Monday, June 1, 2020

----ප්‍රේමය-----



මම
ලෝකය තුල පියඹමි... සියල්ල වටහාගැනීමට උත්සහ කරමි.... බැදීම් තුල වේදනාව වේයැයි සිතමි....වටහාගන්නට උත්සහ කරමි...තර්ක බිඳදැමීමට උත්සහ කරමි....
ප්රේමය යනු කුමක්දැයි සොයමි....සැරිසරමි....විඳීමක් හෝ විඳවීමක්දැයි සිතමි.... සොයමි.... වටාහාගමි.....උත්සහ කරමි....

මුහුණු පොත නාද කරනුයේ මිතුරු ඇරයුමකි.කාන්තා ඇරයුම් ප්රතික්ෂේප කරමි....හරවා යවමි....නමුත්....
ඇයව මා ප්රතික්ෂේප නොකලෙමි.. සිත වෙහෙසමි ... එසේවූයේ ඇයිදැයි සිතමි...
සිහින් ඇස්... ජපන් ඇස්...
සසල වූයෙමි...නතරවූයෙමි... පිලිගනිමි...
නැත .... කාලයක් තිබෙන්නට හරිමි...
ඇය සිනාසෙනු දකිමි... කෙලිලෝල ගති දකිමි... ඇසින් විදිමි...
සිත නොදකිමි...
පිලිගනිමි...


මා සරල වීමට උත්සහ කරමි...වේදනා අතරින් සිනහව සොයමි....විනෝදය සොයමි....ඇස් අමතක කල යුතුබව සිතමි....
උත්සහ කරමි..
ඇය මා සොයන බව වටහාගනිමි... මග හරිමි...
ඇස් මගහැරියනොහැක්කේ යැයි වටහාගනිමි....
ලං වන්න ඉඩ නොදෙමි...
ප්රතික්ෂේප කරමි.... නැත නොකරමි...
බලාහිදින්නට උත්සහ කරමි...
කිමිදෙන්න ඉඩ නොදෙමි... කතාවට පමණක් අවසර දෙමි...
මා වසාතබමි.. මුව මුද්රා තබා ගනිමි... අසා සිටීමට කන් පමණක් විදහාගෙන සිටිමි... ඔව්.... එසේ කරමි...
ඇයට කන් පිරවීමට ඉඩදෙමි... හොද අසන්නෙක් වෙමි...

ඇය හදුන්වාදෙන දේ අසා සිටිමි... හදුනාගන්නට උත්සහ ගනිමි.... රවුම් රවුම් ලෙසමත්... කොටු කොටු ලෙසමත් හදුනාගනිමි...
පැටලුනු නූල් බෝලයකි ඇය... එය වටහාගනිමි... අග මුල සොයන්නට උත්සහ නොගනිමි...අතීතය අනාගතය අතහරිමි... වර්තමානයේ පමණක්ම ජිවත් වෙමි...එය ඇයට කියාදෙමි... ජීවිතය එයයැයි සිතමි... සිතන්නට ඉඩ හරිමි..
ප්රේමයෙන් ලද දරුණු පරාජයට හොදම අත් බෙහෙත එය බව කියමි...තිත්ත බෙහෙත ඇයට පොවමි....

පුරා සතියක් රෝහල් සයනේ වැතිරවූ ඒ ආලය ගැන දැන් දනිමි... විරහව බෙදාගන්නට උත්සහ ගනිමි...
සියදිවිය හානිකරගැනීම අපරාධයක් බව වටහාදෙමි... හිසරුදාවකටවත් පෙනඩෝල් බීම තහනම් කරමි...
ඔව්...
ඇයව මගේ නීති රාමුවකට කොටු කරමි...
ජීවයේ වටිනාකම මා දනිමි...ඇයව රැකීමට උත්සහයක් ගනිමි..
අනුකම්පාවක්දැයි නොදනිමි... ප්රේමයක්නම් නොවන බව දනිමි...නමුත් මම ඇය රකිමි... අත්වාරුවක් වෙමි...

අඟුලුලෑ දොරගුළු හරිමි... සුළං හමන්නට ඉඩදෙමි...
සුළගට සුවදවත් වීමට, ගීතවත් වීමට ඉඩහරිමි...
මා පමණක්ම වෙමි...ඇයගේ නොවෙමි... නමුඳු හදුනාගන්නට ඉඩ හරිමි...
බිය වෙමි...
වරක් ජීවය අත්හල ඇයගේ ජීවය ගැන බිය වෙමි... එයට ජීවය වීම සංකීර්ණ බවම වටහාගමි...
එහෙත් ඇයව පුරුද්දක් කරගමි... සුන්දර පුරුද්දක් බවට හරවමි...
සොයාබලමි... සැරවෙමි... සිනහවක් සොයමි... සපයමි..
ඇයට වැලපෙන්න දෙවුරම දෙමි... කදුළු පිසලාලමි... ප්රේමයක් ගැන කතා නොකරමි...ප්රේමයක් ගැන කිසිත් නොදනිමි... පෝෂණය කරමි...

හමුවන්න කීවිට සියල්ලම හැරදමා ඇය සොයා යමි... ඇයට මා අත්යවශ්යය මොහෙතක් බව පමණක් සිතමි... සනසන්නට උත්සහ නොකරමි...වැලපෙන්න දෙවුර දෙමි..
කඳුලු උණුසම් බව විදිමි... මුහුණ දෝතට ගනිමි...
පිසලාලමි...
වේලාසන පන්ති අවසන්වූ විට බස් නැවතුමට යාමට නොදන්නා බව දනිමි... කොලඹ ඇයට අළුත් බව සිහියට නගාගමි... කාර්යාලයේ කටයුතු පසෙකලා ඇය සොයා යමි... බස් නැවතුමට කැන්දාගෙන යමි...
පාවහන කැඩීගිය වැසි දිනකි...
අපිරිසුදු පිටකොටුවට පා කිලිටි කිරීමට ඉඩ නොදෙමි.. සියුමැලි පා කිලිටි නොකරමි... ඇය ඔසවාගෙන ගොස් බසයට ගොඩකරමි... ඈ ආසම සමෝසා මල්ලක් අතමත තබමි...බසය පිටත්වූ පසු ..නොපෙනීගිය පසු නැවත කාර්යාලයට යමි...
අන්දිනවල කාර්යාලය අවසන්වූ විගස දෙපයට සවිය ගමි... බසයක් පසුපස එලවා ගොස් ඇය සොයා යමි.... මුහුණ නොදැක දවස අවසන් වීමට නොදෙමි... ඇය නොදැක සිටිය නොහැකි බව පමණක් වටහාගමි... එය ප්රේමයදැයි නොදනිමි.. නොසොයමි.. නොසිතමි...

සෑම තත්පරයක්ම ඇයට ජීවත් වීමට සලස්වමි...ආසාව වඩවමි... වැඩෙන්නේයැයි සිතමි... තුටුවෙමි...
ඈ ගිය පසු මහමග මා තනිවෙමි... පරිස්සමින් ගියබව පමණක් අසමි... මා ගැන නොඇසුවාට කේන්ති නොගනිමි...
සිත් තැවුලක් ඇති කරගමි.... නමුඳු ඒ ඇයය බව වටහාගමි...
මා ඇයගේ නොවන බව සිහිකරමි...
අඳුර මදුවිතක් හා බෙදාගමි...සිතින් වැලපෙමි... කුසුමට අයිතියක් නොපතමි...නොකියමි.... ප්රේමයක් යැයි නොසිතමි... රැකවරණයක් පමණක් වෙමි...

ඔහු සමග ඈ ගිය මං මාවත් වල නැවත යමි... සිහින් දෑස තෙත් කරන කඳුලට වෛර කරමි...
ඈ කාලය ගෙවූ උද්යානය පිවිසෙමි...මා අතැඟිලි තදින් වෙලාගන්නා ඇයගේ මුහුණ දෙස බලමි.... හසරක් නොමැතිව දිවයන ඇස් දකිමි..... ඔහුගේ සුවඳ ඇයට දැනෙනා බව වටහාගමි.... අත අත්නොහරිමි....
ඔහුහා හිදහුන් බංකුව මතම හිදගමි... කෙස් අතරින් ඇයගේ හිස පිරිමදිමි.... දිගු කෙස් වැටියට රිසිසේ ලෙලදෙන්න බාධකයක් වෙමි....
උරහිසේ හොවාගෙන කඳුලේ උණුසුම විදිමි...
මුහුණ දෝතටම ගමි... නළල්තලය සිපගනිමි.... දීප්තිමත් දෑස හා දෑස් පටලාගමි... මුවින් නොකියමි... ඈ රැකිය හැක්කේයැයි කියමි....
වෙව්ලන දෙතොල් තෙත් කරමි... තව තවත් තුරුලටම ගමි... දෙතොලේ උණුහුම හුවමාරුකරමි... මුවට ජීවය පිඹිමි...
ඇය තිසරුන් නිදහස් කිරීමට යෙදෙන උත්සහය වළකාලමි...
මෙය නුසුදුසු බව කියමි.... ඔහු අමතක කිරීමට දැනීමක් අවශ්යබව වටහාගමි...ඇයට අත්යවශ්යය මතකයන් වසා දැමීම බව වටහාගමි...ඇයගේ රිස්සට ඉඩහලමි... තිසරුන් සනසවමි...ඇය සැනසෙන බව දකිමි... රාගයක් නොමැතිවම අවශ්යතාව පමණක් ඉටුකරමි...
ඇය සතුටින් තැබීමට පමණක් සිත යොමමි...ඇයව ජීවත් කරවමි... රාගයම ප්රේමයක් නොවන බව සිතමි... රාගය බිඳදමමි...ප්රේමය සොයමි....

පියාපත් විදාහලන්නට ඉඩදෙමි... පරපෝෂිත බව දනිමි...නමුඳු ජීවය තුල වැඩෙන්නට ඉඩ හරිමි... ඈ ජීවය බව දනිමි...ඇයට ඇය සොයායන්නට මං විවර කර දෙමි....
නැවත පැමිණෙනේදැයි නොඅසමි...නොසිතමි....
පරිස්සමින් ගිහින් එන්නයැයි පමණක්ම කියමි...
බැඳීමක් ඇතිබව නොකියමි.... නතරවන්නයැයි නොකියමි... අයාචනා නොකරමි.... ජීවය දැක සතුටුවෙමි... දෑසේ දීප්තිය අඩුනොවන්නට පතමි....
පැමිණියහොත් නැවත ජීවත් කරමි...නොපැමිණියත් ඇය ගැන සොයමි... ඇය හඳුනාගන්නටම උත්සහ කරමි...
කාලය වෙන් කරමි.... මතකය උඩ දමමින් කාලය ගතකරමි...
සුන්දර පුරුදු අත්නොහරිමි....
ප්රේමය එයමදැයි සිතමි.... සොයමි... නොකියම්... නොඅසමි...

අත්හැරීම තුල ප්රේමයක් වේයැයි සිතමි.... ලඟ සිටිය යුතුමයි නොසිතමි...නොපතමි...
දැඩිරාමු තුල ප්රේමය නැතැයි දනිමි...

ජීවිතය දීමම ප්රේමයයැයි වටහාගමි...

©මුදියන්සෙ මලයා

2 comments:

  1. අදයි මේ දිහාට ගොඩවුනේ... බ්ලොග් රෝලට එකතුකර ගත්තා...

    ReplyDelete
    Replies
    1. බෝම තුති ගොඩවැදුනට වලව්වට

      Delete