Sunday, June 21, 2020

පෙරහැර


එකෝමත් එක කාලෙක උදෑසන මල් වට්ටිය දෝත දරාගෙන සරම් කොටයක් ඉනට තිබා රෙදිපටියකින් ගැටගහගෙන දහම්පාසැල් ළමුන් පිරිසක් ගම්මානය මැදින් ගමන් කිරීම සුන්දර දසුනක් වෙලා තිබුනා. ඒ දසුන කෙතරම් සුන්දර වුවත් දහම්පාසැලෙන් උගෙනගත් ධර්මයට අනුව සියළුදේ අනිත්‍ය බව ගමටම පසක් කරන්නටම දහවල් වනවිට මේ දරුකැලම උත්සහ කරන්නේ අවවාදයට වඩා ආදර්ශය ඉතා උතුම්බව සිතේ තබාගනිමින්.ඒ කෙසේද යත් පින්වත් දරු පිරිසක් ලෙස සන්සුන් ගමනින් පියමැන්නාවූ ළමෝ දහවල් ආහාරය සදහා නිවෙස් බලා දිවයන්නෙ පෙට්‍රල් ගසනා ගව රැලක් සේය.සරම කරේය එක්කෝ අතේය නමුත් ඉන බැදි රෙදි පටිය තවම ඉනේය.
පාර දෙපස වතුවල පලතුරුවලට අබසරණය.
අන්න එහෙව් ළමෝ පිරිසක සාඩම්බර කොටස්කාරයෙකුවූ මා මෙතරම් තැම්පත් ගතිගුණ ඇත්තෙක් වීමට පසු පසුද ඇත්තේ දහම්පාසලමය.
ආතල් ගන්න, ආදරය කරන්න වගේම වලබහින්නත් හොදම තැනක් දහම්පාසැල.
ගොතගසමින් පාලියෙන් ගාථා කියවූ කුඩා කාලයේ සිටම දහම් පාසැල් ශිෂ්‍ය නායකයෙක් වී අවසාන විභාගය මඟහැරීම දක්වා ඇත්තේ සුන්දර මතක ගොන්නකි.
ප්‍රදේශයේ පන්සල් අභිබවා යාමේ උණක් ලොකු හිමියන්ට වැලදීම සිටම අපට ආතල් ගැනීමට හොදම පරිසරයක් ගොඩනගා ගැනීමට හැකිවීම පෙර පුණ්‍යකර්මයක් විපාක දීමක් වෙන්නට ඇති.
වයසින් මුහුකුරායන විට දන්ගෙයි වැඩකටයුතු සදහා අවසර ලැබෙන්නේ බඩේ පනුවන්ට ස්වර්ණමය යුගය උදාකරමින්.උදේට කිරි රොටියේ සිට දහවල් කුකුල් අඬුව දක්වාම බඩේ පනුවන් වෙනුවෙන් අපිම පූජා කරන්නෙ දානය යනු මහත්ඵල මහත්ආනිසංස දෙන පුණ්‍යකර්මයක් බව සිතේ තබාගෙනමයි.
දහම්පාසැලේ 10 ශ්‍රේණියෙ උගෙනුම ලබන කාලයේ තමා හාමුදුරුවන්ගෙ උණ උත්සන්න වුනේ.එයාගෙ යෝජනාව මිහිදු පෙරහැරක් පවත්වන්න.අයිටම් 50ක් විතර ඇතුලත්ව.එකම එක අලියෙකුත් උන්න ලිස්ට් එකේ.පන්තියෙන් පන්තියට නොයෙක් නැටුම් ගැයුම් බාරදෙන්න කතිකාකරගෙන තිබුණා. ඉහලම ශ්‍රේණියට සහ අපේ ශ්‍රේණියේ අපි කිහිපදෙනෙක් සංවිධාන කටයුතුවලට යොදාගන්න නම් කල නිසා අපිට ජාමෙ බේරගන්න ලැබේය කියන මතයෙන් සතුටෙන් පිනාගිහින් සිටියා කීම තමයි නිවැරදිම.
බොදුබැති ගී කණ්ඩායමට වෙනම ලොරියක් සරසල අසුන් පනවන්න නියමිතයි.මිහිදු හිමිගේ ප්‍රතිමාවක් තවත් රථයක.වෙස් නැටුම්, බෙර වාදන, කොඩි , මල් වට්ටි, ලී කෙලි, කලගෙඩි නැටුම් ,කුලු නැටුම් ආදී නොයෙක් නැටුම් පුරුදු පුහුණුවෙන් පසුව රගදක්වන්න තමා සූදානම.ආ ඔය අතරෙ අපේ පන්තියෙ දැරිවියක් සහ එයාගෙ නගාල දෙන්න කොහොඹ කලේ නටන්නත් සූදානම්.අනේ ඉතින් ඒ දැරිවියො ඇහැක් වගේ බලාගෙන නැටුම් පුරුදු වෙනකන් පන්සලේ රැකවල් යෙදීම අපේ රාජකාරියෙ කොටසක්.
ඒ රාජකාරිය කෙතරම්දුරක දේවකාරියක් වුනාද කියනවනම් පෙරහැර අවසානේ නංගිල දෙන්න දෙන්නට දෙන්න තරහ වෙලා.අපේ අම්මගෙ හොදම යෙහෙළියක් වුන ඒ දැරිවියන්ගෙ අම්ම මටම බැනල අම්ම එක්ක ඒ මගෙ අම්ම බව නොදැන.
අන්න ඒකයි කියන්නෙ දහම්පාසල ආලයට වේදිකාවක්ය කියල.
කොතරම් පෙර සූදානමක් තිබුණා වුනත් අවසානෙ පොල්ල තියෙන උන් ඉන්නව ඕනිම තැනක.අපේ මේ සුන්දර පෙරහැරට ඒ වගේ පොලු 2ක් වැටුනා.එකක් වැදි නැටුමෙ වැද්දෙක් අඩුයි.අනික හාමුදුරුවන්ට ඕනෙමයි කිව්ව තාපසය රහත්වෙලා..ඉතින් කෝමදැයි දන් වලදන්නේ.අවසන් නියෝගය ඒ අඩුව සම්පූර්ණ කරන්න සංවිධායක මණ්ඩලය කටයුතු කලයුතුමයි.සොයාගන්න එකෙක් නැත්නම් සංවිධායක දෙපලක් ඒ හිස් තැන හිටගන්න ඕනි.
හාමුදුරුවන්ට බෑ කියන්නෙ කොහොමද.ඊලග පැය කීපයම ගෙවෙන්නෙ කිසිම කෙනෙක් සොයාගන්න නොහැකිව අසරණව ඉන්න අපේ ඔලු උඩට හෙන පාත්වෙන බව මතක් කරමින්.හවස 6ට පෙලගැසීම් කරන්නට ඕනෑය.හවස 5ටත් අඩුව පුරවන්න එකෙක්වත් නෑය..
ගුරුමණ්ඩලෙන් යෝජනාවක් මාව වැද්දෙක් කරන්න.යකෝ මේ ගමේ ඉතා සුපැහැදිලි නමක් තියාගෙන ඉන්න මම කොල ඇතු ඇදගෙන කිරි කොරහ නටන්න.එව්ව කොහෙද මා එක්ක.මිතුරන් දෙදෙනක් සමහ මාත් අතුරුදන් ඊලග මොහොතෙ.දැන් හවස 6යි.පෙලගැසීම් ආරම්භයි.
ආවාසගෙයින් පිටතට එන්නෙ සන්සුන් ගමනින් පාද තබමින් තාපසතුමන් කෙනෙක්.දිග රැවුලක් සහ දිග කොන්ඩයක්.ඇග දැවටුනු අලුත් සිවුරක්.හැද සිටියේ ලොකු හාමුදුරුවන්ට අයත් අලුත් තනිපට සිවුරක්.ශාන්ත ගමනින් වැඩි තාපසතුමන් තමන් වෙනුවෙන් ගස් සිටුවා සූදානම් කල අත් ටැක්ටරයේ සුවපහසු බංකුව මත හිදගෙන.
සියල්ලෝම ටීක්බෝල තරම්වූ ඇස් ඇතිව බලා සිටින්නේ මේ කවුද කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ඇදගෙන.
පෙරහැර අවසානය තෙක් තාපසතුමන්ට සහ ඔහු සමග සිටි පිරිසට කෑමෙන් බීමෙන් අඩුවක් වුනේ නැහැ.මග දෙපස පිහිටුවා තිබූ දන්සල් වලින් ලැබෙන කෑම වලින් පිරීගිය පාත්‍රයක් දෑතේ තබාසිටි නිසා.
එසේ පෙරහැර නිමවී සියල්ලෝම සතුටින් විසිරගිය අතර මාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ දෝෂාරෝපණය ලක්වීම නිරතුරුව සිදුවුනේ අපේ මුව අගට කුපාඩි සිනාවක් නංවමින්.
වර්ෂ අවසාන ත්‍යාගප්‍රදානෝත්සවයේදී පෙරහැරට දායකත්වය ලබාදුන් සියල්ලන්නටම සහතික පතක් ලබාදී අගයන බවටද මාහට ඇගයීමක් නොමැති බවද ගුරුවරුන් සතුටෙන් මතක් කල කරුණක්.
ත්‍යාගප්‍රදානෝත්සවය දින වේදිකාව පසුපස සිට ත්‍යාග පිලියෙල කරමින් සිටි මාගේ දෙකකුල් සීතල කරමින් යකඩ කටෙන් මහ හඩින් "තාපසතුමාග්‍රෙ චරිත නිරූපනණය කල (නම) සිසුවා කියල කියනවිට මට හාමුදුරුවන්ගේ මෑනියක් සිහිවුනේ නෑ කිව්වොත් ඒක බොරු.හාමුදුරුවන්ට උනත් රහසක් පොරොන්දුවක් රකින්න බෑ.නිගමනේ එච්චරයි.
නමත් මගෙ නෙවෙයි මාත් මම නෙවෙයි ලෙස සිටිනවාමිස වෙන කුමක් කරන්නද ??
තාපස කකුළුවට හැංගෙන්න අනුන්ගෙ කට්ටක් තිබ්බට අපිට කොහෙද එහෙම එකක්.

©මුදියන්සෙ මලයා

තාපස කකුළුවා

2 comments:

  1. ඉතිං සතුටු වෙන්න දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ඒක රහසක් විදියට තියගන්නනෙහ් කතිකා කරගත්තෙ

      Delete