කන්න ඕනි .. බොන්න ඕනි.. ඇවිදින්න ඕනි..
ඔන්න ඕක තමා ජීවිතේ කියල කවුරු හරි කිව්වොත් ඌ ගැන අනුකම්පා කරහල්ලා..ඔය ටික සේරම ගෑනියෙක් ගන්නකන් විතරයි.
එහෙම කිව්වට මං ගෑනු අරං නෑ තමා.මේ කියන්නෙ ජීවිතේ සුන්දරව සැහැල්ලුවෙන් ගෙවන කාලය හැමදාම එන්නෙ නෑ.ඒවා නිකන් කුනාටු වගේ එනවා යනවා..දැනට දෑවුරුද්දකට විතර කලියෙන් මටත් තිබ්බ අන්න ඒ වගේ පාවෙන ජීවිතයක්.පාවෙනව කිව්වෙ මල් මදහාසෙන් නෙවෙයි.සැහැල්ලුවෙන්..
ඔය කියන කාලය ලංකාවෙ සුප්‍රසිද්ධ වැඩබිමකට මගෙ සේවය සපයමින් සිටි කාලයක්.මගෙ සමහර කතා වල ඒ ගැන සදහන් වෙලා ඇති.ඔහොම දැහැමින් සෙමින් වීඩියෝ ගේම් එකක් ගහගෙන දවසට ෆිල්ම් 2ක් විතර බලාගෙන බ්ලොග් එකක් කියවන් ඉන්නකොට මගෙ මිතුරෙක් ජීවනමාර්ගයක් සොයාගෙන එනවා කොලඹට.මේ යාලුවාගෙ ලංකාවෙ ප්‍රසිද්ධ වැවිලි සමාගමක් විකුනුම් නිලධාරියෙක් විදියට කොලඹ ජීවිතේ ඇරඹීමම හරියට ගොරකා යකාගෙ තනියට අනික් යකා ආව වගේම තමයි.
වැඩබිම් සේවය නිසා මම ගෙදර දැක්කෙ මාසෙකට වතාවක් විතර වගේ.ඔෆීස් එකට එතනින් රාත්‍රී සංචාරයට නවාතැනට ආයෙම උදේට ඔෆීස් එකට ඕක තමා ජීවන චක්‍රය.ඕක පට්ට බෝරින් වෙනකොට මිතුරාගෙ කොලඹාගමනය සක්‍රයා පොලවට බැස්ස වගේ.හේතුව උනේ රස්සාව නිසා මිත්‍රයට ලංකාව වටේ සංචාරය කරන්න වෙන එක.ඒ ගමන් සියල්ලටම මට සහභාගීත්වයෙන් සහයෝගය දැක්වීමට හැකිවීම.
එක දවසක්
"මචං දවස් 3කට රෙදි ලෑස්ති කරගනින්"
"කොහෙ යන්නද හු.##"
"යන මගුල් වැඩක් නෑනෙ.ලෑස්තිවෙයන් මං එනව උඹව ගන්න තව පැයකින්"
ඔන්න ඔහොමයි උගෙයි මගෙයි ගමන් යෙදුනෙ.ඔය කියන දවස තද වැහි කලුවරක් එක්ක තිබ්බ අදුරු දවසක්.අකුනු ගසයි හෙන හඬ පතුරයි මේ එන්නේ නත්තල් සීයයි කියල මිත්‍රයා ඇවිත් මාව එක්කගෙන ගියා හෙට්ටියාවත්ත පැත්තෙ තිබ්බ මහල් නිවාසෙකට.වැහි බිරමත් එක්ක ඔය පැත්තෙ තිබුනෙ මහම මහ මූසල මුස්පේන්තු ගතියක්.
ඒ නිවාසවාසියා උනේ තරමක් මිටි කෙට්ටු ලොකු ඇස් තියෙන දෙමල මැදි වියේ මනුස්සයෙක්.මිත්‍රයා මාව හදුන්වල දුන්නෙ මම ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් විදියට.( මාකටින් කරන උන් කියන්නෙම පට්ට පල්බොරුනෙ).ටික වෙලාවක අල්ලාප සල්ලාපයේ යෙදිලා එහෙනම් අපි පිටත්වෙමු කියල ඇවිත් අර මනුස්සයගෙ දඩ සයිස් ජීප් එකේ නැගල ගමන පිටත් උනා..
ගමන අතරමගදි තමයි දැනගත්තෙ අපි මේ යන්නෙ ආගරපතනට.තේ වතුයායකට.ජීවිතේ මගෙ එක තිබ්බ ආසාවක්.තේවතුයායක කන්දක් උඩ තියෙන බංගලාවක දවසක් දෙකක් ඉන්න එක. හීන හැබෑ වෙනවනම් මුං මාව කොලපතේ තියන් ගියත් එකයි කියල මං දැම්ම හොද නින්දක්.ඇහැරුනේ හැටන් වලදි.එතකොට තමයි දන්නෙ ආගර පතන තියෙනෙ හැටන් වලින් තව 23km දුරින් කියල.
කවුද මේ සීතලක් විදින්නය කියල ආවෙ. ශෝටයි බාටෙයි ටී ශර්ට් එකෙනුයි හැටන් ටවුන් එක මැද වැස්සක ඉන්නකොට තියෙන ආතල් එක විදලම බලන්න ඕනි..
වෙව්ලල වෙව්ලලා බැරිම තැන ජර්සියක් ගත්තෙ ටවුන් එකේ කඩේකින්.ජර්සි හරි ලාභයි.මිනිස්සුත් හරිම සුහදයි.අපිට දෙමල බෑ ඒ මිනිස්සුන්ට හරියට සිංහල බෑ.
ඔය අතරෙ අපේ වතුහිමියා foodcity එකට එන්න කියල ඇමතුමක් දුන්නා.අන්න ෆුඩ් සිටි.මෙහෙ මොනාද තියෙන්නෙ.මෙව්ව සිල්ලර කඩ වගේ ඒක එක්ක බලනකොට.
Foodcity එකෙන් හතරෙන් එකක්ම තියෙන්නෙ බාර් එක.
"මල්ලි බාර් එකෙන් ගල් බෝතල් දෙකකුයි ඔයාල බොන ජාතියෙන් ඇති ප්‍රමානයක් ගන්න"
මේ වගේ සීතලක මේ වගේ අදහස් දෙන්නෙ මිනිස්සු වෙන්න බෑ දෙවියො වෙන්නම ඕනි කියල smiroff බෝතල් දෙකක්ම අරගෙන ආව බංගලාවට. බංගලාව බලාගන්න කෙනයි උයන්න එයාගෙ බිරිද උදව්වට එයාලගෙ දුව .තව අර ගල් ශෝටක් ගහන් ට්‍රේල් බයික් ඒකේ යන්න අන්න එහෙම පොරකුත් හිටියා.
ඇවිත් මහන්සියට සීතලට තේ එකක් එහෙම ගහල පොඩ්ඩක් අහල පහල ඇවිදින්න කියල එලියට බැස්සා.පහලින් පේනව අදුරු දුර්වර්ණ උන ලැයිම් කාමර පේලියක්.සමහර ඒවාගෙ වහල ආවරණය කරල තියෙන්නෙ ඉටිකොල වලින්.ඒ ආසන්නයෙන්ම තියෙන පුංචි කෝවිලක්.ඒක මැතක ඉදිකරපු එකක් කියල කිව්වෙ අර ගල් ශෝට් මෑන්.
බංගලාව පටිපස්සෙන් කන්ද උඩ හරියට යනකොට එක තැනක බංගලාවෙ පාවිච්චියට හදපු එලවලු කොරටුවක් තියෙනව.ඒ ලගම පහුරු ගගා ඉන්නව ලස්සන කුකුළු රංචුවක්.10ක් වගේ හිටියා. කන්දෙ මුදුනෙ තියෙන උලපතකින් ගලාගෙන එන පොඩි ජලපාරකට බට දාල තිබ්බෙ බංගලාවෙ ජල සැපයුම විදියට.
වටාපිටාවම යාන්තම් මීදුමකින් වැහිලා ගිහින්.ඈතින් වටේටම පේනව කදු යායවල් මීදුම් සේලයෙන් වැසීගෙන යනව.කදුවල නම් දැන් අමතක උනාට ගල් ශෝටා ඔය සේරම ගැන කියල දුන්න කියල මතකයි.ඔය අතරින් උසටම පෙනුනෙ සමනල කන්ද.
අපි කදු බලනකොට කූඩැල්ලො නිකන් උන්නද නෑ.උනුත් බැරි බැරිගාතෙ මගෙ කලිසම අස්සටම රිංගන්න ට්‍රයි කලා.සීතල මැද්දෙන් උනු ලේ පාර ගලනකොට තමයි අන්න ඒවා වටහෙන්නෙ.හරියට නින්දෙන් මුත්‍රා යනව වගේ තමයි.
ඒ දර්ශන වල ලස්සන මෙතෙකැයි කියල නිම කරන්න බැරි තරම්.ඒ වගේම තමයි වතුසේවකයන් අහිංසක අසරණ මිනිස්සු.කන්ද උඩ ඉද්දි ටිකක් තද වැස්සක් පටන් ගත්තා පහල ලැයිමෙ ඉදන් එක සේවකයෙක් කන්ද මුදුනට කුඩ 3ක් අරගෙන දුවගෙන ආවෙ ඔලුවට ඉටිකොලයක් දාගෙන.ඒ කාගෙවත් ඉල්ලීමක් නියෝගයක් නැතුවම.ඒ මිනිස්සු තමන්ගෙ වතු හිමියට දක්වන්නෙ පුදුමාකාර බයක් යටහත් පහත් බවක්.ඒ මිනිස්සුන්ගෙ ජීවිත ඒතරමටම අසරණයි.ගේ අතුලෙ උන්නත් තෙමෙන එලියට බැස්සත් තෙමන තෙතබරිත ජීවිත. එතකොට අලුතෙන් හැදුව කෝවිල..එහෙම හිතුන නේද..ඒක හදල තියෙන්නෙ සේවකයන් ටිකක් ඈතින් තියෙන කෝවිලට ගියාම වතුවැඩ සදහා යෙදවෙන කාලය අවම වීමට පිලියමක් විදියට.
පරිසර සුන්දරත්වය වගේම මනූශීයත්වයේ අසරණ බව නරඹගෙන අපි පල්ලම් බැස්සෙ බාගෙට තෙමිලා උන්න අපිට හොදම බෙහෙත අරං ආව නේද කියල මතක් වුන නිසා.සීතල වතුරෙන්ම නා කියාගෙන කන්දෙ බැවුම දෙසට වෙන්න හදල තිබ්බ බංගලාවෙ කොටසෙ තිබුන සීතල සොෆාවෙ වාඩිවුනේ සීතල ඇග රත් කරගන්න අදහසින්.කළුගල් බංගලාව T අකුරක හැඩයකට නිමවා තිබුනෙ T අකුරේ පාදය කොටස කදු බෑවුම දිශාවට යොමුවෙන විදිහට.ඒ කොටස පුරාවටම ඈත කදුයාය දැකගන්න ලැබෙන විදියෙ විශාල ජනේල වලින් සමන්විත වූවක්.පොලවට නොරිදෙන්න වගේ වැටුන වැහි බින්දු වලින් හරි හරියට නාගන්න කානේශන්, ලිලීමල් පොරකෑවෙ ඒ ජනේල අසල ඉදන්මයි.
සුන්දර දේවල් වඩා සුන්දරව දකින්න ටිකක් මත්වෙන්න ඕනි.ඒක මගෙ තියරියක්.ඔය මත්වීම පටන් ගන්න වුනේම කූඩැල්ලෙක් මෙට්ටෙ උඩ තියාගන්න ට්‍රයි කරන ගමන්.
වතුහිමියාගෙ එකම පානය උනේ ගල්.මනුස්සයෙගෙ වියදමෙන් බොන නිසා වොඩ්කා එකෙන් ටිකක් පොවාගන්න මට ඕනිකම තිබ්බ.ඒ නිසා බලවත් පෙරෙත්ත පිට එක වීදුරුවක් රසබලන්න එකගකරගත්තා.
" අපරාදෙ මල්ලි මේවා රසයි තමා.මට රට යාලුවො ගෙනත් දෙන සේරම මං ගෙදර වැඩ කරන අයට දුන්නනෙ මෙච්චරකල් .අපරාදෙ යප්පා"
අම්මපල්ලා උගේ තේ වත්තෙ උගේ බංගලාවෙ උගේ සෝෆා එකේ ඉදන් උගෙන් ගත්ත බෝතලෙන් මට උගෙම ඔලුවට ගහන්න හිතුනා.සත්තයි.
තබ්බපු එලවලු , බිත්තර ,ඔම්ලට් ,කුකුල් මස් ,අමු මිරිස් එක්ක බෝතල් දෙකම හිස්වීගන යනකොට ගල් ශෝටා කටහඬ අවදිකරන්න ගත්තෙ කෑම ගැන කතාවකින්මයි.
"අපේ මහත්තයා කලින් කිව්වෙ නෑනෙ අද එනව කියල.නැත්නම් මල්ලිලට නියම කෑමක් සෙට් කරන්න තිබ්බා"
" ඒ මොනාද අයියෙ.මේ පැත්තෙ විශේෂ කෑමක්ද "
" මෙහෙ නෙවෙයි මල්ලි කොහෙත් විශේෂයි. එහා වත්තෙ උගුලකට කොටියක් අහුවෙලා මස් කරල.වටේම වතුවලට බෙදුවා.අලුත් පිට රස නිසා අපේ කොටහ ඊයෙම අපි කැවනෙ.මල්ලිලත් එනව කියල දන්නවනම් අරං තියන්න තිබ්බ.අපෙ මහත්තය ඕවා නොකෑවට මල්ලිල කනවනෙ නේද ඕනි මසක්.හරි ගුණයි මල්ලි.හරිම සොෆ්ට් මස් ටික "
එලියෙ වැස්ස, ගේ ඇතුලෙත් පට්ට සීතල ,ඒ මදිවට මත් වේගන එන වෙලාව.දුවන්නද වමනෙ කරන්නද මුකුත් හිතාගන්න බැරි අවස්ථාව.කමක් නෑ කතාවක් විතරනෙ කියල අමාරුවෙන් විදගත්තා. අපේ වතුහිමියා කතාවට ලුණු මිරිස් එකතු කරන්න සැරසෙන බව වීදුරුවෙ ඉතිරිය උගුරට හලාගත්ත විදියෙන් වටහාගන්න පුලුවන් වුනා.
"මල්ලි ඔය කොටි මස් වගේද මේ කුකුල් මස්.කෝමද රසයි නේද "
" ඔව් අයියෙ අපි කොලඹ කන ඒවා වගේ නෙවෙයි මාරම රසයි මේක.උයනකෙනා හොදට හදල තියෙනව "
" හැටන් foodcity එකෙන් මස් ගන්න අමතක උනානෙ මල්ලි.මෙහෙ ආයෙ අහලක නෑ මස් ගන්න තැනක්.හැටන්ම යන්න ඕනි "
" එතකොට මේවා ???"
"ආ මේ මෙහෙ හදන එකෙක්.මට හැටන් වලින් මස් ගන්න අමතක වුනාම කන්න කියල හදන්න පටන් ගත්තෙ.දැන් ඉන්නව 10ක් විතර. වත්තෙ පිටියෙ ඇවිදල තියෙන දේ කාල බීලා ඉන්න නිසා තමා මල්ලි මේවා රස."
"ඔය මල්ලිල උඩට යනකොට ලීක්ස් ගාල ගාව උන්න කලු කිකිලි මල්ලි "
කතාබහ අහවරයි.බෝතලේ ඉතුරුයි.
"මට නිදිමතයි.." එච්ව්රයි මං කිව්වෙ.
එතනින් එහාට පහුවදා ආපහු එනකන්ම බෝතල් දෙකම ඉවර වෙනකන්ම කිසිම මසක් නොකෑ බව මං සහතික කරල කියන්නම ඕනි.
ප.ලි.
ගතයුත්තක් නොමැති නමුත් මේ ගමන තුල මා ඉගෙනගත් දෑ බොහෝය.
මම ගත් පින්තූර අස්ථානගත නිසා සොයාගත හැකි කිහිපය පමණක් මෙසේ අලවා තබමි.
©මුදියන්සෙ මලයා
අපිවත් එක්ක යන්නකො
ReplyDeleteමචං මාව ඒ කාලෙට අරන් ගියාට උබට පිං.
ReplyDeleteඅපිට කොහෙ හරි තැනක අපිව miss වෙලා බං 🥹