාකට් එකෙක් මිලදී ගත් පණ කකුළුවන් මූදට නිදහස් කල අවස්ථා සහ එක් කකුළුවෙක් හිස අත් ඔසවා ආචාර කල ආකාරය.අන්න ගුණ යහපත් කකුළුවො.පොඩි කාලෙ උන් වගේ නෙවෙයි.

4 comments:

  1. මුදියන්සේ මලයාගේ විල්බැරෝවෙන් පැනපු කකුලුවෝ තාම මුහුද හොයන් යනවා ඇති

    ReplyDelete
    Replies
    1. උන්ගෙ පසු පරම්පරාවටත් පසු පරම්පරාව තාම මුහුද හොයන් යනව ඇති....

      Delete
  2. අරළ බටගම කස්ටියක් කකුළුවො ගෙනාපු කතාව මතක් උනා. ඒක වගේ බොලාට තිබුණෙ හන්දියෙ බස්ටෑන්ඩ් එකේ හොයන්ඩ. කකුළුවො ටික මීගමුවට යන්ඩ බස් එක එනකං එතන ඉන්ඩ ඇති ඒ වෙනකොටත්.

    ReplyDelete
    Replies
    1. හන්දියෙ බලන්න යන්න බැරි උනේ උයන්න කකුලුවො නැතුව තාත්තා ගහන්න පන්නපු නිසා.. :) :):):):):)

      Delete