Friday, July 3, 2020

සී තාත්තා


සූර්යග්‍රහණය අද වෙනකොට මට මතක්වුනා අතීත කතාවක්.ඔය ග්‍රහණයට අදාලවෙච්චි කතාවක් මේක.අපේ පරම්පරාවෙ වරුණෙ කියවනව කියල නොහිතා උඹල නොදන්න එව්ව දැනුමට එක්කරගන්න එකයි ඇත්තෙ ඕං.
මේක අපේ අම්මගෙ සීයාගෙ කතාවක්.ඒ කියන්නෙ අම්මගෙ තාත්තගෙ තාත්තා..පරම්පරික දේවාල කපුමහත්තුරු.. හොදම වැඩ්ඩො..අඩි හතක් විතර උහයි.දන ලගට දිග කොන්ඩෙ.පපු මැදට දිග රැවුල..සුදට සුදේ බැබැලෙනව ඕං ශරීරෙයි කොන්ඩෙ රැවුලයි වෙන් කරං අදුරගන්න බැරි මට්ටමට..
දැන් උඹල හිතන්නෙ මම කෝමද ඕව දන්නෙ කියලද.16x24 රාමු කරපු වර්ණ පින්තූරයක් තියෙනව ඕං අපේ ගෙදර.ඕනිනම් ඇවිත් බලාකියාගෙන වැද පුදාගෙන යන එකයි ඇත්තෙ.
මේ කතාව මගෙ කනේ තිබ්බෙ අපෙ සීයා.උන්නැහෙත් හයේ හතරෙ ප්‍රමාණෙ මනුස්සය වෙච්චි.වල් ඌරෙක් උනත් කකුල් කෙටියෙන් අල්ල පොලොවෙ ගහන්න හයිය තිබ්බ.තිබ්බ නෙවෙයි මම දෑහින් දැක්ක. වත්ත පහල මයියොක්ක කොරටුවේ සුදුම සුදු දඩ වල් ඌරු නාම්බෙක්ට ගැහුවා පයින් පාරක් ඌ කෙලින්ම ගිහින් වැටුනෙ ආච්චි කොහිල දළු කප කපා උන්න පිහිය උඩට.බෙල්ල කැපිලා වෙන් උනා.ආච්ච් ඌව එහෙමම උයල ගත්තා.කොහිල දළු දාල වල් ඌරු මස් හරි රසයි උයල කාල බලහල්ල.
කපුමහත්තුරු සූකරමස් බුදිනව ඇහුවාම අපුලයි වගේද.ඒ කන්න නාක කලු පාට ඌරො.අපේ සීයල කෑවෙ සුදුම සුදු පාට උන්ව.විශ්වාස නැත්නම් ඇවිත් බලහල්ල අපේ ගෙදර කනප්පුව හදල තියෙන්නෙ සුදුම සුදු ඌරු දල හතරක් කකුල් වලට හිටවල.
සීයගෙ කතා කියල වැඩක් නෑ මෙතන.සීය වැඩ්ඩ උනාට සී තාත්තා ඊට වඩා වැඩ්ඩ.හිතාං අපි කොයි තරං තේජස් පරම්පරාවක්ද කියල.ඉංග්‍රීසින්ට මේ රට එපා වෙලා දාල යන්ට ගුරුකමක් කරල තියෙන්නෙත් අපේ සී තාත්තා.උඹල උනත් ඕම නිදහසේ ඉන්නෙ ඒ උත්තමය පිං සිද්ධ වෙන්න කියන එක හිතේ හටහං කරගනිල්ල.ඕවා කියන්නෙ මම තෑගි බෝග තානාන්තර බලාගෙනවත් නෙවෙයි.පත පොතේ නැති දේවල් බොලාල දැනගන්න ඕනි නිසා.
වරුණෙ වැඩක් නැතුවා..කියන්ට ආව කතාව මෙන්න මේකයි ආයිබොවන්ඩ..
සී තාත්තා ශරීර ශක්තියෙන් විතරක් නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර වලිනුත් හරි හරියට වැඩ පෙන්නපු මනුස්සය වෙච්චි.එතුමා ගමේ රටේ මිනිස්සුන්ගෙ සුව පහසුව ගැන හොදටෝම වදවුන හිත හොද උත්තමයෙක්.නියං කාලෙට වතුර ඕනි බෝග වලට විතරක් වැස්ස වස්සල බෝග රැකගන්න උන්නාසෙ හරි හරියට උනන්දු වෙලා තියෙනව.හරක්ට මහන්සි වුනාම යක්කු බන්දල සී සාලත් තියෙනව කියනවනෙ.. සමහර යක්කුන්ගෙ නම්ගම් නම් දැන් මතක නැතුවා.. උන්ට වසන්ට ගේ අයිනෙන් වෙනම පැල්කොටයක් පවා හදල තිබ්බය කියනව.ඔය ඉසව්වෙ පස් කන්ඩියක තිබිලා රං කෙන්දෙන් හදපු මංචු කුට්ටමක් වගේ එකක් මට ලැබුණනා..සීයා කියන්නෙ යක්කු බාන ඈදුවෙ ඒ රං කෙන්දෙන් බැලදලු.ඒ බැදල පිරිත් වතුර වක්කරනවලු බලය ශක්තිය සමෝසම වෙන්ටය කියල..
පුරාජේරු කියවනව කියල හිතන්ට එපා..ගුණ කන්දක්ම තියෙන නිසා එහෙන් මෙහෙන් ගලාගෙන එන එක නතර කරන්ට බැරුවා.
සුද්දව රටින් පන්න ගන්ට කල්‍ යල් බල බලා උන්න සන්දියෙ ඉර මේ වගේම වහංවෙලා..විනාඩියකට දෙකකට නෙවෙයි හත් දොහක්ම ගන අන්ධකාරෙ තිබුණය කියන්නෙ.චන්ද්‍රයගෙත් ආලෝකයක් තිබිලා නෑය කියනවනෙ.ඉරේ එලිය නැතුව කෝමෙයි චන්ද්‍රයා දිලිහෙන්නෙ. කෑලි කපන කලුවරේ රටේම මිනිස්සු බතක් බුලතක් සප්පායං වීගන්නවත් නැතුව හරිම අපහසුවෙන්ලු කාලය ගතකොලේ..හුළු අත්තකට ගිනි මැලයකට හැකියැ දවස තිස්සෙම එලිය දෙන්ට.
අනික එච්චර කොරන්ට කොහෙ තියෙන දරද..
සී තාත්ත ඕක ගැනත් කම්පනාකරමින් ඉන්නවලු..හිතේ නෑලු කිසිම සන්තෝසයක්.එක අතකින් පර සුද්දො එලව ගන්ට ඕනිය, මේ ගණ අදුරය මිනිස්සුන්ට කන්ට බොන්ට විදියක් නෑය.රටේම ප්‍රශ්ණ ඉතින් එයැයි එපැයි විසදන්ට.
ගිනි මැලය ලගට වෙලා කල්පනාකරනව දැකල ඔතැන්ට ඇවිත් තියෙනව ඕං අර යක්ස සේවකයො පිරිස.මුලින්ම මේ අදුරට පිලියමක් හොයමුය කියල පිරිසම ගිනි මැලේ වට කරගෙන සාකච්ඡාවලු.
යක්කු කියල තියෙනව හද එහාට තල්ලු කරල එලිය අරං දෙන්නංය කියල.සී තාත්තා ඕකට කැමති වෙලා නෑ..ඉරයි හදයි ආදරෙන් වෙලිලා ඉන්නැද්දි අවම බලය යෙදීම යුතු නෑය කියල.
ඔය කතිකාව කරගෙන යනකොට එක් යකෙක් හිසකෙසක් ඇදල අරං ගිනි මැලේට විසි කරපි. මෙන්න මේක රං කෙන්දක් වගේ දිලිහෙන්ට පටං අරං..පොඩි ඉරක් පෑව්ව වගේ එලියක් ඇවිත්. සී තාත්ත ඕක දිහෑ බලං ඉදල සී ආච්චිට කියල තියෙනව හෝර්ලික්ස් බෝතලේ ගේන්ටය කියල..ඒ කාලෙ හෝර්ලික්ස් ආවය කියන්නෙ වීදුරු රවුම් බෝතල් වලලු.සී තාත්තා අර ඇවිලුනු හිසකේ බෝතලේ ඇතුලට දාල කටින් හුලං ටිකක් පිඹල මූඩිය තදකරල වැහුවලු.දැන් ඔන්න අර අලෝකය යන යන තැනක අරං යන්ට හැකිලු. සීයා තනියම එලියෙ ඉන්නෙ මොකටදැයි හිතලා පරම්පරාවම භාවිතා කලාය කියන හෝර්ලික්ස් බෝතල් කන්දක්ම ගිනි හිසකෙස් බෝතල් කලාය කියනව.රට වටේම මිනිස්සු ඒ හත්දොහම එලිය අරං තියෙන්නෙ ගිනි බෝතලෙන්ය කියනවනෙ.
පහුකාලෙ ඕක බලං ගිහින් බල්බ් එක හදල තියෙන්නෙ සුද්දො.උන්ට ගිනි කෙස් තිබ්බයැ ඔව්ව හදන්න.උන් ඉතින් හරිම දුක් විදල තියෙනව කෙස් ගහ පත්තු කරගන්ට..අන්න එහෙමයි අපේ පරපුරේ උතුමේ රටට සේවය කරල තියෙන්නෙ...
ඔය කතා අහල මාත් ඇහුවා සීයාගෙන් ඇයි සීයෙ රටේ ප්‍රශ්න විසදගන්න සීයට උදව් කරන්න පුළුවන්කම තියාගෙන නොකර ඉන්නෙය කියල.එතකොට සීයා කියපි පොඩි පුතේ මේ රටට අපිම ඔය සේරම කොලාම අපි මේ රටේ නොනිල පාලකයො වෙනවය රටේ පහු පරම්පරා නිකන් කන්ට බොන්ට හුරුවෙලා නිකම්මු වෙනවය කියල..
අන්න ඒමයි බලයට උනත් කෑදර නැති රත්තරං මිනිස්සු...
ගොහිං එඤඤං...


©මුදියන්සෙ මලයා




Sunday, June 28, 2020

මැජික් කාඩ්

ඒ කාලෙ.. කොට කලිසම ඇදගෙන දුවිලි දාඩිය පෙරාගෙන ඉදල පාසැල අවසන් වුන ගමන්ම ලගම තියෙන කඩේට දුවල අපි ටිපිටිප් කෑවෙ පොරකකා..ඒ කාලෙ ඒ කෑම වලට තිබ්බෙ පෙරේතකමක්..
ඒ පෙරේතකම් ඉහවහ ගියෙ මැජික් බෝල, මැජික් කාඩ්, සෙල්ලම්බඩු නිසා..
මැජික් කාඩ් වලත් විනිවිද පේන කවරවල තිබ්බෙ සුලඹ දේවල්.ඒත් අත්දැකීමෙන් දන්නව සුදුපාට/නිල්පාට කවර ඇතුලෙ තියෙන්නෙ දුලබ දේවල්.ඒ කවරෙ විවෘත කරනකම් හිත හරිම නොසන්සුන්..
හැම වාහන වරගයක්ම, රොබෝලා ,සත්තු එකතු කලේ පිස්සුවෙන්..
මැජික් කාඩ් ඔට්ටු ඇල්ලුව.. මුද්දර වෙනුවට මාරු කලා..
ජීවිතේ තිබුනේ ඒ දේවල් ගැන ආසවක් විතරමයි...
දැන්..මැජික් කාඩ්වල තිබ්බ ආස කරපු වාහන ගන්න, ගෙවල් හදාගන්න හැල්මෙ දුවනව.දැන් නොයිවසිල්ලෙන් දිග අරින්නෙ පඩි පැකට් එක විතරයි.ඒ නොයිවසිල්ල තියෙන්නෙ තවත් වැඩිපුර කීයක් හරි පඩියෙන් කැපිලද කියල බලාගන්න.
ණය, ආධාර, අරකද මේකද කැපිලා අතට එන සොච්චම..
ගෙදරින් ලැබුන බස් ගාස්තුව ඉතිරි කරගෙන ටිපි ටිප් කෑව අපි දැන් හම්බකරන පඩියෙන් ටිපි ටිප් එකක් කන්න දෙවතාවකට වඩා හිතනව.ඒ පොඩි උන් කන කෑමක් නිසා ලැජ්ජවක් ඇතිවෙයි කියල නෙවෙයි..ඒ 50/=ත් වටින නිසා..
ලොකු වෙන්න ආස කලේ ඇයි කියල නොහිතෙනවනම් ඒ මනුස්සයට සුන්දර ලමාකාලයක් නොතිබෙන්නම ඕනි.ජැන්ඩි සූට් එක්ක ඔෆීසියට හිර වෙන ජීවිත සැනසීම හොයන්න හැම තත්පරේම උත්සහ කරනව...
බොහෝ දෙනා ඒ සැනසීම අවසන් කරගන්නෙ අනවශ්‍ය කරදර පටලගෙන.
ජීවිතේ මෙච්චර සංකීර්ණ කරගන්න අපි තාමත් දතකනව හැර සරල කරගන්න උනන්දුවක් ඇත්තෙම නැතිතරම්.
ටිපි ටිප් එක විකුණගන්න අපිට මැජික් කාඩ් වික්ක මිනිස්සුම අද අපිට ඊට වඩා ලොකු දේවල් විකුණනව.
අපි තවමත් අර ළමාගතිය හිතේ කොනක හිර කරගෙන වෙලෙන්දන්ගෙ උප්පරවැට්ටි වලට අසුවෙලා අනවශ්‍ය බරක් ගොඩ ගහගන්නව.
හැබැයි මම තාමත් දාස්ගානක් ණය සල්ලි එක්ක ඇගේ ගහන ක්‍රෙඩ්ට් කාඩ් එකකට වඩා මැජික් කාඩ් එකකට ආසයි.ආලෙයි..

©මුදියන්සෙ මලයා


Wednesday, June 24, 2020

බංකුව





තුරුලතාවල මල් පිපී
අපට ආශිර්වාද දුන්සැටී
බංකුවේ හිද මැවූ ලෝකය
නුඹට අමතකවූ සැටී

ප්‍රේමයක්නම් මෙයම වියයුතු
කීව උරහිස මත රැදී
බංකුවට නොමැති මුක්කුව
ජීවිතේටත් නොලැබුන සැටී

එක්වතැබු පා සටහනක අතරින්
පෙත්මගේ යළි මල් පිපී
නූඹේ සුවඳම වෑහෙනාතුරු
මා තවම සුසානය මත හිදී


©මුදියන්සෙ මලයා

Sunday, June 21, 2020

පෙරහැර


එකෝමත් එක කාලෙක උදෑසන මල් වට්ටිය දෝත දරාගෙන සරම් කොටයක් ඉනට තිබා රෙදිපටියකින් ගැටගහගෙන දහම්පාසැල් ළමුන් පිරිසක් ගම්මානය මැදින් ගමන් කිරීම සුන්දර දසුනක් වෙලා තිබුනා. ඒ දසුන කෙතරම් සුන්දර වුවත් දහම්පාසැලෙන් උගෙනගත් ධර්මයට අනුව සියළුදේ අනිත්‍ය බව ගමටම පසක් කරන්නටම දහවල් වනවිට මේ දරුකැලම උත්සහ කරන්නේ අවවාදයට වඩා ආදර්ශය ඉතා උතුම්බව සිතේ තබාගනිමින්.ඒ කෙසේද යත් පින්වත් දරු පිරිසක් ලෙස සන්සුන් ගමනින් පියමැන්නාවූ ළමෝ දහවල් ආහාරය සදහා නිවෙස් බලා දිවයන්නෙ පෙට්‍රල් ගසනා ගව රැලක් සේය.සරම කරේය එක්කෝ අතේය නමුත් ඉන බැදි රෙදි පටිය තවම ඉනේය.
පාර දෙපස වතුවල පලතුරුවලට අබසරණය.
අන්න එහෙව් ළමෝ පිරිසක සාඩම්බර කොටස්කාරයෙකුවූ මා මෙතරම් තැම්පත් ගතිගුණ ඇත්තෙක් වීමට පසු පසුද ඇත්තේ දහම්පාසලමය.
ආතල් ගන්න, ආදරය කරන්න වගේම වලබහින්නත් හොදම තැනක් දහම්පාසැල.
ගොතගසමින් පාලියෙන් ගාථා කියවූ කුඩා කාලයේ සිටම දහම් පාසැල් ශිෂ්‍ය නායකයෙක් වී අවසාන විභාගය මඟහැරීම දක්වා ඇත්තේ සුන්දර මතක ගොන්නකි.
ප්‍රදේශයේ පන්සල් අභිබවා යාමේ උණක් ලොකු හිමියන්ට වැලදීම සිටම අපට ආතල් ගැනීමට හොදම පරිසරයක් ගොඩනගා ගැනීමට හැකිවීම පෙර පුණ්‍යකර්මයක් විපාක දීමක් වෙන්නට ඇති.
වයසින් මුහුකුරායන විට දන්ගෙයි වැඩකටයුතු සදහා අවසර ලැබෙන්නේ බඩේ පනුවන්ට ස්වර්ණමය යුගය උදාකරමින්.උදේට කිරි රොටියේ සිට දහවල් කුකුල් අඬුව දක්වාම බඩේ පනුවන් වෙනුවෙන් අපිම පූජා කරන්නෙ දානය යනු මහත්ඵල මහත්ආනිසංස දෙන පුණ්‍යකර්මයක් බව සිතේ තබාගෙනමයි.
දහම්පාසැලේ 10 ශ්‍රේණියෙ උගෙනුම ලබන කාලයේ තමා හාමුදුරුවන්ගෙ උණ උත්සන්න වුනේ.එයාගෙ යෝජනාව මිහිදු පෙරහැරක් පවත්වන්න.අයිටම් 50ක් විතර ඇතුලත්ව.එකම එක අලියෙකුත් උන්න ලිස්ට් එකේ.පන්තියෙන් පන්තියට නොයෙක් නැටුම් ගැයුම් බාරදෙන්න කතිකාකරගෙන තිබුණා. ඉහලම ශ්‍රේණියට සහ අපේ ශ්‍රේණියේ අපි කිහිපදෙනෙක් සංවිධාන කටයුතුවලට යොදාගන්න නම් කල නිසා අපිට ජාමෙ බේරගන්න ලැබේය කියන මතයෙන් සතුටෙන් පිනාගිහින් සිටියා කීම තමයි නිවැරදිම.
බොදුබැති ගී කණ්ඩායමට වෙනම ලොරියක් සරසල අසුන් පනවන්න නියමිතයි.මිහිදු හිමිගේ ප්‍රතිමාවක් තවත් රථයක.වෙස් නැටුම්, බෙර වාදන, කොඩි , මල් වට්ටි, ලී කෙලි, කලගෙඩි නැටුම් ,කුලු නැටුම් ආදී නොයෙක් නැටුම් පුරුදු පුහුණුවෙන් පසුව රගදක්වන්න තමා සූදානම.ආ ඔය අතරෙ අපේ පන්තියෙ දැරිවියක් සහ එයාගෙ නගාල දෙන්න කොහොඹ කලේ නටන්නත් සූදානම්.අනේ ඉතින් ඒ දැරිවියො ඇහැක් වගේ බලාගෙන නැටුම් පුරුදු වෙනකන් පන්සලේ රැකවල් යෙදීම අපේ රාජකාරියෙ කොටසක්.
ඒ රාජකාරිය කෙතරම්දුරක දේවකාරියක් වුනාද කියනවනම් පෙරහැර අවසානේ නංගිල දෙන්න දෙන්නට දෙන්න තරහ වෙලා.අපේ අම්මගෙ හොදම යෙහෙළියක් වුන ඒ දැරිවියන්ගෙ අම්ම මටම බැනල අම්ම එක්ක ඒ මගෙ අම්ම බව නොදැන.
අන්න ඒකයි කියන්නෙ දහම්පාසල ආලයට වේදිකාවක්ය කියල.
කොතරම් පෙර සූදානමක් තිබුණා වුනත් අවසානෙ පොල්ල තියෙන උන් ඉන්නව ඕනිම තැනක.අපේ මේ සුන්දර පෙරහැරට ඒ වගේ පොලු 2ක් වැටුනා.එකක් වැදි නැටුමෙ වැද්දෙක් අඩුයි.අනික හාමුදුරුවන්ට ඕනෙමයි කිව්ව තාපසය රහත්වෙලා..ඉතින් කෝමදැයි දන් වලදන්නේ.අවසන් නියෝගය ඒ අඩුව සම්පූර්ණ කරන්න සංවිධායක මණ්ඩලය කටයුතු කලයුතුමයි.සොයාගන්න එකෙක් නැත්නම් සංවිධායක දෙපලක් ඒ හිස් තැන හිටගන්න ඕනි.
හාමුදුරුවන්ට බෑ කියන්නෙ කොහොමද.ඊලග පැය කීපයම ගෙවෙන්නෙ කිසිම කෙනෙක් සොයාගන්න නොහැකිව අසරණව ඉන්න අපේ ඔලු උඩට හෙන පාත්වෙන බව මතක් කරමින්.හවස 6ට පෙලගැසීම් කරන්නට ඕනෑය.හවස 5ටත් අඩුව පුරවන්න එකෙක්වත් නෑය..
ගුරුමණ්ඩලෙන් යෝජනාවක් මාව වැද්දෙක් කරන්න.යකෝ මේ ගමේ ඉතා සුපැහැදිලි නමක් තියාගෙන ඉන්න මම කොල ඇතු ඇදගෙන කිරි කොරහ නටන්න.එව්ව කොහෙද මා එක්ක.මිතුරන් දෙදෙනක් සමහ මාත් අතුරුදන් ඊලග මොහොතෙ.දැන් හවස 6යි.පෙලගැසීම් ආරම්භයි.
ආවාසගෙයින් පිටතට එන්නෙ සන්සුන් ගමනින් පාද තබමින් තාපසතුමන් කෙනෙක්.දිග රැවුලක් සහ දිග කොන්ඩයක්.ඇග දැවටුනු අලුත් සිවුරක්.හැද සිටියේ ලොකු හාමුදුරුවන්ට අයත් අලුත් තනිපට සිවුරක්.ශාන්ත ගමනින් වැඩි තාපසතුමන් තමන් වෙනුවෙන් ගස් සිටුවා සූදානම් කල අත් ටැක්ටරයේ සුවපහසු බංකුව මත හිදගෙන.
සියල්ලෝම ටීක්බෝල තරම්වූ ඇස් ඇතිව බලා සිටින්නේ මේ කවුද කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ඇදගෙන.
පෙරහැර අවසානය තෙක් තාපසතුමන්ට සහ ඔහු සමග සිටි පිරිසට කෑමෙන් බීමෙන් අඩුවක් වුනේ නැහැ.මග දෙපස පිහිටුවා තිබූ දන්සල් වලින් ලැබෙන කෑම වලින් පිරීගිය පාත්‍රයක් දෑතේ තබාසිටි නිසා.
එසේ පෙරහැර නිමවී සියල්ලෝම සතුටින් විසිරගිය අතර මාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ දෝෂාරෝපණය ලක්වීම නිරතුරුව සිදුවුනේ අපේ මුව අගට කුපාඩි සිනාවක් නංවමින්.
වර්ෂ අවසාන ත්‍යාගප්‍රදානෝත්සවයේදී පෙරහැරට දායකත්වය ලබාදුන් සියල්ලන්නටම සහතික පතක් ලබාදී අගයන බවටද මාහට ඇගයීමක් නොමැති බවද ගුරුවරුන් සතුටෙන් මතක් කල කරුණක්.
ත්‍යාගප්‍රදානෝත්සවය දින වේදිකාව පසුපස සිට ත්‍යාග පිලියෙල කරමින් සිටි මාගේ දෙකකුල් සීතල කරමින් යකඩ කටෙන් මහ හඩින් "තාපසතුමාග්‍රෙ චරිත නිරූපනණය කල (නම) සිසුවා කියල කියනවිට මට හාමුදුරුවන්ගේ මෑනියක් සිහිවුනේ නෑ කිව්වොත් ඒක බොරු.හාමුදුරුවන්ට උනත් රහසක් පොරොන්දුවක් රකින්න බෑ.නිගමනේ එච්චරයි.
නමත් මගෙ නෙවෙයි මාත් මම නෙවෙයි ලෙස සිටිනවාමිස වෙන කුමක් කරන්නද ??
තාපස කකුළුවට හැංගෙන්න අනුන්ගෙ කට්ටක් තිබ්බට අපිට කොහෙද එහෙම එකක්.

©මුදියන්සෙ මලයා

තාපස කකුළුවා

Wednesday, June 17, 2020

දෙවියො



දෙවියො උබ අදින්නෙම ගෑනුන්ට
උබ ලගදි විතරක්ම
අපි දෙන්නෙක්ද
වට්ටියේ ඇපල් වලටම කීයක්ද
ඇහෙන්නෙම නෑ උබට
මගෙ ඉල්ලීම
ගෑනු ලග උබගෙත්
නගිනවද
මම ඉල්ලුවෙම ඒකිගෙ හිනාව
උබට මතකද
ඒකි ඉල්ලුවෙ
"ගෝඩ් අයි වෝන්ට් බිග් ඈස්"
ඉතින්
උබ අදින්නෙම ගෑනුන්ට....
හිනාව මනින්නෙම පුකකින්ද ....

©මුදියන්සෙ මලයා

Sunday, June 14, 2020

ගොක් කොල පෙනීයන්



නිවසෙන් එලි බසිද්දී
හූනෝ නුඹ අඩාපන්..
නිල් කැට ඇස් වෙහෙසවෙන්න
බල්ලෝ උඩු බුරාපන්..
බොකුටු කොන්ඩෙ වහ වෙන්නට
උකුණෝ උඹ නටාපන්...
වටරුව නලවන වාරෙට
කිරි පුණුවෝ සපාපන්..

මට බහ නොදුන් තිට
ගොක්කොල පෙනීයන්...

බලන බලන කොල්ලා
නංගිට වහ වැටීයන්...
කැමති එකා හට උඹෙ
නුගුණම පෙනීයන්...
නුඹ මූණට වඩා ඒකී
කලඑලි වැටීයන්...
තිට නොදැනන මගෙ ආලය
ඒකිටවත් දැනීයන්...

මට බහ නොදුන් තිට
ගොක් කොල පෙනීයන්...


©මුදියන්සෙ මලයා



Wednesday, June 10, 2020

ජල කාලතුවක්කු ආචාරය


සමහරවිටෙක ඔබ දැක ඇති විටෙක ඔබ මොන විකාරයක්දැයි සිනාසී ඇති. එහෙත් ඔබගේ ගෙලට පලදන මල්මාලයකට ,දෑතට ලබාදෙන මල් කලඹකට , කොපුල් උනුසුම් කරන හාදුවකට සිනාසී ඇතිද.විකාරයක්දැයි සිතා ඇතිද. මෙයත් එවැනිම අචාරකිරීමේ සම්ප්‍රදායකි. මෙලෙස හදුන්වාදීමක් කරන්නට සිදුවූයේ පෙර දිනක නිරාගමික අයෙක් විසින් මෙය ආචාර ක්‍රමය ආගමික ක්‍රමයක්යැයි වටහාගෙන සමච්චලයට ලක් කිරීම නිසාය.
යම් යම් අවස්ථාවන්හිදී මෙම ජල කාලතුවක්කු ආචාර ක්‍රමය භාවිතා කිරීම ගුවන් තොටුපළ සම්ප්‍රදායකි. මෙය ගෞරවය හා කෘතවේදීත්වය පල කිරීමේ ආචාර ක්‍රමයක්වේ.
මේ සදහා ගිනි නිවීමේ නිලධාරීන් දෙදෙනෙකු අතීතයේ යොදාගැණුනු අතර වත්මනේදී ගුවන් තොටුපල ගිනි නිවීමේ (AIRCRAFT RESCUE AND FIREFIGHTING) ඒකකයේ රථ 2ක් හෝ 3 ක් යොදා ගැනීම සිදුකරයි.
මෙහිදී පැමිණෙන හෝ පිටත්ව යන් ගුවන් යානයක දෙපස සිට ARFF රථ මගින් ජල චාප විදීමක් සිදු කරණු ලබයි. රථ තුනක් භාවිතා වන්නේනම් රථ දෙකක් දෙපසින් හා අනෙක් රථය ඉදිරියේ සිට ජල විදීම සිදුකරයි.ජල චාප විදීමයට යොදාගනු ලබන්නෙ වැඩි ජල විදීමේ බලයක් සහිත ජල කාලතුවක්කු රථයන්ය.
මෙම ජල කාලතුවක්කු ආචාරය සදහ විනාඩි 2ක පමණ කාලයක් තුල ජල ලීටර 3000ක් පමණ යොදාගනී.
- පලමුවරට ගුවන් තොටුපළෙන් පිටත ක්‍රියාත්මක වන නව ගුවන් සමාගමක් සදහා ,
- පලමුවරට වානිජමය වශයෙන් ක්‍රියාත්මක වන නව ගුවන් යානයක් සදහා,
- ගුවන් යානයේ කපිතාන් හෝ ATC (Air Traffic Control ) සාමාජිකයෙකු විශ්‍රම යන්නේ නම් ,
- ගුවන් සේවය එම ගුවන් මාර්ගය වසාදමන්නේනම්,
- ගුවන් තොටුපළේ සිට එම ගුවන් යානය පියාසර කරන අවසාන ගුවන් ගමන් නම්,
යන ප්‍රධාන හේතු වෙනුවෙන් ජල ආචාරය සිදුකරනු ලබයි.
ගුවන්‍ යානා සදහා ජල ආචාර කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වූ නිශ්චිත දිනයක් හෝ ආකාරයක් පිලිබද කිසිවෙකු නොදන්නා නමුත් මෙය නෞකා ජල ආචාර ක්‍රමයෙන් පැවත එන්නේයැයි විශ්වාස කරනු ලබයි.නෞකා මගින් මගී ප්‍රවාහනය ආරම්භවූ සමයේ සිටම මගී ප්‍රවාහන නෞකා පිටත්ව යාමේදී හෝ වරායකට පිවිසීමේදී ගිනි නිවීමේ බෝට්ටු මගින් ජල අචාර පුද කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස භාවිතාවේ.
එබැවින් ජල ආචාර කිරීම ගුවන්යානා වලට පමණක් ආවේනික ආචාර ක්‍රමයක් නොවේ.
වසර 1990 දී ඇමරිකාවේ Salt lake city ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් Delta Air Line හි විශ්‍රාමික ගුවන් නියමුවන්ට ජල ආචාර පුද කල අතර ඒ සමග ජල ආචාර පුද කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්විය.
ඡායාරූපය -අන්තර්ජාලයෙනි.
Jaffna International Airport වෙත පැමිණි පලමු ගුවන් යානය වන අලියාන්ස් ගුවන් සමාගමේ VT-RKM ATR 72 - 600 වර්ගයේ ගුවන්යානයට ජල ආචාර පුදකල අවස්ථාව.


©මුදියන්සෙ මලයා