Thursday, April 6, 2023

නයිට් ඩ්‍රයිව්


නයිට් ඩ්‍රයිව්





ගුරුවරු හිතන් ඉන්නවනෙ සමාජය ගොඩනැගීමේ බර තියෙන්නෙ එයාලගෙ කරේය ඒ  නිසා  පාරෙ ඉන්නෙ බල්ලො පූසො උනත් යහමඟට ගැනීම එයාලගේ වගකීමක්ය කියල. 

පාසැල් දරුවෙක් උනත් පාසැලෙන් ඉවත්වුනාට පස්සෙ හදන්න උඩ පැනගෙන එන්නෙ අන්න එහෙව්  ඇත් ගොව්වො තමා. එකාතකට මෙව්ව එහෙම උන්දැලටත් හොද පාඩම් ඉතිං . උගත් පාඩම් හැමෝටම අදාලයි කියල හිතාගෙන කටයුතු කොලානම් හොදා.  අහ් කියන්න අමතක උනා. ගමේ පන්සලේ චීවරදාරීන්ටත් ඕක අදාලයි. කොහොම උනත් මැරෙණ එක අනුමත කලාට මරණ එක අනුමත කරල කිව්ව කියමනක් නෙවෙයි මේක.

    

ඒ කතාව අමතක කරහල්ලකො.


අපේ ගෙදර ඉදන් මං ඔය හෝම් සිටි එක කියල දාගෙන ඉන්න එකට යන්න පාරවල් කීපයක් තියෙනව. ඒකෙ කෙටිම පාර ටිකක් කැලෑවට තියෙන, වීදි ලාම්පු නැති වංගු වැඩි පාරක්.  වාහන දෙකක් මාරුකරගන්නත් ට්කක් විතර අමාරු කරනව දෙපැත්තෙ මාන කැලේ සහ පාරෙ ශෝල්ඩර්ස් හෝදගෙන ගිහින් නිසා. පාර දෙපැත්තෙ ගෙවල් තියෙන්නෙ අඩුවෙන්. ගෙවල් නැති හරිය තියෙන්නෙ කැලෑවට ගිය වතු. එහෙම නැත්නම් කුඹුරු.


හරිම සූන්දර පාරක්. පඹ වැල් එතුන කඳුරු ගස් පාරට නැවිලා. ඒ අස්සෙන් සුදුවට පිච්ච  මල් පිපිලා. වැහි බින්දු  ටික් ටික් හඬ දීගෙන කොල වලින් තව කොලයට පැනල දුවනව. තව මදිපාඩුවට ඉදුන වැල ගෙඩි දොහ් දොහ් ගාල පාරට වැටෙනව හවස් වෙනකොට වවුල්ලු ඒවාගෙ පදිංචි  වෙන නිසා. අතරින් පතර නරින්ගේ හූ හඬ රැහැයි නාදය  යටකරගෙන කන් බෙර වෙලට තට්ටු කරනව. ඔය අතරට බස්සො එක්ක තරහවුණ බස්සියො බස්සො අහන හැම එකටම "හ්ම් " කියන ශබ්දයත් එකතුවෙනව. ශබ්ද  එක්ක අලෝක රටා මවන කාණාමැදිරියො එයාලගෙ ජොබ් එක ලස්සනට කරනව සිත් වශීවෙලා යන විදියට. හරියටම අර ටිකට් නැති සිනමැටික් මියුසිකල්  ශෝ එක වගේ.


ඔය අලංකාර පාරෙ තවත් අලංකාරය වැඩිකරන්න සමත් සුනඛයො  ඉන්නෙ ජානාධිපති මන්දිරේට ගාඩ් එක දෙන පොලීසිය වගේ.  එක දවසක් මම ගණන් කලා. කිලෝමීටර් 4ක් ඇතුලත 27ක් හිටියා.  වැහි දවස්වලට පාර හරහා හෝදගෙන එන වැලි තට්ටු  වංගුවල තැම්පත් වෙනව. තව පොඩ්ඩෙන් අමතක වෙනව ගොයම් කපන කාලෙට අන්තරේ කොළබ එනකොට ජල ප්‍රහාර රථ තියෙනවා වගේ ටැක්ටර්, ගොයම් කපන විශාල අඳුරු යකඩ ගොඩවල්  පාර අයිනෙ, පාරෙන් බාගයක් වහගෙන හෝ මහ පාර මැදම උනත් තියෙන්න බැරි නෑ. වීදි ලාම්පු නැති අඳුරු පාරක  මහසෝනා හම්බෙනව වගේ තමයි ඉතිං. 


 විදුලි කොටයි  පරිසරයම අඳුරුයි එදා වැහි දවසක්. වතුර ගලයි පාරම සෝදන් හරි සුන්දර දවසක්. එලුවගෙ මල්ල තමා. 

මහ වැස්සෙන් පස්සෙ තාමත් පොද වැටෙන නිසා මම වාහනේ හිමින් හිමින් යනව කැලේක කුඹුරක රැය ගතකරන්න බය නිසාම. අඳුරු කැලෑ මන්ඩි කිට්ටුව මෙන්න මට මීටර් 10ක් 20ක්  ඉස්සරහින් යනව තාරුණ්‍යයේ  බලය ජවය රැගත් Ct100 එකක්. අහසෙ දෙයියො නැතුව පොලීසිය  ඉන්න නිසා උන්ට පේන්න නම්බර් ප්ලේට් එක හරවපු එකක්. හිමින් හිමින් ගිය කොල්ලට හොදට පාර පේන්න මගෙ ලයිට් එලිය වැටුනා විතරයි බ්‍රෑං බ්‍රෑං සද්දයක් එක්ක ටිකක් ස්පීඩ් එක වැඩි උනා. එකපාරටම අහසෙ උන්න පොලීසිය මූට කතාකලා වගේ බයික් එකේ ලයිට් එලිය අහසට විහිදුනා. ඉස්සර රෝදෙ ඉස්සුනා. මූ දැන්  ඉන්නෙ අලියගෙ නැට්ටෙ එල්ලුන ගමරාල වගේ. ඔහොම මීටර් 5ක් 10ක් ඉදිරියට  යනව. මූ එහෙමමයි. 


විදුලියක් කොටනවත් එක්කම මට සිහියට ආව මේ මූකලාන මැද මේ වගේ අනතුරු වලින් තොර සුන්දර පාරක මූ මේ අහසට ලයිට් ගහගෙන යන්නෙ මොලේ අබ ඇටේකට පොඩ්ඩක් වැඩි නිසා වෙන්න  ඕනි නේද කියල. ඒත් එක්ක මූ  අහසට එලිය දෙන්නෙ මගෙ වාහනේ එලිය තියන නිසානේදත් කියල. මිනිස්සු උනාම දැනගන්න ඕනි කාගෙවත් පහන් වලින් එලිය නොබල ඉන්න . මම වේගය තව ටිකක් අඩුකරල හෙඩ් ලයිට් ඕෆ් කලා. හිමින් පාර අයිනෙන් නතර කරගත්තා. දැන් ඉතිං සිප් එක ඇරගෙන හරි අලෝකය සපයා ගනින් කියල. සල බලාං ගාල සද්දෙකුත් ටිකකින් ඇහුනද මංදා. වැහි බින්දු සද්දෙ නිසා මට ඒක ශුවර් නෑ.  විනඩි 5ක් 10ක් පරිසර අලංකාරය විදිමින් එතෙනට වෙලා ඉදල නිවීහැනහිල්ලෙ මම ගෙදර ගියා.


පාරෙ ඉන්න උන්ට හොද නරක කියල දෙන්න  ඕනිම කියල නෑ ඉතිං.

6 comments: