Tuesday, July 23, 2019

මතක අරගල

                                         2009 අවුරුද්ද.දෙවෙනි වතාවට උසස්පෙල ලියන්න බලන් උන්න අවුරුද්ද.පලවෙනි වතාවෙත් පුලුවන්තරම් වල බැහැල එක්සෑම් එක සබ්ජෙක්ට් එකක් විතරක් ගොඩදාගෙන දෙවැනිවතාවකට විභාගෙ ලියන්න උන්න අවුරුද්ද.

                                එක්සෑම් එකට මූණ දෙනවට වඩා මට ඕනි උනේ ඒ කාලෙ ගෙදර පරිසරයෙන් මිදිලා කොහෙ හෝ යන්න.පාවෙන්න.මාසෙ වැඩි දවසක් තුන් වේලෙන් එක වේලක් කාල ගෙදරට එන ණය කාරයන්ගෙන් බේරෙන්න කාමරේට ගුලිවෙලා උන්න කාලෙ.විභාගෙ කොච්චර ලග උනත් පන්තියන්න බස් එකටවත් සල්ලි නොතිබුන කාලෙ .

                               වෙන උන් අගහිග වැඩි උනාම මොරාල් උනාට කොහොම හරි ගොඩ දාගන්නව කියල පාඩම් කලාට මට තිබුනෙ නෑ එහෙම ආසාවක්.මට තිබ්බෙ සමාජෙ ගැන තරහක්.අනික් උන්ට තියෙනකොට මට නැතිවෙන කොට තිබ්බ තරහක්.

                              විභාගෙ බල්ලට ගියාවෙ කියල ඒක නොලියන්න අදහස් කරගෙන ඕහේ බයිසිකලේ ගම පුරා ඇවිද්ද එක තමා දවසෙ ලොකුම රාජකාරිය උනේ.ඒත් මට ඕනි උනා සල්ලි.අම්මට තාත්තට අක්කලට එක වේලක් කන්න දෙන්න.ගෙදර බරට හූනු බෙට්ටක තරමක සහනයක් දෙන්න.

                              නෑයෙක් වෙන විදුහල්පති කෙනෙක්ගෙන් ලැබෙනව යොජනාවක්.එක මාසෙක රැකියාවක්.එකම එක මාසෙක.
කරන්න තියෙන්නෙ විභාගශාලාව අතුගාන්න, පුටු මේස හදන්න,කොල බෙදන්න, කඩේ යන්න.ඔය ජොබ් පෝස්ට් එකට කියන්න ඕනි නම මොකක්ද කියන්න මං තාම දන්නෙ නෑ.

                              ඒකත් හරියටම මං දන්න අදුරන මගෙ වයසෙ උන් ඉන්න ඉස්කෝලෙක.මං නොලියපු උන් ලියන උසස්පෙළ විභාගෙ.
මානසික මට්ටම යන්නෙ බින්දුවටත් පහලින්.දන්න අදුරන උන්ට මූණ දෙන්න ඕනි.උන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනි.මගෙ හිතේ ප්‍රශ්නවලට මමම උත්තර දෙන්නත් ඕනි.
ජීවිතේ කියන්නෙම අරගලයක්.

                                 ඒ බින්දු මාන්සික මට්ටම නැති කලේ ඒ ඇස්.ඒ තරු කැට ඇස්.මූනට දිස්නයක් ගෙනාව ඒ ඇස්...අනික් උන් ඔරවද්දි මං දිහෑ හිනාවෙන් බැලුව ඒ ඇස්.මාත් එක්ක කතා කරපු ඒ ඇස්.

                                   විභාග වැඩට ආව අනික් ගුරුවරුන්ගෙ හැමදේම කරල හොදක් නොඅහපපු මට හිනාවෙලා දවස ගෙවන්න උදව්වක් උනේ එයා.ඇත්තටම මට 18යි.එයාට ඔව් එයාට ඒ වෙනකොටත් 30ක්.ඒත් ඒ තරම් වයසක් පෙනුනෙ නෑ.හුරුබුහුටි පෙනුම වැඩි කලේ බූසි කොන්ඩෙ.ලොකු ගෙඩියක් බැදන් උන්න ඒ බූසි කොන්ඩෙ කෙහෙරැලි අතරෙ මාව පැටලුනා.අතරමං උනා.ආදරේට කොහෙද වයසක්.

                                   කොලයක් අතට දෙනකොට වැරදිලා අත වැදුන පලවෙනි දවසෙ ඒ ඇස් දිලිසුනා.පස්සෙ හැමදාම කොලත් එක්ක මං ඒ අත අතගාන්න පුරුදු උනා.ඒ ඇස් තවත් හිනා උනා.

                                        වැඩක් නැති හැම වෙලේම මං එයාගෙ මේසෙ ලග එයාට තනි රැක්ක.කටින් නොකිව්ව ගොඩක් දේ ඒ ඇස් මට කිව්ව.
ගෙදරට ඕනිකමට සිද්ධ උන අසාර්ථක කසාදෙ.ලග නිදාගන්නවත් නොහිතෙන අපිරිසිදු මනුස්සය ගැන.මේ හැමදේම.ඒ ඇස් වැඩිපුරම දිලිසෙන්නෙ කදුලින් හැමවෙලේම තෙත් වෙලා තිබුන නිසා.ඇස් මුවහත් වෙන්නෙ කදුලු හෙලපු තරමට.

                                            ජීවිතේ කෙල්ලෙක්ට මුල්ම වතාවට මම වස්තුව කියන වචනෙ කිව්වෙ එයාට.ඒ ඇස් මට වස්තුවක් උනා. ඒ කදුලු වලට හිනාවක් ඕනි කලා.හැමදාම ගෑනියෙක්ට අඩන්න බෑ.සැනසීමක් ලැබෙන තැනක් තියෙන්නම ඕනි.ඒ සැනසීම එයා මගෙ ලග හෙව්ව.මං මගෙ කටුක ජීවිතේ අමතක කරන්න විදියක් හෙව්වා.ළමයි ප්‍රශ්නපත්‍ර බදාගෙන ඒවට උත්තර ලිව්වා අපි අපි බදාගෙන අපේ ප්‍රශ්නවලට උත්තර හෙව්ව.

                                           "ඔය තරම් මට ආදරේ දෙන්න එපා.මට දාල යන්න බැරිවෙයි" ඒ එයා හැමවෙලේම මතුරපු මන්තරේ.ඒත් අපි අපි නැතුව කොහොම ඉන්නද. එක දෙක එලියට පේන්න තිබුන එයාගෙ සුදු කෙස් ගස් කැපිලා ගියා.මගෙ අතපය වල නියපොතු පාරවල් එකතු උනා.

මාසෙක රස්සාව මාව ජීවත් කලා.නෑ අපිව ජීවත් කලා..

මාසෙ රස්සාව ඉවර උනා.අපේ හමුවීම් සීමිත උනා.ඉස්කෝලෙ ඇරුනාම මිස් කෙනෙක්ගෙ ඉනවටේ අත දාන් යන කොල්ලෙක් ඉස්කෝලෙ ලමයිට සුලබ උනා.
මගෙ ජිවන අරගලේ හරස් උනා.එක එක සුලි සුලං වලට අහුවෙලා ජීවිතේ ගහගෙන ගියා.එයා නතර උනා.මං පවුනා.ආයෙමත් ආයෙමත් මං පාවුනා.ඒ පාවෙලා නතරවෙන හැමතැනකම හෙව්ව.ඒ ඇස්.ඒ දිලිසෙන ඇස්.මට ආදරේ කරපු ඇස්.

ඇත්තමයි.ජීවිතේ කියන්නෙ අරගලයක්.මතකයන් එක්ක කරන අරගලයක්.



©මුදියන්සෙ මලයා

3 comments:

  1. මතකය අමතක නොවනතාක් කල් ජිවිතය අරගලයක් තමයි මුදියන්සේ මලයා.....

    ReplyDelete
    Replies
    1. කවදා කොහොම අමතක කරන්නද ?? අමතක වෙනවද?? සමහර මතක ඊයම් බරු වගේ

      Delete